fbpx

අහංකාර නගරේ -36

ගමේ ජීවිතය හා නගරයේ ජීවිතය අතර වන බෙදුම් රේඛාව කොතැනක පවත්නේ දැයි නිවැරදි ව දකින්නට මට ඕනෑ විය. නමුත් එසේ කිරීම හිතන තරම් පහසු නැතැයි අන්තිමේ මම නිගමනයකට ආවෙමි. ගම් වල ජීවත් වන මිනිසුන් බෝසත්වරු සහ නගරයේ ජීවත් වන්නන් දේවදත්තයන් යයි කියන්නට මට නුපුළුවන. ගැමි ගෙවල් ඇතුළේ රහස් ඕනෑ තරම් තියේ. නමුත් නගරයේ මිනිසුන් ගේ ජීවන පුවත් සේ ඒවා ලෝකය වෙත නිරාවරණය වන්නේ නැත.

පාසල් සමයේ ළඟින් ඇසුරු කළ කල්ප ගම දා ගිය බව, ගම්මානයේ හිතවතියක් මට කීවා ය.

“කල්පයට ජොබ් එකක් හම්බ වුණාද…”

“ජොබ් එකක් නෙවෙයි. ඒකා කොතනක හරි දිවි නසාගෙන ඉඳියිද කියල දැනගන්න මේ ටිකේම මං ප්‍රවෘත්ති බලනව”

ඈ කී අපබ්‍රංසය මට තේරුණේ නැත. 

“ඒ ඇයි..”

“මෙව්නා. කල්පගෙ අම්ම ඔය මැද පෙරදිග රටකට ගියානෙ වැඩට”

“ඔව්. මාත් මෙහෙ ඉද්දිනෙ මාලා නැන්දා ගියේ. ඒ ළමයි බඩ ගින්නෙ විඳපු දුකේ හැටියට එහෙම ගිය එක ලොකු දෙයක් අප්ප”

“ඒ ළමයි එහෙම දුක් වින්දෙත් අර මිනිහගෙ වැරදි නිසානෙ”

“කව්ද විජේ මාමද…”

“හ්ම්. කනමදයා වගේ බීගෙන හවසට ගෙදර එන්නෙ පිච්චියක් අතේ නැතුව. උං වගේ පිරිමි ඉන්නකල් ඒ වගේ පවුල් වලට දෙයියංගෙ පිහිට තමයි. ඒත් කෝ දෙයියොවත් බලල…”

“මොකද වුණේ කියන්නකො”

මම තරමක් නො ඉවසිලිමත් වීමි. 

“අර බේබද්දා නැන්දා නැති ගෙදර කල්පයගෙ අක්කව අඹුවට අරගෙන”

“මොකක්…”

මා වටා ලෝකය කැරකෙන්නට ගන්නවා මට දැනිණ. ඔය වාගේ කතන්දර ඉඳ හිට පත්තර, පොත් වල කියවා තිබුණා ට හැබැහින් එවන් දේ වන බව, අපේ ගමේ අපත් එක්ක ජීවත් වූ කුමුදු අක්කා වගේ අයටත් එහෙම දේවල් විය හැකි බව මා සිහිනයෙන් හෝ දැන ගෙන සිටියේ නැත.

“කුමුදු අක්කට දරුවෙක් හම්බ වුණා ටික දවසකට කලිං. ඒකි දරුවෙක් හම්බ වෙන්න ඉන්න බවත් අන්තිම දවස් වෙනකල් ම හංගගෙනයි ඉඳල තියෙන්නෙ. මේක දැන ගත්ත ගමං කල්ප ගමෙං යන්නම ගියා. ඇත්තනෙ මෙව්නා. ඌ කොහොමද ගමට මූණ දෙන්නෙ…”

“එතකොට කුමුදු අක්කා..”

“කුමුදු අක්කා අර බේබද්දත් එක්ක පවුල් කනව. දැං එතන අලුත් පවුලක් තියෙනවනෙ. මාලා නැන්දා මෙහෙ ආපු කාලෙක මොන ගිනි විජ්ජුම්බරයක් වෙයිද කියල හිතා ගන්න බෑ”

මේ ගම ඇතුළේ ඔවැනි සිදු වීමක් වුණා යි මා ඇසූ ප්‍රථම වතාව ඒ ය. නමුත් අප නො දැන සිටි දේවල් තවත් ඕනෑ තරම් එහි වන්නට ඇත.

