අහංකාර නගරේ -45

ශෙනාලි ගේ යහපත් මානසිකත්වය වෙනුවෙන්, ඇය ගේ පියා ජයශාන්ත මහතා නො වන බව නො පවසා සිටින්නට පිය පුතුවරු තීරණය කළහ. සිතිජ ද සිය පියා සේ ම තවත් කෙනෙකු ගේ හදවත කෙරේ සංවේදී ව හැසිරිය හැකි කෙනෙකු වීම ගැන මට සතුටක් විය. නමුත් ශෙනාලි ගේ මාන්නාධික බව මට්ටු කළ යුතු ය යන්න සිතිජ ගේ අදහස වූයේ ය.

“අඩු ම ගානෙ එයා අනිත් අයට අපහාස නොකරන තරමට එයාගෙ ඔළුව හදා ගන්න ඕනෙ”

“එයා එහෙම වෙන්න ඕනෙ තමයි. ඒත් මේ වෙලාවෙ එක පාරටම ඕක දැන ගත්තහම මෙන්ටලි වැටෙන්න පුළුවන්. අනිත් එක මෙච්චර කල් හිටිය විදිහට එයා ඕක නොදැනම හිටියහම ඉවරයි කියලයි මට හිතෙන්නෙ. ශෙනාලි අක්කා ඉවසීමක් නැතුව කලබල වෙන කෙනෙක් නිසා එයා මොනවා කර ගනීද කියලත් කියන්න බෑනෙ…නැත්තං මාත් ආසයි එයා දැන ගන්නවට…මං එයාගෙ නංගි කෙනෙක් කියල…”

සසරෙහි මූලය වූ කලී තෘෂ්ණාව ය. අපි හැම විට ම බැඳෙන්නට රිසි වෙමු. සහෝදරියක ලෙස ශෙනාලි ට බැඳෙන්නට මගේ හිතේ වන ආශාවත් පෘථග්ජන වූවකි. නමුත් ඒ ආශාවන් වෙනත් අරමුණු වෙනුවෙන් යටපත් කර ගන්නට අවැසි වුවහොත්, එවන් තීරණයක් ගත හැකි තරම් අප නිර්භීත හා නිර්ලෝභී විය යුතු ය. 

රෝස්මරී ආරාන්‍ය සේනාසනයක නේවාසික වීමට යාම ඇගේ දියණිවරුන් දෙදෙනාට විසඳා ගත නො හැකි ගැටළුවක් වී තිබේ. ඔවුන් ඊට වග උත්තර කරු කොට තිබෙන්නේ ජයශාන්ත මහතා ව ය.

“තාත්ත නිසයි අම්ම ඒ විදිහට හිත කලකිරවගන්න ඇත්තෙ. හැමදාම තාත්තා කළේ අම්මට වද දෙන එක. එයා මේ තරං කල්වත් මේ ගෙදර හිටිය එක පුදුමයි”

කියමින් ශාලිකා කෙලින් ම ජයශාන්ත මහතා ට චෝදනා කළ බව සිතිජ කීවේ ය.

“ඒ වෙලාවෙ මට ඒකිට ගහන්නමයි හිතුනෙ පැනපු ගමං…මං ඉවසුව..”

සිතිජ තව දුරටත් කීවේ ය.

“පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න එපා අයියෙ. එයාට ඒ එයාගෙ අම්ම. මේ කිසි ප්‍රශ්නයක් එයා දන්නෙත් නෑ. හැම දේම දන්න ඔයා ඒ විදිහට හැසිරිල කොහොමද…”

මම ඔහු ට අවවාද කළෙමි. ජයශාන්ත මහතා එකී ආරන්‍යයකට ගොස් රෝස් මැඩම් ව යළි ගෙදර කැඳවා ගෙන ආ යුතු යයි අශ්විනි ද බලපෑම් කොට තිබේ.

“මං මොකටද එහෙම කරන්නෙ…මං යන්නෙ නෑ”

ජයශාන්ත මහතා ඒ යෝජනාව එවෙලේ ම ප්‍රතික්ෂේප කර ඇත්තේ එහෙම ය.

