fbpx

අහංකාර නගරේ -32

ලෝකයේ වන ලොකු ම සතුට තියෙන්නේ පවුලක් ඇතුළේ බව මා දෑසින් දුටු ප්‍රථම අවස්ථාව එයයි. සිතිජ ගේ පියා සිටියේ දෝරෙ ගලන සතුටකිනි. ඒ සතුට ඔහු පිටතට දැමුවේ හඬ නගා සිනහ වීමෙනි. සිතිජ, ආඩම්බර කාරයා සිය හැඟීම් වැඩිපුර කාටවත් පේන්නට හැරියේ නැත. නෙළුම් නැන්දා ගේ සතුට තිබුණේ ඇස් වල ය.

විදුහල්පති තුමා තකහනියේ යළි පිටතට ගොස් ආවේ ය. ඔහු ගේ ඉල්ලීම මත නෙළුම් නැන්දා කට ගැස්මක් පිළියෙල කළා ය.

“සර් බොනවද…”

මම ඇගේ කනට කර ඇසුවෙමි. ඇය සිනහවක් පෑවා ය. ඒ වගේ ප්‍රශ්නයක දී තරහ ගෙන බැණ වදිනු වෙනුවට සිනහ වෙන්නට ගැහැනියකට පිළිවන් ද කියා තේරුම් ගන්නට මට හැකි වූයේ නැත.

“එහෙම නිතරම නං නෑ. ඉඳහිට ඉතිං ඔය බියර් එකක් එහෙම ගෙනත් බොනව. මුලිංම මං විරුද්ද වුණාම එයා හිනා වුණා මේව ගෑනුත් බොනව නෙළුම් කියල. එයාට ඒකෙං සතුටක් ලැබෙනවනං මාත් ඉතිං ඒකට පැටලෙන්න ගියෙ නෑ. කොහොමත් ගෑනු ආසාවලුයි පිරිමි ආසාවලුයි දෙවිදිහක් මෙව්නා. එයාල එයාලගෙ ජීවිතේ විඳින්න ඕනෙ. අපිට ඕන විදිහටම දේවල් කරන්න කියල බල කළහම එපා වෙලා යනව. අපිට වුණත් එහෙමනෙ ඉතිං”

ලොකු විභාග සමත් වී නැතිවාට සමාජ විද්‍යා උපාධි ධාරියෙකු සතු දැනීමක්, ස්ත්‍රී පුරුෂයන් විෂයේ ඇයට ඇතැයි මට සිතිණි. ඒ වගේ නිදහස් අදහස් ඇති ගැහැනියක ළඟ නතර වෙන්නට පිරිමියෙකු ට සිත් වීමේ අරුමයක් තිබිය නො හැකි ය.

තාත්තා ත් පුතා ත් දේශපාලනය ගැනත් රැකියා හා වාහන වැනි පිරිමි මාතෘකා ගැනත් කතා කරමින් බෝ වෙලාවක් ගෙවා දැමූහ. පුතා කට ගැස්ම කෑවේ ය. තාත්තා මඳ පමණ මත් වෙමින් සිටියේ ය. නිම වෙන්නට වෙන්නට නෙළුම් නැන්දා ආශාවෙන් කටගැස්ම තැනුවා ය.

“ගෑනියෙක් වෙන මොනා දැන ගත්තත් වැඩක් නෑ මෙව්නා දුව…බයිට් හදන්න දන්නෙ නැත්තං”

ඇය තරමක් හඬ නැගෙන සේ සිනහ වූවා ය.

“ලස්සනට ඒක කරල දුන්නහම පිරිමියෙක් ඉඳහිට බොන්නෙ හරි ඒ ගෑනිගෙ ඇස් දෙකට පේන මානයෙ තමංගෙ ගෙදරනෙ. පිරිමියෙක් පිට ගේකට ගිහිං බොනවයි කියන්නෙ අනාගතේ ගොඩක් ප්‍රශ්න වලටත් මූණ දෙන්න නියමිතයි කියන එක තමයි”

“මටනං ඔය ස්මෙල් එක උහුලන්න අමාරුයි”

“සිතිජ පුතා එහෙම බොන කෙනෙක් වෙන එකක් නෑ”

ඇය ජීවිතය දෙස බලන්නේ මොන තරම් ශුභ වාදී ආකල්පයකින් ද? කෙතරම් නිදහස් හැඟීමකින් ද? ප්‍රේමය මා නීතිය අතර ඇති යා කළ නො හැකි මහා පරතරය ගැන නිරපේක්ෂ අවබෝධයකින් ඈ පොහොසත් ය.

