අහංකාර නගරේ -23

අඳුර කුර ගගා ආවේ ය. තැන තැන යන්තමින් නියොන් එළි දැල්වෙමින් තිබිණි. තව ටික වෙලාවකින් ලෝකය කළුවර පොරෝනාව වසා ගුලි වනු ඇත. නමුත් නගරය නො නිදන බව සිතිජ කීවේ ය. 

“මට යාළුවෙක්ට කතා කරන්න බැරි කමක් නෑ මෙව්නා. ඒත් කොල්ලෙක්ගෙ ගෙදරක ගෑනු ළමයෙක් නවත්තන්න ඕන නෑ කියල මගෙ හිත දැන් මට කියනව”

“එපා අයියෙ. එතකොට ඔයාට ඒ යාළුවට අම්මා ගැන කියන්නත් වෙයි. අපි ඒක නොකර ඉමු. එහෙම නෙවෙයි. සල්ලි ගෙවල නතර වෙන්න පුළුවන් බෝඩිමක් හොයා ගන්නයි මට ඕන. මේ මාසෙ කුළිය ගෙවන්න කොහොමත් මගෙ ළඟ සල්ලි තියනව. මොකක් හරි රස්සාවක් කරල ලබන මාසෙ ගෙවන්න පුළුවන්නෙ”

“මෙහෙ රස්සාවල් ඔයාට අගුණයිද කොහෙද”

ඔහු මළානික මඳහසකින් කීවේ ය. 

“අයියෙ…මං ගැන බය වෙන්නෙපා”

“නෑ. ඒත් අනිත් මිනිස්සු ගැන බයයි. උං එකෙක්වත් දැං මට විශ්වාස කරන්න බෑ මෙව්නා”

මට නො පෙන්වන බියක් සිතිජ ගේ ඇතුළාන්තයේ වන බව වටහා ගන්නට මට නො හැකි වූයේ නැත. අද රෑ වන්නට පෙර නවාතැනක් සොයා ගත නො හැකි වුව හොත් කියන දෙගිඩියාව ඔහු තුළ වූයේ ය. මා ඒ බව තේරුම් ගත්තේ, එවැන්නක් නොමැති බව හඟවන්නට ඔහු දැරූ උත්සාහය නිසා ම ය.

“ඇත්තටම තැනක් හොයා ගන්න බැරි වුණොත් අපි බස් එකක නැගල පිටකොටුවට යමු”

“ගිහිං…මහියංගනේ බස් එකේ නගින්නද…”

“නෑ. රෑ ගත කර ගන්න. එදා ඔයාව දාල එනකොට මං දැක්කනෙ. රෑ වෙලත් මිනිස්සු ඕන තරං ඉන්නව. මං හිතන්නෙ ඒ ගොඩක් අය රෑට එතන ඉඳල පාන්දර බස් වල යන අය”

“අපි පොඩ්ඩක් හොයල බලමුද…මේ හරියෙ බෝඩින් තියෙන තැන් ගැන…”

සුරනි ගෙන් ඇමතුමක් ආවේ ඒ අරමුණෙන් අප මඳ දුරක් ඇවිද යත්දී ය.

“මං ළමයි කීප දෙනෙක්ට කතා කරල බැලුව. උං බෝඩ් වෙලා ඉන්න තැං ගැන. කාමරයක් තියනව මෙව්නා. අපි දෙන්නම ඒකට යමු. ශෙයා කරල බෝඩින් ෆී එක ගෙවල පුළුවන් වෙලාවට හරි උයාගෙන කමු. එතකොට දැන් තරං වියදමක් කෑමට යන එකක් නෑ”

මේ වෙලාවේ ඊටත් වඩා හොඳ ආරංචියක් තව කොයින්ද? නමුත් මා නිසාවෙන් ඇය ට නොමිලයේ ලැබුණ පහසුකම් සහිත නවාතැන අහිමි වී යාම ගැන මට දැනුණේ අවංක වේදනාවකි.

“පිස්සුද බං…ඔය ජරා ගෑනිගෙ වහල යට මෙච්චර දවස් හිටපු එක ගැනත් ලැජ්ජයි”

මගේ බඩු ටිකත් ගෙනෙන්නයි මම සුරනි ට කීවෙමි. ත්‍රීරෝද රියක් ගෙන්වා ගෙන ඊට බඩු ටික පටවා ගෙන එන බව ඇය කීවා ය. විදුහල්පති තුමා ට දුරකතන ඇමතුමක් දී ස්තූතිය ප්‍රකාශ කරන්න ට මම සිතා ගතිමි.

“මගෙ හිතට හරි මදි මෙහෙම යන්න වුණ එක ගැන. මොනා වුණත් ඔයාගෙ තාත්තා අපේ ප්‍රින්සිපල් සර් ගෙ වචනෙට මට ඒ ගෙදර නවතින්න දුන්නනෙ”

“මට මෙහෙම හිතෙනව මෙව්නා. තාත්තා කලින් ඉඳල දැනං ඉන්න ඇති අම්මගෙ මේ වැඩ ගැන. සමහර විට…ඒ දෙන්නගෙ ඈත් වීමට හේතුවත් අම්මගෙ මේ වැඩද දන්නෑ”

සිතිජ ඔහු ගේ හිතට එක එක වෙලාවට නැගෙන එක එක විදිහේ සිතිවිලි මා හා කියවූයේ ය. පෙන්වා ගෙන ඉන්නා ආඩම්බරකාර තරුණයා ඇතුළේ ජීවත් වෙන අහිංසකයා ගේ හිතේ වන ගින්දර ගැන මම අනුමාන වශයෙන් සිතා ගතිමි.

අලුත් නවාතැන පිහිටියේ දෙල්කඳ ය. පරණ කැස්බෑව පාරේ ටික දුරක් ගිය තැන වලව්වත්ත පාරේ පිහිටි පැරණි ගෙදරක ඉස්තෝප්පුවට විවෘත වන පිටත කාමරය අපට ලැබිණ. මීට පෙරත් එය රැකියාවකට යන තරුණියකට නවාතැන වී තිබේ. විවාහ වී ඇය නික්ම ගිය පසු මාස කිහිපයක් ම කාමරය වසා දමා තිබුණ බව ගෙහිමි කාන්තාව කීවා ය.

“හැබැයි මෙහෙට පිරිමි ළමයි ගෙන්න ගන්නනං බෑ”

ඇද පැද ඇය ඒ දැනුම් දීම කළේ සිතිජ දෙස බලා ගෙන ය.

“අනේ නෑ ඇන්ටි. අද එයා ආවෙ තැන බලා ගන්න ඕන නිසා”

සුරනි මා වෙනුවෙන් කීවා ය. සිතිජ නෑසුණා සේ ඉවත බලා ගන්නවා දුටු මට සිනා නැගෙන්නට ආවේ ය.

“කැම්පස් ළමයි කියපු නිසයි ඔය දෙන්නට දෙන්න කැමති වුණේ. නැත්තං ඔය ගාමන්ට් වල එහෙම වැඩට යන ළමයි ඕන තරං ඇහුව. වහල දාල තිබුණත් දෙන්නෑ කියලයි මං හිතං හිටියෙ. කලින් හිටිය ගර්ල් කම්පනි එකක හොඳ පෝස්ට් එකක් කරපු කෙනෙක්. වෙලාවට බෝඩින් ෆීස් ගෙව්වා. අපි මාසෙ මුල තමයි සල්ලි ගන්නෙ. මොකද නැත්තං මාසයක් ඉඳල පැදුරටත් නොකියා මාරු වෙලා යන බෝඩිං කාරයො තමයි වැඩිපුර ඉන්නෙ. අපි හොඳට පනිෂ් වෙලා ඉන්නෙ ඕවට”

ගෙහිමිකාරිය කියවා ගෙන ගියා ය. ඇගේ කියවිල්ල තරමක කන්දොස්කිරියාවක් සේ දැනුණත්, මේ වෙලාවේ හැටියට ඒ කාමරය ලැබුණ එක මහ මෙරකටත් වැඩි ය. නික්ම යන්නට පෙර සිතිජ සිය මුදල් පසුම්බිය ඇද මා අත මුදලක් තබන්නට උත්සාහ කළේ ය. නමුත් මම කිසි සේත් ඊට එකඟ නො වුණෙමි.

“එපා අයියෙ. මගෙ ළඟ සල්ලි තියෙනව. ඔයාගෙං සල්ලි ගන්න බෑ මට. ඕනම වුණොත් මං ඉල්ලන්නං”

“තියන ආඩම්බර කමනෙ”

ඔහු හිත නොහොඳ කර ගත්තේ ය.

“ආඩම්බර කමක් නෙවෙයි. ඒත් මට ඒක කරන්න බෑ. අනිත් එක තාම ඔයා යැපෙන්නෙත් දෙමව්පියන් ගෙන්. අපි මෙහෙම යමු. ටිකක් අමාරුවෙන් හරි. ඉස්සරහට අපිට අපි ගැන බලන්න පුළුවන් වෙයි”

ඒ බෝඩිමේ දී ඔහු ට මගේ ඇඟිල්ලකුදු ස්පර්ශ කළ නො හැකි වූයේ ය. නමුත් සිතිජ ගේ ඇස් වල වූයේ මගේ හිස පිරිමැද නළලත හාදුවක් තවරා මගෙන් සමු ගන්නා බැල්මකි. පිරිමියෙකු වෙනුවෙන් ගැහැනු හදක එහෙව් ආදරයක් දරා ගත හැකි යයි මමත් අලුතෙන් ම උගනිමින් සිටියෙමි.

“හම්මේ…ඔයින් ගියා මදැයි”

අලුත් ඇඳ ඇතිරිලි දමා කුඩා යහන් දෙක සැකසූ ගමන් සුරනි ඒ එකක පෙරළී කීවා ය. මම අනිත් බිත්තියට තබා තිබූ මගේ යහනෙහි හිඳ ගතිමි.

“ප්‍රින්සිපල් සර් මොනා හිතයිද කියල හිතනකොට මට මාර අවුල් සුරනි”

මගේ හිතට වද දෙමින් තිබූ ඇත්ත කතාව එයයි.

“මං කියල ආවෙ රූම් එකක් හම්බ වුණා කියල. කොහොමටත් මං ජයශාන්ත මාමට කියල තිබුණෙ තැනක් හම්බ වෙච්ච ගමං යනව කියල. එහෙ ඉඳල කැම්පස් එකට දුර නිසා”

“මාත් කතා කරල කියන්නං”

මම ඒ ගෙදර ස්ථාවර දුරකතනය අංකනය කළෙමි. මා ළඟ හෝ සුරනි ළඟ විදුහල්පති තුමා ගේ පුද්ගලික දුරකතන අංකයක් තිබුණේ නැත.

“හෙලෝ”

රිසීවරය ගත්තේ රෝස්මරී බව මට කටහඬින් ම හැඳින ගත හැකි විය. සම්බන්ධතාව බිඳ දමනවා ද කියා සිතාත් මම හිත හයිය කර ගෙන කතා කළෙමි.

“මට ප්‍රින්සිපල් සර් ට කතා කරන්න ඕනෙ”

“මෙව්නා. ඔයත් අර සුරනි කෙල්ල එක්ක නවතින්න ගියා ද…විකාර නොකර මෙහෙ එන්න ළමයො…කොළඹ කාල බීල බෝඩින් ප්ලේසස් වලටත් ගෙවාගෙන ඉන්න බෑ ඔය පොඩි පඩියක් අරං”

ඇය මා කෙරේ පතල මහා කරුණාවෙන් යුතුව දෙඩුවා ය.

“මට ප්‍රින්සිපල් සර් ටයි කතා කරන්න ඕනෙ”

“මෝඩ වෙන්න එපා. තමුං ලොකු දෙයක් කළා කියලවත් දිනුවා කියලවත් හිතන්න එපා. මං කියන විදිහට වැඩ කළොත් විතරයි ඔය ළමයට ගැලවීමක් තියෙන්නෙ”

ඒ එක්තරා විදිහක තර්ජනය කි. යටි හිතෙහි ගැස්මක් ඇති වූවත් මම ඒ බවක් නො පෙන්වා තදින් කතා කළෙමි.

“සර්ට දෙන්න නැත්තං මං සර්ගෙ මොබයිල් එකට ගන්නව”

සිතිජ ගෙන් ඒ අංකය ඉල්ලා ගත හැකි බව මම දැන සිටියෙමි. ඇය “නන්දාවතී” කියා කෑ ගසනුත්, “සර්ට කෝල් එකක් කියන්න” කියනුත් ඇසිණි. ටික වෙලාවකට පස්සේ විදුහල්පති තුමා දුරකතන වෙත පැමිණියේ ය.

“සර්. මං සර්ට කියන්නෙ නැතුව හදිස්සියෙම එහෙං ආව. ඒකට සාධාරණ හේතුවක් තියෙනව සර්”

“මොකද්ද ළමය වුණේ…”

“නෑ සර්. ඒක කියන්න ඕන නෑ දැං. සර්ට ගොඩක් පිං මට කරපු උපකාරෙට. ඒ උදව්ව කවදාවත් මට අමතක වෙන්නෙත් නෑ”

“ළමයො. මොකද්ද ප්‍රශ්නෙ…”

“මං හෙමිහිට කියන්නං සර්. දැන් තියන්නං. මං පරිස්සමට ඉන්නව. සර් ඒ ගැන වද වෙන්න එපා. තියන්නං”

එපමණකින් මම  දුරකතන සම්බන්ධය බිඳ දැමුවෙමි. හිතට දැනුණේ සැහැල්ලුවකි. අප දෙදෙනා යළි දෙල්කඳ හන්දියට ගොස් කුඩා කෑම ලොරියකින් තෝසේ හා වඩේ ගෙනැවිත් රෑ වේල පිරිමසා ගතිමු. කුඩා ගෑස් සිලින්ඩරයක් හා තනි ගෑස් උඳුනක් මිල දී ගත යුතු බව සුරනි කීවා ය. අප තව බොහෝ කාලයක් කොළඹ බෝඩින් ජීවිතය තුළ පැවතිය යුතු නිසා, ඒ සඳහා වියදම් කරන මුදල අපතේ නො යන බවත් ඇය කීවා ය.

“ඔයානං ඉක්මනට සිතිජව බැඳල යයිද කියන්න බෑ. ඒත් මං කැම්පස් ඉවර වුණත් ජොබ් එකකට සෙට් වෙලා හරි මෙහෙ ඉන්න ඕනනෙ”

“මේ ඇන්ටිගෙ චර චරේ එක්ක පාඩං කරන්නනං පුළුවන් වෙයිද කියන්න බෑ”

“පාඩං කරල මහන්සි වෙලාවටනං ඇන්ටි හොඳයි. රිලැක්ස් වෙන්න”

අපි දෙන්නා ම හඬ නගා සිනහ වුණෙමු.

බෝඩිමේ ඇන්ටි ගේ සැමියා විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකි. ඇගේ දියණිය විවාහ වී සැමියා සමග බටහිර රටක පදිංචි වී සිටින්නී ය. ඔවුන් ගේ පුතා විශේෂ අවශ්‍යතා සහිත ව උපන්නෙකි. ඔහු ට දැන් වයස විසි අටක් කියා ඇය කීවා ය. නමුත් දහ හතරක පෙනුමක් හෝ ඔහු ගෙන් දැකිය හැකි වූයේ නැත.

“අපිට වෙන කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වුණත් ඉතිං සැනසීමෙං මැරෙන්න බැරි මේ දරුව නිසයි ළමයිනේ. අපි දෙන්නා නැකි කාලෙක මේ බැරි ළමයට කාගෙ පිහිටක්ද කියල හිතෙනකොට…කොහොම මැරෙන්නද…”

ඇගේ වේදනාව හේතු සහිත එකකි. ඒ වගේ ළමයින් බලා ගන්නා ආයතන ගැන අපි සිහිපත් කළෙමු.

“අපි ඉන්නකං මොන හිතකිං එහෙම තැනක නතර කරන්නද…අපි නැති කාලෙක ඉතිං දුව මැදිහත් වෙලා හරි එහෙම දෙයක් කරපුදෙං. අපි මෙයා වෙනුවෙන් මුදලක් වෙන් කරල තියෙනව. ඒක වියදං කරල හරි හොඳ විදිහට යමක් කරයිනෙ…”

ප්‍රශ්න නැති මිනිසුන් සොයා ගැනීම පහසු වන්නක් නො වන බව මම වටහා ගනිමින් සිටිමි. එක එක මිනිසුන් ට එක එක විදිහේ ප්‍රශ්න තිබේ. ගැටළු තිබේ. වේදනා තිබේ. රහසිගත ජීවිත තිබේ. ගමේ අපට වූ ප්‍රශ්න වලට වඩා නාගරික මිනිසුන් ගේ අර්බුධ වෙනස් ය. වඩා සංකීර්ණ ය. සමහර විට අප ට වඩා ඔවුන් පව් ය. අප ට වඩා ඔවුන් අසරණ ය. 

“අම්මත් එක්ක රණ්ඩු කරන්න එහෙම යන්නෙපා”

රාත්‍රියේ නිදන්නට පෙර මම සිතිජ ට දුරකතන ඇමතුමක් දී කීවෙමි.

“මිනිස්සු රණ්ඩු කරන්නෙ තමන්ට රැඳිල ඉන්න ඕන කියල හිතෙන තැන් වලදි විතරයි මෙව්නා. එතන තවත් ඉන්න ඕන නෑ කියන තැනට ආවට පස්සෙ රණ්ඩු කරන්නවත් හිතෙන්නෙ නෑ. මං හිතන්නෙ තාත්තට වුණෙත් ඒක”

“එච්චරටම කලකිරෙන්න එපා”

මම සුසුමකින් ළය බරින් මිදෙමින් කීවෙමි. ඔහු ගැන වචන වලට පෙරලිය නො හැකි සන්තාපයක් මගේ හද ගැඹුරේ වේ. ඉරණම මේ විදිහට අපේ ජීවිත කතාව ලියන්නට හිතූ එක ඒ තරම් හොඳ නැත. මීට වඩා මඳක් හෝ මොළොක් වන්නට ඊට හිතන්නට තිබුණා නොවේද?

“මට දැං මේ ගෙදර ඉන්න හිතෙන්නෙ නෑ”

“එහෙම හිතන්න එපා. ඕක ඔයා හැමදාම හිටිය ගෙදර”

“ගෙදරක් කියන්නෙ ලෝකෙ අනිත් කිසි තැනක නො දැනෙන සැනසීමක් දැනෙන තැනක්. මේ වහල යට මට එහෙම දැනෙන්නෑ”

“අපි තව ටිකක් ඉවසමු”

“දැම්මම මං ජොබ් වලට ඇප්ලයි කරල බලන්නං. අපි සැනසීමක් තියෙන අපේම කියල තැනක නතර වෙමු මෙව්නා”

“අයි යෙ…එච්චර ලොකු හීනයක් මට බර වැඩි වෙයිද මන්දා”

නමුත් ඒ හීනය මා සුපසන් කරවී ය. අලුත් බලාපොරොත්තුවක් එක්ක අලුත් තැනෙක ජීවතය අරඹනු වස් මම සැනසිල්ලේ නෙතු පියා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content