අහංකාර නගරේ -41

මා වචනයක් හෝ කතා නො කළත් මගේ හිතේ ක්ෂණික ව ඇති වූ ගැස්ම සිතිජ විසින් තේරුම් ගනු ලැබූ බවක් පෙනිණි. කඩුල්ල ළඟ දී රියෙන් බසින්නට ඉඩ නො තබා, ඔහු අසීරුවෙන් ඒ කුඩා ඉඩෙන් රිය වත්ත තුළ ට ගත්තේ එනිසාවෙනි. කොහොමත් සිතිජ කියන්නේ ලොකුවට දේවල් කතා කරන පුද්ගලයෙකු නොවන බව මම දැන් දනිමි. නමුත් කළ යුතු දේවල් ඉතා සියුම් ව සිතා, උපරිමයෙන් කරන්නට තරම් හෙතෙම මානුෂීය වන්නේ ය. කිරි අම්මාගේ ගෙපිලේ අසල්වැසියන් මේ තරම් පිරී ඉන්නට හේතුව නපුරු එකක් බව මට දෙවරක් සිතිය යුතු වූයේ නැත. නමුත් සිතිජ මා පසෙකින් හිඳීම තුළ මට යම් සහනයක් දැනුණ බව කිව යුතු ය. 

“කිරි අම්මා”

මා රියෙන් බැස්සේ එහෙම කියා ගෙන ය. ඉස්තෝප්පුවේ ඔබ මොබ සක්මන් කරමින් සිටි අසල් වැසියෝ, මා දිව ගෙන එත්දී එහෙට මෙහෙට වී මට ඉඩ සලසා දුන්හ. 

“කිරි අම්මා”

නැවතත් මම කෑ ගැසුවෙමි. පිල උඩ වැතිර උන් කිරි අම්මා විගස ඇස් ඇර බැලුවා ය. ඉහලට ඇද ගෙන උන් හුස්ම මම එසැනෙන් පහළ හෙළුවෙමි.

“කිරි අම්මෙ…ඇයි මේ…”

මම පිල ළඟ බිම දණ ගසා ගෙන කිරි අම්මා ගේ මූණට එබුණෙමි. ඇගේ මුහුණේ වතුර බේරෙමින් තිබිණි. මම කිසිත් සිතා ගත නො හැකි කලබලයකින් ඇගේ අඩකට වඩා පැසී ගිය කෙස් සහිත හිස පිරිමදින්නට වූයෙමි.

“අනේ ඇයි මේ…කවුරු හරි කියන්නකො මට”

“කිරි අම්ම මිදුලෙ වැටිල හිටිය දුවේ”

අසල්වැසි කාන්තාවක් එසේ නො කියන්නට මා කෑ ගසා හඬන්නට තිබිණි.

“අනේ ඇයි කිරි අම්මෙ…මොකද්ද වුණේ…කිරි අම්මට මොකක් හරි අමාරුවක් දැනෙනවද…”

“නෑ මයෙ මැණිකේ…මුකුත් අමාරුවක් නෑ. මං හිතන්නෙ අව්වෙ සැරට පොඩි කලන්තයක් ඇල්ලුව”

“මං ඒකනෙ කලිනුත් කිව්වෙ දැං ඔය පොළොවත් එක්ක ඔට්ටු වෙන එක නවත්තන්න කියල. කෝ ඉතිං කිරි අම්ම අහන්නෙ නෑනෙ. බලන්නකො ඉතිං…කිරි අම්මට මොනා හරි වුණානං එහෙම….හොඳ වෙලාවට මං අද ආවෙ…”

කිරි අම්මා ට නපුරක් වී නැත. නමුත් මට කඳුළු පාලනය කර ගත හැකි වූයේ නැත. ඒ වෙලාවේ මා අවශ්‍ය පමණටත් වඩා හැඟීම්බර වන්නට ඇත. මගේ කියන්නට මට ඉන්නේ ඇය පමණකි. ඇය නැති කර ගැනීමක් ගැන සිතන විටත් මට දැනෙන්නේ මා පොළොවේ අඩි ගණනක් යටට කිඳා බහින්නාක් මෙනි.  

“අඬන්න එපා ඉතිං. ඔයා ඔහොම අඬනකොට කිරි අම්ම වුණත් අවුල් යනවනෙ”

සිතිජ මා සනසන්නට උත්සාහ කළේ ය. 

“ඔයාට එහෙම කියන්න පුළුවන්. මට දැනෙන දේ ඔයාට දැනෙන්නෙ නෑනෙ. මට ඉන්නෙ කිරි අම්ම විතරනෙ”

මම කිරි අම්මා ගේ හිස වැළඳ ගෙන තවත් ටිකක් හැඬුවෙමි. සිතිජ ට දොස් කියන්නට වීම ගැන සිහින් සන්තාපයක් නො දැනුණාමත් නොවේ. නමුත් අප වැඩිපුර ම බණින්නේත්, රිදවන්නේත්, වඩාත් ම අපට සමීප ව හිඳින අය ව බව මම දැන සිටියෙමි.

“මට එහෙම ලොකු අමාරුවක් නෑ කෙල්ලෙ. කෝ මං උඹලට තේ කහට ඇබින්දක් වක් කොරන්න”

කියමින් කිරි අම්මා පිල මතින් නැගිට ගන්නට ගියා ය.

“එපා එපා එපා”

මම වහා ඇය වැළකුවෙමි.

“කිරි අම්ම නැගිටින්නවත් එපා. අපි යමු දොස්තර මහත්තයෙක් ළඟට”

“අනේ මේ මට ඕන ඇති බෙහෙතක් නෑ කෙල්ලෙ. මේක මේ කලන්තයක්. ඇරිල යයි….”

“හරි හරි. කෙල්ලටයි මේ මහත්තයටයි එක්කම මං හදල ගේන්නංකො බොන්න දෙයක්. උඹ තව ටිකක් ඔහොම හිටපංකො අංගො නැන්දෙ”

කියා ගෙන අසල්වැයි කාන්තාවක් නික්ම නො යන්නට කිරි අම්මා ව නතර කරන්න ට මට නො හැකි වනු ඇත. ඇයත් එක්ක ම අහල පහල අනිත් පිරිස ද විසිර යන්නට වූහ.  

මම සිතිජ දෙස බැලුවෙමි. ඔහු අපේ පුටු කබලක වාඩි වී, දෙදණහිස් මතට බර කර ගත් වැලමිට දෙකට වාරු වී මදෙස බලා ගෙන සිටියේ ය. මම ඒ බැල්ම මග හැර බිම බලා, නැවතත් ඔහු දෙස බැලුවෙමි.

“සොරි අයියෙ…ඒ වෙලාවෙ මට ටිකක් කේන්ති ගියා. දුකට…”

ඇහි බැම මඳක් ඉහළ නංවා ගෙන, ඔහු මදෙස නො වෙනස් බැල්මකින් බලා සිටියේ ය.

“අපි ඉතිං ඕන එකකට බයිට් එකටනෙ ඉන්නෙ”

මට සිනහවක් නැගිණි. මම පිල මතින් නැගිට සිතිජ වෙත ගියෙමි.

“සොරි කිව්වනෙ ඉතිං”

“එක දෙයක් ගැන නං දුකයි හරිද…”

“මොකද්ද…”

“කිරි අම්ම විතරයි ඔයාට ඉන්නෙ කියල හිතන එක ගැන. එතකොට මං කවුද…මං ඔයාගෙ ඕන දේකට නැද්ද…”

“එහෙම නෙමෙයි ඉතිං…මං කිව්වෙ මට නෑදෑයෙක්ට ඉන්නෙ කිරි අම්මා විතරයි කියලයි”

අපේ මිමිණුම් කතා කිරි අම්මා ට ඇසෙනවා දැයි මම හැරී බැලුවෙමි. කිරි අම්මා පිල මතින් නැගිට ගනිමින් සිටියා ය.

“කොහෙද ඔය කිරි අම්ම යන්නෙ…”

“හිටහං කෙල්ලෙ. මං දොට්ට පිලට ගිහිං එන්නං”

“යං. මාත් එන්නං”

“කිව්වහම අහන්නකො කිරි අම්ම. පොඩි ළමයෙක් වගේනෙ අකීකරු”

සිතිජ වෙනතක් බලා ගෙන හිනැහුණේ ය. මම කිරි අම්මා පස්සෙන් ගියෙමි. අප පැමිණියේ ඇය කොළඹ කැටිව යන්නට බව මා කිරි අම්මා ට කීවේ අසල්වැසි නිවසෙන් ලැබුණ බෙලි මල් වතුර පාණය කරත්දී ය. කිරි අම්මා ට බෙලි මල් ඉස්මොළයේ ගියේ ය. මව ඇගේ පිටට තට්ටු කළෙමි.

“පිස්සුද බං. මට ඕවයෙ ගිහිං ඉඳල පුරුදු නෑ”

“මං ගියෙත් පුරුදු වෙලා ඉඳල නෙවෙයිනෙ කිරි අම්මෙ. දැං පේනවද මේ…ලෙඩත් වෙනව”

“අනේ මට ඇති ලෙඩක් නෑ බං. මාව ලෙඩෙක් කරන්නෙ නැතුව හිටහං. තාම මගෙ අත පය හයියයි”

“අපොයි ඔව්. ඒක නිසා කිරි අම්මව එහෙ එක්කගෙන ගිහිං රස්සාවකට දාන්නයි මං හිතං ඉන්නෙ”

සිතිජ සිනහ වුණේ ය. ඔහු අද මදෙස බලන්නේ අලුත් ආදරයක් තැවරි දෑසකින් වාගේ ය මට දැනෙන්නේ. 

“ඇයි අයියෙ…බගන්නකො. කියන දේ අහන්නෙ නෑනෙ”

“ඔව් කිරි අම්මෙ. අපි එහෙ යමු”

එවර සිතිජ මැදිහත් වූයේ ය.

“මෙව්නාට දැන් ගොඩක් වැඩ තියෙනව. ඉක්මනටම එයා ඉස්කෝලෙක උගන්නන්නත් පටං ගනී. ඉතිං නිතර මෙහෙ එන්නත් අමාරු වෙයි කිරි අම්මව බලල යන්න. අනික එහෙ හිටියට මෙව්නා ගෙ හිත තියෙන්නෙම මෙහේ. කියවන්නෙම කිරි අම්ම ගැන. අපි ඉතිං ටික දවසක් එහෙත් ඉඳල බලමුකො කිරි අම්ම. බෑ කියල හිතුණොත් ආයෙ එමු. ම්…”

මාත් එක්ක එකට එක කීවාට කිරි අම්මා සිතිජ ට එරෙහි ව වචනයකුදු කීවේ නැත.

“දැක්ක නේද…ඉපදිච්ච දවසෙ ඉඳලම දන්න මං කියන දේ අහන්න බෑ. ඊයෙ පෙරේදා හම්බ වුණ මුණුපුරාව ලොකු වුණා”

මම නෝක්කාඩු කීවෙමි. සිතිජ මගේ කොණ්ඩෙන් ඇද්දේ ය.

“ඊරිසියාව”

“ඊරිසියයි තමයි ඉතිං”

“උඹ ඔහොම සතුටෙං ඉන්නකොට මට දැනෙන සැනසීම කියන්න වචන නෑ මයෙ මැණිකෙ. ඇස් වහක් කට වහක් නෑ මේ වගේ රත්තරං කොලු පැටියෙක් හම්බ වෙන්නත් උඹට මහ විසාල පිණක් තිබිල තියෙනව”

කිරි අම්මා කතා කළේ සංහිඳ ළඟ අයියනායක දෙයියන්ට පහන් පත්තු කරත්දී ඇගේ ඇස් වල දැකිය හැකි භක්තිමත් විශ්වාසයෙනි.

“ඔය දැක්කද…ඒත් එයාගෙ හොඳම තමයි කියන්නෙ”

මම මූණ පුම්බා ගතිමි. සිතිජ හඬ නගා හිනැහුණේ ය. සතියක් හමාරක් කොළඹ සිට එනවා ය කියා කිරි අම්මා අපත් සමග යන්නට සූදානම් වූයේ සිතිජ ගේ වචනය අහක දාන්නට බැරි කමට බව මම දනිමි. අපි එන ගමන් මහියංගනය නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් කිරි අම්මා ව පෙන්වූයෙමු.

“ප්‍රෙෂර් වල අවුලකුත් නෑ. ඇඟේ දුර්වල කමටයි අව්වෙ හිටපු නිසයි තමයි කලන්ත ගතියක් එන්න ඇත්තෙ “

කියමින් වෛද්‍ය වරයා විටමින් එකක් ඇතුළු ව බෙහෙත් වර්ග කිහිපයක් ලබා දුන්නේ ය. කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකු චැනල් කොට කිරි අම්මා ව පෙන්වමු යයි සිතිජ යෝජනා කළේ ය.

“තෑන්ක් යූ අයියෙ”

ටික දුරක් කල්පනාවක ගිලී ආ මා කීවේ හදිසියේ ය. සිතිජ පුදුමයෙන් වාගේ මදෙස හැරී බැලුවේ ය.

