අහංකාර නගරේ -34

ගමේ අපේ ගෙදරට මීට පෙර කවදාවත් මෝටර් රථයක් පැමිණ නැති බව මට සහතික ය. මිදුලේ නැවතුණ සිතිජ ලා ගේ රිය දැක කිරි අම්මා ඒ තරම් තිගැස්සුණේ එනිසාවෙන් යයි මම සිතමි. අහල පහල වූ ගැහැනු පිරිමි ද වැට අයිං වල සිට කොකම් පානවා මම දුටිමි. මිදුලේ වේලෙන්නට දැමූ කහ ටික එකතු කරමින් සිටි කිරි අම්මා චීත්ත පොටෙහි අත් පිස දමමින් නැගී සිටියා ය. නගරයේ වැඩි ඉල්ලුමක් ඇත්තේ කහ කුඩු වලට වන මුත්, කිරි අම්මා කහ තනා ගන්නේ වියලා ගත් කහ කැබලි ගලේ දමා අඹරා ගැනීමෙනි. ඒ ඇඹරූ කහ ගුලියට ලුණු අත ගා තැබීමෙන් සතියක් දෙකක් වුව නරක් නොවී තබා ගන්නට පුළුවන. නගරයේ කහ කුඩු කියා වැඩිපුර වෙළෙඳ පොළේ තිබෙන්නේ වර්ණක යෙදූ පාන් පිටි යයි සුරනි කීවා මට මතක ය.

මම රියෙන් බැස ගතිමි. මුව මඳක් අයා ගෙන බලා උන් ඕ මා හැඳිනූ වගක් පෙන්වූයේ නැත.

“ඇයි කිරි අම්මෙ ඔහොම බලං ඉන්නෙ…කිරි අම්ම මාව ඇඳිරුවෙ නැද්ද..”

කියා අසා ගෙන මම ඈ වෙත ගියෙමි. දත් නැති මුව විදා ඕ සිනහ මල් වට්ටියක් ම මට පිදුවා ය.

“අයියනායක දෙයියනේ…මේ උඹනෙ මයෙ මැණිකෙ. මං හිතුවෙ ආණ්ඩුවෙ කන්තෝරුවකින් මොකක් හරි හුටප්පරේකට ආපු නෝනා මහත්තුරු ටිකක් කියලයි”

මගේ අත් දෙක සිය පරඬැල් දෑතින් පිරිමදින ගමන්, රියෙන් බසිනා අනිත් අයවලුන් දෙස කිරි අම්මා විශ්මයෙන් බලා උන්නා ය.

“මේ මං එහෙ ගිහිං නතර වුණ ගෙදර ප්‍රින්සිපල් සර් කිරි අම්මෙ. අපේ සර්ගෙ යාළුව”

මම කිරි අම්මා ගේ හිතේ බය සැක දුරු කිරීමේ උත්සාහයක් ගතිමි.

“මං මෙහෙ එන්න ලෑස්ති වෙනකොට සර්ලත් එනව කිව්ව”

“අනේ ආ එක මොන තරං දෙයක්ද…මේ සර්ගෙ නෝනයි පුතයි වෙන්ටැති”

මම ඔව් යි හඟවන්නට හිස සැලුවෙමි. කිරි අම්මා සිතිජ විනිවිද බැලුවා ය. ගිය වතාවේ ආ වෙලේ මා කීවේ ඔහු ගැන බව ඇයට හොඳින් මතක ඇති බව මම ඒ බැල්මෙන් ම වටහා ගතිමි. නමුත් කිරි අම්මා ඔහු ගැන කිසිත් ඒ වෙලාවේ අසන්නට ඉදිරිපත් වූයේ නැත.

“ඔන්න අපි අම්මගෙ මිණිපිරීව එක්කගෙන ම ආව. පොඩි විවේකයකටත් එක්ක ගමේ හුලං ටිකක් වැදිල යන්න එහෙම”

විදුහල්පති තුමා කිරි අම්මා වෙත ගොස් ඉමහත් කරුණාවන්ත ස්වභාවයකින් කීවේ ය. කිරි අම්මා ගේ ඇස් කඳුළු පටලයකින් බොඳ වී යනවා මට පෙනුණි.

