fbpx

අහංකාර නගරේ – 43

ටකරන් වහළය මතට වැහි වතුර වැටීම නිසා උස් හඬක් නැගුණේ ය. පන්තිය සඳහා ඉදි කර ඇති ටකරන් මඩුවේ විවෘත පසුබිම නිසා හාත්පස හිරිකඩ වැස්සෙන් දුමාරයක් තනා තිබුණේ ය. මම ඒ දුමාරය මැද්දට වී, ලෑලි බංකුවක් මත නිකට තියා ගෙන ඔහේ බලා සිටියෙමි. 

පාන්දර යාමයේ සිට ම වැස්ස දුක් ගීතයක් ගයයි. වුඩ්ලන්ඩ් මාවතේ සිතිජ ලා ගේ ගෙදර ගිහින් එත්දීත් අහස මන්දාරම් කොට තිබුණේ ය. අද නම් වැහි නතර කරන සූදානමක් නැති බව අහස නො කියා කියන බවක් මට හැඟිණි. 

අශ්විනී හෝ ශෙනාලි විසින් කිසි දා ක මා සිය සොයුරියක ලෙස නො පිළිගනු ඇති බවට හැඟීම, තව දුරටත් මා තුළ සන්තාපය වඩවමින් තිබේ. රෝස් මැඩම් මා පිළිකුල් කළත්, සෙනෙහසින් නැතත් අනුකම්පාවෙන් හෝ ඔවුන් මා පිළි ගන්නවා නම් මා කැමති ය. හුදෙකලා ,ජීවිතය වූ කලී මොන තරම් තිත්ත අත්දැකීමක් දැයි මම අත් විඳ ඇත්තෙමි. කිරි අම්මා ට මාත් මට ඇයත් හැරුණ විට වෙනකෙකු නො වත්දී, අසනීපයකට හෝ තනි නොතනියට අපේ කියන්නට කිසිවෙකු නො වත්දී, මම ඕනෑ තරම් තනි ව කඳුළු සලා ඇත්තෙමි. ඒ නිසා අක්කා කෙනෙක් යනු මට මහ මෙරකටත් වඩා වටිනා වස්තුවකි. අක්කලා දෙදෙනෙකු යනු මොන තරම් අස්වැසිල්ලක් ද? නමුත් සහෝදර සම්පත යනු මට දුර දෙයක් යයි දැන් මට සිතේ. ජීවිතයෙන් දශක දෙකක් ගෙවෙන තෙක් මම මගේ ම සොයුරියක ගැන නො දැන සිටියෙමි. දැන ගත්තා ට පස්සේත් ඒ සෙනෙහස හිමි කර ගත නො හැකි තැනක මම නතර වී හිඳිමි.

කිරි අම්මා ට වුව මගේ ම සොයුරියක ගැන කියන්නට මට අවස්ථාව හිමි වූයේ නැත. ඒ ජයශාන්ත මහතා ට මා පොරොන්දු වී තිබි නිසාවෙනි. එහෙම රහසක් තමන් ගේ ම අයගෙන් හංගා ගෙන හිඳීම පහසු කටයුත්තක් නොවේ. සිතිජ ට හෝ කිරි අම්මා ට හෝ සුරනි ට හෝ කිව නො හැකි මගේ ම සොයුරිය ගැන රහසක්!

ජංගම දුරකතනය හැඬවුණේ මා සසලවා ගෙන ය. රෝස්මරී! පිළිතුරු දෙනවා ද නැත් ද යන දෙගිඩියාවෙන් මම ටික වෙලාවක් එදෙස බලා ගෙන ම සිටියෙමි. ඊයේ ඇය මා මග හැරියේ මා සිය ලේලිය වශයෙන් නො පිළිගන්නා බව නො කියා කියමින් නොවේ ද?

වෙන දෙයක් වුණාවේ කියා හිතා ගෙන අන්තිම මොහොතේ මම ඇමතුම ට පිළිතුරු දුන්නෙමි.

“හෙලෝ”

මගේ ස්වරය වෙන දා ට වඩා තරමක් දැඩි වන්නට ඇත.

“මෙව්…නා…”

රෝස් මැඩම් ගේ හඬ බිඳී ගියේ ය. ක්ෂණික තිගැස්මක් මා තුළ ඇති විය.

