රෝහලේ ඉන්න අසරණ දරුවන් වෙනුවෙන් කැපවූ පුංචි කැම්ප්බෙල්.

ලෝකයට ආදරය කරන ලෝකය වෙනුවෙන් දේවල් කරන්නට වෙහෙසෙන කුඩා දරුවන් මේ ලෝකය පුරා මිණි කැට සේ හමුවෙමින් තිබෙනවා.වයසින් ඉතා ළාබාල වුවත් ඔවුන්ගේ සිහින සහ අරමුණු වැඩිහිටියන් වන අපට වඩා බොහෝ උසැති වීම ම ඒ දරුවන් ගැන ලියා තබන්නත් කතා කරන්නත් හේතුවක්.

Bear boy ලෙස ලෝකය පුරා ප්‍රචලිත වුණු කැම්ප්බෙල් එවැන්නෙක්. කුඩා කැම්ප්බෙල් ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ජිවත් වෙන දරුවෙක්. නව හැවිරිදි වියේදී ඔහුට නත්තලට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ රෝහල්ගත වූ කුඩා දරුවන්ට තෑග්ගක් දෙන්න.ඒ ගැන අම්මාට කිව්වත් දරුවන් නව දෙනෙක් ඉන්න පවුලේ තමන්ගෙ දරුවන්ට තෑග්ගක් අරන් දීම ගැනත් දෙගිඩියාවෙන් ඉන්න අම්මා කැම්ප්බෙල්ට කෙටි උත්තරයක් දෙනවා.

“බැරිවෙයි පුතේ..”

පුංචි දරුවෙක් තමන්ගේ ආශාවන් එහෙම ලේසියකට අත් හරින්නේ නෑ.කෑම්ප්බෙල් ඊළඟට තීරණය කරන්නේ ඒ සෙල්ලම්බඩු තමන්ම හදලා බලන්න.අම්මා ඒ ගැන විශ්වාස කරන්නේ නෑ.අම්මාගේ මහන මැෂිම පාවිච්චියට ඉල්ලන කුඩා දරුවා ටෙඩි බෙයා පතොරමක් අරගෙන ඇවිත් ඒක මහන්න උදව් කරන්න කියලා අම්මගෙන් ඉල්ලනවා.

“මට මේක කරන්න තේරෙන්නේ නෑනෙ පුතේ”

වැඩ ගොඩක් අස්සෙන් අම්මා දෙන උත්තරේ එච්චරයි.

පැය කිහිපයකින් ටෙඩියෙක් එක්ක මතු වෙන කුඩා කොලුවා කියන්නේ ඒ ඔහුගේ වැඩක් බවයි. ඉතා ලස්සන හුරුබුහුටි ටෙඩියා ගැන අම්මාටත් ඇති වෙන්නේ ආදරයක්.

ඒ නත්තල අර රෝහල්ගත දරුවන් සතුටු වෙන නත්තලක් වුණා.කැම්ප්බෙල් ඒ හැම ටෙඩියෙක්ම තනියම මැහුවා.

ඔහු එතැනින් නතර වුණා කියලා ඔබ හිතනවා ඇති.නැහැ.දැන් අර පුංචි කොලු ගැටයා අවුරුදු දහසයක ඉලන්දාරි කොලුවෙක්.ඔහු නත්තල් සාදයට පසුදා ඉඳන් දිගටම ටෙඩියෝ මැහුවා.ඒවා නම් නිකම් දුන්නේ නෑ.විකුණුවා.ඒ සල්ලි අසරණ අහිංසක දරුවන්ගේ සුබසාධනයට යොදවන්න තරම් ඔහුගේ හදවත විශාල වුණා.සමාජජාලා කෙනෙක් නසන්න, කේලම් පතුරවන්න වගේම ආදරය බෙදමින් කෙනෙකු ජීවත් කරන්නත් යොදා ගන්න පුලුවන්.Project 365 එහෙම වැඩක්.ටෙඩි බෙයාර්ස්ලා මහමින් පටන් ගත්තු කැම්ප්බෙල්ගේ සමාජ සත්කාර වැඩසටහන දැන් දාසය හැවිරිදි ඉලන්දාරියෙක් වුණු කැම්ප්බෙල් ලෝකය පුරාම ව්‍යාප්ත කරන්න සමත් වෙලා.විවිධ රටවලින් මේ අරමුදලට ආධාර ලැබෙනවා.

දැන් කෑම්ප්බෙල් ටෙඩි බෙයාර්ස්ලා මහන්නේ නැද්ද? දැන් ඔහු ටෙඩියන් තුන්දහස් එකසියයක් පමණ මසා අවසන්.ඔහු ඒවා විකුණමින් ලෝකයට ආධාර කරනවා.CNN young wonder, citizen of the year, Pride of Australia වගේ සම්මාන බොහොමයක් ඔහුට ලැබිලා අවසන්.දවසක චිත්‍රපටියක් හදන්න කැමැත්තෙන් ඉන්න මේ යෞවනයා project 365 සහ ටෙඩී වලසුන් හරහා ආදරය බෙදාහැරීම කිසිම දවසක අත් නොහරින බවයි කියන්නේ.

ස්මාර්ට්ලේඩි වෙබ් අඩවිය කියවන ඔබ බහුතරයක් කාන්තාවන් බව මම දන්නවා.මවක් වූ ඔබට, දවසක මවක් වෙන ඔබට මගෙන් ආදරණීය ඉල්ලීමක් තියෙනවා. ඒ සංවේදී හදවතක් තියන මනුස්සකමින් පිරුණු කැම්ප්බෙල් වගේ ආදරණීය දරුවන් ගොඩනගන මවක් වෙන්න..නැවතත් මං ඔබෙන් ඉල්ලන්නේ එහෙම දරුවෝ හදන ආදරණීය මවක් වෙන්න. .

ලෝකයට ලොක්කෝ ඕනෑතරම් ඉන්නවා. ඒත් ලෝකයට ඕන ආදරණීය දරුවන්.. ඉතින් අපි ආදරය පිරුණු දරුවෝ හදමු.ලෝකයට කැම්ප්බෙල් ලා ඕනෑතරම් අවශ්‍ය බව අමතක කරන්න එපා.

තමන් වගේම දරුවන් ගැන සංවේදි වුණු ඔවුන් වෙනුවෙන් යමක් කරන්න පුංචි සටනක් අරඹපු ඒ සටන පවත්වාගෙන යන කැම්ප්බෙල් ආදරණීය දරුවෙක්.ඔහුගේ සිහින ඔහුටත් වඩා විශාලයි.

Related Articles

Don't Miss


Latest Articles