“නැන්දා”

ටික වෙලාවක් කල්පනාවට වැටී උන් මම හෙමිහිට ඈ ඇමතීමි. ඇය මවෙත විත්, කුස්සියේ කුඩා මේසය ඉදිරියේ වූ අනිත් අසුන ඇද හිඳ ගත්තා ය.

“මට තේරෙනව”

ඇයට තේරුණේ කුමක් දැයි මට තේරුණේ නැත.

“මොනාද…”

“ඔයාට හුඟක් ප්‍රශ්න තියෙනව කියල…මගෙං අහන්න”

“ඔයාට මූණ බලල සාස්තර කියන්න පුළුවන් ද කොහෙද…”

පිරිමියෙක් එක්ක ආදරෙං බැඳෙන ඕන ගෑනියෙක්ගෙ හිතේ ප්‍රශ්න කෝටි ගාණිං පේළි ගැහෙනව කියල මං දන්නව”

ප්‍රේමය කියන්නේ මරියානා අගාධයටත් වඩා ගැඹුරු වූ හැඟීමක් බව මම දන්නෙමි. සිතිජ හමු වෙන තුරා මම ඒ හැඟීමේ ඉවුරට හෝ ගොඩ නො බට තැනැත්තියක වීමි. ප්‍රේමය නිසා හෝ ප්‍රේමය නො හැඳිනීම නිසා අම්මා පත් තත්වය මත, ප්‍රේමය විෂයේ උවමනාවෙන් ම මම අසංවේදී ව සිටියෙමි. නමුත් සැබෑවට ප්‍රේමය මුණ ගැහුණු කල පලා යා නො හැකි ය. ප්‍රේමයෙන් සැඟවෙන්නට තැනක් අහසෙහි හෝ පොළොවෙහි හෝ සයුරෙහි නො වන්නේ ය.

“ඔයාට කවදාවත් ප්‍රශ්නයක් වුණෙ නැද්ද…සර් අයිති වෙන කෙනෙක්ටයි කියන එක…”

මගේ හිතේ නලියෑ ප්‍රශ්නය ඇය ඉසිහින් සිනහවකින් පිළිගත්තා ය.

“නෑ”

මට දැනුණේ කම්පනයකි.

“මොකද…සර් මං ළඟ ඉන්න හැම වෙලාවක ම මට දැනුණෙ එයාගෙ ආදරේ අයිති එක ම ගෑනි මම කියලයි. විවාහ සහතිකේකට හුඟක් දේවල් කරන්න පුළුවන් තමයි මෙව්නා. ඒත් විවාහ සහතිකේකිං කාගෙවත් ආදරේ කාටවත් ලියල දෙන්න බෑ. අනිත් ඒව පුළුවන්…වස්තුව දේපල…හැබැයි ආදරේ බෑ”

ලෝකයට අනුව ඈ අනියම් බිරිඳ ය. නමුත් ජයශාන්ත මහතා සතුටෙන් සිටින්නේ රෝස්මරී වෙනුවෙන් තැනූ නිවසෙහි නොවේ. සතුට තියෙන තැන අනියම් ය කියා කියන්නට තරම් මිනිසුන් මුග්ධ වූයේ කෙසේ ද? නීතියට වඩා ස්ත්‍රී පුරුෂ බැඳීමක දී වැදගත් වන්නේ ප්‍රේමය නම්, අනියම් බිරිය වන්නේ රෝස්මරී ය.

“මට ඒ කිසි දෙයක් වැදගත් නෑ. අද තව වෙන තුරා සර්ට කොච්චර පඩි ලැබෙනවද කියලවත් මං අහල නෑ. එයාට කොහේ කොහේ ගෙවල් තියෙනවද ඉඩං තියෙනවද කියල මං දන්නෙත් නෑ. මට සත පහක දෙයක් ඕනත් නෑ. හැබැයි හැම සති අන්තෙකම එයා මාව හොයං එනව කියන සැනසීම මට තියෙනව. ඒ සැනසීම නැති කර ගන්න ඒගොල්ලන්ට ඩිවෝස් වෙන්න කියන ඉල්ලීමවත් මගෙ කටිං මං ඉල්ලලා නෑ”

ඇය අනුන් ගේ පිරිමියෙකු උදුරා ගත් අමන ගැහැනියක සේ ලෝකයා විසින් හංවඩු ගසන්නට පුළුවන. නමුත් ඇය උදුරා ගෙන ඇත්තේ මොනවා ද යන පැනය දැන් මා ඉදිරියේ නග්න ව නැගී සිටී. 

