Chat With Star – දිනේශ් තරංග සහ රැන්ඩෙලා ප්‍රනාන්දු

Chat with star තමයි අපේ අලුත්ම කතා බහ.අද අපිත් එක්ක එකතු වෙන්නෙ ඔබ බොහෝදෙනා ආදරය කරන ජනප්‍රිය තරුවක්.දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟය ඔස්සේ කලා ක්ශේත්‍රයට පිවිසිලා මේ වනතුරුත් තමන්ගේ ජනප්‍රියත්වය එලෙසින්ම පවත්වාගෙන යන්නට වාසනාවන්තයෙක් උන ඔහු දිනේශ් තරංග.අද අපේ අපේ කතා බහට ඔහු වගේම ඔහු ආදරණිය බිරිඳ රැන්ඩෙලා ප්‍රනාන්දුත් එකතු වෙනවා

දිනේශ් කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ?

දිනේශ් -මේ දවස් වල ගීත නිර්මාණ වැඩ කටයුතු කරගෙන යනවා.කොරෝනා තත්වය නිසා හැම ක්ශේත්‍රයකම වගේ ලොකු කඩාවැටීමක් තිබ්බේ.එ නිසා දැන් අලුත් නිර්මාණ කරගෙන යනවා.ඒ වගේම ජීවිතේ සතුටින් ගත කරනවා බිරිඳත් එක්ක සහ දරුවොත් එක්ක.

රැන්ඩෙලා ඔබට කොහොමද මේ දවස් වල ?

හොඳින් ඉන්නවා.දැන් නම් job එක කරන්නෑ.ඉතින් ගෙදර ,මගේ බොහොම පොඩි circle එක ඇතුලේ බොහොම සතුටින් දවස ගතකරගෙන යනවා

දිනේශ් , ගොඩක් රියලටි තරඟ වලින් ක්ශේත්‍රයට පිවිසෙන අය ටික කාලයකින් පස්සේ ක්ශේත්‍රයේ දකින්න නැතිවෙනවා.නමුත් ඔබ අදටත් ඔබේ නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගෙන ක්ශේත්‍රයේ රැඳී ඉන්නවා.ඒ ගැන ඔබ මොකද හිතන්නේ ?

ඒක හොඳ ප්‍රශ්නයක්.මම රියැලිටි තරුවක් විදියට එලියට ආපු කෙනෙක් හැටියට ඔය ප්‍රශ්නෙට උත්තරේ මම දෙනවා නම් ,අපිට කෙනෙක් තැනක් හදලා දෙනවා යම් කිසි විදියකට.නමුත් ඒ කෙනාට අපිව උස්සගෙන දුවන්න බෑ හැමතැනම.හැබැයි අපි දැනගන්න ඕන අපි එතනින් පස්සේ අපේ ගමන යන්න ඕන කියන එක.සාමාන්‍යයෙන් අපි කියන්නේ ,විභාගයක් කරන්න ගියාම දෙවියන්ට කියලා හරි යන්නේ නෑ මාව පාස් කරලා දෙන්න කියලා.ඒ වගේ තමා මේකත්.අපිව ගෙනාපු තැනට මට කියන්න බෑ අපිව උස්සන් දුවන්න කියලා.අපි දැනගන්න ඕන ක්ශේත්‍රය තුල රැදෙන්න , මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනාගන්න .ක්ශේත්‍රය තුළ ගමනක් යන්න නම් අපි ඒ විදියට වැඩ කරන්න ඕන.ඉතින් මම හිතනවා මම රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකින් එලියට ආපු කලාකරුවෙක් හැටියට මේ රසික ආදරය හැමදාම තියාගෙන ඉන්න හම්බ වෙන චාන්ස් එක තමා ,මම මගේ නිර්මාණ කරන කිසිම වෙලාවක නැවැත්තුවෙ නැති එක.මම හැමදාම නිර්මාණ කරනවා.මම හැමතිස්සෙම බලන්නේ හොඳ product එකක් එලියට දෙන්න.මට ආදරය කරන අය දෙන comments අනුව මම හොඳම දේ දෙන්න උත්සහ කරනවා. මේ එන යන ගමනේ අපි දැනගන්න ඕන ක්ශේත්‍රයේ රැඳිලා ඉන්න සහ ලස්සන නිර්මාණ කරන්න.ඒ වගේම මුල අමතක කරොත් අපිට ගමනක් නෑ.මොකද අපිට හොඳ ශක්තිමත් තැනක් තියෙන්න ඕන ගමනක් යන්න.අපිට ඒ Start එක හරියට හම්බුනෙ නැත්තම් අපිට යන පාරේ යන්න බෑ.

අපි ඔබ දෙදෙනාව සමාජ මාධ්‍ය වල පවා නිතරම එකට දකිනවා.ඒ වගේම බොහෝ දෙනා කතා වන යුවළක් ඔබ දෙදෙනා.කොහොමද ඔබ දෙදෙනාගේ හමුවීම උනේ ?

දිනේශ් – අපි මුලින්ම මුණගැහුනේ church එකේදී.මම මියුසික් කරන්න කලින් ඉඳලා.ඒ කියන්නෙ මම පොඩි කාලේ ඉඳලා.මම Church choir එකේ sing කලා.රැන්ඩෙලාත් එකේ sing කලා.අපිට එකට sing කලා උනාට අපි හිටියේ දෙපැත්තක.ඒකේ කණ්ඩායම් කණ්ඩායම් බෙදෙනවානේ.ඒත් නොහිතපු විදියට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා

රැන්ඩෙලා – ඇත්ත කතාව එහෙම උනත් මිනිස්සු හරි වෙනස් විදියට දකින්නේ.නමුත් ඕක තමයි ඇත්ත කතාව.අපි කාලයක් තිස්සෙ දන්න දෙන්නෙක්.අපි එක ගමේ.ඉතින් කාලයත් එක්ක යම් අවස්ථාවක සිද්ධ වුන දෙයක්.එහෙම නැතුව පෙර සූදානමක් ඇතුව plan කරලා සිද්ධවුන දෙයක් නෙමෙයි.දැකපු පලවෙනි දවසේ ඉඳන් ආදරේ කරන්න ගත්ත දෙයක් නෙමෙයි.ඒත් අවුරුදු 11 ක් තිස්සේ තාමත් එකට ඉන්නවා අපි

ගොඩක් වෙලාවට ප්‍රේම සම්බන්ධයකින් විවාහ වෙන්න සූදානම් වෙනකොට දෙමව්පියන්ගෙන් ගැටලු ඇතිවෙනවා.සමහර අය ඒ නිසා වෙන්වෙන අවස්ථාත් තියනවා. ඔබ දෙදෙනාගේ ගමන ගත්තොත් මේ තත්වය කොහොමද ?

දිනේශ් – අපිට බලපෑම් ආවේ නෑ කිව්වොත් ඒක බොරු කතාවක්.මොකද මට වඩා මගේ බිරිඳ අවුරුදු නමයක් වැඩිමල්.මට එතකොට ගෙදරිනුත් ප්‍රශ්න ආවා.නමුත් තාත්තා තමා හැමදේටම හිටියෙ.එයා අපිව තේරුම් ගත්තා.ඒත් දැන් සමහර සම්බන්ධතා තියනවා ගෙවල් වලින් කැමැත්ත දීලා , හොඳටම wedding එක කරලා , හත් දවසක් මඟුල් කෑවත් ඩිවෝස් වෙන.අපි දෙන්න හරිම නිශ්ශබ්දව, හරි සීමිත ආශිර්වාද ටිකක් මැද අද වෙනකන් හරි ලස්සනට ඉන්නවා marry කරලා.

රැන්ඩෙලා – අපි ආදරේ කරන්න ගන්න කාලෙම මගේ දෙමව්පියන් ජීවතුන් අතර නෑ.දිනේශ්ගේ තාත්තා කියන්නේ හැම මොහොතකම මම ගරු කරන චරිතයක්.අපිව තේරුම් ගත්ත එකම කෙනා එයා.අදටත් ඒක එහෙමයි.ඉතින් දෙමව්පිය ආශිර්වාදය තියනවා නම් හොඳයි අනිවාර්යයෙන්ම.නමුත් ඒක නැතිවුනා කියලා කරන්න දෙයක් නෑ

දිනේශ්, ඔබේ කලා කටයුතු වලට රැන්ඩෙලාගෙන් ලැබෙන සහයෝගය ඔබට කොහොමද දැනෙන්නේ ?

එයා මට ලොකු guidance එකක් දෙනවා.හැමතිස්සෙම අම්මා කෙනෙක් වගේ තමයි.මාව වදපු නැති ටික විතරයි කලේ.හදපු ටික කලේ එයා.මාව මේ තරමට ඔපමට්ටම් කලේ එයා.ඒක සීයට දෙසීයක්ම ඇත්ත.හේතුව අපි ඕනම කෙනෙක් ක්ශේත්‍රයට එද්දි polish වෙලා නෙමෙයිනෙ තැනකට එන්නෙ.නමුත් මම කතා කරන විලාසයේ ඉඳලා මම කතා කරන්න මොනවද ,මම කරන්න ඕන නිර්මාණ මොනවද , මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා මාව guide කරන්නේ ,හැමදේකදිම පිටිපස්සෙන් ඉඳන් මාව තල්ලු කරන්නෙ එයා තමයි.

රැන්ඩෙලා ඔබ දියණියන් දෙන්නෙක්ගේ ආදරණීය මවක්.කොහොමද ඒ වගකීම ඔබට දැනෙන්නේ ?

මම හරි ආඩම්බරයි දුවලා දෙන්නා ගැන.සාමාන්‍යයෙන් සමාජ මතය අනුව දෙවරක් විවාහවුන ගෑණු කෙනෙක් දිහා බලන කෝණයක් තියනවා.ඉතින් ඔය මම කියපු කෝණයට සෘජුවම සහ වක්‍රව හැමතිස්සෙම ලක්වෙන ගෑණු කෙනෙක් මම.මටත් හිතිලා තියනවා එකපාරින්ම මේක සිද්ධවුනා නම් හොඳයි කියලා ඒ එන පීඩනය අනුව.නමුත් අම්මා කෙනෙක් විදියට මම සාර්ථක අම්මා කෙනෙක් අවුරුදු 16 ක සහ අවුරුදු 9 ක දුවලා දෙන්නෙක්ගේ.අද වෙනතුරු කාටවත් කිසිම ප්‍රශ්නයක් ඇති නොකරපු, ලස්සන ,දක්ශ දරුවෝ දෙන්නෙක් මට හදන්න පුලුවන් උනා.එතනදි මම හරිම ආඩම්බරයි.සතුටුයි ගොඩක් .ඒක ලොකු blessing එකක්.ඒ වගේම දිනේශ් මගේ ලොකු දුවට සහ පොඩි දුවට දෙන්නටම තාත්තා.හරි ආඩම්බරයි ඉතින් .ඒක හරි සංවේදි තැනක්.මේ දරුවෝ දෙන්නා එක්ක අපි ඉන්න විදියත් හරි ලස්සනයි. ඇත්තටම අපේ පවුල හරි සාර්ථක නිසා ඒක අපිට ලොකු සතුටක්

ලංකාවේ මෙ වෙනකොට දික්කසාද හුඟක් වැඩිවෙලා තියනවා.ඒවට ගොඩක් දුරට හේතු වෙන්නේ දෙදෙනා අතර ඇතිවන මතගැටුම් ඒ ගැන ඔබ දෙදෙනා මොකද හිතන්නෙ ? ඔබ දෙදෙනා අතර ඇතිවන ගැටුම් නිරාකරණය කරගන්නේ කොහොමද ?

රැන්ඩෙලා – එක අවස්ථාවකදි ඒ වගේ දේකට මුහුණ දීපු කෙනෙක් හැටියට මගෙ පැත්තෙන් කතා කරනවා නම් , මේ අවුරුදු 11 ට ,මම කියන්නෙ පලවෙනිම දේ conversation .ඒක අත්‍යවශ්‍යයයි මොන ප්‍රශ්න උනත්.යුද්ධෙක උනත් සාම සාකච්ඡා කියලා දෙයක් තියනවනේ.ඉතින් මම හිතනවා දෙන්නා අතර අවබෝධය තියනවා නම් ඔය බරපතලයි කියන ප්‍රශ්න විසඳන්න පුලුවන් කතාව කියන දෙයින්.නමුත් ඒකට පිටින් involvements ,අම්මලා තාත්තලා යාලුවෝ වගේ දේවල් හරි යන්නෙ නෑ.අනික අපි දෙන්නා ගත්තොත් රන්ඩු වෙන්නෙ නෑ කියන්නෙ නෑ.අපි හරියට රන්ඩු කරනවා.සමහර වෙලාවට තැන නොතැන නොබලා රන්ඩු වෙනවා.අනිත් එක අපි දෙන්නම අපෙන් මොනහරි වරදක් හෝ අතපසුවීමක් උනාම ඒ ගැන කතා කරනවා.මොකද ඒක පිළිගැනීම සහ කතා බහ කිරීම තුලින් ඔය පොඩි දේවල් දුර දිග යන එක වලක්වගන්න පුලුවන් .ඒක තමයි හොඳම බෙහෙත.

දිනේශ් – ඔය කියන රන්ඩු වලින් පස්සේ ඇතිවෙන්නේ ඊට වඩා බැඳීමක්.මොකද ඒ තේරුම් ගැනීම සහ discuss කිරීම තුලින් ප්‍රශ්නය මොකද්ද කියලා අපිට අඳුනගන්න පුලුවන් .ඒ නිසා හැම රන්ඩුවකින් පස්සෙම ඇතිවෙන්නේ ඊට වඩා ලොකු ආදරයක්.රන්ඩු නෑ කිව්වොත් එහෙම ඒක ලොකු බොරුවක්

දිනේශ් ,පහුගිය කාලයේ ඔබ රැන්ඩෙලා එක්ක කරපු ගීතය ගොඩක් ජනප්‍රිය උනා.ඒ ගැනත් කියමු

දිනේශ් – ගොඩක් දෙනා අතර මගෙ බිරිඳ ගැන කතා බහට ලක්වුනෙත් ඕකෙන් තමයි.මෙයා කැමති නෑ sing කරන්න.අපි දෙන්න හම්බුනෙත් sing කරන තැනකදි උනත් එයා කැමති නෑ මම sing කරන තැනක sing කරන්න.එයා කියන්නේ ඔයා ඔයාගේ ජොබ් එක කරන් යන්න මම ගෙදර වැඩ ටික බලාගෙන ඉන්නම් කියලා .ඉතින් මම හරි අමාරුවෙන් තමයි අවුරුදු 10 ක ඇනිවසරි එකට සින්දුවක් කරමු කියලා කැමති කරගත්තෙ.ඉතින් ඉක්මනට plan කරගත්තා.මගේ “ඉරණම් ගමනේ ” සින්දුව ලිව්ව උදේශ් මල්ලිම තමයි මේක ලිව්වෙත්. ” මා ගාවින් ” කියන එක.මේකේ තියෙන්නෙ අපි දෙන්නගෙ කතාව.උදේශ් මල්ලි අපේ කතාව දන්න නිසා මම කිව්වා ” මා ගාවින් ” කියන එක title කරලා අපේ කතාව ලියන්න කියලා.ඉතින් අවුරුදු 10 anniversary එකට සින්දුව කලා.ඇත්තටම මට වඩා ප්‍රතිචාර තියනවා මගෙ බිරිඳට.ගොඩක් දෙනෙක් කියනවා තව සින්දුවක් කරන්න කියලා.වැඩේ තියෙන්නෙ බිරිඳ කැමති නෑ ඒකට.මම කියන්නෙ මගේ ක්ශේත්‍රයට එන්න කියලා නෙමෙයි.නමුත් මම කැමතියි මා එක්ක සින්දු කරනවට.මොකද සමහර මිනිස්සු හිතනවා මෙයාට දක්ශතාවයක් තියෙද්දි මම ඒක හංගගෙන ඉන්නවා කියලා.ගොඩක් අය කමෙන්ට්ස් දානවා බිරිඳ ඉස්සරහට එනවට ඔයා ඉරිසියායිද අහලා නමුත් මම කැමතියි මට වඩා හොඳ තැනක් එනවට බිරිඳට.මොකද මගේ නේ.එතකොට මම කැමතියි මට වඩා ඉහල තැනක් එයාට හම්බ වෙනවට.

අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි , ගොඩක් අය කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිතය මේ සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීම. ඒ ගැන ඔබ දෙදෙනා දරණ මතය මොකද්ද ?

දිනේශ් – ඔතනදි වෙන්නේ කලාකරුවෙක්ගෙ ජීවිතය පොදු දෙයක් වෙනවා මිනිස්සුන්ට.අපි දැන් හැමොගෙම පොදු දෙයක්නෙ.මම දැන් සාමාන්‍ය ගමේ කොල්ලෙක් වෙලා හිටියා නම් ,නැත්තම් සාමාන්‍ය ජොබ් එකක් කරන කොල්ලෙක් වෙලා හිටියා නම් කතා බහට ලක් වෙන්නෙ නෑනේ.කතාබහ උනත් දන්න හතර පස් දෙනා අතර කතාබහට ලක් වුනා ඒක එතනින් ඉවරයි හැබැයි social media කියන්නේ ලොකු තැනක්.ඒක අපිට හොඳ තැනක්.ඒ තැනෙන් අපිට හොඳ දේවල් කරගන්න පුලුවන් .මොකද මට හොඳ දේවල් වෙලා තියනවා.කොරෝනා කාලේ ගත්තොත් ඒ කාලේ අපි ගෙවල් ඇතුලේ හිරවෙලා හිටපු කාලයක්.ඒ කාලේ තමයි මගේ ” ඉරණම් ගමනේ ” කියන ගීතය ජනප්‍රිය උනේ.ඒක මම නිකන් ඕඩියො එක යූටියුබ් එකට දැම්මට පස්සෙ හැමතැනම ශෙයා වෙලා, ටික් ටොක් වල මිලියන ගානක් ශෙයා වෙලා තිබුනා.ඉතින් සමාජ මාධ්‍ය හරියට භාවිතා කලොත් ඒක ඇත්තටම හොඳ දෙයක්.මිනිස්සු ඒක හොඳ සහ නරක දෙපැත්තටම පාවිච්චි කරනවා.අපි දැනගන්න ඕන හොඳ විදියට වැළඳගන්න හැමදේම.ඒ වගේම මිනිස්සු විවේචනය කරන්නෑ මේ සින්දුවේ වචන මෙහෙම උනා නම් හොඳයි ,මෙතන මෙහෙම කිව්වා නම් හොඳයි කියලා.හැබැයි විවේචනය කරන්නේ personal life එක.එහෙම විවේචනය කරන කෙනාව අතට අරගෙන බැලුවොත් සම්පූර්ණයෙන්ම ඒ කෙනා පෙන්වන්නේ ඒ කෙනාගේ background එක.

රැන්ඩෙලා – හොඳ පැත්ත වගේම ඔය විවේචන වලිනුත් අපිට ගන්න දේවල් තියනවා. සමහරු අහලා තියනවා ඇයි ඔය නාකි ආච්චි කෙනෙක්ව බැඳලා තියෙන්නේ කියලා රළු වචන වලින්.ඒක කියවනකොට අපිට ඒ වචන ටික කියපු පුද්ගලයාව පේන්න ඕන.ඒ වගේම මොහු කවුද ,මොන වගේ පසුබිමක් ඇතිද ,මොන තරම් mental agony එකක් ඒ මනුස්සයා තුල ඇතිද කියන එක තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන .සමාජයෙ මේ වගේ මිනිස්සුත් ඉන්නවා කියන එක තේරුම් ගන්න පුලුවන් ඉතින් .කලාකරුවෙක් කියන්නෙ පොදු කෙනෙක් නිසා එයාගේ හැමදේම පොදු කියන තැනට දානවා මිනිස්සු .ඒක ටිකක් අසාධාරණයි.නමුත් ඒකට කරන්න දෙයක් නෑ.

දිනේශ් , කලාකරුවෙක්ගෙ පැවැත්ම රඳාපවතින්නේ ඔවුන් සමාජයට දෙන නිර්මාණ මත සහ ඒ නිර්මාණ ප්‍රේක්ෂකයා වැළඳගැනීම තුළ. ඔබට මොකද්ද ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයාට කියන්න තියෙන්නේ ?

මේ ආදරය හැමදාම මේ විදියට තියෙන්න ඕන.මම නිර්මාණයක් කරන්නේ මට ගෙදර තියාගෙන බලන්න නෙමෙයි.මට ප්‍රේක්ෂකයාගේ ආදරය හැමදාම තිබ්බ නිසයි මම තාමත් ක්ශේත්‍රයේ රඳා පැවතිලා ඉන්නේ.මම කැමතියි මගේ නිර්මාණ ප්‍රේක්ෂකයාට දෙනකොට හොඳ නරක කියනවා නම් .මම ඉල්ලන්නෙ හැමදාම මගේ සින්දු රසවිඳින්න , හොඳ නරක කියන්න ,විවේචනය කරනවා නම් ඒකත් කරන්න .ඒ හැමෝටම මම බොහොම ආදරෙයි !

ඉතින් අද අපේ කතා බහට එකතුවුන දිනේශ් සහ රැන්ඩෙලා යුවලට ස්මාට්ලේඩි අපි බොහොම ආදරයෙන් සුබ පතනවා ඔවුන්ගේ සියලු කටයුතු සාර්ථක වෙන්න වගේම කලා ජීවිතයේ තවත් ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න කියලා
තවත් මෙවැනිම වූ ඔබ ආදරය කරන කලා තරුවක් එක්ක නැවතත් ඔබ එන්න අපි බලාපොරොත්තු වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles