ඈත දුර ආකාසේ -23

“අක්කා කෝල් කරානෙ..”

සඳලිගේ හඬ වේගවත් ය.සතුට ද දුක ද සැනසීම ද පිරුණු ඇගේ හඬ මියුරු ද විසන්ධි නොවූ දුරකථනයක එහා ඉම සිට අසා සිටියේ ය.අම්මා ද ඈ වාරු කරගත් සඳලිගේ මිතුරියක ද නිවසින් පිටතට පැමිණිය හ.සීසීටීවි ආරංචිය රැගෙන ආ ඉදිරිපස නිවසේ කාන්තාව දෙවියන්ට හිස අත් බැඳ පින් දුන්නා ය.

“අක්කව කිඩ්නැප් කරල රනුක.ඈත හොස්පිටල් එකක ඉන්නවලු දැන්.මට ඒ නර්ස් නෝනා කෙනෙක් ලොකේෂන් පවා එවලා..අපි පිටත් වෙමුද?”

රනුක වහා මෝටර් රථයක් ඇණවුම් කරන්නට සැරසුණේ ය.

“පුතා.ලයිෂන් තියනව නම් අපේ වාහනේ අරන් ඉක්මනින් යන්න..”

අසල්වැසි මහතාගේ හඬ මතුව ආයේ ය.මියුරු ඇමතුම විසන්ධි කර දැමුවේ සතුටිනි.තව වෙලා ගෙවෙන්නට හැර සඳලිට ඇමතුමක් දෙන්නට ඔහු සිතා ගත්තේ ය.

“අපි දෙන්න එකම සයිස්නෙ.මං ක්වාටස් එකට දුවල ගිහින් මගෙ ගවුමක් අරන් ආවා. මනමාලි තාම සාරිය පිටින්නෙ.ඇත්තටම අමාරු ඇති.ඔයා චේන්ජ් කරගන්න..ගෙදර අය දැන් පිටත් වෙලා ඇති.”

තරුණ හෙදිය, නවෝදි තුරුලි අත ඇඳුම් පාර්සලයක් තැබුවේ එසේ කියමිනි.සෙලවීමටවත් නොහැකි බවක් පෙන්වමින් කලාන්තව ඇද වැටී සිටි තුරුලි නාන කාමර දෙසට ගියේ සිනාවක් මතුව එද්දී ය.

“මගෙ ඇක්ටිං එක්ක හැම නිලියම කැලේ..මටම හිතා ගන්න බෑ මං කොහොම එච්චර ලෙඩ පාටක් මැව්වද කියලා..”

මවත් පුතුත් නොදන්නා අය ද එක්වී ඈ තෙමී යන තරම් වතුර ගසද්දී ද සොලවමින් අමතද්දී ද තුරුලි ආදිත්‍යගේ සහ ඇගේ විවාහ ගිවිස ගැන්ම සිදු වූ නිවසේ නාන කාමරයේ වැටී සිටියා ය.අත් බෑගය අස් නොකරගැනීම ගැන සඳලි මොනතරම් බැන වැදුණ ද එහි වූ හිස් පැනඩෝල් ඇසුරුම පිහිටට ආ අන්දම ඇය සිහි කළේ සිනාවකිනි.

“ඒක සේරම බීලා කියල ඒ මෝඩයෝ බය වුණු තරමක්..”

ඇය සැනසීමෙන් හිඳින්නේ අම්මා නංගී සහ රනුක සමඟ ළඟ ළඟම එන නිසාම නොවේ.මියුරුට ද සිදු වූ දේ කෙටියෙන් නමුත් කියන්නට හැකි වූ නිසා ය.

“අම්මලට මැසේජ් එක දුන්නට තව කාට හරි පණිවිඩේ කියා ගන්න ඕන කියල මූණෙන් පේනවා..”

නවෝදි සිනාසෙමින් තුරුලිට දුරකථනය දුන්නේ ඇගේ දෑස කියවා ගත් හෙයිනි.ගෘහස්ථ හිංසනය ද ප්‍රේමය නිසා ඇති වූ තොරක් නැති ගැටළු ද නිසා සැබෑවටම දිවි තොර කර ගත් ගැහැනුන් ඇගේ කෙටි රෝහල් ජීවිතය තුළ ඕනෑතරම් හමු වී ඇත.නමුත් අවසාන තුරුම්පුව ලෙස සියදිවි නසා ගන්නට තැත් දැරූ බව පෙන්වා එතැනින් ගැලවී එන්නට උත්සාහ කළ තරුණිය සම්බන්ධයෙන් නවෝදිට ද ඇති වූයේ සතුටකි.

“තුරුලි, වෙලාව පහයි..ඔයාව ඇඩ්මිට් කරපු අය ඇවිල්ලා. ඩොක්ට වාසුකී මට කියනව ඔයාව මෙහෙමම ක්වාටස් එකට එක්ක යන්නලු.ගෙදර අය එනකම් එහෙම ඉන්න.ඊට පස්සෙ ඉතුරු ටික පුලුවන්නෙ..”