“ඇයි…”

“හැම දේටම. මෙහෙම මං ළඟ ඉන්නවට. එච්චර වටින්නෙ නැති කෙල්ලෙකුට මෙච්චර වටිනකමක් දුන්නට…ආදරේ ගැන ඒ තරං ලොකු විශ්වාසයක් තිබුණෙ නැති මට ආදරේ තරං ලොකු දෙයක් වෙන මේ ලෝකෙ නෑ කියල තේරුං කරල දුන්නට…මහා ලොකු ආත්ම ශක්තියක් තියෙනව කියල හිතං හිටියට ඒ ශක්තිය බින්දුවට ම හිඳිල යන වෙලාවල් තියෙන්න පුළුවන් කියල නොදැන හිටිය මගෙ ළඟින් ඒ වෙලාවල් වල තනි නොකර හිටියට”

සිතිජ මදෙස නො බලා ඉදිරිය බලා ගෙන රිය ධාවනය කළේ ය. මම, ලා හිරු රැස් කදම්බයක් වැටී කහ පාට තැවරී ඇති ඒ මුහුණේ මට පෙනෙන අර්ධය දෙස බලා ගෙන ම සිටියෙමි. ඔහු ගේ ලවන් මත මුදු පිරිමි මඳහසක් තැවරී තියේ.

“එහෙනං මායි තෑන්ක් කරන්න ඕනෙ”

ඒ මඳහස එලෙසම පවතිත්දී ඔහු මිමිණුවේ ය. ඔහු ගේ කලවයක් මතින් සුරත තබා මම ඒ මුහුණට බර වුණෙමි.

“ඒ ඇයි…”

“මට ආදරේ කළාට….කිසිම කෙල්ලෙක් තියා මගෙම අම්මවත් තේරුං ගන්න උත්සාහ නොකරපු මාව තේරුං ගත්තට. පවුල කියන්නෙ ආදරේ තරංම වටින දෙයක් තියෙනවනං ඒකයි කියල මට තේරුං ගන්න සැලැස්සුවට…”

මම අසුනට බර වෙන ගමන් හිස හරවා පසු පස අසුන දෙස බැලුවෙමි. කිරි අම්මා නින්දකට වැටී උන්නා ය. මම ඇදෙස බලා ගෙන ම සිටියෙමි. ඒ වත කෙතරම් නම් සිරියාව ද? නින්දේ දීත් කිරි අම්මා ගේ වත මත වන්නේ මන්දස්මිතයකි. ජීවිතයේ අපමණ පිරිපත ම අනුභව කළත් සිනා සී සිටිත යුතු යයි මා ඉගෙන ගත්තේ ඇය ගෙන් විය යුතු ය.

මා එසේ කිරි අම්මා දෙස බලා සිටිය දී සිතිජ ගේ වම් අත මගේ සුරත අල්ලා ගනු දැනිණ. ආදරය ඇස් වල තවරා ගෙන යළිත් මම ඔහු වෙතට හැරුණෙමි.

“මට දැං කිසි බයක් නෑ”

ඔහු විශ්වාසයෙන් යුතු ව තෙපළේ ය.

“තාත්තට වුණ දේ මට වෙන්නෑ කියල දැනෙනව මට”

“අනේ අයියෙ”

මම ඔහු ගේ අතේ ග්‍රහණය දැඩි කළෙමි.

“කිරි අම්මට මෙච්චර ආදරේ කරන ඔයා මට කොච්චර ආදරේ කරයිද…කිරි අම්ම ගැන මෙච්චර වද වෙන ඔයා මං ගැන කොච්චර හොයල බලයිද…කිරි අම්මටත් අම්ම කෙනෙක් වෙන්න හදන ඔයා මටයි මගෙ දරුවන්ටයි අම්මල දහ දෙනෙක්ගෙ ආදරේ නොදී ඉඳියිද…”

“අයි….යෙ…”

උගුර බිඳී ගොස් ඒ හඬ පිට වූයේ යන්තම් කෙඳිරියක් සේ ය. මම සිතිජ ගේ වමත ගෙන මගේ  ළයෙහි තබා තද කර ගතිමි. කම්මුල් දිගේ ගලා ගිය කඳුළු දෙපෙළක්, සීතල රේඛා වල පැල්ලම් ඉතිරි කරමින් සැඟ ව ගියේ ය. මේ තත්පරය ආත්ම ගණනක් තරම් දිගු එකක් වෙනවා නම් යන සිතිවිල්ල පමණක් ඉතිරි ව තිබිය දී, විශ්ව ධාතුව  මත වන අන් සියල්ල මොහොතකට මට අමතක වී යන ලදී.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content