ඈත දුර ආකාසේ -15

ආදිත්‍ය හිත් පීඩා ඇති වූ ඕනෑම මොහොතක කරන්නේ තමන්ගේ සිරුරට රිදවා ගැනීම ය. කුඩා කාලයේ ඕනෑ දේවල් නොලැබුණු විට හිසකෙස් කපා ගැනීම, අතපය සූරා ගැනීම ආදියෙන් ඇරඹුණු ඔහුගේ මේ ක්‍රියාව නවතන්නට අම්මා කිසිසේත්ම උත්සුක වූයේ නැත.ඈ කළේ පුතුගේ ඉල්ලීම කෙසේ හෝ ඉටු කිරීම ය. ඉන් නොනැවතී ඔහුගේ ඇට්ටරකම ගැන හැමදෙනාටම වර්ණනා කිරීම ය. නපුරු ලෙස හැසිරීම දෙයක් ලබා ගැනීමට හොඳම ක්‍රමය බව ආදිත්‍ය තවමත් සිතන්නේ එනිසා ය.ලබා ගන්නා දෙයක් රැක ගැනීම වෙනුවෙන් ඔහු තෝරා ගත්තේ ද නපුරු වීම ය.ගැහැනුන් කියන්නේ පිරිමින්ට යටත් වූ අය බව ඔහු තේරුම් ගත්තේ අම්මාගෙනි.අම්මාට නීති දමන්නට පටන් ගත් පසු තුරුලිට නීති දැමීමෙන් ඔහු වින්දේ අප්‍රමාණ ප්‍රීතියකි.

“මං අර කෙල්ලගෙ ගෙදර ගියා.බලහත්කාරෙන් හරි කසාදෙ ඉක්මන් කරනව කියල මං කියලයි ආවේ..”

පුතු බලන්නට රෝහලට ආ අම්මා එවැන්නක් පැවසුවේ ය.ආදිත්‍ය අලුත් බලාපොරොත්තුවක් ඇති කර ගත්තේ ය.තුරුලිව කෙසේ හෝ විවාහ කරගන්නට උත්සාහයක් දැරුවානම් ඈ මට්ටු කිරීම පහසු කාර්යයකි.

“බඳින්න නෙවෙයි ඒකි මෙයාව බලන්නවත් එනවයැ ඇන්ටි..”

රොෂේන් කියන්නේ උපහාසයෙනි.රශ්මි ද ආදිත්‍ය දෙස බැලුවේ කට ඇද කර අමුතු බැල්මකිනි.

“අපි උස්සලා බලහත්කාරෙන් රෙජිස්ට්‍රාර් ගාවට අරන් යං..බැන්දට පස්සෙ ආයේ මොනව කරන්නද..”

අම්මා කෙනෙක් කිසිලෙසක නොකී යුතු අදහසක් මුවට ආවේ ආදිත්‍යගේ අම්මාට ය.ආදිත්‍යට ඒ අදහස මහත් සංතෘෂ්ඨියක් විණි.ඔහු ඇස් දල්වා රොෂේන් දෙස බැලුවේ ය.

“මං හිතන්නෙ අර මියුරුගෙයි එයාගෙයි කසාදෙ ඉක්මන් කරන්න යන්නෙ..ඔයාට අඬු කඩාගන්න නෙවේ එහෙම ඩිෂිෂන් එකක් ඉක්මනට ගන්න වෙනවා ආදි.”

රශ්මි පැවසුවේ තුරුලිට පාඩමක් උගන්වන දැඩි අධිෂ්ඨානයක් ඇතිව ය.ඈ තුරුලි හා ගැටුමට ආවේ තුරුලි කිසිත් නොකියා නිහඬව බැනුම් අසනු ඇතැයි අපේක්ෂාවෙනි.නමුත් ඇය දැන් බොහෝ වෙනස් ය.අසාධාරණකම් නොඉවසන්නියකි.

“දැන් ඉතිං සෑහෙන්න අමාරුයි කියල තුරුලිව හොස්පිටල් ගෙන්න ගන්න බලමු..”

ආදිත්‍ය එපමණක් පවසා නිහඬ විණි.තමන්ට අසාධ්‍ය බවත් මියැදෙන්නට පෙර තුරුලි දකින්නට උවමනා බවත් පවසා ඔහු සඳලිට පණිවිඩයක් තැබුවේ ය.මැරෙන්නට යන මිනිසෙකුට වට්සැප් පණිවිඩ ලියන්නට හැකිවීම ගැන පුදුමය පළ කර ඇය පිළිතුරු එවා තිබිණි.ඕනෑවටත් වඩා ලැජ්ජාවට පත් වීමට සිදුවීම ගැන ආදිත්‍යට වූයේ දැඩි කෝපයකි.සඳලි තමන්ව නිර්දය ලෙස සමච්චලයට ලක් කිරීම ඔහුගේ හිත තුළ තදින් සටහන්ව තිබුණි.

