අහංකාර නගරේ – 24

2
2190

අලුත් නවාතැනෙහි කිසිදු ගැටළුවක් වූයේ නැත. වෙනත් බොහෝ නාගරික නිවාස සේ නොව එහි තරමක් විශාල ගෙවත්තක් ද තිබුණේ ය. එය තණකොළ වවා මැනවින් නඩත්තු කරන නාගරික ගෙඋයනක් නොව ලොකු කොස් පොල් ගස් කිහිපයක් ම උස් ව වැඩුණු, සෙවනැති මිදුලකි. පාසි බැඳී කළු වී ගිය පරණ සිමෙන්ති බංකුවක් කොනක තිබිණි. මාත් සුරනි ත් පාඩම් කරන්නට සේ ම ඕපාදූප කියවමින් සිටින්නට ද ඒ බංකුව වැඩිපුර පාවිච්චි කරන්න ට පුරුදු වුණෙමු.

අප නවාතැනට ගිය පළමු දිනයේ සුරනි විශ්ව විද්‍යාලයට ගිය පසු මට යන්නට තැනක් තිබුණේ නැත. නැවතත් රැකියාවක් සොයා ගත යුතු ය යන හිසරදය වඩාත් තදින් දැනෙන්නට ගත්තේ ඒ වෙලාවේ ය. මේ නගරයේ රැකියා විරහිත ව බෝඩින් ජීවිතයක් ගත කරන්නට සිතීමත් විහිළුවකි. 

“කොහොම හරි ෂේප් වෙමු. ඒ ගැන ඕනවට වඩා හිතන්නැතුව ඉන්නව”

උදේ නික්ම යාමට පෙර සුරනි කීවා ය. ඇය ට මහපොළ ශිෂ්‍යාධාර ලැබුණේ ය. ඊට අමතර ව මාස් පතා ගෙදරින් වියදමට මුදල් ලැබුණේ ය. සුරනි ගේ පියා ට මොණරාගල නගරයේ කඩයක් ඇති බව ඇය කීවා ය. ඒ නිසා ම ඔවුන් ට ඒ තරම් මුදල් අග හිඟ කමක් වූයේ නැත. ඒ වුණත් ඇගේ වියදමින් ජීවත් වෙන්නට මට ඕනෑ වූයේ නැත. හැන්දෑවට සිතිජ එක්ක හෝ ඇවිද රැකියාවක් ගැන විපරම් කළ යුතු යයි සිතා මම උදේ කාලයේ බංකුව වෙත ගොස් පාඩම් කළෙමි.

“ආ…ඔයා කැම්පස් ගියෙ නැද්ද…”

කියා ගෙන බෝඩිමේ ඇන්ටී මවෙත ආවා ය.

“මං හැමදාම යන්නෙ නෑ ඇන්ටි. මං කරන්නෙ එක්ස්ටර්නල්”

ඇය මා කී දේ වටහා ගත් බවක් නො පෙනෙන නො තේරුම් සිනහවක් පෑවා ය. 

“කලින් සැලුන් එකක ජොබ් එකක් කළා. දැන් ඒකට යන්නෙ නෑ. වෙන එකක් හොයා ගන්න ඕනෙ”

මම දිගට ම පැහැදිලි කිරීමේ යෙදුණෙමි.

“පඩි මදි ඕවගෙ නේද…”

“කොහොමහරි උපාධිය කර ගන්න ඕනෙනෙ ඇන්ටි. ඉතිං කට්ට කාගෙන කරනව”

“අපේ ළමයින්ට මොන තරං සැපක්ද තිබුණෙ එහෙම බැලුවොත්. ඒත් ඉහළට ඉගෙන ගත්තෙ නෑනෙ”

ඒ වෙලාවේ එළියට පැන්නේ කාලයක් තිස්සේ ඇගේ හිතේ හැංගී තිබුණ වේදනාවක් කියා සිතමි.

“ඇයි ඉතිං…ඇන්ටිගෙ දුව දැං රට කිව්වනෙ…”

“රට තමයි ළමයො. අපිට ඕන වුණේ කොහොම හරි ඉහළට උගන්නන්න. ඒ ලෙවල් කරන කාලෙත් ෂෝක් බෝක් කරන්න පන්ති ගියා මිසක් කිසිම කැප වීමකින් ඉගෙන ගත්තෙ නෑ. අපිට ඕන වුණේ කොහොම හරි විශ්ව විද්‍යාලෙ යවන්න. මොන…කොල්ලෙක් එක්ක යාළු වෙලා හිටිය. ඒකා ඒ ලෙවල් කරපු ගමං බෝට්ටුවකින් ඉතාලි පැන්නා. කොහොම හරි අවුරුදු කීපයක් එහෙ ඉඳල මොනා මොනා හරි කර ගෙන ඇවිත් අපේ දුවව බැඳල දෙන්නම එහෙ ගියා. පස්සෙ ඉතාලියෙං ප්‍රංශෙට ගියා. දැං ඉතිං දරුවො දෙන්නෙකුත් හදං එහෙට වෙලා ඉන්නව”

විශ්ව විද්‍යාලයට නො ගියත් ඔවුන් ට ජීවිතය වැරදී නැත. අපේ ගම් වල ළමයින් බෝට්ටු වලින් ඉතාලියට යන හීන දකින්නේ නැති ම තරම ය.  බස් එකෙන් කොළඹ එනවා කියන්නේ ත් කෙතරම් අභියෝගයක් දැයි මම අත්දැකීමෙන් දනිමි.

“දරුවො දෙන්නෙක් හැදුව. එක්කෙනෙක් ඉතිං ලෙඩා වෙච්චි. අපි දැං තනි වෙලා වගේ දැනෙනව ළමයො. මොනා තිබුණත් මොකටද කියල වෙලාවකට හිතෙනව”

මට කිරි අම්මා සිහි විය. නො කියා හිටියා ට ඒ තනි කම ඇගේ වියපත් හදවත කීරි ගස්වා ඇතිවා ට සැක නැත. අම්මා කිසි දාක ඇය බලන්නට නො ආ බව මම දනිමි. ඉඳ හිට කාටත් රහසේ කිරි අම්මා ඈ බලන්නට ගිය බව ද මම දනිමි. දරුවන් ට දෙමව්පියන් ගැන වද නොවී ඉන්නට පුළුවන. දෙමාපියන් ව අමතක කොට දමා ඉන්නට වුව පුළුවන. නමුත් අම්මලා ට තාත්තලා ට එසේ කළ නො හැකි ය. ඔවුන් හැම මොහොතක ම දරුවන් ගැන සිතති. දරුවන් ගැන වද වෙති.

කියවන්න :  අහංකාර නගරේ -14

දවල් ට කඩෙන් කෑම එකක් ගෙන කන්නයි සුරනි කියා ගියා ට මම එසේ නො කළෙමි. ගමේ ගිය නිසා අතේ වූ මුදල් වියදම් වී තිබිණි. කිරි අම්මා ටත්, විදුහල්පති තුමාටත් මම තෑගි ගෙන ගියෙමි. අතේ ඉතිරි වී තිබුණේ සුළු මුදලක් වුණත්, මේ මාසේ වැඩ කළ විට යළි වැටුප් ලැබෙන නිසා හිතේ බයක් වූයේ නැත. නමුත් සිදු වූයේ කොහෙත් ම නො සිතූ දෙයකි. දිවා ආහාරයට වියදම් කළ යුතු මුදලත් අතේ ඉතිරි කර ගන්නට හිතා ගෙන මම දවාලේ වතුර වලින් කුස සනසා ගතිමි.

හැන්දෑවේ සිතිජ දෙල්කඳ ට ආවේ ය. අපි එකසිය තිස් අටක නැගී ගොස් නුගේගොඩින් බැස ගතිමු. 

“මාර වැඩේනෙ”

ඔහු ගේ දෙතොලතර සැහැල්ලු මඳහසක් විය.

“ඇයි…”

“අපේ තාත්තා ඔයා ගෙදරිං ගිය එකට මාව සැක කරනවද කොහෙද”

“ඇයි…”

“නෑ…මං කෑම කනකොට ටේබල් එක ළඟට ඇවිත් මගෙන් කෙළින් ම ඇහුව තමුන් දන්නවද අර ගෑනු ළමයි දෙන්නා එක පාරටම ගෙදරින් යන්න හේතුව කියල. හරියට නිකං…මං මොකක්හරි අතවරයක් කරන්න ගිහිං මේගොල්ලො පැනල ගියා වගේ”

“අනේ…”

මම සිනහ වී ඔහු ගේ අත් බාහුවක් පිරිමැද්දෙමි.

“ඔයා කිව්වෙ නෑ නේද මැඩම් ගැන මොනාත්”

සිතිජ හිස සැළුවා පමණකි. ඒ වෙලාවේ අර මඳහස ඔහු වෙතින් පලා ගොස් තිබිණි.

“එහෙම ඉමු. මොනා වුණත් ඒ ඔයාගෙ අම්ම කියන එක අමතක කරන්න අපිට බෑනෙ. හැබැයි…මැඩම් මට පාඩුවෙ ඉන්න නොදෙයිද කියන බය දැං මගෙ හිතට දැනෙනව”

“ඇයි…”

“ඊයෙ මැඩම් කියපු කතාවක් නිසා. එයාලට ඕන දෙයක් කරන්න පුළුවන් කියලත් මං දැං දන්නව අයියෙ. ඔයා මං ගැන බය වෙන්න එපා”

“අම්ම සෝෂල් සර්විස් කිය කියා ලොකුවට දේවල් කරනවනෙ ලෝකෙට පේන්න. ඒ කරන දේවල් වලට මුවා වෙලා පිටිපස්සෙං කරන්නෙ මේ දේවල්. සමහර විට අර ලෝකෙට පේන්න කරන දේවල් වල බලේ නිසා වෙන්න ඇති නීතියට අහු නොවී ඉන්නෙ”

“හ්ම්”

“අපි ඕන තරං කාල බීල ඉගෙනගෙන ඇති මෙව්නා ඔය සල්ලි වලින්. කාට හරි ගින්දර දීල අසාධාරණ විදිහට හම්බ කරපු ජරා සල්ලි”

මම හුස්මක් හෙළුවෙමි. දැඩි කුස ගින්නක්, කුස කලම්බමින් දැනෙන්නට වූයේ ය. උදරයේ කැළඹිලි හඬ, නගරයේ ඝෝෂාවට යටින් වුව සිතිජ ට ඇහුණා විය යුතු ය.

“කෑවද ඔයා…”

ඔහු මගේ ඇස් වලින් ඇතුළාන්තයට එබී බැලුවේ ය. එහිදී ඔහු මගේ හිස් කුස දකීවියි මම බිය වීමි.

“හ්ම්”

 නො කියා බැරි කමට මම බොරුවක් කීවෙමි. ඒ අතරේ මගේ ඇස් කවුළු ඔහු ගෙන් වසංගා බිමට හරවා ගැනීමේ උත්සාහයක මම නිරත ව සිටියෙමි. සිතිජ මගේ නිකටින් අල්ලා මගේ වත ඔහු දෙසට හරවා ගත්තේ ය.

“බඩගින්නෙ නේද ඉන්නෙ…”

කුසෙහි දැවිල්ලක් ඇති වූයේ එය මෙතෙක් හිස් ව පැවති නිසා නො වන බව මම දනිමි. පෙර දා රාත්‍රියේ කුසට වට තෝසේ දෙකෙන් පස්සේ තවමත් එය සැනහී හිඳින්නේ වතුර වලිනි. නමුත් එය මට දරා ගන්නට බැරි ගින්දරක් නොවේ.

කියවන්න :  අහංකාර නගරේ -17

“බඩගිනි නෑ”

මම කෙඳිරුවෙමි. මගේ අතක් තද කොට අල්ලා ගෙන සිතිජ බොජුන් හලක් වෙත ගියේ ය.

“අනේ මට කන්න බෑ අයියෙ”

“මට කන්න ඕනෙ අනේ”

මුදු මඳහසකින් භෝජන ඇනවුම් කළ ඔහු මා ඉදිරියේ වන අසුනෙහි හිඳ මදෙස බලා උන්නේ ඇස් වඩාත් කුඩා කොට ගෙන ය.

“ඇයි…”

මම ලැජ්ජාශීලී ඇස් බිමට හරවා ගතිමි.

“තව මාසයක් දෙකක් කල් දෙන්නකො මට”

මම වහා හිස නගා බැලුවෙමි.

“ඒ කිව්වෙ…”

“ජොබ් එකක් හොයා ගන්න…ප්‍රයිවට් සෙක්ටර් එකේ තමයි මං කොහොමත් වැඩ කරන්න කැමති. දන්න කියන කම්පනීස් කීපයක් ම තියෙනවා…බලමුකො…ම්…”

“ඊට පස්සෙ…”

“ඊට පස්සෙ ඉතිං මැරි කරමු. චාමෙට. කවුරුත් ඕන්නෑ. රෙජිස්ට්‍රාර් ඔෆිස් එක ළඟින් ඒ වෙලාවට යන කාට හරි අප්පුඩි ගහල කතා කරගෙන හරි සයින් එක දා ගමු”

“පිස්සු අනේ ඔයාට…”

“ඇනෙක්ස් එකක් හරි අප්ස්ටෙයා එකක උඩ තට්ටුවක් හරි රෙන්ට් එකට අරං පටං ගමු. පස්සෙ ගෙයක් හදමු. අමතක කරන්න එපා මං ඉංජිනියර් කෙනෙක් හරිද…”

“ඉංජිනේරු මහත්තය ට තව ටික දවසකදි හිතෙයි මහියංගනෙං ආපු වැදි කෙල්ලෙක් එක්ක මං කොච්චර දුරක් යන්නද කියල”

“සෑහෙන දුරක් යන්න ඕන තමයි මෙව්නා. දරුවො හදන්න…ගෙවල් හදන්න…වාහන ගන්න…ඊළඟට ළමයි ඉස්කෝල වලට දාන්න…පුතෙක්වනං මගෙ ඉස්කෝලෙට දාන්න පුළුවන්”

“කෙල්ලෙක් වුණොත් මහියංගනේ යවන්න තමයි වෙන්නෙ”

මම සිනහ වුණෙමි. නමුත් ඒ සිනහව යට වූයේ ඉකිබිඳුමකින් ඉහිරුණ කඳුළකි. අප ඉදිරියේ වන නග්න සත්‍යය එයයි. අප අතර වන අහසට පොළොව වන් පරතරය එයයි.

“ඔයාට තේරෙනව නේද…ඔයාගෙ දුව විශාකා යවන්න බෑ මං වගේ කෙල්ලෙක් බැඳල. අපි නො හිතා හිටියට…අපි ගණං ගන්නෑ වගේ හිටියට ඒක තමයි ඇත්ත. ඒක තමයි දවසක අපිව රිද්දන තිත්ත ඇත්ත…”

“අපි එයාලව ඉන්ටනැෂනල් ස්කූල් එකකට යවමු”

ඔහු නො සැලෙන දීප්තියකින් යුත් දෑසකින් බලා කීවේ ය. නමුත් මගේ හිතේ සීරුම් තුවාලයක් විණි. අපේ තුවාල පිරිමැද ගන්නට හැකි තාක් මේ සම්බන්ධය බෝ සුවදායී වන බව ඇත්ත ය. නමුත් හැමදාමත් එය එසේ දැනේවි යයි සිතිය හැකි ද? විවාහයෙන් පසු සිටින්නේ පෙම් කරන කාලයේ උන් පෙම්වතුන් නොවේ ය කියන කතාව දිනෙක බොරු කරන්නට අප ට හැකි වේවි ද? 

සුරනිටත් එක්ක ම රෑ කෑම ද මිල දී ගෙන දුන් සිතිජ, ගෑස් උඳුනක් හා සිලින්ඩරයක් ද මිල දී ගත්තේ ය. ඒ ගැන වදනකුදු දොඩන්නට හෝ ඔහු මට ඉඩ නො දුන්නේ ය.

“ඔයා ගැන මං නැතුව බලන්න වෙන කෙනෙක් නෑනෙ. ඇයි ඉන්නවද…”

මේ වෙලාවේ ඔහු හැසිරුණේ වඩාත් හිතුවක්කාර ලෙස ය. 

“ගැලපෙන ජොබ් එකක් හම්බ වෙනකල් තැන් තැන් වලට යන්න එපා. කලිං වගේ නෙවෙයි දැං මං ඉන්නව. බලමු මොකද වෙන්නෙ කියල”

නුගේගොඩ සිට දෙල්කඳ ට එන තෙක් ත්‍රීරෝද රියෙහි දී මම එක වචනයක් හෝ කතා නො කළෙමි. ඔහු ගේ අතක් මගේ දෑතින් ම තද කොට අල්ලා ගෙන සිටියෙමි. හෙට උදා වෙන්නට නියමිත කොයි වගේ දවසක් ද කියා සිතිය නො හැකි ය. ඒ නිසා ගෙවී යමින් පැවති මොහොත ගැන මගේ ගැහැනු ආත්මය දැඩි ව ලොබ බැඳ ගෙන සිටියේ ය.

5 2 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
15 days ago

👍

දිල්හාරා ❤️
15 days ago

❤️❤️❤️❤️