fbpx

අහංකාර නගරේ -22

දැන් ඉතින් මහ මඟ සිඟමන් යැද්දත් මා රෝස්මරී ගේ රූපලාවන්‍යාගාරයේ සේවය ට නො යන බව මම දනිමි. මට ඒ රැකියාව කළ නො හැකි ය කියා කීවොත්, සිතිජ වුව ඒ ගැන වැඩි දුර කාරණා නො විමසනු ඇත. දැන් මට රූපලාවන්‍යාගාරයක ටික කලක් හෝ සේවය කොට අත්දැකීම් තිබෙන නිසා වෙනත් එවැනි තැනකට අනුයුක්ත වීම, ඇතැම් විට පහසු වන්නට පුළුවන. 

නමුත් මා වෙනත් නවාතැනක් වෙත මේ හදිසියේ යාම සිතිජ ට ප්‍රශ්න නො කර සිටින්නට හේතුවක් වන්නේ නැත. 

“එක අතකට සිතිජට හංගන්න ඕන නෑ”

සුරනි කීවා ය. 

“අම්මණ්ඩිගෙ තරම පුතා දැන ගෙන ඉන්න එකත් හොඳයිනෙ”

මගේ හදවතෙහි අම්මා ගැන ඇති ව තිබෙන බිඳුම සුළු පටු එකක් නොවේ. වසර ගණනාවක් තිස්සේ මට ඇය දකින්නට හෝ ඕනෑ වූයේ නැත. සිතිජ ඔහු ගේ මවු පියන් ගැන කලකිරුණු සිතකින් ඉන්නා කෙනෙකි. ඔහු ගේ මව රූපලාවන්‍යාගාරකට මුවහ කර ගෙන යන ව්‍යාපාරය කුමක් දැයි දැන ගැනීම හා සිය පෙම්වතිය ද ඊට ඈඳා ගන්නට කළ නින්දිත උත්සාහය ගැන දැන ගැනීම තුළ, ඔහු අම්මා කියන නමට වෛර කරන්නට වුව පුළුවන. ඒ වෛරයෙන් ඔහු ගලවා ගැනීම මගේ යුතුකමක් සේ මට දැනෙන්නට ගත්තේ ය.

“බෑ සුරනි. මට මේක ඒ අහිංසකයගෙ මූණ බලාගෙන කියන්න බෑ. ඉන්න අගාධෙං එයා තවත් පහළට වැටෙයි. මට ඒක බලං ඉන්නත් බෑ”

බොහොමයක් පෙම්වතියන් සේ ම පතිනියන් ද සිය පෙම්වතා හෝ සැමියා සහ ඔහු ගේ මව අතර වන බැඳීම බිඳ දැමීම, සිය ප්‍රථම මෙහෙයුම සේ සලකති. එය ආදරයේ ඊර්ෂ්‍යාව මුල් කර ගෙන සිදු වන්නා වූ ස්වභාවික අරගලයක් සේ සිතිය හැකි ය. නමුත් ලෝකය දියුණු වී මිනිසා වඩා බුදුධිමත් වීමත් සමග, ඇතැම් ජීවිත පැවතුම් සිතිවිලි මත පිහිටා වෙනස් කර ගැනීමට උත්සාහ දරා තිබේ. මේ ද එසේ සිතා මතා වෙනස් කර ගත යුතු මිනිස් ලක්ෂණයකි. පුතෙකු හා අම්මා කෙනෙකු අතරේ, පෙම්වතියක පාලමක් මිස කිසි දා පවුරක් ව නැගී නො සිටිය යුතු ය. මට එහෙම සිතිණි.

“ඒත් මෙව්නා සිතිජ ඒ කිසි දෙයක් නො දැන මුලාවක නේද ඉන්නෙ….සමහර විට එයා නොදන්න දේවල් අනිත් මිනිස්සු දන්නව ඇති. ජයශාන්ත මාමයි රෝස්මරීයි අතරෙ ඈත් වීමක් ඇති වෙන්නත් හේතු ඕව වෙන්න පුළුවන් නෙ. වෙන කෙනෙකුගෙන් ඒ ඇත්ත දැන ගන්න දවසක් එනවට වඩා… සිතිජට ලේසි වෙයි මේක ඔයා ගෙන් දැන ගන්න එක”

සුරනි ගේ ඒ කතාව සමග තර්ක කරන්නට මට කිසිදු හේතුවක් පෙනුණේ නැත. මොන දේ නැති වුණත් මා සිතිජ ගේ ආදරය රැක ගත යුතු ය. 

මට ඔහු හමු විය යුතු යයි පැවසූ මතින් මොරටුව විශ්ව විද්‍යාලයේ සිට සිතිජ නුගේගොඩ ට පැමිණියේ ය. මා සන්සුන් මඳහසක් නගා ගත්තා ට ඒ ඇස් වල වූයේ කැළඹුමකි.

“මොකක් හරි අවුලක්ද…”

මම හෙමිහිට ඔහු ගේ අතක එල්ලුණෙමි. මට මහත් සුරක්ෂිත හැඟීමක් දැනිණ.

“එහෙමමමත් නෑ. ඔයා කලබල වෙන්නෑ කියල මුලිංම මට පොරොන්දු වෙන්න ඕනෙ”

“හරි හරි කියන්නකො”

“අයියෙ…මං…වෙන බෝඩිමකට යන්න හිතුවා”

“මොකද්ද…”

විදුලි සැර වැදුණා සේ ඔහු කම්පිත වූයේ ය. මගේ අතට, ඒ අත රත් වූ හැටි දැනිණ.

“මං කිව්වනෙ ඉතිං…කලබල වෙන්න බෑ කියල”

“මෙව්නා…මට කෙලිංම කියනවද මොකද වුණේ කියල”

“මුකුත් වුණාට නෙමෙයි අයියෙ. ඒත් හැමදාම එහෙට වෙලා ඉන්න බෑනෙ. මට ඉන්න දීල සර් ලොකුම ලොකු උදව්වක් කළේ. කොළඹ ගැන මෙලෝ හසරක් නොදැන මෙහෙ ආපු මට…බෝඩිං වලටත් සල්ලි ගෙවන්න වුණානං එහෙම..”

“වටේ යන්න ඕන නෑ. වුණේ මොකද්ද කියල කෙලිං කියනවද…අපේ තාත්ත ඔයාට මුකුත් කරදරයක් කරන්න ආවද…නැත්තං නරක යෝජනාවක්..”

“ෂ්…”

මම මගේ අතක අතක ඇඟිලි ඔහු ගේ මුව මත තබා ඒ කතාව මැදින් නතර කළෙමි.

“මොනාද අනේ කියන්නෙ..”

“මන් දන්නෑ මෙව්නා…මට ඔය කිසි කෙනෙක් ගැන විස්වාසයක් නෑ. පොඩි කාලෙ ඉඳලම ඒගොල්ලො වැඩ කරල තියෙන්නෙ අපේ විශ්වාසෙ කැඩිල බිඳිල යන විදිහටනෙ”

“සර් මට සැලකුවෙ දුවෙක්ට වගේ”

“එහෙනං අපේ අර පිස්සු හෝන්තු දෙකේ අහංකාරකං නිසාද ඔයා ගෙදරිං යන්න හිතුවෙ…”

මම සුසුමකින් මිදුණෙමි. සිතිජ කියන්නේ මේ නගරයේ ම ප්‍රාණියෙක් වූවාට ඔහු මොන තරම් අවිහිංසක ද? රෝස්මරී ගේ දියණියන් දෙදෙනා හැමදාමත් මදෙස බැලුවේ ඔවුන් ගේ ලෝක වලට අයිති නැති වෙනත් සත්ව කාණ්ඩයකට අයත් සතෙකු දෙස බලනාකාරයෙනි. නමුත් මා ඒ ගැන දුක් වන්නට හෝ කේන්ති ගන්නට සිතුවේ හෝ නැත. බලයෙන් ඔවුන් ගේ සමාගමය පතන්නට තරම් මට ඔවුන් විශේෂිත වූයේත් නැත. ඒ නිසා මම පාඩුවේ සිටියෙමි. ඔවුන් ගෙන් මට අහිතකර බලපෑමක් ද ඇති නොවිණි. නමුත් සිතිජ හිතන්නට ඇත්තේ ඔවුන් නිසා මගේ හිතේ රිදුමක් ඇති ව තිබෙන බවකි.

“මට තේරෙනව ඔයාට එගොල්ලො එක්ක මූව් වෙන්න බෑ කියල. ඒත් ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. ඔයා ඉන්න”

“මට ඉන්න බැරි වෙයි අයියෙ”

ඔහු ක්ෂණික ව මදෙස බැලුවේ ය. ඒ බැල්මේ දහසක් ප්‍රශ්න ලියැවී තිබිණි. 

“ඇයි…”

අකුරු දෙකේ ඒ කෙටි ප්‍රශ්නය ඔහු ගේ මුවෙන් පිට වූයේ ඉනික්බිති ය.

“ඇයි කියල ඔයා අහන්නෙ නැත්තං මං කැමතියි”

“මෙව්නා මේ. මගෙ යකා අවුස්ස ගන්න එපා හොඳේ. මටත් ලිමිට් එකක් කියල දෙයක් තියෙනව”

මා බලාපොරොත්තු නොවූ ලෙස සිතිජ උදහස් වූයේ ය. මා අල්ලා ගෙන උන් ඔහු ගේ අත මටත් නො දැනී ම ඔහු මුදවා හැර ද තිබිණි. නිතර කේන්ති ගන්නා අය සේ නොව බොහෝ නිවුණු පුද්ගලයන් ට කේන්ති ගිය විට ගිනි කන්දක් පිපිරුණා සේ දරුණු ය. ඔහු ඒ තත්වයට තල්ලු කර දමන්නට මට ඕනා වූයේ නැත.

“හරි මං කියන්නං. මට ඔයාලගෙ අම්මගෙ සැලුන් එකෙන් අයින් වෙන්න වෙලා තියෙනව අයියෙ”

ඔහු ගේ කැළඹුම මඳක් තුනී වන බවක් පෙනිණ. 

“ඒකත් එහෙමද..”

ඔහු නැවතත් මගේ අතකින් අල්ලා ගත්තේ ය. අපි කලබලකාරී නගරය මැදින්, අතිනත් පටලා හෙමිහිට ඇවිද යමින් සිටියෙමු.

“ඇයි…අම්ම එක්ක මොකද්ද අවුල…සැලරි මදි එකද…මරෝල වැඩ ගන්නවද…”

දුහුවිලි සුළඟක් හමා ගියේ ය. මව මඳහසක් නගා ගතිමි. අප හිතනා තරම් මේ ලෝකය සුපසන් නො වීම මොන තරම් අවාසනාවක් ද? 

අපි අවන් හලකට ගොඩ වීමු. මේ වගේ කතාවක් කියන්නට එහෙම තැනක නතර වෙන එක හොඳයි කියා මටත් සිතුණේ ය.

“කොයි විදිහකිං හරි ජීවිතේ ස්ථාවර කර ගන්න මිනිස්සු ඕන තරං කටු කනව අයියෙ. ගමේදිටත් වඩා කොළඹට ආවට පස්සෙ මං ඒක තේරුං ගත්තා. කීයක් හරි හොයා ගන්න මිනිස්සු විඳින දුක…ඒක ඔයාල වගේ සැපට හැදෙන ළමයින්ට හිතා ගන්නවත් බෑ. මටත් ඕන වුණේ මේ නගරෙට මුල් ඇද ගන්න පුළුවන් මොකක් හරි රස්සාවක ස්ථාවර වෙන්න. රෝස් මැඩම් ගෙ සැලුන් එකේ කොච්චර වුණත් නැහෙන්න ලෑස්ති පිටයි මං හිටියෙ”

“එහෙනං මොකද වුණේ…”

දැන් ඔහු ට අර කේන්තිය නැත. බිය ද නැත. ගෑනු ළමයෙකු ට අවැඩක් විය හැක්කේ පිරිමියෙකු ගෙන් පමණක් ය කියා ඔහු ත් සිතනවා විය යුතු ය. නමුත් එය එසේ නො වන බව දැන් මම දනිමි. 

“අයියෙ…මැඩම් මාව එයාගෙ වෙන තැනකට එක්කං ගියා. අද…”

“අම්මට තව තැනක සැලූන් එකක් තියනවද…”

“ඒක…ඒක….ස්පා එකක්. තව ඩිංගෙං මං පිරිමියෙක්ට සල්ලි වලට විකිණෙනව අයියෙ”

සිතිජ ගල් ගැසුණේ ය. ඔහු ට ඇස් පිය සලන්නට තබා හුස්ම ගන්නට වුව අමතක වූවා කියා මම සිතමි. මම ඔහු ගේ අතක පිටි අත්ල මත මගේ අතක් තබා කතා කළෙමි.