“ලොකු පුතේ, යාලුවෙක් ඇවිල්ලා.”

රශ්මි සහ ආදිත්‍යගේ මවගේද නේත්‍රාගේ ද හැසිරීම නිසා කෝපයට සහ වේදනාවට පත් වී ඇඳ බදා හුන් තුරුලිට අම්මා ඇමතුවේ කාමරයට එබී බලා ය.ඇය වහා අම්මාගේ මුහුණ දෙස බැලුවා ය.එහි කේන්තියක සේයාවකුදු නැති නිසා ඒ රොෂේන් හෝ ආදිත්‍යගේ වෙනත් මිතුරෙකු නොවන බව තුරුලිට පැහැදිලි ය.දිවා කාලයේ තමන් සිටියේ සියල්ලම එපා වූ මුහුණකින් නිසා කසුන් වින්ද්‍යා ද සමඟ පැමිණෙන්නට ඇතැයි ඇය අනුමාන කළා ය.අවුල් වූ කොණ්ඩය එකමිටට බැඳ ගනිමින් ඇය සාලයට ගියේ ඒ යුවළ හමු වන්නට ය.

නමුත් එහි ඔවුන් සිටියේ නැත.මියුරු සිනාවකින් වත සරසාගෙන සාලයේ සක්මන් කරමින් සිටියා ය.තුරුලිට කියාගත නොහැකි සැනසීමක් දැනිණ.ඈ මඳ වෙලාවක් ඔහු දෙසම බලා සිටියා ය.

“සඳලිත් ඇති කියලා හිතාගෙන ආවේ..වැඩ ගොඩයි කියල රෑ වෙයිලුනෙ..”

නිදහසට කරුණු කියන යෞවනයා තුරුලිට සිනාවක් ගෙනෙන්නට සමත් විණි.සමහරවිට ඔහු පැමිණි හේතුව නංගී නොමැති වීමම විය හැකි යැයි ඈ සිතුවා ය.මියුරු හුන්නේ සිනාසීගෙන ය.”ඔබෙ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර” කවි පදය තුරුලි රහසේම සිහි කළා ය.නිවී යන්නට හැකි අන්දමේ සිනාවක් ඇති යෞවනයෙකු ඈ අපේක්ෂාවෙන් බලා සිටියි.නමුත් රිදී ගිය සිතක් රැගෙන ඔහු වෙත ගොස් ඔහුට රිදවුම් ඇති කිරීම අසාධාරණයක් නොවේදැයි තුරුලි කල්පනා කරන්නට වූවා ය.ආදිත්‍යට අයත් බව දැන දැන ම ඈ ඒකපාර්ශ්වික ප්‍රේමය කර බොහෝකල් මඟ බැලූ තරුණයා වෙතට රිදී තැවෙන හදවතක් රැගෙන ගොස් පලක් නැති බව සිතමින් ඇය මිනිත්තු කිහිපයක් ම ගෙවා දැම්මා ය.

“මට සඳලි කිව්වා ඔයා ටිකක් අවුලින් කියල..හොඳ යාලුවො උනාම කරදර වෙලාවට එපැයි ළඟ ඉන්න..”

මියුරුගේ හඬ ගලා ආවේ ගීතයක් සේ මියුරුව ය.තිස්සෙම කෑගසන ආදිත්‍යට ළතෙත් කටහඬක් වූයේම නැත.

“හොඳ යාලුවො කියල කවුරුත්ම මට නෑ මියුරු.ආදිත්‍ය කැමති උන් නෑනෙ මං නංගිටවත් ක්ලෝස් වෙනවට..”

තුරුලි පැවසුවේ ළතැවිලි හඬකිනි.අද කසුන් පවා ඇය හා කතාවට වැටුණේ ආදිත්‍ය කෙනෙකු තවදුරටත් ඈ සමඟ නොවන නිසා බව තුරුලි දැන සිටියා ය.

“ඉතිං අපිට පුලුවන් හොඳ යාලුවො වෙන්න..”

මියුරු සැහැල්ලුවෙන් කියද්දී බොහෝ කාලයකට පසු පිපෙන සුන්දරම සිනාවක් තුරුලිගේ මුව මත පිපී ආවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles