අහංකාර නගරේ -38

“සහෝදරයෙක් සහෝදරියක් කියන්නෙ මහ පුදුම හයියක් මෙව්නා. මං ඒක හොඳට දන්නව. ඒකයි මං කවදාවත් ශෙනාලි මගෙ දරුවෙක් නෙවෙයි කියල වෙනසක් නොකළෙ. ඒ තුන් දෙනා සහෝදරයො වගේ එකට ඉන්න එක දැන් නැතත් අනාගතේදි අපි නැති කාලෙක වුණත් ඒ තුන් දෙනාටම හයියක්. ළමයිනං කාගෙ වුණහම මොකද දරුවො…අපේ හිත් වලින් තමයි අපි බැඳෙන්න ඕනෙ”

ජයශාන්ත මහතා දිග දේශනයක් කර ගෙන ගියේ ය. නමුත් මා හිටියේ එවැනි කතා අසා ගෙන සිටිත හැකි සන්සුන් මානසිකත්වයක නොවේ. මට ඕනෑ වූයේ ඉක්මනින් මගේ කුතුහලය සන්සිඳුවා ගන්නට ය. මගේ ප්‍රශ්නය ට උත්තර හොයා ගන්නට ය. 

“අනේ සර්. මට කියන්නකො”

“තාත්ත කියන මනුස්සයත් මැරිලයි කිව්වහම…තමුන්ගෙයි කියන්න සහෝදරයෙක් හරි ඉන්න එක කෙනෙකුට මහ මෙරක් වගේ. ඒකයි මං ඔය දරුවට මේක කියන්නෙ. ඔයාටයි කියල මං දන්න තරමට ඉන්න සහෝදරී තමයි ශෙනාලි”

මගේ ඇස් උඩ ගියේ ය. ශෙනාලි! එසේ නම් ඇය අර්ජුනගේ හා රෝස්මරී ගේ දරුවෙකි. මා වූ කලී අර්ජුන ගේ හා හේමලතා ගේ දරුවෙකි. මව්වරුන් දෙදෙනෙකු වූවා ට ශෙනාලි හා මා යනු එක පියෙකු ගේ දරුවෝ වෙමු. අක්කා කෙනෙක්! එසේ නම් මට අක්කා කෙනෙක් හිඳී. මේ ලෝකයේ මට මගේ කියන්නට තවත් ලේ ඥාතියෙකු හිඳී.

“අපිට දැනට මේ රහස් අපි දෙන්නගෙ හිත් වලම තියං ඉන්න වෙයි මෙව්නා. අපි දෙන්නගෙ නෙවෙයි අපි තුන් දෙනාගෙ. නෙළුම් ආන්ටිත් දන්නව ඔය ශෙනාලි ගැන. ඒත් එයා ඒ ගැන කටෙං කෙළ බිඳක් බිම හෙලන්නෑ කියල මට විශ්වාසයි”

“අනේ පිං සර්….මට ඇත්ත කිව්වට. මේක පුදුම සැහැල්ලුවක්”

සැබවින් එය පුදුම සැහැල්ලුවකි. ශෙනාලි කියන්නේ සිතිජ ගේ අම්මා ගේත් මගේ තාත්තා ගේත් දරුවෙකි. ඒ අනුව ඇය මටත් සිතිජටත් දෙදෙනා ට ම සොයුරියකි. නමුත් වුඩ්ලන්ඩ් මාවතේ ජීවත් වූ කෙටි කාලයේ දී ශෙනාලි සොයුරියක ලෙස නොව මනුෂ්‍යටයකු ලෙස හෝ මදෙස නො බැලූ අයුරු මට මතක ය. ඈ මා ඇමතුවේ ‘ගාබේජ් කෙල්ල’ කියා ය. මදෙස බලන හැම මොහොතක ම ඇගේ ඇස් වල වූයේ අපහාසය ට උපහාසය ට බර බැල්මකි. සිය පයට පෑගෙන දුහුවිල්ලක් තරමට හෝ වටිනාකමක් ඈ මට ලබා දුන්නේ නැත. නමුත් ඇය මගේ අක්කා බව දැන් මම දනිමි. ඉරණම මාව ජයශාන්ත මහතා ගේ නිවස තෙක් දුර කතර ගෙවා එවන්නට කාරණා මට හරියට ම වැටහෙන්නේ දැන් ය.

“මුකුත් හිතන්නැතුව ඉන්න ඕනෙ හරිද…ඔයාගෙ අම්ම කවුරු වුණත්…ඔයාගෙ තාත්ත කවුරු වුණත් මට ඒවයෙං වැඩක් නෑ. මට වැදගත් වෙන්නෙ ඔයා මං හෙව්ව විදිහෙ ගෑනු ළමයෙක් වීම විතරයි”

බෝඩිමේ මා දමා යන්නට පෙර සිතිජ කීවේ ය. මම ඔහු දෙස බලා ලස්සනට සිනහ වීමි. හදිසියේ ම මට ඒ විදිහට සිනහ වෙන්නට හැකි වී තිබේ! 

“ඔන්න ඔහොම හිනා වෙලා ඉන්නවනං ඔයා…ලෝකෙ තියෙන ඕනම දෙයක් මං ඔයාගෙ කකුල් දෙක ළඟට ගෙනත් දෙන්නං. ඔයාගෙ සතුට විතරයි මට ඕනෙ”

සිය සහකාරිය ප්‍රීතිමත් ගැහැනියක ලෙස පවතිනවා නම් බොහෝ පිරිමින් විශ්වය ම වුව ඔවුන් පා මුල තබන්නට සූදානම් බව මම කොහේ හෝ තිබී කියවීමි. බොහෝ ස්ත්‍රීන් පිරිමින් ගේ ඒ ස්වභාවය වටහා ගන්නේ නැති ව පිරිමියා සිය යටතට පත් කර ගැනීමේ උත්සාහයක් දරති. එතැනදී ඔහු ඇගෙන් ගව් ගණනක් ඈතට දුරස් වන බව නො දන්නා ගැහැනිය අවාසනාවන්ත ය.

“මටනං හරිම සතුටුයි මෙව්නා”

සිදු වූ සියල්ල අසා උන් සුරනි එහෙම කීවේ හදවතින් ම බවට ඇගේ ඇස් දෙක සාක්ෂි දැරුවේ ය.කෙසේ නමුත් ශෙනාලි වූ කලී මගේ සොයුරිය බව කියන්නට මට අවසර තිබුණේ නැත.

“ඔයා කියන්නෙ නිකංම නිකං කම්කරු මිනිහෙක්ගෙ දුවෙක් නෙවෙයි. ඔයා මේ ගෙන්දගං පොළොවෙ හයි ක්ලාස් කියල සම්මත පිරිමියෙක්ගෙ දුවෙක්. රෝස්මරී ගෙ හොඳම යාළුවෙක් නං ඒ සාමාන්‍ය මිනිහෙක් වෙන්න විදිහක් නෑ. රෝස්මරී ට එක වචනයක්වත් කියන්න බෑ දැං ඔයාට”

“කවුරුවත් පත්තු කරපු පහන් වලින් එළිය බලන්නනං මං ආස නෑ සුරනි. අනිත් අතට ගෙදරක වැඩට හිටිය අසරණ කෙල්ලෙක්ට කරදර කරල මග ඇරපු මිනිහෙක් මට අනුව මහ ලොකු මිනිහෙක් වෙන්නෙත් නෑ. මං එයා ගැන ආඩම්බර වෙන්නෙත් නෑ. ඒත්…මං තනි වෙලා නෑ කියල මට   දැනෙනව. ඒක හරි පුදුම හැඟීමක් සුරනි”

“ඔයාගෙ අක්කව දකින්න ඇත්තටම මාත් ආසයි”

“සර් එයාට මාව අඳුන්නල දීපු දවසක…”

ඒ දවස කවදා කොහොම උදා වේවි ද කියා මම නො දනිමි. ඇතැම් විට එවන් අවස්ථාවක් උදා නො වන්නට ද පුළුවන. අම්මා ව දැක ගන්නට මට වූ උවමනාව, තාත්තා ගැන දැන ගත්දී හිතට දැනුණ තිගැස්ම, මගේ ම සොහොයුරෙකු හෝ සොයුරියක සිටිත් දැයි දැන ගන්නට හදෙහි වූ නො ඉවසිල්ල, ශෙනාලි ට මා ඇගේ නංගී ලෙස හඳුන්වා දෙන දවසක් වන තුරු මා තුළ නො පවතින්නට පිළිවන. මන්ද යත් මා ඇගේ නංගී බව ශෙනාලි විසින් දැන ගනු ලැබුවත් නැතත් දැන් මට එහි වෙනසක් නො වන බැවිනි. මා ඇගේ නංගී බව මා දන්නා බැවිනි. මෙලොව කොතැනක හෝ මගේ ම ය කියන්නට කෙනෙක් ඇත යන හැඟීමෙන් සැනසෙන්නට මට හැකි බැවිනි.

සති අන්තයේ මිතුරන් සමග විනෝද ගමනක් යන බව කියා සිතිජ ගෙදරින් නික්ම යාම ගැන රෝස් මැඩම් සැක කොට තිබෙන බව සිතිජ කීවේ ය.

“ඔයා අර කෙල්ලත් එක්ක රස්තියාදුවෙ ගියා නේද” කියා ඇය ඔහු ගෙන් දැඩි ව ප්‍රශ්න කොට තිබේ.