නවෝදි නාන කාමරයේ දොර ළඟ රැක හුන්නේ තුරුලිට එසේ කියන්නට ය.තුරුලි වහා එයට එකඟ විණි.ආදිත්‍යව යළි දකින්නටවත් ඇයට උවමනා නැත.

“අපේ පේෂන්ට් නෑනෙ..”

ආදිත්‍යගේ අම්මා වහා පැමිණිලි කරන්නට වාට්ටුවේ කාර්ය මණ්ඩලය වෙත ආවා ය.තුරුලිගේ කතාව එක්රොක් වී අසා සිටි අය අතර හුන් හෙදියක ඇය වෙත හෙළුවේ ගණනකට නොගන්නා බැල්මකි.

“අර සූසයිඩ් කර ගන්න ගිය ළමයනෙ..අමාරුයි.කොළඹ යැව්ව..”

එසේ කියන්නට රෝහල් පොලිසිය සහ වාසුකී වෛද්‍යවරියගෙන් ඔවුන්ට උපදෙස් ලැබී තිබිණ.

“අපිට දන්වලවත් ගෙනිච්චෙ නෑනෙ..වැරදිනෙ..”

ආදිත්‍ය පෙරට ආවේ එසේ කියමිනි.කොළඹ මහ රෝහලේ සඳලිගේත් තුරුලිගේත් දන්නා හඳුනන මිනිසුන් ඕනෑතරම් ය.සැලසුම වැරදී යාම ඒතරම් යහපත් නොවේ.

“ඔයාල පර්මිෂන් දීලා ඉවර වෙනකොට වෙන්න ඕන හරිය වෙලා තියෙයි.අපි වැඩ කරන්නෙ ඉහළින් එන ඕඩර් අනුව..”

හෙදියන් හිස ඔසවාවත් නොබලා පවසද්දී මෙතැන දෙක කරන්නට උවමනාවක් ආදිත්‍යට ඇති විණි.

“අපි කොළඹ යං..”

ඔහු අම්මාට එපමණක් පවසා අනෙක්පස හැරුණා ය.දුඹුරු කාකි නිල ඇඳුමක් දුටු ඔහු මඳක් තිගැස්සුණ ද යළි වහා සන්සුන් වූයේ මේ රෝහලක් බව සිහි වීමෙනි.තදබල රිය අනතුරකට ලක් වූ කාන්තාවක වේදනාවෙන් හඬ නඟමින් ඇඳක සිටියා ය.මේ ඈ ගැන පිරික්සන්නට ආ අය විය යුතු ය.

එනිනෙකා බදා වැලඳ හඬන අම්මාට සහ සොයුරියන් දෙදෙනාට ඉඩ දී වෛද්‍ය වාසුකී බලා සිටියා ය.රෝහල් පොලිසියට කළ පැමිණිල්ලට අනුව තුරුලිට නිවසට යන්නට හැකියාව ඇත.

“තුරුලි ඇඩ්මිට් වෙලානෙ ඉන්නෙ.ඩිස්චාජ් කරනකන් ඉන්න වෙනවා..ඊට පස්සෙ ගෙදර ගිහිං මෙතනින් එහා කරන්න ඕන දේවල් හිතල බලන්න..බොරු ලෙඩක් මිස ලෙඩක් නෑ කියලත් හිතන්න එපා.මට පේන්නේ තුරුලිට ලොකු කම්පනයක් තියනවා.නියපොත්තෙන් කපන දේ පොරොවට නොතියා ඉක්මනින් මනෝ වෛද්‍යවරයෙක් ළඟට ගියානම් හොඳයි..මේ වෙච්ච දේ ෂොක් එක ඔයාට එදිනෙදා වැඩවලට බලපාන්න පුලුවං..”

වෛද්‍යවරියගේ කාරුණික බස් තුරුලි අසා හුන්නේ සඳලිගේ උරහිස මත හිස තබාගෙන ය.

“අනික එහෙම කරන එක අපේ නඩුවටත් වැදගත් වෙයි..”

කසුන් සමඟ තුරුලි සොයා යන ගමනට එක්ව සිටි වින්ද්‍යා එසේ කියද්දී තුරුලි කැළඹී ගියා ය.වින්ද්‍යා නීතිවේදිනියක බව ඇයට වහා සිහි විණි.

“බය වෙන්න එපා ඉතිං. මේ මං ඉන්නවනෙ..”

වින්ද්‍යා තුරුලි සමීපයට ආවේ එසේ කියමිනි.ජීවිතයෙන් තවත් කාලයක් දික්කසාද නඩුවකට වැය කරන්නට සිදු වන බව සිහි වූ තුරුලිගේ දෑසින් කඳුළු උතුරන්නට ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles