fbpx

අහංකාර නගරේ -42

සජීවිතය කිසි දවසක එක තැනක නතර වී පවත්නේ නොවේ. එය වූ කලී සංචාරයකි. දැන් මම වඩාත් හොඳින් ඒ බව පසක් කර ගෙන හිඳිමි.

මගේ ළමා විය දුෂ්කරතා වලින් ගහන වූවකි. කිරි අම්මා හා මා ජීවත් වූ මැටියෙන් තැනූ ගෙපැල තුළ සැප සම්පත් හෝ යස ඉසුරු වූයේ නැත. අප බත් කෑවේත් ඉඳ හිට ය. අපේ ප්‍රධාන ආහාරය වූයේ කුරක්කන් තලපයි. ඒවා කන්නට බෑ කියමින් ද බත් ඉල්ලමින් ද හැඬූ ළමා වියක් මට තිබේ. එතකොට කිරි අම්මා අසල්වැසි ගෙදරකින් අතමාරුවට හාල් හෝ වී ටිකක් ඉල්ලා ගන්නී ය. ඒ ණය ගෙවන්නට ඇය ඊළඟ කන්නයේ කුඹුරු වැඩ කරත්දී ඔවුන් ට අත් උදව් දෙන්නට යයි.

නගරයේ ළමයින් ට සේ ලස්සනට අඳින්නට හෝ ඉගෙන ගන්නට අවස්ථාව ද මහවැලි ගම්මාන වල ළමයින් ට නැත්තේ ය. ඒ ළමයින් අතරිනුත් මා ගෙවූයේ අන්ත අසරණ දිවියකි. ඔවුන්ට නම් අම්මා හා තාත්තා කියා දෙදෙනෙක් සිටියෝ ය. මට හිටියේ කිරි අම්මා කෙනෙක් පමණකි.

කිරි අම්මා ද මා නිසාවෙන් අපමණ දුක් විඳි බව මම දනිමි. ඇය මට වේල පිරිමහ දී අනන්තවත් කුස ගින්නේ සිටියා ය. වැඩි විය පත් දා මට රත්තරනින් අරුංගල් යුගලක් කනට දමනු වස් සිය හිමිකම වූ භූමියෙන් කොටසක් අසල් වැසියාට පැවරුවා ය. 

මට යමක් කමක් තේරෙන්නට ගත්තා ට පස්සේ කිරි අම්මා එක්ක සම සේ දුක වේවා සතුට වේවා බෙදා හදා ගැනීම ට මම පෙළඹුණෙමි. ඉස්කෝලේ ගිහින් ඇවිත් එහි වූ සියලු සිදුවීම් දෛනිකව ඇයට වාර්තා කිරීම මගේ පුරුද්දක් වූයේ ය. කිරි අම්මා ඒ කතා අසා උන්නේ ආශාවෙනි. ඇය කිසි දා ක පාසල් ගොස් නැත. අකුරු ලියන්නට කියන්නට දන්නේ ද නැත. මා කියන කතා ඔස්සේ ඇය ලෝකයක් මවා ගන්නට  ඇත. ඒ කතා අසා ඉඳිත්දී කිරි අම්මා ගේ ඇස් වල වූ සිනහව තවමත් මගේ හිතේ නො වෙනස් ව ඇඳී තියේ.

“උඹත් දවසක ඒ වගේ ලොකු නෝනා කෙනෙක් වෙයි”

මගේ ගුරුවරියන් සම්බන්ධ කතා වල දී නිසැක ව ම ඇය එහෙම කීවා ය. නමුත් මට ගුරුවරියක වන්නට ඕනෑ කළ බවක් මම කොහෙත් ම නො දැන සිටියෙමි. අකුරු නො දැන උන්නා ට, සිය මිණිපිරිය ගේ යටි හිත කියවන්නට කිරි අම්මා දැන ඉන්නට ඇත.

කොළඹ එන්නට ඇය හීනයක් වත් නොදුටු බව මම දනිමි. ඇය ඒ අභියෝගය භාර ගත්තේ මා නිසාවෙනි. 

“කෙල්ලගෙ හිත හැදෙන්න දවසක් දෙකක් ඉඳල එනව. උඹල මේ පැත්ත ටිකක් බලපල්ලකො”

මේ ගමන එන්නට පෙර කිරි අම්මා අසල්වැසි ගැහැනුන් ට කීවා ය. නමුත් දවසක් දෙකක් නොව ඇගේ ඉතිරි ජීවිත කාලය ම මා ළඟ තබා ගෙන ඈ රැක බලා ගැනීම දැන් මගේ ලොකු ම බලාපොරොත්තුවයි.

කොළඹ ජීවිතය හිතු තරම් කිරි අම්මා ට වෙහෙසකර වූයේ නැත. ඇයත් එක්ක ආ ගිය කතා කියවන්නට බෝඩිමේ ඇන්ටි හිටියා ය. දෙන්නා ට කතා කරන්නට දේවල් ඕනෑ තරම් විය. මා පන්ති පවත්වත්දී ඈතක සිට ඕ තොමෝ ආශාවෙන් බලා සිටියි. එතකොට කිරි අම්මා ගේ ඇස් දිළිසෙයි. 

බත් වේලක් වෙනුවෙන්, කොළඹට පය ගැසූ ගමන් මම නුගේගොඩ හෝටලයක පිඟන් සේදුවෙමි. මගේ ජීවිතය කොතැනක පර ව යාවි දැයි මට සිතුණ අවස්ථා ඒ දින වල විය. නමුත් අද මම මගේ වියදමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් උපයමි. ඉස්සර බත් දංකුඩ ටික හූරා මට කවා ඉස්කෝලේ යැවූ කිරි අම්මාව ඉතා ම හොඳින් පෝෂණය කළ හැකි  තත්වයකට මම පත් වී හිඳිමි.

“ඔහොම සල්ලි නාස්ති කරන්න එපා කෙල්ලෙ. මේ නාකි මම ඔය තරං කනවද අලියෙක් වගේ…හම්බ කරන දෙයිං කොටසක් ඉතිරි කර ගනිං අනාගතේ වෙනුවෙං”

මා ඇය ට රස මසවුළු ගෙනැවිත් දෙත්දී කිරි අම්මා අමතක නොකර එසේ කීවා ය. මා කළේ හිනැහෙන එක පමණකි. ජීවිතයෙහි මට වන ලොවුතුරු නිවන කිරි අම්මා රැක බලා ගැනීම බව මම ඉගෙන ගනිමින් සිටියෙමි.

“මට දැන් තේරෙනව කෙල්ලෙ. උඹ ආයෙ කවදාවත් අපේ ගං තුලානෙ පදිංචි වෙන්න යන්නෑ. මැරෙනකල් මට උඹ ළඟ වැටිල ඉන්න පුළුවන් බව මං දන්නව. උඹට එහා අර ඉලන්දාරිය. ඇස් වහක් කට වහක් වදින්න එපා ප්‍රාර්තනා කොරන්ඩ ඕන බං එහෙව් ඉලන්දාරියො. ඒ කොල්ල කීයටවත් මට වෙනස්කමක් කොරන්නැති බව මං දන්නව. ඒක නිසා ගමේ ඉඩම විකුණල දාල සල්ලි ගනිං මයෙ මැණිකෙ. කසාද බඳිනකොට උඹල දෙන්නට පදිංචි වෙන්ට ගෙයක් ගනිං ඒ සල්ලි වලිං. වෙන ඉතිං මොනවයි කියල මං උඹට දෑවැද්දට දෙන්නද…”

දවසක් කිරි අම්මා කීවා ය. ඇය ඒ ටික කියා නිම වන්නට ත් පෙර මගේ ඇස් කඳුළෙන් පෙඟී ආවේ ය. ඇය මට කුමට නම් දෑවැදි තනනු ද? මගේ අම්මා විසින් කුණු කූඩයට විසි කරන්නට ගිය මා ව දරුවෙකු මෙන් හදා වඩා ගත්තේ ඈ ය. මගේ අත පය නො බිඳ මා උස් මහත් කළේ ඈ ය. අකුරකුදු නො දැන සිටියා ට නො වරදවා මා අකුරට යැව්වේ ඈ ය.

“අනේ එපා කිරි අම්මෙ. අපිට කොහොම හරි හෙමිහිට ඒ දේවල් කර ගන්න පුළුවන්. කිරි අම්මගෙ සන්තකේම විකුණ ගන්න ඕන නෑ මට”

“තිබුණයි කියලත් මක් කරන්නද ඉතිං උඹ යන්නෙ නැත්තං. හිටහංකො මං අර ඉලන්දාරිය ට කියන්න”

“ඒ කියන්නෙ…කිරි අම්ම හැමදාම මාත් එක්ක ඉන්න කැමතිද…”

“මේ ගෙන්දගං පොළොවෙ බිං අඟලකට සීමා වෙලා තාප්ප වලිං වට වෙලා ජීවත් වෙන එක වෙලාවකට විකාරයක් වගේ තමයි මැණිකෙ. ඒත් උඹ දිහා බලා ගෙන මෙහෙම ඉන්න එක මට සැනසීමයි”

ඉරණම හැමදාමත් නරක දේවල් ම ජීවිතය ඉදිරියට පමුණුවන්නේ නැති බව මා වටහා ගනිමින් ඉන්නේ දැන් ය. කිරි අම්මා ඉස්සර සිට ම කීවේ නරක කාලය ගෙවී ගිය පසු හොඳ කලක් උදා වෙන බවයි. අපේ නරක කාලය කිසි ද ගෙවී නො යතැයි අන්තිමට මම සිතා ගතිමි. ඉරණම විසින් බන්දේසියක තබා පිළිගන්වන්නට නියමිත නැති අනාගතයක් සොයා ගෙන මා කොළඹ බසයකට ගොඩ වූයේ එනිසාවෙනි. ඒ එත්දීත් මට අරමුණක් නො තිබූ බව මතක ය. මා ආවේ අරමුණක් හොයා ගෙන ය. හැල්මේ දිව යන නගරයේ මිනිසුන් අතරේ මම මගේ ඉරණම කුමක් විය හැකි දැයි නො දැන ඇවිද ගියෙමි. සිතිජ වූ කලී මට මග කියනු වස් ඉරණම විසින් තෝරා ගනු ලැබූ මාර්ගෝපදේශකයා ය. 

“කිරි අම්මගෙ ඉඩකඩං විකුණන්න ඕන නෑ”

සිතිජ ට ඒ යෝජනාව කළ විට ඔහු එය මඳහසින් ප්‍රතික්ෂේප කළේ ය.

“කිරි අම්මගෙ මිණිපිරීව කුළී ගෙවල් ගානෙ අරං යන්න බලාපොරොත්තු වෙන්නෑ මං”

ඔහු විහිළුවක සරින් කීවේ ය.

“අනේ එහෙම නෙවෙයි පුතේ. මාත් ඉතිං ඔය තියෙන දෙයක් මේ කෙලීට මිසක් වෙන කාට දෙන්නද…”

“අපි ඒක විකුණන්නැතුව තියෙන්න අරිමු කිරි අම්මෙ”

“ඉතිං කවුද පුතේ එහෙ ඉන්නෙ…පුතාල එහෙ යනවයැ”

“පදිංචි වෙන්න නෙවෙයි. ඒත් අපි ඒක තියා ගමු අපේ ගමේ ගෙදර කියල…ඉඳ හිටවත් නිවාඩුවකට ගිහිං එන්න…කිරි අම්මගෙ මිණිපිරීගෙ දරුවන්ටත් දවසක ගමේ යනව කියල එහෙ යන්න පුළුවන් නෙ. කටු මැටි ගහල බිත්ති බැඳපු…ගොම මැටි බිමට ගාපු…පැදුරක් එලපු පිලක් තියෙන ගේකුත් අපිට තියෙනවනෙ කිරි අම්මෙ”

“අනේ මගෙ රත්තරනේ…”

කිරි අම්මා ගේ නෙතක කඳුළක් නලියනවා මට පෙනිණි. මම සිතිජ දෙස ඉමහත් ස්නේහයකින් බැලුවෙමි. සැබවින් ම ඔහු වන් පිරිමියෙකු වනාහි හැම ගැහැනු හදවතක ම පැතුම ය. නමුත් හැම ගැහැනියකට ම එවන් පිරිමියෙකු හමු වෙනවා යි නො සිතමි. ලෝකයේ සුලභ ව ඉන්නේ අවස්ථාව එළඹි කල සිය කාරිය කර ගෙන පැන යන රැවටිලිකාර සල්ලාලයන් ය. එහෙව් ලෝකයක සිය පෙම්බරියට පමණකුදු නොව ඇගේ මිත්තණියට ද දයාවත් වන තරුණයෙකු කියන්නේ මහමෙරකි.

“නරක බෑණා කෙනෙක් හම්බ වෙනව කියන්නෙ ඒ පවුලට දුවත් නැති වෙන එකයි කියල කතාවක් තියෙනව. ඒත් හොඳ බෑණා කෙනෙක් හම්බ වෙනවයි කියන්නෙ ඒ පවුලට පුතෙක් හම්බ වෙනව කියන එකයි”

කිරි අම්මා සතුටු කඳුළෙන් කීවා ය. සිතිජ මදෙස බලා සිය කමිස කොලරය ඉහළ නංවා ගත්තේ ය.

“දැක්ක නේ…කිරි අම්මට විතරයි මගෙ වටිනාකම තේරෙන්නෙ”

“අපෝ ඔව්. කිරි අම්මව රවට්ටනව මෙයා. අහු වෙන්නෙපා කිරි අම්ම ඔය මායං වලට. ඕව අපේ හැට හතර වගේ නෙවෙයි. එකසිය විසි අටකටත් වඩා වැඩියි”

“කවුද දන්නෑ හැට හතරම දාල අර බැල්කනි එකට ආපු අහිංසක කොල්ලව රවට්ටගත්තෙ…”

“මැන්දෑවට හැන්දෑවට බැල්කනි එකට ආවෙ කීවෙනි මායම දාන්නද කියලයි තාම මං මේ හිතන්නෙ”

සිතිජ මගේ බෙල්ලෙන් අල්ලා හෙළෙව්වේ ය. මම සැහැල්ලුවට පත් ව හඬ නගා සිනහ වුණෙමි.

ජීවිතය අපිටත් නොදැනී දිග පාරක ගමන් කරමින් තිබී ඇත. ඒ කිසි තැනෙක සදාකාලික දුකක් හෝ කඳුළක් තිබී නැත. සදාකාලික සතුටක් හෝ සිනහවක් තිබෙනු ද නැත. සතුටත් කඳුළත් දෙක ම සම සිතින් විඳ දරා ගන්නට අප බලාපොරොත්තු වෙන් සිටිත යුතු ය. එතකොට කිසි දා ජීවිතය නීරස වැළඳීමක් වන්නේ නැත.

“මං තීරණේ කළා මෙව්නා ව දවසක අපේ ගෙදරට එක්කං යන්න”

දවසක් රාත්‍රී භෝජනයක් වෙනුවෙන් අවන්හලක දී අප හමු වූ වෙලාවක ජයශාන්ත මහතා කීවේ ය. මමත් සිතිජ ත් මුහුණෙන් මුහුණ බලා ගතිමු. නෙළුම් නැන්දා උපේක්ෂා සහගත මඳහසින් වත සරසා ගත්තා ය.

“අමුතුවෙන් යන්න දෙයක් නෑනෙ තාත්ත”

සිතිජ මන්ද්‍ර ස්වරයකින් කීවේ ය.

“ඔව්. මෙව්නා එහෙ හිටිය තමයි. ඒත් මේ වතාවෙ ඒ ගෙදර ලේලි හැටියට මෙව්නා එහෙට යන්න ඕනෙ. ඒ ගෙදර කවුරුත් මෙව්නා ට දැන් තියෙන අලුත් නෑ කම ගැන දැනගන්න ඕනෙ. මං හිතන්නෙ ඒක අපි මෙව්නාට දෙන්න ඕන ගෞරවයක්”

මම මුණිවත රැක ගෙන හිටියෙමි. සිතිජ ද වෙන යමක් කියන්නට ගියේ නැත. නමුත් ඊට දෙදිනකට පස්සේ සිතිජ මා ව සිය නිවෙසට කැටුව ගියේ ය. ඒ ඔහු ගේ රිදී පැහැති රියෙනි. රිය තුළ දී ම ඔහු දුරස්ථ පාලකයෙන් ගේට්ටුව විවර කර ගත්තේ ය. එදා මුල් ම වතාවට මෙහි විත් දොර සීනුව හැඬ වූ මෙව්නා ගේ රුව මගේ දෑස් ඉදිරියේ මැවි මැවී පෙනිණි. කබල් වී ගිය අනුන් ගේ ඩෙනිම් කලිසමක් හැඳ, ගෙවී ගිය පා වහන් යුගලක් පැළඳ,  ඉස්කෝලේ ගෙන ගිය බෑග් එක පිටේ එල්ලා ගෙන කොළඹ ආ මෙව්නා…මගේ උගුර රිදෙමින් ද නහස් පුඬු දැවෙමින් ද, ඇස් දිය වෙන්නට තතනමින් ද තිබිණි. ඒ වගේ දුප්පත් අසරණ කෙල්ලක් දරා ගන්නට තරම් ආත්ම ශක්තියක්, එදා මා පිළි ගන්නට ගේට්ටුව ළඟට පැමිණි කෙට්ටු උස අහංකාර කොල්ලා ට තිබිණි. අදත් ඔහු මගේ අහිංසක ගැමි කම් ඉවසා ගනී. මගේ හිතුවක්කාර ගැහැනු කම් දරා හිඳී. මගේ මෝඩ කංකරච්චලය අසා හිඳී. මගේ කඳුළු පිස දමා ඕනෑ ම මොහොතක මා තුරුලු කර ගන්නා සූදානමක හිඳී.

සිතිජ ගේ සුරතලා ඔහු වෙත දිව ආවේ ය. ඒ බුරා හැලීම හැරුණු කොට මුළු මන්දිරය ම නිහඬ වූයේ ය. මාස කිහිපයක් මේ මගේ වාසස්ථානය වී තිබි තැන වූවාට මට දැනුණේ ආගන්තුක හැඟීමකි. ඒ දවස් වල සේ ගෙතුලට වන් සැනෙන් පිය ගැට පෙළ නැග කාමරයට යන්නට මට අවසර වූයේ නැත. සිතිජ මට අසුන් ගත වන්නැයි ඇසින් ඉඟි කළේ ය. ඔහු ඉන්නා තැනෙක මට කිසි බියක් නො දැනෙතත්, දැන් මා මේ සිටින්නේ සතුරු බල කොටුවක ය. මා බේරා ගන්නට සිතිජ ට වුව හැකි වේවිද? 

මා පැමිණෙන වග ජයශාන්ත මහතා රෝස් මැඩම් ට කලින් දැනුම් දී ඇති බව සිතිජ කීවේ ය. නමුත් ඇය ගෙදර සිටියේ නැත. ඇගේ ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත ව ඇති බවක් පැවසිණි. ඒ, මා ප්‍රතික්ෂේප කරන බව අඟවන්නට ඈ ක්‍රියා කළ ආකාරය වන්නට ඇත.

ජයශාන්ත මහතා දෙවරක් හඬ නගා කතා කරත්දී අක්කා නගෝ ආලින්දයට පැමිණියහ. ඔවුන් දෙදෙනා ගේ ම මුහුණු වල සිය සොයුරා ගේ සහකාරිය ලෙස මා පිළි ගන්නට සූදානම් නැති බවක් ලියැවී තිබිණි.

“මෙව්නා සිතිජ ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ලු. සිතිජ කියනව එයා මැරි කරන්නෙ මෙව්නාව කියල. ඉතිං…අපි එයාව අපේ පවුලෙ කෙනෙක් හැටියට පිළිගන්න ඕනෙ. අන්න ඒක කියන්නයි මං අද කට්ටියව මුණ ගැස්සුවෙ”

“මල්ලිට තේරෙන්නැත්තං එයා මේ මොකද්ද කරන්නෙ කියල…තාත්ති එයාට තේරුං කරල දෙන්න ඕනෙ නේද…මේ ගර්ල් අපේ ෆැමිලි එකට මැච් වෙන්නෑ”

සිතිජ ගේ අක්කා අශ්විනි, මදෙස බලන්නේ වත් නැතිව ජයශාන්ත මහතා ට කීවේ දියණියක ලෙස නොව නීතීඥවරියක සේ යයි මට සිතිණි.

“ඇයි…අශ්විනි එහෙම කියන්නෙ…ම්…”

“තාත්ති…ක්ලීනිං සර්විස් වලයි හෝටල් වලයි සැලුන් වලයි වැඩ කරන කෙනෙක්වද ඔයාගෙ ලේලි කර ගන්න හදන්නෙ…ඔයා කවුද තාත්ති…හැමෝම දන්න ප්‍රින්සිපල් කෙනෙක්. ඒත් දවසක ඔයාට පුළුවන් ද මේ ඉන්නෙ ඔයාගෙ ලේලියි කියල ඔයාගෙ සමාජෙට අඳුන්නල දෙන්න…”

ජයශාන්ත මහතා සිනහවක් නගා ගත්තේ ය. මම බිම බලා ගතිමි. මේ ගමන ආවේ ඔවුන් ගේ නින්දා අපහාස විඳ ගන්නට වන බව නො දැන නොවේ. කවදා හෝ මීට මුහුණ දෙන්නට වන බව හොඳාකාරව ම දැන ගෙන ය.

“කෝ අශ්විනී ඕගොල්ලො ඉගෙන ගත්ත දේවල්…කෙනෙක් භ්‍රාහ්මණයෙක් හරි වසලයෙක් හරි වෙන්නෙ උපතින් නෙවෙයි කරන ක්‍රියාවෙන් ය කියල ඉගෙන ගත්ත නේද ඉස්කෝලෙ යද්දි…මෙව්නා උපාධියක් කරන ළමයෙක්. ඒ විතරක්ද…එයා ටීචර්ස් ට්‍රේනිං කෝස් එකක් කරනව. ළමයි සීයකට වැඩිය දැනටත් එයාගෙං සිංහල ටියුෂන් ගන්නව. හෝටලේක වැඩ කරල හරි ඒ ළමය එයාගෙ ගමන පටං ගත්තා. පටං ගත්ත තැන නෙවෙයි අශ්විනි වැදගත් වෙන්නෙ කෙනෙක් දැන් ඉන්න තැන. දැන් ඉන්න තැනටත් වඩා වැදගත් වෙන්නෙ එයා අනාගතේදි ඉන්න නියමිත තැන”

“මේ ගාබේජ් ගර්ල් පාරෙදි දැකල මට අක්කෙ කියාගෙන ආව. හහ්…”

ශෙනාලි මැදින් පැන්නා ය. මගේ අක්කා! මා ඇයට අක්කා කී එක ගැන ඇය තවමත් උදහසිනි.

“අක්ක තමයි”

ජයශාන්ත මහතා කෑ ගැසුවේ ය. අහසින් පොළොවට වැටුණා සේ මම කම්පිත වීමි. ශෙනාලි ගේ වත අඳුරු වී ගියේ ය.

“මෙව්නා මේ ගෙදරට සම්බන්ධ වෙන්න යන්නෙ. තමුං එයාට වඩා වයසින් වැඩිනෙ. ඉතිං අක්ක තමයි”

වැරදෙන්නට ගිය කතාව හෙතෙම සියුම් ලෙස නිරවද්‍ය කළේ ය.

“ශෙනාලි…අම්ම කියන්න තාත්ත කියන්න අක්ක නංගි කියන්න දුව පුතා කියන්න ලේ නෑ කමක් ම ඕනෙ නෑ. එහෙම නැතත් අපිට හදවත් වලින් බැඳෙන්න පුළුවන්. මොන ලේ නෑ කං තිබුණත් බැඳීම් කියන දේවල් අඳුරන්නෙ නැති එකා නෑ මයි”

මම හෙමිහිට මගේ පපුව පිරිමැද ගතිමි. උගුර කට වියළී ගොස් ඇති බවක් දැනුණේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x