අම්මා ගැන සිතිවිලි, ඒ කතා ඇසෙත්දී තව තවත් මගේ හිතේ හොල්මන් කරන්නට ගති. ඇයට සිදු වන්නට ඇත්තේ කුමක් ද? දරුවෙක් ඇගේ කුසට එන්නට ඇත්තේ කොහොම ද? ලෝකයේ බොහෝ මව්වරු කෙසේ හෝ සිය දරුවන් ඇති දැඩි කරති. ඔවුන් ගේ ආර්ථික ශක්තිය කෙසේ වුණත්, ඔවුන් ගේ සමාජ තත්වය කෙසේ වුණත්, අම්මලා දරුවන් ට ආදරය කරති. දරුවන් වෙනුවෙන් ඕනෑ ම කැප කිරීමක් කරති. ඒ අතරේ මගේ අම්මා වගේ, ඉපදුණ මොහොතේ ම දරුවා ගේ මුහුණ හෝ නො බලා ඔවුන් අත් හරින අම්මලා ද සිටිති.

අම්මා එසේ කළේ ඇයි? මට ඇගෙන් අහන්නට තිබෙන එක ම ප්‍රශ්නය එයයි.

“අම්ම ඉන්න තැනකට යමු ද කිරි අම්ම…සර්ගෙ කාර් එකේම යන්න පුළුවන් නිසා අපිට ලේසියි”

මම නැවත වතාවක් කිරි අම්මා ගෙන් ප්‍රශ්න කළෙමි.

” මට ඕනෙ එක සැරයක් එයාව දකින්න විතරයි කිරි අම්මෙ. මන්දන්නෑ ඒ ඇයි කියල. ආයෙ කවදාවත් අම්ම එක්ක කිසි ගනුදෙනුවක් තියා ගන්න ඕන නෑ කියල මං කිරි අම්මට පොරොන්දු වෙනව”

ගමේ ජීවත් වූ දශක දෙකකට ආසන්න කාලයක් අම්මා වෙනුවෙන් කකියන්නට නො දැන උන් මගේ ලේ වල කකියන ස්වභාවයක් මට දැනිණ. අම්මා දකින්නට යාම උමතුවක් ව මට පීඩනය දැනවූයේ ය. අවසානයේ කිරි අම්මා තීරණයක් ගත්තා ය.

“අනේ මන්දා කෙල්ලෙ….මේක කවදාවත් කරන්නෑ කියල මං උඹගෙ අම්මට පොරොන්දු වෙලයි හිටියෙ. ඒත් උඹේ මූණ බලාගෙන තවත් මට මේක බෑ කියන්නත් බෑ”

ඈ කැමති වූයේ අදි මදි කරමිනි.

“ඒ තරමට ම අම්මා මගෙ මූණ බලන්නවත් කැමති නැද්ද කිරි අම්මෙ…”

“මේ කරුම ජීවිතේ හැටි තේරුං ගන්න උඹ තාම පොඩි වැඩියි කෙල්ලෙ”

මේ ගමන නොයා සිටිය නො හැකි දැයි සිතිජ ඇසුවේ ය. වළ දැමූ අතීතයක් යළි ගොඩ ගැනීම අම්මා ව සේ ම කිරි අම්මා ව ද වේදනාවට පත් කරාවියි ඔහු සිතූ බැවිනි. නමුත් මා නො දන්නා හේතුවකට පෙර කිසි දා ක නොවූ විරූ ලෙස මම හිතුවක්කාර වී සිටියෙමි.

“අපේ දෝණියන්දැ මේ කෙල්ලව අත් ඇරියෙ ඒකිගෙ ජීවිතෙංම පලිගන්නයි මහත්තයෝ”

රියෙහි නැගී යන ගමන් කිරි අම්මා ජයශාන්ත මහතා ට ඇසෙන සේ කීවා ය.

“ඒ කිව්වෙ අම්මෙ…”

“කොළඹ රටට ගිහිං බඩ ගෙඩියකුත් උස්සගෙන ආපි…කසාද බඳින්න කතා කොරාන හිටිය මිනිහ යක්ෂයා වුණා. ළමය නැතුව ගෑනිව බාර ගන්න ඒකා කැමති වූණා තමයි. මාත් සැනසීමෙං ඒකිගෙං මේ කෙල්ලගෙ බර නිදහස් කරල ඇරියා. ඒත් ඒ තිරිසනා අපේ එකීව ලං කර ගත්තෙ ආදරේකට නෙවෙයි මහත්තයො”

“එහෙනං…”

අම්මා ගැන මෙතෙක් නො දැන උන් යමක් අසන්නට වීමේ තිගැස්මෙන් මම සසල ව ගොස් සිටියෙමි. සිතිජ අඩැසින් මදෙස බලනවා මට පෙනුණි. මේ සියල්ල මට වේදනාවක් මිස සතුටක් නොවන බව ඔහු මැනවින් දනී.

“ඒ මිනිහ මේකිව ගෙදර වැඩකාරිට තියා ගත්තා. උංගෙ මුළු පවුලෙම. කන්න ටිකක් ලැබෙනව තමයි. ඒත් වේලක් ඇර වේලක් හරි කන අපි ඊට වඩා මොන තරං සතුටකිං ඉන්නවද මහත්තයො…”

“ගෙදර වැඩ පල ටික කර ගන්න එකනං කොයි ගෑනු කෙනත් කරනවනෙ අම්මෙ”

නෙළුම් නැන්දා එහෙම කියන්නට ඇත්තේ කිරි අම්මා ව සනසන්නට ම නොව ඇයට දැනෙන දේ එය වන නිසා වන්නට ඇත.

“නෝනේ…ගෑනු අපි කවුරුත් වැඩ කරනව තමයි. ඒත් ඒකි කරන්නෙ බැල මෙහෙවර. ඒ මහ අම්මණ්ඩි මේකි ව නො මරා මරණව. මිනිහෙක් කියල එකෙක් හිටියට ඇහැක් ඇරල බලන්නෑ. මහත්තයලට කියන්න…  ඔය බුසල් ගාණක කුඹුරු යායෙ ගොයං කැපිල්ල තට්ට තනියම ඒකි කරන්නෙ. පිරිමි දහ පහළොස් දෙනෙක් එකතු වෙලා කරන වැඩ. ඒ විතරක් ද වී වේලන කොටන පොලන වැඩ සේරෝම කරන්න ඕනෙ. පරම්පරාවටම වී කොටන්නෙ ඒකිගෙ දෑතිං. මේ කෙල්ලව හදා ගෙන හිටියනං ඔය මිනිහ එක්ක යන්නෙ නැතුව…කරුමෙ තමයි මහත්තයෝ”

ඒ කරුමයයි හිතන්නට කිරි අම්මලා පරම්පරා ගණනාවක් තිස්සේ හුරු පුරුදු වී තිබේ. අම්මා වුව එසේ සිතා ගෙන ඉන්නවා ඇත. මට එසේ සිතිය නො හැක්කේ කවර කරුමයක් නිසා දැයි මම නො දනිමි. 

ඒ නිවස අක්කර කිහිපයක ඉඩමක් මැද්දේ ඉදි වුණ පැරණි එකකි. වී පැදුරක් මිදුලේ වනා තිබුණේ ය. කේඩෑරි වී ගිය ගැහැනියක ගිනි අව්වේ හිඳ ගෙන වේලීම ඉක්මන් කරනු වස් වී අත ගාමින් සිටියා ය. ඒ මා ලෝකයට බිහි කළ අම්මා වන්නට ඇතැයි මට සිතිණි.

“ඔය ඉන්නෙ අපේ හේමා”

කිරි අම්මා හුස්මක් ඉහළට ඇද කීවා ය. ජයශාන්ත මහතා ගස් හෙවනක රිය නතර කළේ ය.

නතර වූ රිය දුටු අම්මා නැගී සිටියේ කලබලයෙනි. ඇගේ ඇස් වල කුතුහලයක් විය. එසේ ම මම ඇගේ බැල්මේ බියක සේයා ද දුටුවෙමි.

අම්මා ට තිබුණේ වසර ගණනාවන් තිස්සේ දුක් විඳීම නිසා කෘෂ වී ගිය කයකි. නමුත් ඇගේ ගිලී ගිය කම්මුල් වල, අතීතයේ දී හැඩට උන් ගැහැනියක පිළිබඳ සාක්ෂි ලියැවී තිබුණේ ය. කෙසේ වෙතත් මේ වී වේලමින් සිටිනුයේ ගෙදර ස්වාමි දුව යයි නො දන්නා කෙනෙකු සිහිනයෙනුදු නො සිතන බව නම් සහතික ය.

මට හැඬෙන්නට ආවේ ය. කිරි අම්මා දුක් විඳි, දුක් විඳිනා ගැහැනියකි. කොළඹට පය ගැසූ මොහොතේ පටන් මට ගෙවන්නට සිදු වූ ජීවිතය ගැනත්, දෙවියෝ දනිති. දම්වැලක පුරුක් සේ දුක අප යා කළ සාධකය වූයේ කෙසේ ද? අම්මා කෙනෙක් නැති කමින් මම බෝ කාලයක් දුක් වින්දෙමි. කාටවත් නො පෙනුණත් හදවතින් දුක් වින්දෙමි. වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් අම්මා මා අතැර ගියා ය. නමුත් එසේ ගොස් එක මොහොතකට හෝ ඇය සැපයක් වින්දා යි, ඇගේ ස්වරූපය අනුව මම නො සිතමි. ඉරණම මේ විදිහට අප ව පෙළන්නට, සසරේ ඈත භවයක හෝ අප එක ම අකුසල කර්මයකට හවුල් වූවා වත් ද?

කිරි අම්මා රියෙන් බැස්සා ය. අම්මා පුදුම වී ගෙන ඇය වෙත ඉක්මන් අඩි තබන හැටි මම බලා ගෙන සිටියෙමි.

“ඇයි අම්මෙ…”

කියා ඇය කිරි අම්මා ගෙන් ඇසුවා ය. ඒ අතරේ ම, කිසිවෙකු දකී දැයි විපරම් කරන්නට මෙන් වට පිට බැලුවා ය. හදවත දැවී යනවා මට දැනිණ. 

“අනේ අම්මෙ”

මට ඉකි බිඳිණි. ඉදිරි අසුනේ හිඳ උන් සිතිජ අත දිගු කර මගේ හිස් මුදුන පිරි මැද්දේ ය. නෙළුම් නැන්දා ද මා සනසන්නට උත්සාහ කළා ය.

“හිත හයිය කර ගන්න පුතේ ඉතිං. ඔයාටමනෙ අම්ම බලන්න ඕන වුණේ”

මම රියෙන් බැස්සෙමි. අම්මා හා කිරි අම්මා සිටින දෙසට අඩියක් දෙකක් තැබුවෙමි. 

“උඹේ දෝණියන්දැ”

කිරි අම්මා මිමිණුවා ය. අම්මා කියන අකුරු තුනේ අයිති කාරිය ඉද්ද ගැසුවා සේ මදෙස බලා ඉන්නට වූවා ය. තත්පර කිහිපයකදී ඇගේ වියළී ගිය ඇස් වලින් දිය ඇලි දෙකක් සේ කඳුළු ගලා යන්නට වූයේ ය. ඒ තරම් වියළී ගිය ගැහැනු ආත්මයකට ඒ තරම් කඳුළු තිබිය හැකි දැයි විශ්මිත වන්නට බැරි තරමට ඒ වෙලාවේ මම හැඟීම් වලින් දෝරෙ ගලමින් සිටියෙමි. අම්මා සිය දෑත් එකතු කොට පපුව මත තබා ගෙන මට වඳිනා ඉරියව්වකින් හැඟුම්බර වූවා ය.

“මට සමාවක් දෙන්න එපා පුතේ. කවදාවත් උඹ මේ ගෑනිට සමාවක් දෙන්න එපා. දෙයියං වහන්සෙවත් මට සමාවක් දෙන්නැති එකට මං කැමතියි. මේ විදිහට වද දීල දීල අන්තිමට මාව මැරෙන්න ඕනෙ. ඒ වැරැද්දට දඬුවම මේ ආත්මෙදිම ගෙවල ඉවර කරන්න ඕනෙ පුතේ. තවත් ආත්මෙකට මට මේ පව කර ගහගෙන යන්න බෑ”

කෑ ගසමින් ඇය හඬා වැටුණේ කිසියම් ආවේශයකට පත් වූවා මෙනි. ත්‍රාසයකට පත් ව මම බලා සිටියෙමි. අම්මා සිය පපුවට දෑතින් ම ගසා ගත්තා ය. කොණ්ඩයෙන් ඇද ගත්තා ය. මම තව තවත් භීතියට පත් වීමි.

“මිනිහෙක් නැති වෙයි කියන බයට දරුවෙක් අත් ඇරිය පව්කාරි මම. මං තව විඳවන්න ඕනෙ. තව විඳෙව්ව මදි”

“අම්…මෙ…”

මා කතා කළේ බැරි ම තැන ය. ඇගේ සියලු ආවේගයන් ඒ එක ම වචනය ඉදිරියේ නිශ්චල විය. 

“අම්ම…අම්ම…මට ඒ නම කියල කතා කරපු එකම කෙනා. අම්ම…මං අම්ම කෙනෙක් යකුනේ. තොපි…දන්නවද…මං අම්ම කෙනෙක්. තොපිට සාප වෙනව යකුනේ”

“හේමා. ඔය අඳෝනාව නවත්තපං යෝදියෙ”

කිරි අම්මා තරමක් තදින් කතා කළා ය. ජයශාන්ත මහතා රියෙන් බැස්සේ ඒ වෙලාවේ ය. අම්මා ගේ ඇස් කෙලින් ම ඔහු වෙත එල්ල විය. ඇය ටික වෙලාවක් අවිනිශ්චිත ව බලා ගෙන ම සිටියා ය. නමුත් ඊළඟ තත්පරයේ ඒ ඇස් වල නිශ්චිත නිගමනයකට එළඹි බවක සේයා ඇඳිණි.

“සර්…”

ඇගේ දෙතොල් සෙලවුණේ එහෙම ය. මගේ හදවත ගිඩි ගිඩි ගා ගැහෙන්නට ගත්තේ ය. අම්මා! හද්දා වන්නියට සිය ජීවිතය වේලෙන්නට හැරි අම්මා ජයශාන්ත මහතා ව දන්නේ කෙසේ ද?

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x