“මැ…ඩම්…අඬනවද ඔයා…”

“වැරදි කරපු ගෑනියෙක් විදිහට වෙන මට මොනවද මෙව්නා කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ…”

ඇය ඉකි බිඳින්නට පටන් ගත්තා ය. ඇය වැරදි කළ ගැහැනියක බව මම දනිමි. අසරණ කමට රැකියාවක් සොයා ගෙන ගිය මටත් ඇය මොන තරම් ලොකු වරදක් කළා ද? නමුත් මේ සිතිජ ගේ අම්මා ය. ඔහු ව දස මසක් කුස දරා හිඳ ලෝකයට බිහි කළ අම්මා ය. අද හිඳිනා තත්වයට ඔහු උස් මහත් කළ, ඔහු වෙනුවෙන් අපමණ දුක් විඳ ගන්නට ඇති අම්මා ය. එසේ තැනූ පුතු ව මට පවරා දෙන්නට කොහෙත් ම නො කැමති මුත්, මා පෙම් කරන්නට ඉගෙන ගත් ඔහු ට සිය ලේ කිරි කර පෙවූ අම්මා ය. ඒ නිසා ඇගේ වැරදි මොනවා වුණත්, ඇය හඬත්දී මට පිටු පාන්නට නුපුළුවන.

“මැඩම්…ඇයි මේ…”

“මෙව්නා…මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ. අනේ බෑ නොකියා එනවද…”

ගත් කටට ‘හා’ කියන්නට මගේ දිව නැවුණේ නැත. ඇය ගැන කෙටි කාලයක් තුළ දී වුව මම දැන ගතිමි. ඇගේ උපක්‍රම හා උගුල් ගැන ද මම අත්දැකීමෙන් දැන සිටිමි. මේ ත් කිඹුල් කඳුළු විය නො හැකි ද? යළිත් වරක් ඇය මා ව සිය උගුලකට හසු කර ගන්නට උත්සාහ දරනවා විය නො හැකි ද? ඇතැම් විට මගේ උණු වෙන හිත ආයුධය කර ගෙන ඇය මේ තැත් කරන්නේ මගේ ජීවිතයත් මෙතෙකින් නිමා කොට දමන්නට නොවේ යයි කියන්නට තරම් ඈ කෙරේ විශ්වාසයක් මට නැත.

“එන්නං. හැබැයි සිතිජ එක්ක”

අන්තිමට මම මගේ තීන්දුව දුන්නෙමි.

“මං දන්නව ඔයාට මාව විශ්වාස නෑ කියල. ඒක මගෙ මිසක් ඔයාගෙ වරදක් නෙවෙයි කියලත් මං දන්නව. කොහොම හරි මට මේ දේ ඔයාට කියන්න ඕනෙ. සිතිජ එක්ක එන්න. ඒත් මං කතා කරන්නෙ ඔයත් එක්ක විතරයි. සිතිජ අපිව පේන දුරක හිටියම ඇති නේද…”

ඕනෑම වැරදි කාරයෙක් සිය වරද ගැන පසු තැවෙන මොහොතක් උදා විය හැක. රෝස් මැඩම් සම්බන්ධයෙන් ගනිත්දී මේ ඇගේ වාරය විය නො හැකි ද? ඇය ටත් අවස්ථාවක් ලැබිය යුතුයි කියා මම විශ්වාස කරමි. කියන්නට කතාවක් හැම හදවතක ම තිබෙනු ඇත. 

“මොකටද ඔයා හා කිව්වෙ..”

මා සිය මව ගේ ආරාධනාව පිළි ගැනීම ගැන සිතිජ නො රිස්සුම් වූයේ ය.

“කතා කරන්න ඕනනං එයා ඊයෙ මගඇරියෙ ඇයි…කියන්න තියෙන දෙයක් ජෙනුයින් විදිහට ඊයෙ කියන්න තිබුණනෙ”

“හරි ඉතිං මොකක් හරි හේතුවක් නිසා ඊයෙ මිස් වුණා තමයි. ඒත් අපි අවස්ථාවක් දෙමු අයියෙ. ඔයාගෙ අම්මනෙ”

“හැම කෙනාටම අනුකම්පා කරන්න යන දුක් ගන්නා රාලියන්ට දවසක හිතන්නැති දේවල් වලට මූණ දෙන්න වෙන්න පුළුවන් හරිද..මං මේ ඔයාගෙ හොඳටයි කියන්නෙ”

බනිමින් දොස් කියමින් වුව ඔහු මා කැටුව යන්නට පැමිණියේ ය. රෝස් මැඩම් එනවා කීවේ ප්‍රකට බොජුන් හලකට ය. අප යන විටත් ඇය පැමිණ සිටියා ය. මා ඇය සිටින මේසය වෙත යත්දී සිතිජ අප ව හොඳින් පෙනෙනා තැනෙක අසුන් ගත්තේ ය. අප තිදෙනා ට ම තේ ඇනවුම් කළේ සිතිජ ය.

“මට මගෙ පුතාගෙ මූණ බලන්න බැහැ වගෙයි දැනෙන්නෙ මෙව්නා”

රෝස්මරී ගේ ඇස් වල වෙන කිසි දාක මා දැක නැති පරාජිත බවක් ඒ වෙලාවේ මට දැක ගත හැකි විය. 

“මට ජයශාන්ත කිව්ව. ශෙනාලි එයාගෙ දුවෙක් නෙවෙයි කියල ඔයා දන්න බව”

ඈ කතා කළේ වඩාත් පහළ ස්වරයකිනි. ඊට වඩා උස් හඬකින් කතා කළ ද ඇය කියන දේවල් සිතිජ සිටින තැනට නො ඇසෙන බව සහතික ය.

“මං දන්නව…ඔයා ඒක සිතිජට නොකියා ඉන්නෙ නෑ. මං කොහොමද දෙයියනේ දැං ඒ දරුවගෙ මූණ බලන්නෙ…අම්මා කෙනෙක් විදිහට…මං මොන ගින්දරකද මේ මොහොතෙ ඉන්නෙ කියල ඔයාට තේරුං ගන්න බෑ”

“මට තේරෙනව මැඩම්”

බොරුවට නොවේ. මා එහෙම කීවේ ඇත්තට ම ය. ඇගේ හදවත ඇතුළේ කැකෑරෙන පශ්චත්තාපය මට ඇගේ දෑසින් මැනවින් කියවා ගන්නට පුළුවන.

“සර් ට මං පොරොන්දු වුණා දැනට ඒ ගැන සිතිජ එක්කවත් කතා කරන්නෙ නෑ කියල. මං මගෙ කිරි අම්මටවත්…සුරනිටවත් ඔය ගැන කිව්වෙ නෑ. අනිත් එක..වෙන කාගෙවත් පෞද්ගලික දෙයක් ගැන තලු මර මර වෙන කෙනෙක් එක්ක කතා කරන පුරුද්දක් මට නෑ”

මා කතා කර ගෙන ගියේ තරමක් තදිනි. ඒ කතා කරන අතරේ වැරදීමකින් හෝ සිතිජ දෙස නො බලන්නට මම වෙහෙසුණෙමි. 

“ඒ නිසා මැඩම් ඒ ගැන වද වෙන්න එපා. කොටිංම කලිං හිටිය වගේ…ඒ කියන්නෙ මං මේක දැන ගන්න කලිං හිටියා වගේ මැඩම්ට ඉස්සරහටත් ඉන්න පුළුවන්. මට ඒ ගැන පොරොන්දු වෙන්න පුළුවන්”

“ඒත් මට ආයෙ කවදාවත් ඉස්සර වගේ ඉන්න බෑ මෙව්නා”

ඇගේ සිහින් සුදු මුහුණ දිගේ කඳුළු වැල් ගලා ගෙන ගියේ ය. ඇය සනසනු වස් මොනවා කියන්න ද කියා මා දැන සිටියේ නැත. අනිත් අතට ඇය මේ තරම් කම්පිත ව ඉන්නට සැබෑ හේතුව කුමක් ද කියා වුව මම දන්නෙම් ද?

“මෙව්නා…මට ඔයාගෙං එක ඉල්ලීමක් කරන්න තියෙනව”

“කියන්න මැඩම්. කරන්න පුළුවන් ඕන දෙයක් මං කරනව. රෝස් මැඩම් වෙනුවෙන් නෙවෙයි. සිතිජ ගෙ අම්ම වෙනුවෙන්…”

ඇය තත්පර කිහිපයක් මදෙස එක එල්ලේ බලා සිටියා ය.

“මං මහ ජරා ගෑනියෙක් මෙව්නා”

කියමින් නැවතත් සිය කඳුළු අලුත් කර ගත්තා ය. ඇගේ අතේ තිබූ ටිෂූ එක, මුහුණේ ගැල්වූ  ආලේපන වල රතු රෝස පැහැයන් ගෙන් වර්ණවත් වී තිබිණි.

” දරුවො තුන් දෙනා ගැන මේ වෙලාවෙ මට දැනෙන්නෙ වෙනස් හැඟීම් දෙකක්. ජයශාන්ත මිනිහෙක් නෙවෙයි දෙවියෙක් කියලත් මට තේරෙන්නෙ දැන්…”

ඇය හුස්මක් ඉහළට අදිමින් මුහුණ පිසදුවා ය.

“මේ හැඟීම මට දැනෙන්න මෙච්චර ප්‍රමාද වුණේ එයාගෙ ඒ දේව ගතිය නිසා. මෙව්නා. ඔයා දන්නවද…සිතිජ අද මං දිහා බලන අප්‍රසන්න බැල්මෙන් ම…අශ්විනී මං දිහා බලන අප්‍රසන්න බැල්මෙන් ම ශෙනාලිත් මං දිහා බලයි. ඒ තුන් දෙනාටම මං වැරදිකාරි. ඒ තුන් දෙනාම මට වෛර කරයි. මං ඒ කාටවත් හොඳක් කරල නෑ කියල ඒගොල්ලො හිතයි. අම්ම කෙනෙක් විදිහට මං කොහොමද මෙව්නා මේ වගේ දෙයක් දරා ගන්නෙ…මට මැරෙන්න හිතෙනව දෙයියනේ. මට මැරෙන්න හිතෙනව”

ඇය ඉකි ගගහා හැඬුවා ය. ඒ ව්‍යාජ කඳුළු නො වන බව මම දනිමි. එය මගේ ගැහැනු ආත්මයට දැනුණා වූ සත්‍යයකි. එදා මගේ අම්මා ගේ ඇස් වලින් ගිලිහුණ කඳුළුත්, අද සිතිජ ගේ අම්මා ගේ ඇසින් ගිලිහෙන කඳුළුත් අතරේ කිසිදු වෙනසක් මට නො දැනේ. පිරිමියෙකු හා බැඳි ප්‍රේමය නිසා හෝ වෙන යම් හැඟීමක් නිසා හෝ ගැහැනියක ගේ කුසයට පිවිසෙන දරුවෙකු නිසා ඇය ඒ විදිහට අසරණ විය යුතු ය කියා මම නො සිතමි. 

අර්ජුන නිසා මා සිය කුසයට එත්දී මගේ අම්මා අවිවාහක ගැහැනියකි. අර්ජුන නිසා ශෙනාලි සිය කුසයට එත්දී රෝස්මරී විවාහක ගැහැනියකි. ඒ අවස්ථා දෙකෙහි දී එකී ගැහැනුන් දෙදෙනා ට ප්‍රතික්‍රියා කරන්නට සිදු වූයේ දෙයාකාරයකට ය. ඔවුන් ගේ සමාජ ආර්ථික හා අධ්‍යාපන මට්ටම ඊට හේතු වන්නට ඇත. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ම මවුවරු වෙති. දරුවන් වෙනුවෙන් ඔවුන් ට උහුලා ගන්නට වූ ගින්දරෙහි රස්නය එක ම ය.

“වැරැද්දක් කරල හැමදාම හැංගිල ඉන්න බෑ කියල තේරුං ගන්න මට හුඟක් කල් ගියා මෙව්නා. දැං මේ හැම දෙයක් ගැනම මට දැනෙන්නෙ උහුල ගන්න බැරි කලකිරීමක්”

වැරදි කරත්දී අපට ඒ ගැන කිසිදු වැරදිකාර හැඟීමක් දැනෙන්නේ නැත. ඇතැම් විට අප ඒ වැරදි කරන්නේ අප්‍රමාණ ආශාවකින් වන්නටත් පුළුවන. නමුත් ආදිනව දැනෙන්නට ගන්නේ විපාක විඳින්නට වෙත්දී ය. දැන් රෝස්මරී ට ඈ කළ සියලු පව් සිහිපත් වෙනවා ඇත. 

“මං මෙව්නාගෙන් ඉල්ලන්නෙ එක දෙයයි. මට බෑ ඔයා සිතිජට මේව නොකියා ඉන්න කියල කියන්න. ඒත් මං ඔයාගෙං වැඳල ඉල්ලනව. මේක ශෙනාලිට දැන ගන්න ඉඩ තියන්න එපා”

සැබවින් ම ඇය දෑත් එකතු කර සිය පපුව මත තබා බැගෑපත් දෑසින් මදෙස බලා උන්නා ය. 

“මැ…ඩම්…මාව විශ්වාස කරන්න”

මගේ කටහඬ වෙව්ලන්නට විය.

“මගෙ දරුවො මං මහ ජරා අම්ම කෙනෙක් කියල හිතනවට මං බයයි මෙව්නා. එක අතකට මේව හිතන්න තිබුණේ වැරදි කරන්න කලිං. ඔයා පුතාට දැංම නොකිව්වට කමක් නෑ. මං මෙහෙමම ලොකු ගමනක් යනව මෙව්නා”

“කො..කොහෙද මැඩම්….”

“මට හිත හදා ගන්න ඕනෙ. මන් දන්නෑ ඒක කරන්න පුළුවන් වෙයිද කියල. මං උත්සාහ කරනව. මං ආරන්‍යයකට යනව”

“මැඩම්…මොනාද මේ කරන්න හදන්නෙ…පැවිදි වෙනව කියන්නෙ මේ ප්‍රශ්න වලට උත්තරයක් ද…”

ජීවිතයේ කිසිදු දිනෙක මම මෙහෙව් සංවේදී අවස්ථාවකට මුහුණ දී නොමැත්තෙමි. ඇය නවතනවා ද නැත්නම් ඇයට ඒ ගමන යන්නට හරිනවාද කියා වුව මට තේරුම් ගත හැකි වූයේ නැත.

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x