“ගමේ ගොඩේ මෝඩ ගෑනු කෙනෙක්වත් ඔය විදිහට හැසිරෙන්නෙ නෑ අම්ම. මොකද්ද මේ අම්මට වෙලා තියෙන්නෙ…”

සිතිජත් ඇය ට තදින් හිඳ ඇත.

“ඔයයි මෝඩයෙක් වෙලා තියෙන්නෙ. අර වන්නියෙ කෙල්ලගෙ මායං වලට ඔයා අහු වුණා. කොහෙද ඉතිං. තාත්තගෙ පුතානෙ”

රෝස්මරී එසේ කියා තිබෙන්නේ නෙළුම් ගැන නො කියා කියමිනි. ඒ වෙලාවේ ජයශාන්ත මහතා එතැනට පැමිණ සාවඥ ලෙස හිනැහුණ බව සිතිජ මට කීවේ ය.

“දැං මොකද්ද මෙව්නාගෙ තියෙන වැරැද්ද…ආ..ඒ ළමයගෙ උපන් ගම මහියංගනේ වෙච්ච එකද ප්‍රශ්නෙ…”

ජයශාන්ත මහතා වෙතට රවා බැලූ රෝස්මරී, පිහි තුඩු වන් වචන වලින් ඔහු ට දමා ගැසුවා ය.

“නිකං ගොං විදිහට කතා කරන්න එපා ජයේ. අම්මෙක් අප්පෙක් නො දන්න කෙල්ලෙක්වද සිතිජට බන්දල දෙන්න හදන්නෙ…අපි කවුද…ආ…උං කවුද…ඔයාට මේවට උල්පන්දං දෙන්න පුළුවන්. තාත්ත කරපු දේ පුතා නොකළොත් අර මොකාගෙද පුතා කියනවනෙ”

“එතකොට අම්ම කරපු දේවල්මද දුවල කරන්නත් නියමිත…ආ…”

රෝස්මරී මුළුමනින් ම අකර්මන්‍ය කරන්නට ඒ වචන ටික සමත් වී තිබේ. 

“දරුවෙක් වැදගත් විදිහට හැදිල තියෙනවනං එච්චරයි. ඒ දරුවගෙ අම්ම කවුද තාත්තා කවුද කියල හොයන්න උවමනාවක් නෑ. මොකද සමහර නැහැදිච්ච දෙමව්පියන්ටත් හොඳ දරුවො ඉන්න පුළුවන්”

“මං සිතිජට ඔය කෙල්ලව බඳින්න දෙන්නෑ. හරි වැඩක්නෙ. කෙල්ලො නෑ වගේනෙ. මේ තාත්තටයි පුතාටයි මොනා වෙලාද…”

“දැං මෙව්නාගෙ අම්ම තාත්තා නො දන්න එකද ඔයාට තියෙන ප්‍රශ්නෙ…”

“ඒකත් ලොකු ප්‍රශ්නයක් තමයිනෙ”

“එහෙමද…එහෙනං ඒ දෙන්න කවුද කියල මං දැනගත්ත”

රෝස් මැඩම් ගේ ඇස් වල කුතුහලය දෝරෙ ගැලූ බව සිතිජ කීවේ ය.

“ඔයාගෙ මිත්‍රය…අර්ජුන තමයි මෙව්නාගෙ තාත්තා”

ඒ ප්‍රකාශය නිසා රෝස්මරී තැති ගෙන පුටුවක් මතට වැටුණා ලු. 

“මො…මොනාද මේ කියන්නෙ…”

“මතක ඇතිනෙ හේමලතා නේද…ඒ දවස් වල අපේ ගෙදර වැඩ කරන්න හිටියෙ…අන්න එයා තමයි මෙව්නාගෙ අම්ම. අර්ජුන ගැන ඉතිං මට වඩා හොඳට ඔයා දන්නවනෙ…නේ…”

මේ කතා බහේ යටි අරුත් ගැන සිතිජ වුව දැන සිටියේ නැත. ඔහු දන්නේ මතු පිටින් කියැවුණ දේ ගැන පමණකි. නමුත් ඒ වෙලාවේ ඇය පත් මානසික තත්වය මට නම් මැනවින් වටහා ගත හැකි විය. ඒ මොහොතේ රෝස්මරී ගේ මූණේ මාංශ පේශීන් ගැහුණු අයුරු පවා සජීවී ලෙස මවා ගන්නට මම සමත් වීමි.

“දැං ඔයාට පුළුවන් ද මෙව්නාව ප්‍රතික්ෂේප කරන්න…”

ජයශාන්ත මහතා එසේ ඇසුවේ සිතිජ ඉන්නා තැන “එහෙනං මටත් පුළුවන් වෙන්න ඕනෙ ශෙනාලි ව ප්‍රතික්ෂේප කරන්න” යයි නො කියා කියමින් බව මම දනිමි.

