fbpx

අහංකාර නගරේ -46

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක සිංහල ගුරුවරියක ලෙස මම පත්වීමක් ලදිමි. ඔසරියකින් සැරසී උදයට පාසල් යන්නට සූදානම් වන මා දෙස කිරි අම්මා බලා ඉන්නේ ඉහ වහා ගිය සතුටකිනි. 

“මයෙ මැණිකෙ ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් වෙනව දකින්නත් මයෙ ඇස් පින් කරල තිබුණා එහෙනං”

ඇතැම් උදයක ඇය එහෙම කියා , චීත්ත පොටින් ඇසක තෙත මාත්තු කරයි. 

“අනේ ඉතිං…කිරි අම්ම අඬනවනෙ ඔය”

“සතුටු කඳුළු කෙල්ලෙ…දැං ඉතිං මට තව එක ආසාවයි ඉස්ට කොර ගන්න තියෙන්නෙ. ඊට පස්සෙ කොයි වෙලේ මැරිල ගියත් මට කමක් නෑ”

“අනේ…මොකද්ද ඒ ආසාව කිරි අමම…”

ඇය හිඳ උන් යහන පසෙකින් මම හිඳ ගතිමි. කිරි අම්මා මගේ සාරි පොටේ රැලි අත පත ගාමින් සැකසුවා ය.

“උඹල දෙන්නගෙ කිරිකැටියෙක් ගෙ මූණ දකින එක. ඒ පොඩි පැටියා හුරතල් කොරාට පස්සෙ ඉතිං මට වෙන යමක් ඕන නෑ මේ ජීවිතෙං”

“එහෙනං මං බඳින්නෑ තව සෑහෙන කාලෙකට”

මම බොරු නෝක්කාඩුවකින් යහනෙන් නැගිට ගතිමි. කිරං අම්මා ගේ දෑස් මා ලුහු බඳින බව මට හොඳට ම දැනිණි. නමුත් මම හිතා මතා ම ඇය මග හැරියෙමි.

“ඒ මොකදෑ කෙල්ලෙ…”

“මට ඕනෙ තව හුඟාක් කල් කිරි අම්මා ජීවත් වෙන්නයි. මෙච්චර කාලයක් මං මත්තෙ කිරි අම්ම දුක් වින්දනෙ…දැං මට පුළුවන් කිරි අම්මා ට ඕන තරං සැප සම්පත් දෙන්න. ඒත් ඒකට කිරි අම්ම ජීවත් වෙන්න ඕනෙ. ඒත් ඔයා මේ හිත හිත ඉන්නෙ මැරෙන දවසක් ගැනනෙ”

“මයෙ රත්තරනේ මං කියන්නෙ ඊට පස්සෙ මැරුණත් මට කමක් නෑ කියලයි. ඒත් උඹල දෙන්නගෙ ළෙංගතු කමත් එක්ක තව දවසක් හරි ජීවත් වෙන්න මංආසයි බං. ජාඩියට මඋඩිය වගේ උඹට අර වගේ ගුණ යහපත් ඉලන්දාරියෙක් ව හම්බ වුණු එක නොවැ වැඩේ”

සිතිජ වන් යෞවනයෙකු හමු වීම වාසනාවක් බව මට හමු වූ හැම කෙනෙක් ම කීහ. මේ ගෙන්දගම් පොළොව මත ඔහු ව්‍යාජයක් නොවී සත්‍යයක් වූයේ කෙසේ දැයි ඉඳ හිට මමත් සිතුවෙමි. දේවතා එළි ගැන අසා තිබුණා ට හැම කෙනෙකු ට ම ඒවා දකින්නට ලැබෙන්නේ නැත. සිතිජ වූ කලී දේවතා එළියක් ම ය.

මේ කාලයේ ඔහු වෙහෙස වී වැඩ කළේ ය. කාර්යාලයේ කටයුතු වලට අමතර ව පුද්ගලිකවත් වැඩ සොයා ගෙන කරන බව මා දැන ගත්තේ, ඔහු ගෙන් මට ලැබෙන දුරකථන ඇමතුම් ගණන අඩු වෙත්දී ය.

“හරි නරකයි”

දවස් කීපයක් මේ ගැන හිත හිතා හිඳ, අන්තිමට මම කෙළින් ම චෝදනාව එල්ල කළෙමි. ඒ සතියකට පස්සේ අප හමු වූ වෙලාවක ය.

“ඒ මොකද…කෙනෙක් මූණටම නරකයි කියල කියන්න බරපතල හේතුවක් තියෙන්න ඕනනෙ”

ඔහු සිය අහංකාර සිනහව කල එළි බසින්නට නොදී යටපත් කර ගනිමින් සිටියේ ය.

“ඔයා දැං ඉස්සර වගේ නෙවෙයි. වෙනස් වෙලා. කිරි අම්මා මහ ලොකුවට වර්ණනා කළාට..මට දැනෙනවනෙ…”

“මොකද්ද දැං දැනෙන්නෙ…”

“පහු වෙනකොට කවුරු වුණත් මුලිං ඉන්න කෙනා නෙවෙයි කියල”

“කියන්න තියෙන දෙයක් කෙලිං කියනවද….”

ඔහු මගේ කන් පෙත්තක් රිදෙන්නට මිරිකුවේ ය. නමුත් මම රිදෙන බවක් නො හඟවා ඉවසා ගතිමි.

“ඉස්සර දවසට කී සැරයක් කෝල් කරනවද..දැං රෑට වත් කෝල් එකක් ගන්නෑ…මං ම මතක් වෙලා කතා කළොත් මිසක්…”

සිතිජ ලොකු හුස්මකින් පෙනහලු පුරවා ගත්තේ ය. ඔහු ගේ ඇස් වල දිග කතාවක් ලියවී තිබෙන බව මට දැනිණි.

“රෑ වෙනකල් මං වැඩ කරනව මෙව්නා”

“රෑ වෙනකල්…ඔෆිස් එකේ වැඩ මොකටද ගෙදරට ගේන්නෙ…”

“ඔෆිස් එකේ නෙවෙයි. මං පිට වැඩ ටිකක් හොයං කරනව. ඊයෙත් රෑ දෙකයි නිදා ගන්නකොට”

“අයි..යෙ…”

මම ඔහු ගේ අතක් මුදු ව පිරිමදින්නට පටන් ගතිමි. 

“එච්චර රෑ වෙනකල් වැඩ කරල ඔයා අසනීප වෙයි. ඇයි ඉතිං එච්චර මහන්සි වෙන්නෙ…”

“ගොඩක් පිරිමි ගෙදර තියන පොල් බෑය ගාල දෙන්නෙ නැතුව වයිෆ් ට පොල් වතු අරං දෙන්න හීන මවනවයි කියල කවුදෝ කියනව මං අහගෙන. මාත් එහෙමද කියල මං දන්නෑ. ඔයාව මගෙ ළඟට ගන්න කලින් අපිට ඉන්න ගෙයක් හදා ගන්නයි මං ටිකක් මහන්සි වෙන්නෙ මෙව්නා. කලකිරීමක් පසුතැවීමක් නැතුව ඔයා මං ළඟ ඉන්න ඕනෙ. ලුණුයි බතුයි හරි කාල පැලක් හදං ඉමු කියල කසාද බඳින අය තමයි හුඟක් වෙලාවට බැඳල අවුරුද්දක් යන්නත් කලිං ඩිවෝස් වෙන්නෙ”

මා වූ කලී ගොම මැටි පොළොවක් මත පැදුරේ නිදා ගත් කෙල්ලකි. මේ නගරයේ ජීවිතය හොයා ආවාට මට ඒ අතීතය අමතක වන්නේ නැත. පොළොවට මාබල් ඇල්ලූ මහල් නිවසක විල්ලුද යහන් නිදන්නට නැතිවා ට මම ජීවිතයේ හැබෑ රස නො හඳුනන්නියක නො වෙමි. 

“ඔයා අහල තියෙන කතාව ඇත්ත. පොල් බෑයක් ගාල දීගෙන හරි ඔයා මං ළඟ ඉන්න. පොල් වතු අරං දෙන්න ගිහිං මගෙන් ඈත් වෙන්න එපා. අපි පුළුවන් හැටියකට ජීවත් වෙමු”

මගේ වයසේ පෙම්වතියකට හැඟෙන අවංක බවින් යුතු ව මම කොඳුළෙමි. එය ප්‍රායෝගික ජීවිතයේ දී වලංගු නො වන තර්කයක් වන්නට පුළුවන. නමුත් ආදරය ඉව කරන්නේ ආදරය බව ද මම දැන සිටියෙමි.

“අපි දෙන්නම ජොබ් එකක් කරනවනෙ. මට ටියුෂන් වලිනුත් සල්ලි ටිකක් හම්බ වෙනවනෙ. අපිට ජීවත් වෙන්න අමාරු වෙන්නෙ නෑ අයියෙ. වැඩිය වටින්නෙ අපි අපිට ඉතුරු වෙන එකයි”

සිතිජ මහත් ස්නේහයෙන් මගේ හිස් මුදුනෙහි සිය සුරත තැබුවේ ය. අපේ ඇස් එක රේඛාවක එක ට හමු වී තත්පර කිහිපයක් පැවතිණ. මුලින් ම බිම බැලුවේ මා ය. 

“ඔයා ඔය විදිහට හැමදාම හිතුවොත් ලෝකෙ ඉන්න වාසනාවන්ත ම පිරිමියා මං වෙයි. ඔයා කියන එක හරි. මැරේජ් ලයිෆ් එක කියන්නෙ අපි මුකුත් ම දැන ගෙන ඇතුල් වෙන තැනක් නෙවෙයි. ප්‍රශ්න එයි…වැදගත් වෙන්නෙ අපි ඒවට ෆේස් කරන විදිහ. පුංචි දේටත් වෙන් වෙන්න බලන්නෙ නැතුව ලොකු බිඳ වැටිම් වලදිත් එකට ඉන්න හේතු හොයන එක. මට හිතෙනව අපිට එකට වයසට යන්න පුළුවන් වෙයි කියල”

එක් ව ජීවත් වෙන්නට හිතා විවාහ වන බොහෝ පෙම්වතුන් අතර මගක දී වෙන් ව යන්නේ එක්ව වැඩෙන්නට හෝ එක් ව වයසට යන්නට තරම් ඉවසීමක් වඩවා ගත නො හැකිව ය. අපේ ඉරණම කෙසේ විසඳෙන්නට නියමිත ද කියා මා දන්නේ නැත. නමුත් ඔහු වාගේ පුරුෂයෙකු එක්ක එකට වැඩෙන්නට දැන් මා තුළ වන්නේ බලවත් ආශාවකි. 

“පිරිමි එහෙම තමයි. උං කැමතියි ආදරේ කරන කෙල්ලව සතුටෙං තියන්න ඕන දෙයක් කරන්න”

සුරනි ඒ ගැන දැරුවේ එහෙම අදහසකි.

 “කෙල්ලො සතුටු කරන්නනං බැංකුවක් කඩල හරි අතට සල්ලි ගන්න ඕනයි කියල තමයි හුඟක් කොල්ලො හිතං ඉන්නෙ. එහෙම කෙල්ලොත් ඉන්නව තමයි. එහෙම නැති කෙල්ලන්ටත් ඔය තියරි එක ඇප්ලයි කරන්න ගියහම තමයි පවුල් ජීවිත අවුල් වෙලා යන්නෙ”

යුග දිවිය කියන්නේ බෝ පරිස්සමෙන් පිය නැගිය යුතු මාවතක් බව, බොහෝ දෙනෙකු ගේ කතා නිසා මට වටහා ගත හැකි විය. හොඳ ම අදහස් සැපයූවේ නෙළුම් නැන්දා ය.

“සිතිජත් හුඟක් දුරට එයාගෙ තාත්තා වගේ නිසා මං කියන්නෙ…එයා වැඩි පුර ම ආදරෙං බලාපොරොත්තු වෙන්නෙ විශ්වාසය. රෝස් මැඩම් සර්ගෙ විශ්වාසෙ බින්දෙ නැත්තං…මොන නො ගැලපීම් තිබුණත් සර් එයාට පිටුපාන්නෙ නෑ.ඔයාව විශ්වාස කරන තාක් සිතිජත් ඔයා වෙනුවෙන් ජීවිතේ වුණත් දෙයි”

ඔහු ගේ මව විසින් සිය පවුල ඈ මත තැබූ විශ්වාසය කඩා බිඳ දැමූ එක ගැන සිතිජ කම්පා වූ අයුරු මට සිහි විය. 

“පළවෙනි ම දේ තමයි තේරුං ගන්න ඕන…ඔය දෙන්නා එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් කියන එක. හුඟක් අය මැරි කරනකොට හිතනව දැන් අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියල. මට දැනෙන විදිහට ඒක තමයි වරදින පළවෙනි තැන”

“ඇයි ඒ…”

මා නෙළුම් නැන්දා ට අභියෝග කළා නොවේ. අත්දැකීම් අතින් ඇය මට වඩා බෝ ඉදිරියෙන් සිටින බව මම දනිමි. නමුත් ඇගේ අදහසත් එක්ක එකඟ විය නො හැකි හැඟීමක් මට දැනිණ. 

නෙළුම් නැන්දා මඳ සිනා නගා ගත්තා ය.

“මෙව්නා. ආදරේ කරද්දි දෙන්නෙක් හරිම සමානයි තමයි. මොකද ඒ දෙන්නම අනිත් කෙනාට ආදරේ නිසා. ඒත් එහෙම වුණයි කියල දෙන්නා එකම කෑම නෙවෙයි කන්න ආස. එකම විදිහට නෙවෙයි අඳින්න ආස. එකම මියුසික් නෙවෙයි අහන්න ආස. එකම ටීවී ප්‍රෝග්‍රෑම්ස් නෙවෙයි බලන්න ආස. එතනදි අනිත් කෙනාගෙ කැමැත්තට ගෞරව කරන්නෙ නැතුව එයා අපි කැමති දේට කැමති වෙන්න ඕන කියල හිතෙන්නෙ අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියල හිතපු නිසයි. දෙන්නෙක් හැම වෙලාවෙම දෙවිදිහක් කියල මුල ඉඳලම තේරුං අරං හිටියනං ඒ වගේ ප්‍රශ්න මතු වෙන්නෙ නෑ”

ඈ කියන්නේ සදාතනික සත්‍යයක් බව ඇසිල්ලකින් මට වටහා ගත හැකි විය. 

“ආදරේ කරන කාලෙදි කෙල්ලෙක් දකින්නෙ ලස්සනට ඇඳල සපත්තු මේස් දාල එන කොල්ලව. හැබැයි බැන්දාට පස්සෙ ඒ කොල්ලගෙ මේස් වල ගඳ දැනෙන්න පටන් ගන්නකොට ඒ කෙල්ලට අවුලක් දැනෙන්න පුළුවන්. කොල්ලංගෙ පැත්තෙනුත් ඕක ඔහොමමයි. ලස්සනට ඇඳල කරල කොණ්ඩෙ පීරල එන ගෑනු ළමය කොණ්ඩෙ පීරන විදිහයි ඒ කොණ්ඩෙ ඉන්න තඩි අරං බිඳින විදිහයි එහෙම දකින්න ගන්නකොට කොල්ලට හිතෙනව මේ අර මං ඉස්සර ආදරේ කරපු කෙල්ලද කියල. කසාද බඳිනව කියන්නෙක් ආදරේ කරපු දෙන්නෙක් දාන් හිටපු වෙස් මූණු ගැලවිලා හැබෑ මූණු ඉස්මතු වෙන්න ගන්න එකට. අන්න ඒ යතාර්ථය පිළි අරගෙන ඒකට මූණ දෙන්න ලෑස්තියිනං…ඒ ගමන අමාරු වෙන්නෙත් නෑ මෙව්නා”

නෙළුම් නැන්දා ගේ මුහුණේ තවමත් මුල දී වූ මඳහස රැඳී තිබිණි. ඈ ඉතාමත් සරල ලෙස විග්‍රහ කරන්නට යෙදුණේ මොන තරම් සංකීර්ණ වූ ධර්මතාවයක් ද? සිතිජ යනු මා නොවන බවත්, ඔහු ට ඔහු වන්නට ඉඩ හරින තරමට මට බෝ කලක් ඔහු මගේ යයි කිව හැකි වන බවත් ඇය ඉතා පහසුවෙන් මට ඒත්තු ගැන්වූවා ය.

“දෙන්නටම දැනට සෑහෙන තරමට රස්සාවලුත් ලැබිල තියෙන එකේ…කිරි අම්ම කියන විදිහට දෙන්නත් එක්ක එක වහලක් යට ජීවිතේ පටන් ගන්න එක හොඳයි තමයි”

ජයශාන්ත මහතා ද කිරි අම්මා ගේ යෝජනාව ට එකඟ වූයේ ය. 

“කොයි දේත් ඉක්මනට පටන් ගන්න තරමට හොඳයි ළමයි. දෙන්නට එක අරමුණක් ඇතුව වැඩ කරන්න ලේසියි එතකොට…”

නමුත් සිතිජ ඉක්මන් විවාහයක් සඳහා කැමති වූයේ නැත. අඩු තරමින් මා වෙනුවෙන් කාමර දෙකක හෝ නිවසක් තනා මා කැටුව යාම ඔහු ගේ අරමුණ විය. ජයශාන්ත මහතා ඔහු වෙනුවෙන් මිල දී ගෙන තිබූ ඉඩමෙහි ඔප්පුව සිතිජ නමින් පවරා දුන්නේ ඒ ගැටළුවටත් විසඳුමක් වශයෙනි. කොට්ටාවේ තරමක් ඇතුළට වන්නට පිහිටි එහි ඉදි කිරීම වෙනුවෙන් සිතිජ කුඩා දෙමහල් නිවසක සැලැස්ම සකසා ගත්තේ ය. 

අපේ අලුත් නිවහනට මුල් ගල් තැබීමේ අවස්ථාවට සහභාගි වී යළි බෝඩිම වෙත පැමිණි පසුවය ඒ ආරංචිය ආවේ. සුබ දවස් වලත් අසුබ ආරංචි පැමිණිය හැකි ය!

“කිරි අම්ම ඉන්නවද පුතේ..”

ගමේ අපේ ගෙදර ට යාබද නිවසේ නැන්දා මගේ දුරකථන ට ඇමතුමක් ගෙන ඇසුවා ය.

“ඉන්නව නැන්දෙ…ඇයි නැන්දෙ… කිරි අම්මට දෙන්නද…”

“මේව්නා…පුතේ පොඩි කරදරයක්”

“කරදරයක්….කාටද නැන්දෙ…”

මගේ හිත තරමක කලබලයකට පත් වූයේ ඒ වෙලාවේ ය. නමුත් කරදරයක් ගැන හෝඩුවාවක් හෝ හිතා ගන්නට මට නො හැකි විය. ඒ කිරි අම්මා මගේ ළඟ ඉන්නා නිසා ය.

“කලබල වෙන්න එපා මෙව්නා. හේමලතා…කිරි අම්මගෙ දුව මැහි තෙල් බීල දිවි නසාගෙන”

මට දැනුණේ මගේ හිස පිටුපසට දරුණු පහරක් වැදුණා මෙනි. එක අතකින් දුරකතනය ත් අනිත් අතින් ඔළුවත් අල්ලා ගෙන මම යහන මතට වැටුණෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x