ඈත දුර ආකාසේ -16

හොඳ යාළුවන්ට කතා කරන්නට ඕනෑතරම් දේ ඇත.ආදිත්‍යට ළං වීම නිසා පාසල් මිතුරියන් පවා අතේ දුරින් ආශ්‍රය කරන්නට සිදු වූ තුරුලිට මිතුරුකම උණුසුම සහ ආදරය පිරුණු එකක් බව වැටහෙන්නට මියුරු සමඟ දෙහෝරාවක් පමණ ගෙවන්නට සිදු විණි.ඔහු ආදිත්‍ය ගැන එකම වචනයක් වත් පැවසුවේ නැත.නමුත් ඔහු ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලයේ විස්තර අසා හිඳින විට තුරුලිට සිතුණේ තමන් ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන බවකි.මියුරු එතරමට කියවන්නට හපනෙකි.බුම්මාගෙන තව ඇඳුම් පැලඳුම් වල ඇදකුද ද දවසේ වැරදි ද සොයන ආදිත්‍යට වඩා යෞවනයන් වෙනස් වග ඈ තරමකට හෝ දැන සිටියේ රනුක නිසා ය. ඇය රහසේම නංගි සහ රනුක සමඟ තමන් සහ මියුරු තබා බැලුවා ය.අම්මා සහ තාත්තා තැනූ ආදරය පිරුණු නිවස එලෙසම පවතින්නට නම් ආදරය දන්නා මිනිසෙකු තමන් සමඟ ද රැඳිය යුතු බව ඇය සිතුවා ය.

මියුරු බොහෝ වෙලාවක් තිස්සේ කියවමින් හිඳ යන්නට සැරසෙනවිට සඳලි රනුක ද සමඟ පැමිණියා ය.තුරුලිට මහත් කෝල බවක් දැනුණ ද ඈ එය සඟවා සිටින්නට උත්සාහ ගත්තා ය.නැතිනම් නංගිගෙන් ගැලවීමක් නැත.

“අපරාදෙ මොනව හරි අරන් ආවනම් අපිට පොඩි පාටියක් දාන්න තිබ්බ..”

සඳලි පැවසුවේ අක්කා දෙස ආදර සමච්චලයකින් බලමිනි.

“පාටියක් දාන්න මොකුත් හේතුවක් නං නෑ ඉතිං…”

තුරුලි වහා නිවස තුළට ගියේ එසේ කියමිනි.

“ඇයි අර මූසලයා කකුලක් එල්ලං හොස්පිටල් ඉන්නෙක.අන්න ඒක තමයි මගෙ ජොලිය..”

අක්කා පසුපස කාමරයට ආ සඳලි පැවසුවේ ඈ වැලඳගෙන ය.ආදිත්‍ය සම්බන්ධ ඕපාදූප තිතට වෙලාවට සොයා ගන්නා නංගි ගැන තුරුලිට මතු වූයේ සිනාවකි.ඒ සිනාව මීට මසකට පෙර ළංවී තිබුණේ නොරිස්සුමකට නොවේදැයි ඈ සිහි කළා ය.

කියවන්න :  ඈත දුර ආකාසේ -34

“ඔයාට මතකද ගයන්තව.ගයන්තත් ඒ කාලෙ ඔයාට පණ ඇරලා හිටියෙ.කොල්ලා මේ දවස්වල ක්ලිනිකල් යන්නෙ ඔය සත්‍ය ප්‍රේම කුමාරයානන් කකුල එල්ලං ඉන්න වෝඩ් එකේ. “

සඳලි එසේ පවසා ඇඳ මත හිඳ ගත්තා ය.තුරුලි ගයන්තගේ අමතක ව ගිය මුහුණ මතකයට නගා ගන්නට තැත් දැරුවා ය.

“ගයන්ත තමා කිව්වෙ හෝතඹුවට අමාරුවක් නෑ..කකුලක් එල්ලන් ඉන්නව කියල..තාම ඔයාගෙ කොල්ල කියලයි හිතේ.අර රශ්මි ගෑනි ඔලුව අතගගා ළඟ ඉන්නකොට එහෙම හිතන එකම විලි ලැජ්ජයිනෙ.මං ටක් ගාලා නිවැරදි කලා..”

සඳලි එසේ කියා උස් හඬින් හිනැහුණා ය.අක්කා ශෝකයට පත් වී දැයි සිහිවී ඈ වහා සිනාව නැවතූ මුත් තුරුලි ද ඒ සිනාවට හවුල් වූවා ය.

“මියුරු, ගයන්ත, ස්කූල් බස් එකේ නාරද අයියා…තව කොල්ලො කී දෙනෙක්නං ඔයා ගැන හෝප්ස් තියන් හිටියද? අපි අතේ පණිවිඩ එව්වද..අර කාලකන්නියා හෙනහුරා වගේ අල්ලගත්තනෙ..”

අල්මාරිය විවර කරගෙන නිවසට අඳින ඇඳුමක් හොයන අතර සඳලි පැවසුවේ නොරිස්සුමෙනි.

“ඉස්සර ඔයාලා ඒ බෝයිස්ලයි ආදියි සසඳනකොට මට හිතුණේ එයා කැම්පස් ගියේ නෑ,ස්ටඩීස් කරේ නෑ හරියට රස්සාවක් කරන් නෑ කියලා ඔයාලා එයාව පහත් කරනවා කියල.දුක හිතුණෙ ඒකයි.ඒත් ඉගෙන ගත්තු දුර මොකක් උනත් එයාටත් තමන්ට කියල පාරක් හදා ගන්න තිබ්බා.අවුරුදු විසි පහක විතර කොල්ලෙක් ගෙදරින් කකා ඉන්න ඕන නෑ තමන්ගෙම පාරක් හදාගෙන රුපියල් සීය දෙසීය හරි හම්බ කරන්න පටන් ගන්න ඕන කියල ආදිත්‍යගෙ අම්මත් තේරුං ගන්න තිබ්බා..එයා කියන්නෙ කොල්ලෙක් හැදෙන්නෙ බැන්දට පස්සෙ.බබෙක් හම්බුනාම එයාට හම්බ කරන එකේ අගේ තේරෙයි වගේ කතානෙ..”

ඒ කතා මොනතරම් අඥාන ඒවාදැයි තුරුලිට වැටහෙන්නේ දැන් ය.මෑතක් වනතුරුම ඇය ද සිතුවේ පෙම්වතාගෙන් සැමියාට ද එතැනින් තාත්තාට ද උසස්වීම් ලබද්දී ආදිත්‍ය මීට වඩා ජීවිතය ගැන ගැඹුරින් බලන්නට ඉඩ ඇති බව ය.

කියවන්න :  ඈත දුර ආකාසේ -19

“මිනිහෙක්ව හදා ගන්න කසාද බඳින්න ඕනයැ අක්කා.බලුපැටියෙක්ව හදා ගන්නවනෙ.හිතට සතුටක්වත් තියනව.අම්මෙක්ට හදා ගන්න බැරි උනු, වයසට යනකොට තේරුම් අරන් තමන්ට තමන්ව හදා ගන්න බැරි උනු ගොං වහන්සෙ කෙනෙක් බැඳගෙන මොකට දුක් විඳිනවද..”

“ඔයා හිතනවද ඔය රශ්මි ආදිව බඳී කියලා..”

ඒ ප්‍රශ්නයට සඳලි හඬ නඟා හිනැහුණා ය.ඇය පිළිතුරු දුන්නේ ද ඒ සිනාව අතරින් ය.

“ඒ වගේ ගෑනුන්ට ඕන අඟහරුවලින් හරි සල්ලි අරන් එන මිනිහෙක්.ආදිත්‍යට රශ්මි බැඳගන්න වෙන් නෑ.ඕං බලන්නකො..”

අක්කාත් නංගීත් කියවමින් සාලයට එද්දී රනුකත් මියුරුත් සිටියේ අම්මා සමඟ මුළුතැන්ගෙය තුළ ය.රාත්‍රියට ආහාර ඇනවුම් කරන්නට රනුක සැරසුණත් බොහෝ කාලයකට පසු සිනා උතුරා යන නිවසේ ඇගේ කෑමක සුවඳ පතුරන්නට අම්මාට උවමනා විණි.තරුණයන් දෙදෙනා හුන්නේ ඇයට අත්උදව් දෙමිනි.

“අයියෝ..රනුකට නම් මෙහෙ හුරුයිනෙ..මියුරුවත් කුස්සියට ගත්තද..?”

තුරුලි රනුකගෙන් චෝදනාත්මකව අසද්දී රනුක ඇයට ළං වූවේ ය.

“දුකයිද? ගෙදර වැඩි වගකීම තියෙන්නෙ ලොකු පුතාට.එහෙම එකෙක් නැති වෙයි කියලනෙ ඔක්කොම මං කරට අරන් හිටියෙ..දැන් මං නිදහස්.”

තුරුලි කිසිත් නොකියා සිනාවක් පා කළා ය.රනුක මෙසේ තමන්ට සමීපව කතාබහ කරන අන්දම ආදිත්‍ය දුටුවානම් නිවස අනිත් පැත්තට පෙරළන්නට සමත් වන බව ඇයට සිහි විණි.ඔහු තිස්සේම රනුක සහ තුරුලි සම්බන්ධ කර අසංවර කතා කියන්නට ප්‍රිය කළ මිනිසෙකි.ආදිත්‍ය නැති තැනක සතුට තැවරී ඇති බව සිතමින් තුරුලි එළවළු කපන්නට පටන් ගත්තා ය.

ත්‍රීවිලයක් මිදුලේ නැවතෙන හඬ ඇසුණේ ඒ මොහොතේ ය.සඳලි වහා ආලින්දයට ගියේ කුහුලිනි, සැකයෙනි.

5 4 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
20 days ago

👍