ඈත දුර ආකාසේ -41

සඳලිගේ විවාහ මංගලෝත්සවයට සතියකටත් අඩු කාලයක් ඉතිරිව තිබූ දවසක තුරුලි උදෑසනම රැකියා ස්ථානයට ආවේ බොහෝ වැඩකටයුතු ගැන සිහි කරමිනි.එරංගා මේසයට හිස ගසාගෙන හිඳින අන්දම දුටු ඈ මඳක් නැවතී එදෙස බැලුවා ය.දැන් ඈ විවාපත් වී මසකට වඩා ගෙවී ගොස් ය.සෑම විටෙකම බොහෝ වෙහෙසකින් හිඳින බව පෙනෙන එරංගා සමඟ කතා බහට නොයා හිඳින්නට තුරුලි ප්‍රවේසම් වූවා ය.

“මං එයා එක්ක තරහක් නම් නෑ.ඒත් එයා කතා කරොත් නුහුරටමයි.ආදිත්‍යව මං විනාස කළා වගේ.මං පුලුවං තරම් එයා මඟ අරිනව..”

මියුරු සමඟ එසේ පැවසූ තුරුලිට කියන්නට තවත් බොහෝ දෑ තිබිණ.

“තමන් ආදරේ කරන මනුස්සයාගෙ එක්ස්ට හරි තමන් ආදරේ කරපු මනුස්සයෙක් දැන් ආදරේ කරන කෙනාට හරි පුම්බන හප්පන වැඩවලට මං ආසනම් නෑ මියුරු.අපේ නංගි ඔය බ්‍රයිඩ්ස්මේඩ් ටීම් එකටත් දාන් ඉන්න නෙතූ එක්කනෙ කැම්පස් ආපුම අලුත රනුක යාලු උනේ.රනුක දුර පළාතක කියලා නෙතූලගෙ ගෙදර අය අකමැති උනා.නංගියි නෙතුයි තාම යාලුවෝ.රනුකත් නෙතූ එක්ක හරිම හිතවත්..ඒත් එරංගා එක්ක මට එකට වැඩකරන ෆිට් එකවත් තියා ගන්න අමාරුයි ඉතිං..”

මියුරුගේ ප්‍රේමණිය සිනාව දුරකථන තිරය මත පිපෙන අන්දම තුරුලිගේ හද සනසනම දසුන ය.

“ආදරේ කරපු මිනිස්සුන්ට වෛර කරන එක මහ විකාරයක් තමා.ඒත් තුරූ ඔයා ඔය ආදිත්‍යගෙ විකාර ආය බලන්න ඕන නෑනෙ.ඔයා ඔතන සීනියර් කෙනෙක් නිසා ඒ ළමයට උදව්වක් ඕන උනොත් කරන්න.රස්සාව පැත්තෙන්.ඒ මදැයි..”

තුරුලි මේසයට හිස ගසා ගත් එරංගා දෙස බලා හුන්නේම ඒ කතාබහ සිහි කරමිනි.එරංගා ඔක්කාර කරමින් සේදුම් කාමරයට දිව ගියේ ඒ මොහොතේ ය. ළතෙත් හැඟීමකින් සිත පිරී ගිය තුරුලි ඇය පසුපස ගියා ය.බොහෝ වෙලාවක් වමනය කළ එරංගා පිටතට ආවා ය.ඇය තුරුලි දෙස උඩඟු නැති බැල්මකින් බැලුවේ සිරුරට දැනෙන අපහසුව නිසා ය.

“ටී ඇන්ටි නම් පේන්න නෑ.ඔයාට එළියෙන් හරි මොනව හරි ගේන්නං නංගි.අසනීප පාටයිනෙ..”

තුරුලි අසද්දී එරංගා ප්‍රතික්ෂේප බැල්මක් දෑසට නඟා ගත්තා ය.

“එපා අක්කා.මට හරිම අප්පිරියයි..”

කිහිප වතාවක්ම වමනය කරන්නට ගත් එරංගාට ඇති අසනීපය ගැන තුරුලිගේ ගැහැනු ඉව ක්‍රියාත්මක විණි.ඈ එරංගා දෙස බැලුවේ අනුකම්පාවෙනි. “ඊයේ රෑ කාපු කොත්තුව මට හරි ගියේ නෑ අක්කා..” එරංගා එසේ කියද්දී ද තුරුලි ඇගේ ඔසප් දිනය ගැන විමසුවා ය.

“සති දෙකක් විතර නම් පරක්කුයි ඉතිං…”

එරංගා අවිනිශ්චිතතාවයත් භීතියත් හුරු බැල්මක් දෑසට නඟා ගත්තා ය.

“ස්ට්‍රිප් එකක් බලමු..මං ගේන්නද මෙතන ෆාමසි එකෙන්..”

තුරුලි අසද්දී එරංගා හිස වනා කැමැත්ත පළ කළා ය.ඇය නැවත එද්දී එරංගා සිටියේ දැඩි අවිශ්වාසය මුසු බැල්මක් දෑසට ගෙන ය.

“අක්කා ඕවා චෙක් කරන්න දන්නෙ කොහොමද?”

එරංගා දෙස බැලූ තුරුලි හඬ නගා හිනැහුණා ය.උදව්වක් කරන්නට සැරසෙන මොහොතේ පවා මේ තරුණ ගැහැනිය අසන ප්‍රශ්න ඇයට හිනැහෙන්නට කාරණා ය.

“මං ඕවා චෙක් කරලා නෑ බං කෙල්ලෙ.මගෙ කොල්ලා ඉන්නෙ රටනෙ.ඊමේල් වලින් ප්‍රෙග්නන්ට් වෙන්නයැ..”

තුරුලි එසේ කියා හිනැහෙද්දී “නෑ එහෙමම නෙවේ ” කියමින් එරංගා වචන ගලපන කාරණාව තුරුලි තෝරා ගත්තා ය.

“දැන් ඔයා ඔය ස්ට්‍රිප් එක චෙක් කරලා ප්‍රෙග්නන්ට් කියල දැන ගත්තා කියමු.ඒ බබාගේ තාත්තා නිසා මට ඕවා කවදාවත් චෙක් කරන්න වෙලා නෑ නංගි.අහිතක් තියා ගන්න එපා.ඕවා ගෑනු ළමයින්ගෙ කොමන් සෙන්ස්වලට අයිති දේවල්.ඕක ගැනවත් නොදන්න කෙල්ලො ෆේස්බුක් ගෘප්වල ඔය ස්ට්‍රිප් එක දම දම මේක පොසිටිව්ද අහනකොට මට නම් එන්නේ දුකක්.”

තුරුලි වහාම එරංගාගේ සැක සංකා මකා දමමින් පැවසුවා ය.ඉනික්බිති ගර්භනී පරීක්ෂාව කරන අන්දමද පැහැදිලි කර එරංගා පිටත් කළා ය.

“තුරුලි අක්කේ..”

එරංගා පැමිණියේ මඳ වෙලාවකිනි.හැඬීම නිසා ඇගේ දෑස් ඉදිමී තිබිණ.ඇය තවමත් හුන්නේ ඉකිලමිනි.තුරුලි ද ඈ අසල සිටි අසේනි ද එරංගා දෙස බැලුවේ විමසිල්ලෙනි.

“ඒක පොසිටිව් තමයි අක්කෙ. මං අම්මා කෙනෙක් වෙලා..”

තුරුලි තම අතීත පෙම්වතාගේ බිරිඳ සෙනෙහසින් වැළඳ ගත්තා ය.අසේනි ද එරංගාට දෑත දිගු කළේ සිනා අතරිනි.

“අපිට හරි සන්තෝසයි.දැන් සතුටට ඇඬුවා මදැයි..”

තුරුලි එරංගාට කියද්දී ඇගේ හැඬුම් අලුත් විණි.

“මේ මං බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි අක්කේ.ඒත් මට හරි සතුටක් ආවා.මං ආදිත්‍ය අයියට කතා කරාම එයා බැන්නනෙ..”

තුරුලි එරංගාට අසුන් ගන්නට පුටුවක් ඇද දෙද්දී අසේනි ඇගේ අතකින් අල්ලා ගත්තා ය.

“ඇයි ඒ..”

“එයාට දැම්ම තාත්තෙක් වෙන්න බෑලු.ඇයි මට පරිස්සම් වෙන්න බැරි උනේ අහනව.මම තනියම හදා ගත්තු ළමයෙක් නෙවෙයිනෙ අක්කෙ..”

ආදිත්‍ය ගැන දන්නා තුරුලිට ඒ වචන අලුත් ඒවා නොවිණි.නමුත් අසේනිගේ දෑස පිළිකුල් බැල්මකින් අවලස්සන විණි.

“එකපාර ෂොක් වෙන්න ඇති නංගි.හනිමුන් බේබීස්ලා ආවම ගොඩක් බෝයිස්ලා පොඩ්ඩක් අවුල් යනව.ඔයා දුක් නොවී ඉන්න..”.

තුරුලි එසේ කියද්දී එරංගා නැගිට ඇගේ අසුනට ගියේ මුහුණ අසරණ බැල්මකින් අඳුරු කරගෙන ය.වින්ධ්‍යා ගැබිණියක වූ බව දැන ගත් දා කසුන් සිටි ප්‍රීතිය සිහි කරමින් තුරුලි නිහඬවම සිටියා ය.

“ඉස්සර ඔයාට අරූ වද දෙනකොට අරූ මහ සතෙක් කියල මං අනන්ත හිතලා තියේ තුරූ.සතෙක් නෙවේ ඌ අමුම අමු තිරිසනෙක්.ගෑනි ප්‍රෙග්නන්ට් කිව්වම මැරි කරල නැතත් මිනිහෙක් කොච්චර සතුටු වෙනවද..පරිස්සම් උනේ නෑ කියල අර කෙල්ලට බනින්න මොකෝ ඒකි ඌව රේප් කරල ප්‍රෙග්නන්ට් උනායැ.අනේ මට හොඳ ඒවා මතක් වෙන්නේ..”

අසේනි නොනවත්වා බැන වදිද්දී තුරුලි නිහඬවම හුන්නා ය.පැරණි පෙම්වතා පියෙකු වූ ආරංචියේ ශෝකයට වඩා අසරණ තරුණ ගැහැනියක තම කුළුදුල් ගර්භනී භාවය සැමියා ප්‍රතික්ෂේප කළ සොවින් හඬන හැඬුම ඇය තුළ ශෝකය ඉපදවී ය.තමන් මිදී ගත් නරා වළේ පතුලටම වැටුණු එරංගා ගැන උපන් ශෝකයෙන් තුරුලිගේ දෑස තෙත් ව ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles