ආදරණීය සබඳතාවක් ශක්තිමත් කරන්න කුඩා කැලෑ මලකට වුණත් පුලුවන්.

ජෝ බයිඩන්, ඇමරිකානු ජනාධිපතිවරයා ඉතා මෑත දිනකදී ජෝර්ජියාවට යන්නට පිටත් වන්නේ තම බිරිඳ සමඟ.ගුවන් යානයට නගින්නට යන අතරමඟ තැනක නවතින ඔහු තණ පලසට නැවී බිම වැවී තිබූ Dandelion නම් කැලෑ මලක් කඩා ඇය අතට දෙනවා. මෙලෙස ආදරය පළ කරන්නට කුඩා කැලෑ මලක් ප්‍රමාණවත් බව අපිට සිහි කරන්නේ අන් කිසිවෙකුත් නොවේ ලොව බලවත්ම රාජ්‍යයේ නායකයා වන ඉතාමත් ආදරණීය සැමියෙකු ලෙස සැවොම අතර පිලිගැනෙන වර්ථමාන ඇමරිකානු ජනාධිපතිවරයා යි.

“ඔබ සමඟ අභියෝගවලට මුහුණ දෙන,ඔබට ජීවත් වෙන්නට ධෛර්යය සපයන ඔබ ගැන සැලකිලිමත් වෙන කෙනෙක් සහකරු හෝ සහකාරිය කරගැනීම ජීවිතය සාර්ථක කර ගන්නට හේතුවක්”

එක්තරා තැනකදී ජෝ බයිඩන් එසේ පවසා තිබෙනවා.එවැනි සහකාරියකට කුඩා කැලෑ මලක් හෝ තිළිණ කර හැකි සෑම විටම ආදරය පළ කරන්නට තරම් ඔහු ආදරයෙන් පොහොසත්.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයා වූ නාමල් රාජපක්ෂ තම තුරුණු බිරිඳ ව්‍යායාම කරනතුරු කුඩා පුතු තුරුලේ රඳවාගෙන හුන් ඡායාරූපයක් පසුගිය කාලයක සමාජ ජාලාවල අතිශය ජනප්‍රිය වූ අන්දම ඔබට මතක ඇති.රටේ ප්‍රබල රාජ්‍ය නායකයෙකුගේ ලේලියකට පවා, ප්‍රබල ඇමතිවරයෙකුගේ බිරිදක් වූ ඇයට අන් සියළු කාරණාවලට වඩා වටින්නේ තම ආදරණීය සැමියාගේ සහයෝගය සහ ආදරය බව ඔහුත් වටහා ගෙන ඇති.

ජනප්‍රිය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි ඔහුගේ වැදගත් ක්‍රිකට් තරගයක් අමතක කර දමා අනුෂ්කා ෂර්මාට දියණිය ලැබෙද්දී ඈ අසල රැඳෙන්නට අමතක කළේ නෑ.ඇයට ඉහළම වෛද්‍ය පහසුකම් ඇති රෝහලකට ප්‍රසූතියට යන්නට මුදල් වැය කිරීම තරම්ම ආදරය සහ ඇය අසල රැඳීම ද අවශ්‍ය බව ඔහු වටහා ගත්තේ එලෙසින්.

බොලිවුඩ් සිහින කුමරෙකු වෙන රන්වීර් සිං ඔහු අත සම්මානයක් රැඳෙන ඕනෑම විටෙක ඔහුගේ බිරිඳ දීපිකා පදුකොන්ට විශේෂ ස්තූතියක් තබනවා.ජීවිතය පිරිනමන සියළු යහපත් දෑ ලැබෙන්නේ ඇගේ වාසනාවට බව පැවසීම ම ආදරය බව ඔහු දන්නවා.

ආදරය එවැනි ඉතා සුන්දර තැන්වල සැඟවී තිබෙනවා.ගැහැනියක ආදරය යැයි වටහා ගන්නේම එවැනි කාරණා.ආදරය දැනෙන්නට කුඩා හේතුවක් ප්‍රමාණවත්.
අවශ්‍ය වන්නේ එය අවංක හැඟීමක් වීම පමණයි.

ප්‍රේමය ඉපදෙන්නට මහා විශාල හේතු උවමනා බව ඔබ හිතනවා ද? දියමන්ති මාලයක්, මිල අධික අත් බෑගයක් හෝ සුවඳ විලවුන් බෝතලයක්, සාප්පු සවාරියක්, විදෙස් සංචාරයක් ආදරය පෙන්වන මහා ව්ශාල කාරණා බවත් ගැහැනුන් බැඳෙන්නේ එවැනි සාධක වලට බවත් හිතන පිරිමින් පිරුණු ලෝකයක ඇත්තටම කාන්තාවන්ට අවශ්‍ය සැබෑ අවංක සෙනෙහසත්, ආදරණීය සොයා බැලීමක් බවත් අමතකව ගොස් ඇති දේවල් වෙලා.

සෙනඟ පිරුණු වීදියක ගමන් කරද්දී ලැබෙන අහඹු සිප ගැන්මක්, ඔබ ඇඳුම් තෝරනතුරු ඒ වෙනුවෙන් කාලය ලබා දී ඔබ වෙනුවෙන් බලාසිටින ඉවසීමක් , දැඩි හිසරදයකින් පීඩා විඳිනවිට හිස අතගා බාම් තැවරීමක් තුල ඇත්තේ මහමෙරක් තරම් ඔහුගේ ආදරේ බව ඔබට වටහා ගත හැකි නම් ලොව වාසනාවන්ත බිරිදක් යන සතුට විදීමේ හැකියාව ඔබට ලැබේවි. ඔහු රැගෙන දෙන බොහෝ මිල අධික තිළිණයක් තරමටම හෑන්ඩ්මේඩ් කාඩ් එකක,ඔහුගේ අත් අකුරින් ලියූ ලිපියක ඔබ ආදරය අහුලාගෙන ඇති බව මට විශ්වාසයි.

ආදරය ලෝකය පුරා හැම ගැහැනියකටම දැනෙන්නේ මිල අධික තැනක නොවේ.ආදරය වැඩි තැනෙකයි.

Related Articles

Don't Miss


Latest Articles