“මං යන්න කිව්වෙත් නෑ එන්න කියන්නෙත් නෑ”

පියා ගේ ස්ථිර සාර ප්‍රතිපත්ති ගැන දන්නා ලොකු දුවට ඉන් ඔබ්බට කළ හැකි යමක් නො වන්නට ඇත.

දින කිහිපයක් නිහඬ ව ගෙවා දැමීමෙන් පසු සිතිජ මට ඇරයුමක් කළේ ය.

“අම්මව බලල එන්න යමු”

ඒ මොහොත මගේ ඇස් වලට කඳුළු නංවන්නට සමත් වූයේ ය. පුතෙකු ගේ හදවතක සිය මව කෙරේ වන නිහඬ ආදරය වෙනස් එකකි. දූවරු වාගේ පුතුන් ආදරය පෙන්වන්නට පෙළඹෙන්නේ නැත. ඔවුන් පවතින්නේ කිසිදු හැඟීමකින් තොර ගස් ගල් වාගේ ය. නමුත් ඒ මහා කළු ගල් පවා උණු වී වැගිරෙන වෙලාවක් එන්නට පුළුවන.

කෑගල්ල ප්‍රදේශයේ ජනාකීර්ණ නොවූ, ගස් වැල් බහුල ව ගැවසී ගත් කැලෑබද ගමක් ආශ්‍රිතව සිල් මාතා ආරන්‍යය පිහිටියේ ය. හිත නිවන පසුබිමක්, බැලූ බැල්මට හි තිබිණි. මැනවින් අමැද පිරිසිඳු කරන ලද මළුව, නග්න දෙපා වලට සුමුදු බව දැනවූ වැලි තලාවකි. වටේට ම වූයේ රූස්ස වනස්පතීන් ය. ඒ තුරු හිස් මුදුනේ සිට පහලට නොයෙක් වර්ග වල ලතාවෝ එල්ලී ගත්හ. මෑතක සිටුවන ලද ලා බාල බෝ පැළයක් ද පැරණි දැවැන්ත නුග රුකක් ද මැනවින් පෙනෙන සේ විය. ඒ ගස් වටා මල් වැල් ද කොඩි වැල් ද එල්ලා ඒවා සොබා දහමට නොව විශේෂිත ආගමකට අයත් බවට වෙන් කොට දක්වා තිබිණ. කෙසේ වෙතත් එහි පිවිසෙත්දී ම හිතට දැනෙන්නට වූයේ නිවී පහන් වන ස්වභාවයකි. 

රෝස් මැඩම්, කොළඹ දී මා දුටු ඇය ද මේ සිටින්නේ යයි සිතෙන තරමට ඇගේ පෙනුමෙහි සමාදානයක් විය. නින්දට යන මොහොත තෙක් ඉවත් නො කෙරෙන තොල් ආලේපන තැවරී ගත් ඇගේ දෙතොල් ස්වභාවික ලෙස ඇගේ පුතා වුව දැක ගත්තේ ඒ වෙලාවේ කියා සිතමි. වරල පීරා පිටුපසට කොට පිළිවෙලට බැඳ තිබුණේ ය. ඇය සැරසී උන් ඇඳුම ද සරල ය. සිතිජ ව දුටු ඕ තොමෝ බිම බැලුවා ය. මම ගිහින් ඇගේ දෙපා වැන්දෙමි. කෙටි කලකට වුව සිල්වත් ජීවිතයක් ගත කළ එකේ ගෞරවය ඇය ට නො මසුරුව පුද කළ යුතු ය.

මා අනුව සිතිජ ද ඇගේ දෙපා වැන්දේ ය. මතක ඇති කාලයක ඔහු එසේ කර තිබුණා යි මම නො සිතමි.

“අපිත් එක්ක ගෙදර යමු නේද මැඩම්…”

මම ආ කාරණය කෙලින් ම ඈ ඉදිරියේ තැබුවෙමි. ඇය මඳ සිනහවක් වුව නගා ගත්තේ නැත.

“මං ආවෙ ආයෙ ගෙදර යන්න හිතාගෙන නෙවෙයි මෙව්නා”

මේ දින කිහිපයට ඇගේ හඬත් වඩා තැන්පත් වී තිබිණි.

“මැඩම්…ප්‍රශ්නයක් නෑ කිසිම. ශෙනාලි අක්ක වත් අශ්විනි අක්ක වත් පරණ කතා මුකුත් දන්නෙ නෑ. සිතිජ ඒ ගැන දැන ගත්තයි කියල මැඩම් ට තියෙන ආදරේවත් ගෞරවේවත් අඩු වෙයි කියල මං හිතන්නෙ නෑ. මැඩම් බය අර අර්ජුන කියන කෙනාගෙ ලාස්ට් විල් එක ගැනනං….මට කියන්න තියෙන්නෙ මට ඒ මොනවත්ම ඕන නෑ කියල විතරයි. මට සිතිජ අයියව විතරක් දෙන්න මැඩම්….අපිට පුළුවන් ජීවිතේ මුල ඉඳල පටං ගන්න. වෙන කිසි දෙයක් වෙනස් වෙලයි කියල හිතන්නෙ නැතුව මැඩම් ගෙදර යන්න”

“යමු අම්ම”

සිතිජ ගේ ඒ වචන දෙක ඇතුළේ, ඔහු නොකී, කවදාවත් ඔහු ට කියා ගත නො හැකි කතා බොහොමයක් කුළු ගැන් වී තිබිණි. රෝස් මැඩම් සැනසුම් සුසුමක් හෙළුවා ය.

“මං මෙතනට ආවෙ වෙන යන්නයි කියල තැනක් මතක් වුණෙත් නැති නිසයි. ඒත් මෙතනට ආවට පස්සෙ හිතුණා වෙන කොහෙවත් නොයා මෙතනට ආව එක කොච්චර හොඳද කියල. මේ සිල් මෑණිවරු   දවස පුරාම බණ භාවනා කරනව. එයාල හොයන්නෙ උතුම් මාර්ගයක් කියලයි එයාල කියන්නෙ. එහෙම වෙන්න ඇති කියල මටත් හිතෙනව මේ ජීවිතේ වෙනුවෙන් එයාල කැප වෙන හැටි දැක්කහම…”

ගිජු ලිහිනි දෑසක් ඒ තරම් සන්සුන් කරවන්නට ආගමට දහමට හැකි ද කියා මම නො දනිමි. අතීතයෙන් උගත් පාඩම් හා දිට්ඨ ධම්ම වේදනීය කර්ම වල බලවත් කම තේරුම් ගැනීම නිසා බොහෝ දුරට ඇය එසේ නිවෙමින් ඉන්නවා ඇත. 

“මං මේ සිල් මාතාවන්ගෙ රෙදි හෝදනව. කෑම උයද්දි උදව් වෙනව. අතු පතු ගානව. ඒව ඉතිං ගෙදරදිවත් මං කරපු වැඩ නෙවෙයිනෙ”

ස්වයං පාපොච්චාරණය ආත්මයට සැනසීම ගෙන එයි. ආත්මයේ අඳුරු ගුහා වල කාලයක් තිස්සේ සැඟවී ගෙන තිබුණා වූ රහසිගත පාපයන් හා වැරදි පාපොච්චාරණය කළ විට ඒ අඳුරු ගුහා තරමක් හෝ හිස් වී යන්නේ ය. ඕනෑ කම ඇත්නම් ඒ ගුහා වලට ආලෝකයක් කාන්දු වෙන්නට හැරිය හැකි ය. 

“අම්ම හිතං ඉන්නෙ සිල් මාතාවක් වෙන්නද…”

සිතිජ කතා කර ගත්තේ උගුර යටින් වන බවක් මට දැනිණි. මම යන්තම් ඔහු ගේ අතක උඩු බාහුව ඇල්ලුවෙමි.

“මන්දන්නෑ පුතා. මේ දවසට දෙකට මනුස්සයෙකුට එහෙම ලොකුවට වෙනස් වෙන්න බෑ. මං කරපු වැරදි මං දන්නව. ඒවට කර්ම ශක්තිය අනුව දඬුවම් විඳින්න වෙනව කියලත් මේ සිල් මෑණිවරු කියනව. දැං මං පව් කරන්න බයයි කියලනං මට දැනෙනව”

“එහෙනං අම්ම තව ටික දවසක් මෙහෙ ඉන්න. ඊට පස්සෙ අපි යමු”

සමු ගන්නට පෙර සිතිජ කීවේ ය.

“මැඩම් හිත සන්සුන් කර ගන්න. එච්චර බැඳීම් ගොඩක් අත්ඇරල මැඩම්ට වනගත වෙන්න අමාරුයි. විශාකාව වගේ අය ගිහි ගෙයි ඉද්දිම මාර්ග ඵල ලබා ගත්තයි කියනවනෙ. ඒ වගේ…වැරදි තේරුම් අරගෙන වැරදි හදා ගෙන අම්ම කෙනෙක්ගෙ ආදරේ දරුවන්ට දීගෙන ඉමු මැඩම්. සසර කෙටි කර ගන්න ඕනෙ තමයි. ඒත් මේ ආත්මෙදි ගෙදර අත් ඇරිය කියල නිවන් දකින්න පුළුවන් කියල හිතන්නත් බෑනෙ. ඒ නිසා තව ටිකක් හිත හැදෙනකල් මෙහෙ ඉඳල මැඩම් ආයෙ ගෙදර යමු”

සිතිජ අප වෙතින් මඳක් ඈත් වෙත්දී මම ඇයට මිමිනුවෙමි. මදෙස බලා ගෙන ම උන්නා මිස ඕ කිසිත් කීවේ නැත. සමහර විට කියන්න දේවල් අප්‍රමාණ ව ඇගේ හිත ළඟ පෙළ ගැසී තිබුණා වෙන්නට පුළුවන. නමුත් කිව යුත්තක් ගලපා ගන්නට ඈ අපොහොසත් වන්නට ඇත.

වන පෙත ගුප්ත බවෙක ගිලී පැවතිණ. කාටවත් නො කියා හිර කර ගත් කතා දහස් ගණනක් මේ වගේ අඩවි වල හැංගී තියෙනවා ඇත. මේ තරම් ගුප්ත බවක් ඒ නිසාවෙන් වන්නටත් ඇත.

“මෙව්නා”

අප ඉතා ලං ව, නමුත් ඇඟිලි තුඩකුදු ස්පර්ශ නොවන සේ ඇවිද ගිය කෙටි දුරක ට පස්සේ සිතිජ මා ඇමතුවේ ය. මම නෙතු හරවා ඔහු දෙස බැලුවෙමි.

“අම්ම කොහොමද එහෙම කළේ…තාත්තට…අපිට…”

ඔහු අදහස් කළේ කුමක් දැයි මට හරියට ම වැටහුණේ නැත. සිය මව මේ විදිහට ගිහි ජීවිතයෙන් නික්මෙන්නට තැත් කිරීම ගැන ඔහු කම්පාවෙනැයි මම සිතුවෙමි.

“මැඩම් ආයෙ එයි. වැඩි දවසක් ඉන්න එකක් නෑ අයියෙ”

මම මටවත් නෑසෙන තරමට කෙඳිරුවෙමි. ගැහැනු හදකින් පිරිමියෙකු වෙත පෙම් කළ හැකි උපරිම සීමාවක් ඇත්නම් ඒ සීමාව ඉක්මවා යමින් ඔහු ට පෙම් කරන්නට මට පුළුවන. නමුත් අම්මා සේ ඔහු ට මා දැනෙනවා දැයි මට අනුමානයෙන් හෝ සිතා ගත නො හැකි ය.

“මං කිව්වෙ එයා අපිට කරපු අවනම්බුව ගැන. තාත්තත් එක්ක හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගත කරන්න බැරි නං වෙන් වෙන්න නේද අම්මට තිබුණෙ. එක මැරේජ් එකක් ඇතුළෙ ඉන්න ගමන් ම ඒකට අයිති අනිත් අයට එහෙම අවනම්බු කරන එක හරිද ඔයා හිතන්නෙ…එපා නං ඒකෙං එළියට අඩිය තියලයි වෙන කෙනෙක් එක්ක සම්බන්දකං පවත්තන්න ඕනෙ…එහෙම නැද්ද…”

අඬන්නට ඔන්න මෙන්න වූ ළමයෙකු සේ ඔහු ගේ හඬ බිඳී තිබිණි. මම යන්තම් ඒ අතැඟිලි අල්ලා ගතිමි.

“මටනං බයක් නෑ වගේ දැං…”

මගේ ඒ වචන මා තුළ ම දෝංකාර නැංවෙන්නට විය. ඒ වචන අස්සේ මට මගේ ආත්මයේ සෙවනැල්ල දකිත හැකි විය.

“මගෙ ළඟින් ඉන්න ගමන් ඔයා තවත් කෙනෙක් ගැන හිතන එකක් නෑ…මාව අත්ඇරල ම මිසක්…ඔයා වෙන කෙනෙක් ළඟට යන එකක් නෑ”

ඒ වචන වල මා දිය වෙවී ගියේ ය. අප හිටියේ නත වී සිටින තරම් මන්දගාමී ඇවිදීමක නිරතව ය. අන්තිම තත්පරයේ සිතිජ නැවතී මා දැඩි ව වැළඳ ගත්තේ ය. මගේ කඳුළු ඔහේ ගලා ගියේ ය. පාලනය කරන්නට මට කිසිදු උවමනාවක් නැති බව දැන, ඒවා නිදහසේ ගලා ගියේ ය.

“මං දන්නව ඕනවට වඩා බොළඳ වෙන්න හොඳ නෑ කියල…ආදරේ කියන්නෙ මිරිඟුවක් වගේ මායාවක් කියල මං අහල තියෙනව. සිතිජය වගේ මායාවක් කියල මං අහල තියෙනව. ඒත්…මාව අත් ඇරල හරි ඔයා වෙන කෙනෙක් ළඟට ගියොත්…මේ හැම දරා ගැනීමක්ම එදාට පුපුරල යයි වගේ දැන් මට දැනෙනව අයියෙ”

“මාවත් දාල යන්න එපා. තාත්තට වගේ වත් වෙන අතක් බලා ගන්න මට බැරි වෙයි. ඔයා නැතුව මං අබ්බගාතයි වගේ මට දැනෙයි”

අප දෙදෙනා ම හඬන්නට ඇත. වනයේ ඈතින් එක එක හඬවල් ඇහෙමින් තිබිණි. ඒ හඬවල් වල අයිතිකාර සතුන් ගැන මා දන්නේ නැත. නමුත් මට කිසි බියක් දැනුණේ ත් නැත. ජීවිතය කියන්නේ අග මුල සොයා ගත නො හැකි බිහිසුනු වනාන්තරයක ඇවිදීමකට බෙහෙවින් සමාන බව සිතිජ ගේ තුරුලේ සිටියදී මම අවබෝධ කරමින් සිටියෙමි. ආදරය කියන දේ අප හමුවට පැමිණෙන්නේ එබැවිනි. රුදු ජීවිත වනය කෙරේ අපේ බිය සැක තුනී වී යන්නේ ආදරයේ අනුහසිනි. මම තව තවත් සිතිජ ගේ උණුහුමෙහි නෙතු පියා ගෙන සිටියෙමි. ආදරය අන්ධයි කියා අපි සිතමු. නමුත් එය එසේ නොවේ. ජීවිත වනයෙහි සරන්නට අපට දෙඇස් දෙන්නේ ආදරයයි!

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content