වේදනා ඇති කරන්නේ සමු ගැනීම් නෙවෙයි, පැරණි මතකයන්. “Kabir Singh”(2019)

කබීර් සිං අතිදක්ෂ වෛද්‍ය සිසුවෙක් වුවත් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඉතා ඉක්මනින් කේන්ති යන තරුණයෙක් හැටියට.පාපන්දු තරගයක් අතරතුර ඇතිවන ගැටුමකින් පස්සේ කුලපතිතුමා ඔහුට දැනුම්දීමක් කරනවා.ඒ අනෙක් පාර්ශවයෙන් සමාව ගන්නා ලෙස හෝ නැත්නම් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී යන ලෙසට.කබීර්ගේ තීරණය වෛද්‍ය විද්‍යාලය හැර දැමීම.ඒත් අනපේක්ෂිත ලෙස ඒ තීරණය වෙනස් කරන්නේ වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරේ සිසුවිය,ප්‍රීති ශර්මා.

වෛද්‍ය උපාධියෙන් පස්සේ කබීර් විකලාංග ශල්‍ය උපාධිය හදාරන්න ඈතකට ගියත් ඔවුන්ගේ සබඳතාවය බිඳ වැටෙන්නේ නෑ.කබීර් දක්ෂ විකලාංග වෛද්‍යවරයෙක් වෙන අතරේ මේ ආදරය සුන්දරව ගලා ගෙන යනවා.

ඒත්, දකුණු ආසියාතික රටවලට පොදු ගැටලුවක් ප්‍රීති -කබීර් යුවළ වියවුලට පත් කරනවා.ඒ කුල ප්‍රශ්නය.සබඳකමට ප්‍රීතිගේ පියාගේ විරෝධය එල්ල වන්නේ කුලභේදය නිසා. මෙම ගැටලු හමුවේ කබීර් විසින් අවසන් තීරණය ගැනීම ප්‍රීතිට පවරන්නේ ඒ වෙනුවෙන් ඇයට පැය හයක කාලයක් ලබා දෙමින්.
ඔවුන්ගේ ආදරයටත් කබීර්ගේ වෘත්තිය ජීවිතයටත් තීරණාත්මක වන මේ තීරණය නිසා බොහෝ දේ සිදු වෙනවා.

රිදවීම් ඇති කරන්නේ සමු ගැනීම් නෙවෙයි.පැරණි මතකයන්.ඒ වග යළි යළිත් සිහිපත් කරන කබීර් සිං නිර්මාණය කර තිබෙන්නේ 2017 වසරේදී ආදායම් වාර්තා තබමින් තිරගත කෙරුණු Arjun Reddy තෙලිඟු චිත්‍රපටය ඇසුරෙන්.නමුත් මෙහි කබීර් ලෙස ප්‍රධාන චරිතය මවන ශාහිඩ් කපූර් මෙය කොපියක් නොවන බව පවසා තිබෙනවා.ප්‍රීති ෂර්මාගේ චරිතය නිරූපණය කරන්නේ කියාරා අද්වානි.ඉතා ඉහළ ආදායම් තැබූ චිත්‍රපටියක් වූ කබීර් සිං චිත්‍රපටිය ලියා අධ්‍යක්ෂණය කරේ Sandeep Reddy විසින්.තෙළිඟු චිත්‍රපටිය ද ලියා අධ්‍යක්ෂණය කරන්නෙ ඔහුමයි.මේ චිත්‍රපටියේ වඩා කතාබහට ලක් වූ අනිත් දේ එහි සංගීතය.ජනප්‍රිය ගී රැසක් අඩංගු කබීර් සිං චිත්‍රපටියට ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ සහ තවත් සම්මාන උළෙලවලදී ප්‍රශස්ත සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලැබෙනවා.

අතිදක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ස්ත්‍රී ලෝලියෙක් සහ මත්ද්‍රව්‍ය ලෝලියෙක් බවට පත් වෙන්නේ පැරණි ප්‍රේමයක කටුක මතක සටහන් නිසා.එහෙත් ආත්මීය ආදරයක් කොමාවක් මිස නැවතුමක් තබන්නක් වන්නේ නෑ. කබීර්ගේ ජීවිතය අවදානමක සහ විනාශයේ අවසාන භාගයේ තිබියදී පවා ප්‍රේමය ඔහුට සාධාරණත්වය ඉටු කරන්නේ ඒ නිසා.සරාගී ආදරයක වෙළී සිටි ප්‍රේමවන්තයන් වෙන් වී ගිය නමුත් ඒ සදාකාලිකව දැයි දැන ගන්න ඔබ මේ ප්‍රේමණීය සිනමා නිර්මාණය නැරඹිය යුතුමයි.

සමුගැනීම් වේදනාකාරී නොවුණත් පැරණි මතක රිදුම් දෙන බව කබීර්- ප්‍රීති ඔබට විනාඩි එකසිය හැත්තෑ දෙකක් පුරා සිහි ගන්වාවි.

ආදරය එහෙම දෙයක්!!

Related Articles

Don't Miss


Latest Articles