අලුත් අවුරුද්දට හිතිවිලිත් අලුත් කරගත්ත ද?

අවුරුද්දක් අලුතින් ආරම්භ වෙනකොට බාල තරුණ වැඩිහිටි හැමදෙනෙක්ම ‍අලුතින්ම ඒ වෙනුවෙන් සූදානම් වෙනවා.

ඉස්ඉස්සෙල්ලම දවස

අවුරුද්දක් ගෙවිලා අලුතින් අවුරුද්දක් උදාවෙන කොට ගෙදරට අලුතින් කැලැන්ඩරයක් එල්ලලා, බිත්තිවල බැඳුණු මකුළුදැල් කඩලා, ඇඳ ඇතිරිලි සෝදලා අලුත් කරගෙන, කොසු ඉදල් අලුත් කරගෙන ඉස්සර ඉඳල ම අපේ රටේ මිනිස්සු අවුරුද්ද පිළිගත්තා. අලුත් අවුරුද්දට ගෙදර උයන කිරිබත් ටික වටපිට ගෙවල්වලට හුවමාරුවෙලා අන්තිමට ගෙදර අය කන්නෙ වෙන ගෙවල්වල උයාපු කිරිබත්. අවුරුද්දෙ ඉස්ඉස්සෙල්ලම දවස නිසා ‍ජනවාරි මාසෙ පළවෙනිදට ඉතාම උද්යෝගිමත්ව වැඩකටයුතු කරන උවමනාව එදා බොහෝ දෙනාට තිබුණා.

අලස මූඩ්

ඒත් අද වෙනකොට දෙසැම්බර් 31 රාත්‍රිය පුරා සාද පවත්වලා ගෙවුණු වසර වෙනුවෙන් නිදිවරලා අලුත් අවුරුද්ද උදාවුණ දවසෙදි බොහෝ දෙනා ඉන්නෙ අලස නිදිමත මූඩ් එකකිනුයි. ගොඩක් රැකියා ආයතනවලත් එදාට සිද්ධවෙන්නෙ කෑම්බීම් ආගිය තොරතුරු කතාකිරීම් සුබ පැතුම් විතරයි. ඇත්තටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කියන්නෙ හැමෝම කියන නිසා.

වචන නැති හැඟීම්

සමහරු තමන්ට කියපු අයට විතරක් සුබ පතන්න බලාගෙන සද්ද නැතිවත් ඉන්නවා. මේ සුබපැතුම් ඇතුළෙ හැඟීම් නැහැ. වචන විතරයි. අවුරුද්ද බොරු‍වෙන් පටන් ගන්නෙ ඒ විදියටයි. කවදාවත් වචනයක් වත් කතානොකරන අයට අඩු ගානෙ බොරුවට හරි සුබ පතන්න මේ නිසා ලැබෙන අවස්ථාව නම් නරක ම නැහැ. ඒත් මේ කටයුත්ත ඒ හැටි අර්ථසම්පන්නව සිදුවෙන්නෙ නැති බව තමයි ඇත්ත කතාව. කොහොම වුණත් අලුත් අවුරුද්ද සැමරීම ගැන විවිධ අයට විවිධ අදහස් තියෙන්න පුළුවනි.

හිතිවිලි අලුත් වුණා ද?

ස්මාර්ට් ලේඩි කෙනෙක් හැටියට ඔබට වැදගත් ම පණිවුඩයක් අලුත් අවුරුද්දෙ දි ලබාදෙන්න තමයි අපට ඕන වුණේ. හැමදේම අලුත් කරගත්ත අලුත් අවුරුද්දෙ ඔබ ඔ‍බේ හිතත් අලුත් කරගන්න හිතුව ද? ඔබේ හිතිවිලි අලුත් නැත්නම් ඇඳුම් පැලඳුම් කෑම බීම මේ මොන දේවල් අලුත් වුණත් ඒවා ඔබේ ජීවිතය පැහැබර කරන්න ප්‍රමාණවත් වෙන්නෙ නැහැ.

අසමත්වීම්, අතපසුවීම් මතකද?

ඔබේ කාර්යබහුල ජීවිතයේ පුංචි වෙලාවක් අරගෙන හිතන්න. පහුගිය අවුරුද්ද පුරා ඔබ සැලසුම් කළ වැඩකටයුතු මොනවද? ඔබේ සැලසුම්වලින් ක්‍රියාවට නංවන්න පුළුවන් වුණේ මොනවද? ඔබට කරන්න ඕන වෙලා තිබුණු ඒත් එක එක බාධක ඇවිත් නතර වුණ වැඩ කටයුතු මොනවද? ඔබ ජීවිතයේ පස්සට ඇද දැමූ අසමත්වීම්, අතපසුවීම් මොනවද?

යුතුකම් ඉටුවුණාද?

ඔබ හිතුවටත් වඩා සාර්ථකව ඉටුකරගත් වැඩකටයුතු මොනවද? ඔබට වැරදුණු තැන් සහ ඊට හේතු මොනවද? ඔබට සහාය වූ අය කවුද? ඔබට සතුරු වූ අය කවු ද? ඔබ සමාජ සම්බන්ධතා පවත්වාගෙන ගිය හැටි සාර්ථක ද? ඔබට ලැබුණු ප්‍රශංසා සහ අප්‍රසාදයන් මොනවාද? දැන් ඔබට පුළුවන් අලුතින් ම 2021 අවුරුද්දට ලැබුණු දිනපොතේ මේ අවුරුද්දෙ වැඩකටයුතු පිළි‍වෙළට සැලසුම් කරගන්න. ප්‍රම්‍රඛතාවන් හඳුනාගන්න. ඉටු කරගන්න ඕනෙමයි කියල හිතෙන හීන ටික පෙළගස්වන්න. ඔබේ රැකියාව, ඔබේ අධ්‍යාපනය, ඔබේ පවුල් සංස්ථාව, අසල්වැසියන් මිතුරන් සහ නෑදෑයින් වෙනුවෙන් ඔබට ඇති යුතුකම්, මේවාට අදාළව ඉටු කරගන්නට ඔබට හීන ඇති.

සැලසුම් හදාගන්න

දැන් එළඹෙන ඉදිරි මාස තුළ ඔබ අපේක්ෂා කරන ළඟාවීම් ගැන අනුමාන සටහනක් තබාගන්න. උදාහරණයක් හැටියට අපේ විවාහය මේ වසරේ මැයි මාසයේ සැලසුම් කරනවා. මේ වසරේ සැප්තැම්බර් වනවිට මම අලුත් රැකියාවකට මාරුවෙනවා. මේ වසර තුළ ව්‍යාපාරික සිහිනය සැබෑ කර ගන්නවා. ආදී වශයෙන්.

සැහැල්ලුවෙන් මග අරින්න එපා

ඔබේ සිහින එකින් එක ඉටු කරගන්න ඉලක්කගතව වැඩ ආරම්භ කරන්නත් ඕනේ. සැලසුම් සකස් කරන එක ලේසියි. ඒත් සැලසුම් ක්‍රියාවට නැංවීම කැපවීමෙන් කළ යුතුයි. එකිනෙකා අභිබවන්නට හිතනවා වෙනුවට එකිනෙකා සමග එක්ව කටයුතු කරන පරාර්ථකාමී හැඟීම මෙතනදි ඔබට අත්‍යවශ්‍යයි. අපට කිසිවක් හුදකලාව ජයගන්නට බැහැ. අපේ අරමුණු අපට ළඟා වෙන්නේ තවත් බොහෝ දෙනාගේ ශක්තියෙන්. ඒ කිසිවක් සැහැල්ලුවෙන් නොතකා හරින්න එපා.

සම්බන්ධතාවලට වටිනාකමක්

ඒ නිසා ඔබ ගොඩනගාගත් සෑම සම්බන්ධතාවකට ම වටිනාකමක් ලබාදෙන්න. ඔබේ ජයමග මේ හැම දෙයක් ම අතරින් ඔබට හොයාගන්න බැරිවෙන්නෙ නැහැ. හිතිවිලි අලුත් කරගත්තොත් 2021 අලුත් අවුරුද්දෙදි ඔබ සැබෑ ජයග්‍රාහකයෙක් වෙනවාමයි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles