fbpx

අහංකාර නගරේ -29

මා සිතූ ලෙස ට දුරකතනයේ එහා ඉම වූයේ විදුහල්පති තුමා හෝ ඔහු ගේ බිරිඳ නොව සිතිජ ගේ බාල සොයුරිය ශෙනාලි ය.

“තමුසෙට මේ හොඳින් කියන්නෙ හරිද…අපේ අයියත් එක්ක තියන සම්බන්දෙ අදම නවත්තන්න ඕනෙ. මේ දැන්ම. තමුසෙ කවුද ඕයි අපේ අයිය වගේ කොල්ලෙක් එක්ක යාළු වෙන්න…ඔළුව කොහෙ හරි හැප්පිලාද එහෙම දෙයක් කළේ…නැත්තං තමුසෙ හිතං ඉන්නෙ මහ රැජිනගෙ පවුලෙං එන කෙනෙක් කියලද…ඒ මදිවට අපේ අම්මටත් අපහාස කරලද අපේ පවුලට සම්බන්ද වෙන්න හදන්නෙ…”

ඇය කියවා ගෙන ගියා ය. මම එක වදනකුදු කතා නො කළෙමි. ඇය වාගේ කෙනෙක් එක්ක කතා කරන්නට යමක් නොවන බව ද යමක් කතා කොට පළක් නො වන බව ද මම දැන උන්නෙමි.

“දැනගන්නව තමුසෙට මේ කොළඹට ගෑවිච්ච තැනක ඉන්න දෙන්නෑ ඔය සම්බන්දෙ නතර කළේ නැත්තං”

අන්තිමට ඇය මට තර්ජනයක් ද කළා ය. තව වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ගමේ පාසලේ විදුහල්පති තුමා ගේ ගෙදරින් මට ඇමතුමක් ආවේ ය. ඒ වතාවේ නම් පිළිතුරු දෙන්නටත් කලින් ම මම සසල ව ගිහින් සිටියෙමි.

“මොකටද කතා කරන්නෙ කියල හරි දැනගන්න ඕනනෙ මෙව්නා. ඒක නිසා ආන්සර් කරන්න. මං හිතන්නෙ ගිනි ගෙඩිය දීල ඇති එහෙටත්”

හදවත අධි වේගයෙන් ස්ඵන්දනය වෙමින් පැවතිය දී මම ඇමතුම ට සම්බන්ධ වුණෙමි.

“හෙ…ලෝ…”

මගේ හඬ මගේ පාලනයකින් තොර ව බිඳී ගියේ ය.

“මොකද්ද ළමයො මේ කරගෙන තියෙනවයි කියන නස්පැත්තිය…ඔය ළමයව විශ්වාස කරල නේද මං මගෙ මිත්‍රයෙකුගෙ ගෙදර නවතින්න සූදානම් කරල දුන්නෙ…ඔය ළමය අවනම්බු කරල තියෙන්නෙ මට…”

“සර්…”

“මට දැං ප්‍රින්සිපල් සර් ගෙ නෝනා කතා කළා. එහෙ පුතා එක්ක සම්බන්ධයක් ඇති කරගෙන අහුවෙච්ච නිසා ඔය ළමයව එහෙං පැන්නුව කිව්ව. දැං ඔය ළමය කොහෙද ඉන්නෙ…බලන්න ජීවිතේ නාස්ති කර ගන්න හැටි…මං කිව්වෙ නැද්ද කොළඹ එන්න දඟලනකොටත් ඕක…”

ඔහු කතා කළේ මා කෙරේ අතිශය කලකිරීමට පත් ස්වභාවයකිනි. මා හිස් වී යනවා වගේ මට දැනිණ. තාත්තා කෙනෙක් නැති මට එහෙව් කරුණාවකින් මග පෙන්වන්නට උත්සාහ කළ මිනිසෙකුට ඒ වගේ දුරකතන ඇමතුමක් සිත් වේදනාවක් දනවන බව මට අමුතුවෙන් ඉගෙන ගන්නට උවමනා නැත. 

“කොළඹ කියන්නෙ අමුතු තැනක් කියල මං කිව්ව. ඕක මර උගුල් පිරිච්ච තැනක්. පරිස්සමට අඩිය තියන්න ඕන කියල මං ඔය ළමයට කියලනෙ තිබුණෙ”

“මං වැරැද්දක් කරල නෑ සර්. මං මට වරදක් කර ගන්නෙත් නෑ”

කතා කර ගන්නට ම බැරි කමක් දැනුණත් මම අමාරුවෙන් මුත් හඬ අවදි කළෙමි. ගොළු වී වරද පිළිගන්නේ නැති ව මා වෙනුවෙන් වචනයක් කතා කිරීමේ අයිතිය පාවිච්චි කළ යුතු යයි මගේ යටි හිත මට කෑ ගසා කියන්නට වූයේ ය.

“අනුංගෙ පෞද්ගලික දේවල් විවේචනය කරන්න ඕන නැති නිසා සිද්ද වෙච්ච සමහර දේවල් සර්ට කියන්න මං කැමති නෑ. හැබැයි ඒ මැඩම් මොනා හරි කිව්වනං…ඒ හැම දේම ඇත්ත නෙවෙයි සර්. දැං මාව විශ්වාස නොකළත්…දවසක සර් මං කිව්වෙ ඇත්ත කියල පිළි ගනී. මං ආයෙත් සර්ට කියනව. මං පාර වරදගන්නෙ නෑ. සර් මං ගැන බය වෙන්න එපා”

විදුහල්පති තුමා දුරකතන සංවාදය නිමා කළේ පැහැදීමකින් ද නැත් ද කියා කිව නො හැකි ය. කෙසේ වෙතත් මා තුළ ඇති ව තිබුණේ ජීවිතය ගැන කිසිදු ප්‍රබෝධයක් නො දැනෙන අලස බවකි. මිනිසුන් හා නො මිනිසුන් අතර වන්නේ ත් කෙස් ගසක පරතරයකැයි මම ඉගෙන ගනිමින් සිටියෙමි. රෝස්මරී කියන්නේ මේ කාෂ්ටක ගෙන්දගම් පොළව මත පැළ වූ කටු ගසකි. ඇගෙන් සෙවනක් පතන්නට යාම නො දැනුවත් ව හෝ මා මට ම කර ගන්නා ලද වරදකි. නමුත් ළිඳට වැටුණ මිනිහා ලිං කටෙන් ම ගොඩ ආ යුතු යයි කතාවක් තිබේ. මට ළිඳ වැසෙන සේ පස් වලින් වසා ගත නො හැකි ය. කෙසේ හෝ මේ ජීවිතයට මුහුණ දිය යුතු ව තිබේ.

“වැටෙන්න ඕන තැන් වල ඔයා කෙළින් හිටියා මෙව්නා. මේ අන්තිම මොහොතෙ දුර්වල වෙන්න හදන්න එපා”

සුරනි මගේ මානසික අව පීඩන තත්වය වටහා ගෙන සිටියා ය. මේ වගේ තත්ව වලට මුහුණ දීමේ දී ඇය සහ සිතිජ මගේ දෙපසින් උන් එක මට වාසනාවක් වූයේ ය. නො එසේ වී නම් මේ සියල්ල දරා ගන්නට සිදු වන්නේ තනිව ය. අපමණ ජීවිත පිරිපත ගැන කියා ගන්නවටත් කෙනෙකු නොමැති වූ තරුණ ජීවිත අනන්තවත් දිවි නසා ගන්නට පෙළඹෙති. ඒ ගැන අපි නොයෙකුත් මති මතාන්තර දැරුවා ට, තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන තැනැත්තා ය.

රෝස් මැඩම් සහ විදුහල්පති තුමා අතර බහින් බස් වීමක් සිදු ව තිබේ. සිතිජ කී ආකාරය ට, ඇගේ ව්‍යාපාරය ගැන මා දැන ගැනීම ඔහු ගේ ලැජ්ජාවටත්, ගර්වයෙහි පළුදු වීමකටත් හේතු වී තිබේ. 