මා පසක් කර ගත් සත්‍යය නම්, ප්‍රේමය හැබැහින් පවතින තැන නියම පෙම ය. ප්‍රේමය නො පවතින තැන අනියම් ය.

මඳ මත් බව නිසාවෙන් ජයශාන්ත මහතා වෙනදා ට වඩා සැහැල්ලුවකට පත් ව සිටි බව පෙනිණ. කෑමෙන් පස්සේ අප සමු ගන්නට හදත්දී ඔහු අප ව ගෙනැවිත් ඇරලවන්නට සූදානම් වූයේ ය.

“ඩ්‍රිංක්ස් අරගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන් ද…නෑ නෑ එපා. අපි ටැක්සි එකක් කෝල් කර ගන්නං”

සිතිජ එරෙහි වූයේ ය. ජයශාන්ත මහතා හඬ නගා හිනැහුණේ ය.

“දැං උඹ හිතන්නෙ මට වෙරි කියලද…”

“වෙරි නැති වුණත් පොලීසියෙං ඇල්ලුවොත් එහෙම…යනකොටනං මට ඩ්‍රයිව් කරන්න පුළුවන්. තාත්තට එන්න වෙන්නෙ තනියමනෙ”

“මං සිතිජට ඉක්මනට කාර් එකක් අරං දෙනව. ඇත්තටම ඒ සිතිජට නෙවෙයි. මෙව්නාට…”

ඔහු සිතිජ අත්හැර මවෙත ආවේ ය.

“මට අද පුදුම සතුටක් දැනෙනව පුතේ. එක වහලක් යට හිටියත් සෑහෙන දුරිං හිටිය පුතෙක් ව ඔයා මට මං ළඟට ගෙනත් දුන්න. මං දන්නව…ඒක කළේ ඔයා”

ඔහු මගේ හිස පිරිමැද්දේ ය. මම මඳ සිනහවකින් බිම බලා ගෙන සිටියෙමි.

“හොඳ ගෑනියෙක්ට පුළුවන් පුතේ පිරිමියෙක් ගෙ ජීවිතේ උඩ දිව්‍ය ලෝකෙ කියන දේ මවන්න. ඔයා එහෙම කෙල්ලෙක්. ඔයා එහෙම කරන්න දන්න කෙල්ලෙක්. මගෙ කොල්ලා වාසනාවන්තයි කියල බය නැතුව කියන්න මට පුළුවන්. බය නැතුව…ම්…”

“ඔනවට වඩා මුරුංගා අත්තෙ නග්ගන්නැතුව ඉන්න”

සිතිජ සිනහ වෙවී කීවේ ය. 

“අන්තිමට මුරුංගා අතු හයිය නෑ කියල අමතක වෙලා කඩා වැටිල අත පය කඩා ගත්තහම…”

“මං දන්නව මේ කෙල්ලව මුරුංගා අතු වල නග්ගන්නත් කාටවත් බෑ කියල…අපිට පොළොවෙ පය ගහල ජීවත් වෙන කෙල්ලෙක්ව හම්බ වුණ එක ලොකු දෙයක්. නේද නෙළුම්…”

“හ්ම්”

“හම්බ වුණා නෙවෙයි මං හොයා ගත්ත”

“උඹ කොහෙන්ද හොයා ගත්තෙ…පලයං යන්න. මාව හොයාගෙනයි මේ කෙල්ල කොළඹට ආවෙ”

ඔවුන් කතා කළේ මා කේන්ද්‍ර කර ගෙන වීම නිසා මට වාචික ව ප්‍රකාශ කරන්න ට යමක් වූයේ ම නැත.

“ඔය ළමයට ඔය ස්මෙල් එක අල්ලන්නෙ නෑ අනේ”

මා බිම බලා ගෙන ම සිටි නිසා ද මන්දා නෙළුම් නැන්දා කීවා ය. සිතිජ ගේ පියා කොක් හඬ ලා හිනැහෙමින් මා අත් හළේ ය.

“අන්න ඒක ගෑනු මායං හැටෙං එකක්. අහු වෙන්න එපා සිතිජ ඕවට”

බෝ සොඳුරු හෝරා කිහිපයක් අතීතය ට එක් වෙමින් තිබිය දී, නෙළුම් නැන්දා සුරනි ට දෙන්න කියා ඔතා දුන් කෑම පාර්සලය ද ගෙන අපි යළි පැමිණියෙමු. සිතිජ බොහෝ දුරක් එන තුරු ආවේ නිහඬව ය. ඒ වෙලාවේ ඔහු ට ඒ නිහඬ බව විඳ ගන්නට ඉඩ සලසා දීම මගේ යුතුකමක් සේ මට දැනිණි. 

“තෑන්ක් යූ”

බෝඩිම ළඟ පාරේ දී ත්‍රිරෝද රියෙන් බැස, මාත් එක්ක වත්ත ඇතුළට එන ගමන් සිතිජ කීවේ ය. මම නෙතු ඔසවා බැලුවෙමි. ඉස්තෝප්පුවේ දැල්වෙමින් තිබූ අඩු එළියක් ඇති විදුලි පහනේ මලානික ආලෝකයෙන්, මම ඒ ඇස් වල තිබූ ආදරය මැනවින් දුටුවෙමි.

“ජීවත් වෙනව කියල මට දැනෙන්න ඉඩ ඇරියට. මං ළඟින් මේ මොහොතෙ ඉන්නවට. මාත් එක්ක ජීවිතේම ගෙවන්න හිත හදා ගත්තට…”

ඔහු මගේ නළලත මුදු හාදුවක් තැබුවේ ය. එතකොට ම කාමරයේ දොර හැරිණි.

“හප්පට සිරි. වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් ෂූට් කරනව කියල මං දැනං හිටියෙ නෑනෙ”

සුරනි බොරුවට යළි දොර වහන්නට ගියා ය.

“මේ යසට ඉන්න අපිවත් නරක් කරන්න හදනව. ඇන්ටි දැක්කනං එහෙම හෙට උදේම රෙජිස්ට්‍රාර් කෙනෙක් ගෙන්නලයි නතර වෙන්නෙ”

සිතිජ යළි ත්‍රීරෝද රියට නැගී යන්නට ගියේ ය. දොර වසා දැමූ සුරනි, හත් වේලක් නිරාහාරව සිටියා සේ බත් මුල දිග හැර ගෙන කන්නට පටන් ගත්තා ය.

“අපරාදෙ…ඔයාටත් එන්නයි තිබුණේ”

මම කීවෙමි. දවල් අපත් සමග යන්නට කෙතෙක් ඇරයුම් කළත් සුරනි ආවේ නැත.

“අපි වෙන දවසක යමු. මාත් ආසයි නෙළුම් ව දකින්න.ඒත් අද ඔය හතර දෙනා විතරක් එතන හිටිය එක හොඳයි”

නෙළුම් නැන්දා කී සමහර වාක්‍යය එහෙම ම උපුටා මම සුරනි ට කීවෙමි. ඇය නිහඬ ව ඒ සියල්ල අසා සිටියා ය. 

“මං හිතුවෙ නෑ මෙච්චර ලේසියට මේව විසඳෙයි කියල. මොනා වුණත් හෙට එච්චර කළුවර වෙන එකක් නැති වෙයි”

“ඒත් මං ජීවත් වෙන්නෙ මේ මොහොතෙ විතරයි සුරනි. නෙළුම් නැන්දා වගේ හිතන්න පුරුදු වෙන එක හරි නිදහසක් කියල හිතෙනව”

සිතිජ ගෙදර ගිහින් දුරකතන ඇමතුමක් දී “මං ආවා” කියන විටත් මම ඒ අපූර්ව නිදහස් හැඟීම තුළ පා වෙමින් සිටියෙමි. ජීවිතය කියන්නේ කිසිදු බරක් දනවන හැඟීමක් නොවේ. අවබෝධ කර ගත් විට ජීවිතය වූ කලී වලාකුළ ක පා වීමට සම කළ හැකි දෙයකි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
2
0
Would love your thoughts, please comment.x
()
x