“අනේ ඉතිං පිං සිද්ද වෙනව බුදු සර්. මේ කෙල්ල ගියාට මොන වින්නැහියක් කරං එයිද කියල තුන් තිස් පැයේ මං හිතේ ගින්දරෙං හිටියෙ. මිනිස්සුංගෙ වේසෙං නොමිනිස්සු ඉන්න කොළඹ රටේ…මේ කෙල්ලට දෙවිවරු වගේ පවුලක් පිහිට වුණේ මං අයියනායක දෙයියන්ට කරපු කන්නලව් නිසාම වෙන්ටැති”

“හොඳ මිනින්සුන්ට වරදින්න විදිහක් නෑ අම්මෙ”

විදුහල්පති තුමා කිරි අම්මා ගේ හිස මත අතක් තබා කීවේ ය. මම සෙනෙහස් හැඟීම් වලින් දෝරෙ ගලමින් සිටියෙමි. ජීවිතයේ බෝ කාලයක් මගේ සමාගමයෙන් පිට සමීප ඥාති ඇසුරක් විඳ නැති කිරි අම්මා සන්තෘෂ්ටියෙන් උද්දාමයට පත් ව සිටියා ය. පුටු කබල් දෙකක් පමණක් ඇති අපේ ගෙදර පිල හැරෙන්නට ඔවුන් ට ඉඳ ගන්නට හෝ සුව පහසු තැනක් වූයේ නැත.

කියවන්න :  අහංකාර නගරේ -05

“අනේ සර් අපේ ගෙවල් වල සැප පහසුකං නං නෑ”

මා පිලේ පැදුරු කැබැල්ල ගසා දැමුවේ හිතේ දෙගිඩියාවෙනි. සිය පියා ත් මහියංගන ගමනට එක් වෙනවා කී වෙලාවේ සිට මම ඒ වියවුළෙන් පීඩා වින්දෙමි.

“මෙව්නා. ගමකට ආවහම ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගමක් වෙන එක කොයි තරං දෙයක්ද…ඒත් අවාසනාවකට අපේ ගම් වුණත් අද සම්පූර්ණයෙන් ගම් නෙවෙයි. නාගරීකරණය ගමත් ගිලගනිමින් ඉන්නෙ”

“හිටින්නකො මං සුරුස් ගාල කොමඩු ගෙඩි දෙකක් කඩං එන්නං. පිපාසෙත් ඇති මේ නෝනා මහත්තුරුන්ට”

කියමින් කිරි අම්මා වත්ත පහලට දිව්වා ය. මේ වතාවේ ඇගේ බඩ ඉරිඟු වගාව සරු සාර බව බැලූ බැල්මට මට පෙනුණේ ය. වෙල් යාය පිස ගෙන හැමූ සුළඟ, වැසි නො ලද පොළොවෙන් නැගෙන දාහය පිස හමා ගියේ ය. 

සිතිජ ගේ පියා බඩ ඉරිඟු යාය දෙස බලමින් මිදුලට බැස්සේ ය. ඒ අනුව නෙළුම් නැන්දා ද මිදුලට බැස්සා ය. පිල උඩ හිඳ උන් සිතිජ ගේ ඇස් මවෙත ම දැල් වී ඇති සෙයක් මට නො දැනුණා නොවේ. එනිසා ම මම හැකි තාක් ඒ ඇස් මග හැර සිටියෙමි. නමුත් එසේ කළ නොහී පරාජය පිළි ගන්නට සිදු වූ අවස්ථාවක් එළඹුණේ ය.

“ඇයි…”

මම හෙමිහිට ඇසුවෙමි. නමුත් ඔහු මුණිවතින්, කතා කරන දෑසින් බලා සිටියේ ය.

“ඇයි අනේ…”

“ආඩම්බර හිතෙනව”

“මොනා ගැනද…”

“මගෙ කෙල්ල ගැන”

ඒ ඇස් දිළිසෙන්නේ ඒ ආඩම්බරයෙන් බව මම දැන සිටියෙමි. 

“මෙහෙම ගමක ඉඳල ගිහිං ඔයා එහේ උගුල් වලට අහු නොවී හිටිය එක ගැන මට හිතා ගන්නත් බෑ”

“අහු වුණේ නෑමත් නෙවෙයිනෙ”

“ඒ මොකටද…”

ඔහු ගේ ඇස් විමතියෙන් කුඩා වී තිබුණේ ය. මම සිනහවක් නගා ගතිමි.

“මොනාටද කියන්නෙ…ඔයාගෙ උගුලට”

“ඒයි මේ…”

පිල මතින් නැගී සිටි ඔහු මගේ කන් පෙත්තක් රිදෙන්නට මිරිකුවේ ය. ජයශාන්ත මහතා ට ඇසේ යයි බියෙන් මම ඇස් තද කර ගෙන ඒ රිදුම ඉවසා ගතිමි.

“කපල දීහං කෙල්ලෙ මේ කොමඩු ගෙඩි…මං ඉක්මන්ට මොනා හරි රත් කරල ගන්නං”

වත්තේ සිට ඉක්මන් ගමනින් ආ කිරි අම්මා කොමඩු ගෙඩි දෙකක් මගේ දෑතට පත් කරමින් කීවා ය.

“අනේ අම්මෙ දැන් මොනවත් උයන්න ඕන නෑ”

නෙළුම් නැන්දා යළි ගෙට එමින් කීවා ය.

“අපි මගදි එක එක දේවල් කකා ආවෙ. බඩ හොඳටම පිරිල තියෙන්නෙ. නේද මෙව්නා…”

“ඔව් කිරි අම්ම. අපි රෑට හොඳ ගමේ කෑමක් හදමු”

“අන්න ඒක හොඳයි”

කවුරුත් හිටියේ සතුටෙනි. සිය ජීවිත කාලය තුළ දී කිරි අම්මා ව ඒ තරම් සතුටු කරන්නට හැකි වීම ගැන මම අතිශය ප්‍රීතිමත් වෙමි. 

“දැං ඔය නෝනා මහත්තුරු දන්නවද කෙල්ලෙ උන්දැලගෙ පුතණ්ඩිය එක්ක උඹේ තියෙන ඇයි හොඳයිය ගැන..”

මා තනි කර ගන්නට අවස්ථාවක් ලැබුණ ගමන් කිරි අම්මා ඇසුවා ය. මට සිනහ ගියේ ය.

“ඇයි උඹ හිනා වෙන්නෙ…”

“නෑ. මට පුදුම කිරි අම්මා ඔය ප්‍රශ්නෙ අහන්නෙ නැතුව මෙච්චර වෙලා ඉවසගෙන හිටපු එක ගැනයි”

“උඹනං හිනා වෙයි ඉතිං”

“දන්නව කිරි අම්ම. සර් කැමැත්ත දුන්නා අපිට. ඒකනෙ මෙහෙම ආවෙත්”

“අනේ දෙයියනේ…එහෙනං දැං ඉතිං මට සැනසීමෙං මැරෙන්න පුළුවන්”

“ඒ මොකද අම්මෙ මෙච්චර ඉක්මනට මැරෙන්න ලෑස්ති වෙන්නෙ…”

කියවන්න :  අහංකාර නගරේ -38

කියා අසමින් ජයශාන්ත මහතා අප වෙත පැමිණියේ හඬ නගා සිනහ වෙමිනි. කිරි අම්මා දෑත් එක් කොට පපුව මත තබා ඔහු ට ආචාර කළා ය.

“බුදු බව අත් වෙනව මහත්තයො. මගෙ කෙල්ලට ජීවිතයක් දුන්නට. මොන නව නිංගිරහ විඳගෙනද මං ඔය කෙල්ලව උස් මහත් කර ගත්තෙ”

කිරි අම්මා ට හැඬුම් ආවේ ය. මම ඇය ව මගේ සිරුරට ලං කර ගෙන වැළඳ ගතිමි.

“අනේ කිරි අම්ම ඉතිං…අඬන්න ඔට්ටු නෑ ඔන්න”

මගේ හඬ ද බිඳී යන්නට ඇත. ඇස් කෙවෙනි දැවෙනවා ත් උගුර රිදෙනවාත් මට දැනුණේ ය. අම්මා කෙනෙක් වාගේ දශක දෙකක් මා බලා කියා ගත් ඇගේ ඇස් වල කඳුළක් දකින්නට වීම මට දරා ගත නො හැක්කකි.

“අම්මෙ…මෙව්නා වගේ ගුණ යහපත් දැරිවියක් හදපු අම්ම තමයි බුදු බව ලබන්න සුදුසු”

ජයශාන්ත මහතා සන්සුන් පරිනත ලීලාවකින් වචන තෝරා බේරා ගෙන කතා කළේ ය. කිරි අම්මා ගේ වියපත් ව රැළි වැටී කේඩෑරි වී ගිය කොපුල් දිගේ නොකඩවා කඳුළු වැල් ගලා යන්නට වූයේ ය.

“මේ වගේ අබුද්දස්ස කාලෙක අපේ පවුලට මෙහෙම දුවෙක් ලැබුණ එක අපිට ලොකු සතුටක්. ඒ ගැන අපි අම්මට ණය ගැතියි”

කිරි අම්මා ගේ වියපත් හිතට ඒ සතුටු ප්‍රවාහය දරා ගත නො හැකි වූ තරමි. ඇය වෙව්ලමින් ජයශාන්ත මහතා ගේ අත් දෙක ම අල්ලා ගෙන සිටියා ය.

රාත්‍රී ආහාරය සඳහා කුරහන් රොටි කන්නට යෝජනා කළේ ජයශාන්ත මහතා ය. කිරි අම්මා ගැමියෙකු ලවා දඩ මස් ටිකක් ගෙන්වා ගෙන යහමින් මිරිස් දමා පිසුවා ය. ඔවුන් ට නිදන්නට දෙන්න සිදු වූයේ අසල්වැසි නිවසකින් ඉල්ලා ගන්නා ලද පන් පැදුරක් බිම එලා ය.

“සර්ල නිදාගන්න අපේ ප්‍රින්සිපල් සර්ලගෙ ගෙදර ගියානං ඉවරයි”

මම කිහිප වතාවක් ඒ කතාව කීවෙමි. වුඩ්ලන්ඩ් මාවතේ මැදුරේ සැප පහසු යහන් තලා මත නිදන ඔවුන් කිසි දා පන් පැදුරක බිම නිදා ඇත්දැයි මම නො දනිමි. මේ විදිහට ඔවුන් ට ගොම මැටි ගෙබිමක් මත නිදන්නට දෙන්න වීම මගේ හිත අසහනයට පත් කොට තිබුණේ ය.

“අනේ මෙව්නා ඒ ගැන වද වෙන්න එපා දරුවො”

අන්තිමට ජයශාන්ත මහතා එසේ කීවේ මගේ හිත තේරුම් ගෙන වාගේ ය. 

“පැදුරෙන් වැටෙන්න තැනක් නෑ මෙව්නා. ඒකයි ඇත්ත. ඒත් අපි බොරු මවා පෑම් ගොඩක් අස්සෙ පැටලිලා දුක් විඳිනව. බලන්න මෙහෙම කොච්චර සනීපෙට නින්ද යයිද කියල…මටනං කොළඹ ඉද්දි ඔළුවට වද දෙන ගොඩක් ප්‍රශ්න දැං මතක් වෙන්නෙත් නෑ”

සිතිජ ද ඇස් වලින්, සන්සුන් වන්නයි මට ඉඟි කළේ ය. 

රෑ මැදියමක් වන තුරු මට නම් නින්ද ගියේ නැත. ඊළඟ වතාවේ ගම ආ පසු අම්මා බලන්නට යා යුතු යයි පෙර වතාවේ දී කළ යෝජනාව මම කිරි අම්මා ට මතක් කළෙමි. නමුත් ඇය එය හිතා මතා ම මගහැරියා යි මම සිතමි. මා කල්පනා කරමින් සිටියේ කිසි දා ක නො දුටු අම්මා කෙනෙක් ගැන ය. පාන්දර යාමයේ නෙතු පියවුණු නිමේෂයේ, මම අම්මා ව සිහිනයෙන් දුටිමි. කිසි දා ක හැබැහින් තබා පින්තූරයකින් වත් දැක නැති අම්මා ව සිහිනයෙන් දුටිමි. 

5 2 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
5 days ago

👍

දිල්හාරා ❤️
4 days ago

❤❤❤