“දරුවො කියන්නෙ දරුවො රෝස්. කාගෙ වුණත්.”

අන්තිමට ඔහු එසේ කියා එතැනින් නික්ම ගොස් තිබේ.

ඊළඟ ට අප හමු වූයේ ගුරු පුහුණු පාඨමාලාවට සහභාගී වී එන ගමන්, ගිනි මද්දහන් කොළොම් පුර වීදියක දී ය. රතු පාටට මැයි මල් පිපී තුරු වියන මලින් බර වී තිබිණ. අපි අපේ සුවඳ අපට දැනෙන තරම් ලං ව බස් නැවතුම තෙක් ඇවිද එමින් සිටියෙමු. 

“බයයිද…”

සිතිජ හෙමිහිට මගේ අතැඟිලි සිය අතැඟිලි අතරේ පටලවා ගනිමින් ඇසුවේ ය. මම නෙතු ඔසවා මඳහසක් පෑවෙමි.

“මං දන්නව ඔහොම හිනා වෙලා හිටියට ඔයාගෙ හිත උඩ මහ බරක් පැටවිලා තියෙනව කියල. හැම වෙලාවෙම හිතන්න මොන දේ සිද්ද වුණත් මං ඔයාගෙ පැත්තකිං ඉන්නව කියල. තනියම කිසි දේකට මූණ දෙන්න සිද්ද වෙන්නෙ නෑ ඔයාට. තේරුණාද..”

මම ඇස් වලින් ඔව් කියා හැඟවීමි. තනි ව සිටිනවා වෙනුවට තවත් කෙනෙකු හා බැඳීම, මිනිස් වර්ගයා ගේ ඇරඹුමේ සිට ම සිදු වූයේ ය. ඒ, මේ ජීවන ගමන තනි ව යනවා ට වඩා තවත් කෙනෙකු ගේ සහාය ඇති ව යන එක පහසු වන නිසා විය යුතු ය. එතකොට එක ප්‍රශ්නයකට උර දෙන්නට දෙදෙනෙකු සිටිති. ප්‍රශ්නයේ බර එහි දී දෙකට බෙදී යන්නේ ය.

“දෙයක් අහන්නද…”

රථ වාහන වල හඬ අතරේ මගේ හඬ ඔහු ට නෑසී ගියා ද කියා ත් මට සැක සිතිණ.

“අහන්න”

ඔහු මුදු ලෙස කීවේ ය.

“මං ඔයාගෙ සර්වන්ට්ගෙ දුව කියල දැනගත්තට පස්සෙ…මොකද හිතුණෙ…”

“වෙනස් කිසිම දෙයක් හිතුණෙ නෑ”

සිතිජ වඩාත් සැහැල්ලු ලෙස හිනැහුණේ ය. 

“මට අවුල් අපේ අම්මගෙ යාළුවෙක් නිසා ඔයාගෙ අම්මට කරදරයක් වුණ එක ගැනයි”

ඒ ඔහු ගේ මව ගේ නිකං ම මිතුරෙකු නො වන බව සිතිජ දන්නේ නැත. ඒ ඔහු ගේ මව දෙදරු මවක ව සිටියදී මිත්‍රත්වය පාවා දී ඈ හා පෙමින් බැඳුණු පිරිමියෙකු බව ත්,  එම පුද්ගලයා ඇය ට ද ද්‍රෝහි වීමේ ප්‍රතිඵලයක් ලෙස මා ජනිත වී ඇති බව ත් මම කියන්නට නො ගියෙමි. සිය මව ගේ බාල දියණිය ගේ පියා මගේ ද පියා බව දැන ගත හොත් සිතිජ ට කුමක් සිතෙනු ඇත් ද? ඔහු තුළ මව කෙරේ ද්වේශයක් හෝ වෛරයක් ඇති නො වනු ඇත් ද? 

“අපි ඒ වැරදුණ තැන් හදමු සිතිජ”

මට කියැවී තිබිණ.

“අපේ දරුවන්ට වරදක් සිද්ද වෙන්නැති විදිහට. අපේ දරුවො වැරැද්දක ප්‍රතිපලයක් නොවෙන විදිහට…”

විහාර මහා දේවි උද්‍යානයේ සිට ප්‍රධාන පාරට පිවිසි යුවතියක හදිසියේ ම අප ඉදිරියට ප්‍රවිශ්ට වූයේ අප හෝ ඇය හෝ කොහෙත් ම බලාපොරොත්තු නොවූ ආකාරයකට ය. ඒ වෙලාවේ ඒ විදිහට ශෙනාලි ව මුණ ගැසෙන්නට වීම මා තුළ අමුතු තිගැස්මක් ඇති කරවන ලදී.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content