“අයියෙ…ඔයා කලබල වෙන්නෑ කියපු නිසයි මං මේක කිව්වෙ. ඒ ඔයාගෙ අම්ම. මට ඔයාගෙ හිතේ ඔයාගෙ අම්ම ගැන වෛරයක් ඇති කරවන්න ඕන නෑ”

සිතිජ සිය අතක නළල ගසා ගත්තේ ය. ඔහු ගේ ඇස් වලින් කඳුළක් ගිලිහී මේසය මතට වැටෙන්නට තත්පරයක් හෝ ගත වූවා යයි සිතිය නො හැකි ය. 

“අයි…යෙ..”

“මට සමා වෙන්න මෙව්නා”

“අනේ ඉතිං…ඔයා මොනා කරන්නද…”

“ඔයාට කරදරයක් වුණා නං…ඒක වුණේ අපේ අම්ම නිසා කියල කොහොමද මං හිතන්නෙ….මට තාම විශ්වාස කර ගන්න බෑ මෙව්නා. එහෙම දෙයක් වුණානං…මං කොහොමද දරා ගන්නෙ…එහෙනං අම්මට නෙවෙයි මං මටවත් සමාව දෙන එකක් නෑ”

පොඩි දරුවෙකු සේ ඔහු ඉකි බිඳ බිඳ හැඬුවේ ය. මෙතෙක් මා නො හෙළා දරා උන් මගේ කඳුළු ! ඒවා ගලා ගියේ ඔහු ගේ ඇස් වලිනි.

“ඔයාට මුකුත් වුන්නෑ නේද…ආ…මුකුත් ම වුන්නෑ නේද…”

“නෑ අයියෙ නෑ. පෙර පිනක් තිබිලද කොහෙද මං බේරිල ආව. එදා පිටකොටුවෙදි ඔයා අරං දීපු පිහිය මගෙ බෑග් එකේ තිබුණ නිසා…ඔයාට තේරෙනවද…තවත් මට ඒ ගෙදර ඉන්න බෑ”

සිතිජ ඉක්මනින් සිය කඳුළු පිස දා සන්සුන් වූයේ ය. ඉනික්බිති ඔහු වෙතින් දැකිය හැකි වූයේ වෙනදා මා දැක නැති විදිහේ පරිනත මිනිසෙකි.

“තව එක විනාඩියක්වත් මං ඔයාව ඒ නරකාදියෙ තියන්නෑ”

අපි අවන්හලෙන් නික්ම යළි මාවත් දිග ඇවිදින්නට පටන් ගතිමු. ඔහු තද කොට මගේ අත අල්ලා ගෙන සිටියේ තව මොහොතකින් සිදු වන්නට නියමිත විපතකින් මා ගලවා ගන්නට මෙනි. හිරු අවරට යමින් තිබුණේ ය. අප ට තව වැඩි වෙලා නැති බව මම දැන සිටියෙමි.

“අම්ම කොහොමද එහෙම කරන්නෙ කියල මට තාමත් හිතා ගන්න බෑ මෙව්නා”

“මට ඒක තේරෙනව. ඒකයි මේව මං ඔයාට නො කියා ඉන්නත් හිතුවෙ”

“පව් ඔයා…මගෙ අසරණී…එයාටත් දුවල දෙන්නෙක් ඉන්නව කියල හිතන්න තිබුණා එයාට”

“ඔයා අවුල් වෙන්න එපා. මං අද රෑට කොහෙද ඉන්නෙ…”

මොනවා කතා කළත් මෙතෙක් මසිත් හි කැකෑරෙමින් තිබූ ප්‍රශ්නය එයයි.

“තැනක් හොයා ගන්න බැරි වුණොත් පාරෙ ඉමු මෙව්නා. මං ඔයත් එක්ක පාරෙ හරි ඉන්නව”

“අයි..යෙ…”

ඉතා කටුක දෝමනස්සයෙන් අතරෙන් පවා ජීවිතයේ අමා මී රස දැනෙන අවස්ථා එළඹෙන්නේ ය. දෙනෝදහක් යන එන ඒ නාගරික වීදියේ ඇවිද යන ගමන් ම මම මගේ හිස ඔහු ගේ ළයෙහි යන්තම් තැවරෙන්නට හැරියෙමි. ඒ මහ මග නො වුණා නම් මට ඔහු වැළඳ හඬන්නට සිත් වනු ඇත.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
2
0
Would love your thoughts, please comment.x
()
x