රැකියාවක් නොකරන බිරිඳකට නිවසේ ආර්ථිකය සවිමත් කිරීම සදහා කල හැකි දේවල්.

බිරිඳකට නිවසේ ආර්ථිකයට දායකත්වය දෙන්න පුලුවන් රැකියාවක් කරලා විතරද ?නෑ. නිවසේ සිටින ගෘහණියකට උනත් මේ කාර්‍ය්යට සැමියාට සහය වෙන්න පුලුවන්.ඒක කරන්නේ කොහොමද කියලයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ

ගෘහණියක් විදියට ඔබ ඔබේ නිවසේ සියලු කටයුතු සිදු කරන ගමන් හැමදේම මනා ලෙස කළමනාකරණය කරගන්නත් අනිවාර්යයෙන්ම උත්සහ කරනවා ඇති.එහෙම උත්සහ කරන ඔබට ඔබේ සැමියා උපයන මුදල් සම්බන්ධයෙනුත් යම් වගකීමක් තියෙනවා.ඒ තමයි නිවසේ ආර්ථිකය නොවැටීමට වග බලා ගැනීම.ඒ තමයි ඔබට දෙන්න පුලුවන් දායකත්වය. ඉතින් ඒක කරන්නෙ කොහොමද කියලා අපි බලමු

ආහාර

ඔබට හැකි තරම් ඔබේ පවුල වෙනුවෙන් ආහාර නිවසේම සකස් කරන්න.අත්‍යවශ්‍යයම අවස්ථාවක ඇරෙන්න නිතරම අවන්හල් වලින් ආහාර ගන්න යන්න , එහෙමත් නැත්තම් ආහාර පිටතින් ගෙන්වා ගන්න පුරුදු වෙන්න එපා. ඒ වගේම ඔබට හැකි පමණින් එළවලු ,පලතුරු සහ පලා වර්ග ඔබේ ගෙවත්තේම වවන්න ඔබට පුලුවන් .එමගින් ඔබට යම් මුදල් ඉතිරි වෙනවා වගේම සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජනය කරන්නත් අවස්ථාව ලැබෙනවා

බිල්පත්

නිවසක වියදම් ගත්තම වැඩි මුදලක් වියදම් වෙන දෙයක් තමයි බිල්පත් කියන්නේ. විදුලි ,ජල ,අන්තර්ජාල වගේම දුරකථන බිල් සියල්ල ගත්තම ලොකු මුදලක් මේවට වැය වෙනවා. ඉතින් විදුලිය සහ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම , ඒ වගේම අනවශ්‍ය දිගු දුරකථන ඇමතුම් ගැනීමෙන් වැලකීම ඔබට කරන්න පුලුවන්. ඒ වගේම එක් මාසයක මේ බිල්පත් පරික්ෂා කර අනෙක් මාසයේ එම වියදම් අඩු කරගන්න සැලකිලිමත් වෙන්නත් ඔබට පුලුවන්

සාප්පු සවාරි

ඔබ පුරුද්දට ,නැත්තම් විනෝදාංශයක් ලෙස සාප්පු සවාරි යන්නෙක් නම් ඒ පුරුද්ද හැකිතාක් අවම කරගන්න උත්සහ කරන්න.දකින දකින දේවල් මිලට ගැනීම , අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කිරීම වගේම ඔබේ මිතුරියන් කරන විලාසිතා අනුගමනය කරන්න යන්නත් එපා. ඔබට අත්‍යවශ්‍යයම සහ ඔබට ගැලපෙන දේවල් වලට හැරුනු කොට අනවශ්‍ය දේවල් සඳහා අතොරක් නැතිව වියදම් කිරීම ඔබේ සැමියාගේ පසුම්බියට ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි

නිවසේ කටයුතු වල සාප්පු සවාරි යාම

නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදි ගන්න ඔබට වෙළඳසැලකට යන්න කලින් ඔබට අවශ්‍ය දෑ ගැන ලැයිස්තුවක් සකස් කරගන්න.එහිදි අදාල භාණ්ඩය ,කොපමණ අවශ්‍ය වෙනවද යන්නත් , සහල් වැනි දෑ මිලදි ගන්නවා නම් කිලෝ කීයක් මිලදි ගන්නට අවශ්‍යද යනුවෙන් සටහන් කරගන්න.එසේ ලැයිස්තුවක් සකස් කරගැනීම මගින් ඔබ අවශ්‍ය නොවන දේවල් මිලට ගැනීම වැළකෙනවා.ඒ වගේම භාණ්ඩ මිළදී ගැනීමට පෙර එවැනිම වූ අනෙක් භාණ්ඩ සමඟ මිළ ගණන් සසඳා බලන්න. වට්ටම් සහිත භාණ්ඩ තිබේදැයි බලන්න.ඒ වගේම ඒවායේ ගුණාත්මක බව පිළිබඳවත් සැලකිලිමත් වෙන්න

වියදම් පරික්ශා කරන්න

ඔබ සතිපතා හෝ මාස්පතා ඔබේ සැමියා සමඟ ඔබේ නිවසේ වියදම් පරික්ශා කර බලන්න.බිල්පත් සඳහා ,ආහාර සඳහා , අනෙකුත් අවශ්‍යතා සඳහා කොපමණ මුදලක් වියදම් වී ඇත් දැයි ගණන් බලන්න. එවිට ඔබට නිවසේ සමස්ත ආර්ථික තත්වය ගැන, අනිවාර්‍යය වියදම් සහ වෙනත් වියදම් සම්බන්ධයෙන් යම් අදහසක් ඇති කරගෙන ඒ අනුව අනෙක් වියදම් සැලසුම් කරගන්නට පුලුවන්

ඉතිරි කිරීම

ඔබ ඔබේ සැමියා හා එක්ව සාකච්ඡා කරල හදිසියේ ඇතිවිය හැකි අවශ්‍යතා සඳහා ඔහුගේ වැටුපින් යම් මුදලක් වෙන් කර තබා ඉතුරුවක් ලෙස වෙනම බැංකුවක තැන්පත් කරන්න. නැතිනම් ඉහත දක්වා ඇති ක්‍රම අනුගමනය හරහා ඔබට සැමියා නිවසේ වියදමට දෙන මුදලින් යම් සුලු ප්‍රමාණයක් හෝ ඉතුරු කර ගත හැකි වේවි. ඒ මුදල මෙවැනි ඉතුරුම් සදහා යොදා ගන්න ඔබටම පුලුවන් එවිට පවුලේ අයෙකුගේ රෝහල් ගතවීමක් , වාහන අලුත්වැඩියාවක් , මංගල උත්සවයක් , දරුවන්ගෙ අධ්‍යාපන කටයුත්තක් හෝ නිවසේ අලුත්වැඩියාවක් වෙනුවෙන් හදිස්සියේ ඔබට මුදල් අවශ්‍ය වුවහොත් ඔබට කලබල වෙන්න අවශ්‍ය වන්නේ නෑ. .

මෙන්න මේ පුංචි දේවල් වලින් ඔබට ඔබේ නිවසේ ආර්ථිකයට රැකියාවක් නොකර උනත් දායකත්වය දෙන්න පුලුවන්.ගෘහණියක් කියන්නේ හැම දේම මනා ලෙස කළමනාකරණය කරගන්න පුලුවන් තැනැත්තියකට. ඉතින් ආදරය පිරුනු ඔබේ නිවසේ ආර්ථිකය කියන්නෙත් ඔබ සතු වගකීම ක් නිසා ඔබ මෙන්න මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න

Related Articles

Don't Miss


Latest Articles