“තමුංගෙ ඔය වැඩ නවත්තන්නෙ නැත්තං මං තවත් ඉවසන්නෙ නෑ. මෙච්චර කල් ලෝක ලැජ්ජාව නිසානෙ හැම දේම ඉවසගෙන හිටියෙ. එහෙම ඉඳලත් වෙන්නෙ ලැජ්ජා වෙන්නමනං…එක පාර මේක ඉවරයක් කරල දාමු. ඩිවෝස් වෙමු. ඒක නම්බුයි මෙහෙම ලැජ්ජ වෙනවට වඩා”

මෙතෙක් දෙදෙනා අතරේ තිබූ ප්‍රශ්නය ගැන දරුවන් ට ද ඇසෙන්නට කතා කර තිබෙන්නේ මුල් වතාවට ය. රෝස් මැඩම් වදනකුදු නො දොඩා බිරාන්ත වී සිටි බව සිතිජ කීවේ ය. දෙසොහොයුරියන් ඔහු ගේ පතුරු යන්නට දොස් කියා තිබේ.

“මං නිසා ඔයාට මූණ දෙන්න වෙච්ච දේවල් හුඟක් දරුණු වැඩියි අයියෙ. තව ටික දවසක් යනකොට ඔයාට මාව එපා වෙලා යන්න පුළුවන්”

මා එසේ කීවේ අවංකව ම ය. සිතිජ සුසුමක් හෙළුවේ ය.

“මැණිකක් හොයා ගන්න පතල් කනින මනුස්සයෙක් මොන දුකක් විඳිනවද කියල ඔයා දන්නවද මෙව්නා…”

ඔහු අතුරු ප්‍රශ්නයක් නැගුවේ ය.

“මීටර් ගාණක් යටට පොළොව හාරගෙන ගිහිං…ජීවිත අවදානමක් දරාගෙන…කෑමක් බීමක් නින්දක් වුණත් හරියට නැතුව…ඒ හැම දේම කරන්නෙ මුණගැහෙන්න නියමිත මැණිකක වටිනාකම ගැන අනුමාන කර ගෙන…ඒත් ඒ වගේද…ඔයා වගේ වටින කෙල්ලෙක් මගෙ අත් දෙකට ලැබිල තියෙද්දි…ඒ වගේ මැණිකක් හැමදාටම තමුංගෙ කර ගන්න ඕන පිරිමියෙක් ඕන දුකක් විඳින්න ලෑස්තියි මෙව්නා…මැණිකක වටිනාකම මොකද්ද කියල දන්න ඕනම පිරිමියෙක්…”

ගමේ දී මා බොහෝ විට දැක තිබෙන්නේ හේනේ කුඹුරේ වැඩ කරන පිරිමින් ය. ඔවුහු සිය බිරින්දෑවරුන් ට පමණකුදු නොව දරුවන් ට පවා ආදරයක් පෙන්වන්නේ නැත. ආදරේ තියෙන්නට පුළුවන. නමුත් ඒ හිතේ ය. සමහර විට ඔවුන් ආදරේ කරන හැටියක් දන්නේ වුව නැති වන්නට පුළුවන. බිරිඳ වෙනුවෙන් බොහෝ විට ඔවුන් ඉටු කරන්නේ යුතුකමකි. නැතහොත් වගකීමකි.

නමුත් නාගරික ජීවිතයකට පුරුදු වූ සිතිජ වන් පිරිමි ආදරය ගැන විවෘත ව කතා කරති. සිය හද දිනූ ගැහැනිය අගයන්නටත්, ඇය ගේ වටිනාකම ගැන කතා කරන්නටත් ඔවුහු පසු බට නො වෙති.

මම දුරකතනය සවනේ තියා ගෙන ම කාමරයෙන් මිදුලට ආවෙමි. තුරු පත් මත තඹ පාටට සඳ එළිය තැවරී තිබුණේ ය. කණාමැදිරියෙක් එළියත් අරගෙන ම අඩ අඳුරේ ගමනක් යමින් සිටියේ ය. හුදෙකලාවේ තිබි සිමෙන්ති බංකුව මතින් ඉඳ ගන්නා ගමන්, සිතිජ ගේ දයාර්ද්‍ර හඬට වඩාත් හොඳින් තුරුලු වනු වස් මම නෙතු පියා ගතිමි.

“මේ ජීවිතේ හරි කෙටියි මෙව්නා. කොයි වෙලේ අපිට යන්න වෙයිද කියන්න බෑ. ඒ වෙනකල් දේවල් බෙදා ගන්න ඕනෙ කරන්නෙ අපිව හරියට තේරුං ගන්න පුළුවන් කෙනෙක්ව. මං දන්නෑ ඔය සෝල් මේට් කියන කන්සෙප්ට් එක ඇත්තක්ද කියලනං. මං විශ්වාස කරන්නෙ අපිට වැඩිපුරම පහසුවෙන් ජීවිතේ බෙදා හදා ගන්න පුළුවන් කෙනාට තමයි ලං වෙන්න ඕනෙ. ඔයා ළඟදි මට මං වගේ ඉන්න පුළුවන් කියල මං දන්නව”

“ඇයි…”

“මං කිව්වෙ ඒ ලෙවල් ක්ලාස් එකේදි ගර්ල් කෙනෙක් එක්ක යාළු වෙලා හිටියා කියල. ඒ ළමයට මං හිනා වෙන විදිහත් වැරදියි. කතා කරන විදිහත් වැරදියි. ඇඳුං අඳින විදිහ හරි මදි. එයාට ඕන ඕන දේවල් කර කර හිටියනං එතන ඉතුරු වෙන්නෙ මං නෙවෙයි”

ඔහු ඒ අතීතයට එබී බලා සැහැල්ලුවෙන් සිනහ වුණේ ය. 

“ඒත් ඔයාට මගෙ අඩුපාඩු ඕන තරං ඇති අයියෙ. ගමක හැදිච්ච මං වගේ කෙල්ලෙක් මේ නගරෙට මොන තරං අමුතුද කියල මං දන්නව”

“ඒ අමුත්තට තමයි මං මුලින් ම ඔයා දිහා බැලුවෙ. ඔයා ගැන හිතුවෙ. ඒ දේවල් වෙනස් කරන්න ගියොත් අන්තිමට ඉතුරු වෙන්නෙත් මෙහෙ ඕන තැනකිං හොයා ගන්න පුළුවන් සාමාන්‍ය කෙල්ලෙක්. ඒක නිසා මට ඔයා වෙනස් කරන්න ඕන නෑ මෙව්නා. අපි මේ විදිහටම ඉමු. අපි අපිට මුලිංම ආදරේ වුණ විදිහට”

ඔහු ඒ තරම් ආදර කතා කියනකොට මගේ හිතේ ඇති වූ බිය සාධාරණයි කියා මම සිතමි. අප සිටියේ බියකරු සන්ධිස්ථානයක ය. අප වැඩිපුර ම දේකට බැඳෙත්දී එය අහිමි වී යන්නට කටයුතු යෙදෙන බවට මතයක් ගැමියන් අතර තිබේ!

“තව දෙයක් කියන්න තියෙනව”

සමු ගන්නට ඔන්න මෙන්න තිබිය දී සිතිජ කීවේ ය. ඇහැට ඇඟිල්ලෙන් අනින තුරු අඬන්නට බලා සිටින කෙනෙකු සෙයින්, මම ඇතුළතින් තිගැස්සී ගියෙමි.

“තාත්ත මගෙං අහ ගත්තා ඔයා බෝඩ් වෙලා ඉන්න තැන”

“අනේ”

පෙර වූ තිගැස්ම කෙඳිරියක් ව පිට විණි.

“එයා එන්න පුළුවන් ඔහෙට. ඔයාට කතා කරන්න”

“ඒත්…මං මොනාද අයියෙ සර්ට කියන්නෙ…”

“අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. එයා අහන දේකට උත්තර දෙන්න. ඔයා දන්න විදිහට…ඔයා හිතෙං මවාගෙන කියන දෙයක් නෙවෙයිනෙ”

ඔහු එහෙම කීවා ට ඒ රැයේ මට නින්ද නො ගියා කියා සිතමි. පාඩම් කරන්නට තරම් නිරවුල් බවක් ද හිතේ වූයේ නැත. සමහර අවාසනාවන්ත ප්‍රශ්න ඇඟේ ඇනුණ කටු සේ ය. පහසුවක් දනවන්නේ ම නැත. ඉවත් කර දමන තුරු රිදවමින්, ඇනෙමින්, පෑරෙමින් පවතී.

සිතිජ ගේ තාත්තා මට කතා කරන විට සුරනි විශ්ව විද්‍යාලය වෙත යන්නට සූදානමින් සිටියා ය. තව අඩ හෝරාවකට මත්තෙන් ඔහු බෝඩිම අසලට පැමිණෙනවා යි කී නිසා සුරනි මඳක් පමා වී යන්නට නතර වූවා ය.

“කොච්චර වුණත් සර් ඔයාලගෙ නෑදෑයොනෙ. ඒක නිසා ඔයත් මේව දැන ගත්ත එක ගැන එයා අවුලෙන් ඇත්තෙ”

“ඔව්. එහෙම අවුලක් තියෙනවනං ඒක නැති වෙලා යන විදිහට මං ජයශාන්ත මාමාට කතා කරන්නං”

සිතිජ ගේ පියා එන්නට නියමිත බවත්, බෝඩිමේ ඇන්ටි ඊට අකමැති නම් මග දී ඔහු ව හමු විය හැකි බවත් මම බෝඩිමේ ඇන්ටිට කලින් ම දැනුම් දුන්නෙමි.

“ඔය ළමයා කවුද කියන එක අපි හොඳට තේරුං අරං ඉන්නෙ මෙව්නා. ගෑනු ළමයෙක් හැරෙනකොට අපිට කියන්න පුළුවන් මොන ජාතියෙන්ද එයා එන්නෙ කියල. ඒ මහත්තයට මෙහෙට එන්න කියන්න. ඔය සිතිජ පුතාව වුණත් මගදි හම්බ වෙන්න ඕන නෑ. ඔය ළමයට හතුරු කරදරත් තියෙන එකේ එයාට මෙහෙට ඇවිත් හම්බ වෙන්න කියන්න”

ඇය මට විශේෂ වරප්‍රසාදයක් ලබා දුන්නා ය. සුරනි බොරුවට ඒ ගැන ආඩපාලි කීවා ය.

“ඒක මාර නීතියක්නෙ. එක්කෙනෙක්ට එක නීතියකුයි තව එක්කෙනෙක්ට තව නීතියකුයි…අපිත් එහෙනං මෙහෙට කොල්ලෙක් ගෙන්න ගන්නව. ඇයි යකෝ…”

“බෝඩිමේ ඇන්ටි දන්නව ඔයාට කොල්ලෙක් නෑ කියල”

“දැන් නැති වුණාට ඉස්සරහට ඉන්න පුළුවන්නෙ. ඔය අලුත් නැවකින් මල්ලි කෙනෙක් හරි අල්ලගන්න බැරිද මොකද අපිට…”

“හරි හරි පුළුවන් පුළුවන්…”

ගේ ඉදිරියේ නතර වූ රියක් නලා හැඬවූයේ අපේ සිනා හඬ බෝඩිං කාමරය තුළ දෝංකාර දෙත්දී ය. මම මිදුලට කර පොවා බැලුවෙමි. සිතිජ ගේ පියා සිය රිය ගේට්ටුව අයිනට කොට නවතා ඉන් බැස ගනිමින් සිටියේ ය. මම ත් සුරනි ත් කාමරයෙන් පිටතට විත් ඔහු වෙත ගියෙමු.

“එන්න ජයශාන්ත මාමා ඇතුළට”

මා බය බිරාන්ත ව සිටියදී සුරනි ඔහු ට ඇරයුම් කළා ය.

“මොනවද ළමයිනේ මේ වෙලා තියෙන දේවල්…ඇයි ඔය ළමය කවදාවත් මට කිව්වෙ නැත්තෙ රෝස්ගෙ සැලුන් එකෙයි වැඩ කරන්නෙ කියල…”

ඔහු ගේ මූණේ වූයේ කරදරකාර පෙනුමකි. මා නිසා ඔවුන් හැම කෙනෙකු ගේ ම සැනසිල්ල නැති වූවා ය යන ශෝකී හැඟීම මා වෙළා ගනිමින් පැවතිණ.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
3
0
Would love your thoughts, please comment.x
()
x