අහංකාර නගරේ -අවසන් කොටස

සමීපතම නෑදෑ හිතවතුන් කිහිප දෙනෙකු ගේ සහභාගිත්වයෙන් යුතු ව ඉතා චාම් ලෙස අපේ විවාහය සිදු විය. මධු සමය සඳහා අපේ අලුත් ගෙදර, ලෝකයේ අන් ඕනෑ ම තැනකට වඩා සොඳුරු හා නිදහස් බව කීවේ සිතිජ ය. මම ඔහු ගේ යෝජනාවත් එක්ක කැමැත්තෙන් ම එකඟ වීමි.

“මූ හොටෙල් එකකට සල්ලි ගෙවන්න ලෝබයිනෙ දවස් දෙක තුනකට. බලපං හොඳ තැනක්. මං ගෙවන්නං”

ජයශාන්ත මහතා විහිළු කළේ ය. නමුත් සිතිජ ඇත්තට ම ඒ අදහස ප්‍රතික්ෂේප කළේ ය. 

“නෑ තාත්තෙ…සල්ලි වල ප්‍රශ්නෙකට නෙවෙයි. පස්සෙ ඕන්නං කොහෙහරි ඇවිදල එන්න පුළුවන්නෙ. ඒත් මේ වෙලාවෙ අපේ අලුත් ගෙදරිං ජීවිතේ පටන් ගන්න මං කැමතියි”

“හරි හරි උඹල දෙන්නගෙ කැමැත්තක්.”

කියමින් ජයශාන්ත මහතා සිය යෝජනාව හකුලා ගත්තේ ය.

විවාහ උත්සවය සඳහා සහභාගී වන ලෙස ඇරයුම් කරන්නට අපි රෝස් මැඩම් සොයා ආරන්‍යය වෙත ගියෙමු. මේ වතාවේ දී ඇය පසු ගිය වතාවේ දී ට වඩා බාහිර වශයෙන් පමණකුදු නොව ඇතුළාන්තයෙන් ද තැන්පත් වෙමින් සිටි බවක් පෙනෙන්නට තිබුණේ ය.

“මං නැති වුණා කියල ඔය දෙන්නා එකතු වෙන එක ගැන මගෙ කිසි අහිතක් නෑ”

ඇය සන්සුන් ස්වරයකින් කීවා ය. පෙර සේ නොව දැන් ඇය කතා කරන්නේ මෙහෙණියක සේ දෑස් බිමට නැඹුරු කර ගෙන ය.

“ඒත් මැඩම් එන්න. ඒක අපිට ලොකු හයියක්”

ඇය මන්දස්මිතයක් හෙළුවා ය. එහි අරුත මා කී දේ විශ්වාස නො කිරීම ද කියා මා දන්නේ නැත.

“අම්ම දැන් පැවිදි වෙන්න තීරණේ කරලද තියෙන්නෙ…”

සිතිජ හරස් පුශ්නයක් නැගුවේ ය. රෝස් මැඩම් මඳක් කල්පනා කළා ය.

“මෙතන ලොකු සිල් මාතාව කියන්නෙ මං තව කල්පනා කරල ඒ තීරණේ ගන්න ඕන කියලයි.  නෑ කමට මගෙ පුංචි අම්ම වෙන සිල් මාතාවගෙන් මං ගැන විස්තර දැන ගෙනයි එහෙම කියන්නෙ”

“මැඩම් ඒ වගේ තීරණයකට යන්න ඕන නෑ කියලයි මමනං කියන්නෙ. පැවිදි වෙන්නම ඕන නෑනෙ අපිට යහපත් ජීවිතයක් ගත කරන්න”

මම වහා මගේ විරෝධය ප්‍රකාශ කළෙමි. රෝස්මරී උපාසිකා මාතාව සිල්වන්ත සිනහවක් පෑවා ය. ඈ පවු කළ බව ඇත්ත ය. නමුත් පෙර සසරේ උපයා සපයා ගත් මහා කුසල සම්භාරයක් ඈ සතු ව තිබෙන්නට ඇත. ඇය ධනවත් පවුලක ඉපිද සැපවත් ජීවිතයක් ගත කරන්නට ඇත්තේ එනිසාවෙනි. කළ පව් වැටහී ඇය මෙවන් තැනකට යොමු වෙන්නට ඇත්තේ ත් ශේෂ වී තිබූ පෙර කුසල් මහිමයක් නිසා යයි සිතමි. මේ පිං පාටට හේතුව ඒ සංසාරික කුසල් ය. 

“යමක් රහ වැටෙන්නෙ ඒ දේ වළඳන්න පටන් ගත්තහමයි මෙව්නා. නොකා ඉන්න තාක් කල් අපි ඒ දේ මොන තරං රසවත් ද කියල අඳුනන්නෙ නෑ. පිටිං බලනකොට පැවිදි ජීවිතේ කියන්නෙ මහ දඬුවමක් වගේ පේනව ඇති. මාත් එහෙම හිතපු කෙනෙක් තමයි. ඒත් දැං මං දන්නව බණ භාවනාවෙ රසය. ගෙදර ඉඳං ඉඳහිට පන්සල් යනවට බණ අහනවට වැඩිය මේ ජීවිතේ දැනෙනව”

අපි තව දුරටත් එරෙහි ව යමක් නො කීවෙමු. කෙසේ වෙතත් අපේ විවාහයට ඕ තොමෝ පැමිණියා ය. ඉතාමත් සරල ලෙස ලා පැහැති සාරියකින් සැරසී ඇය එහි වූයේ, දකින කෙනෙක් මේ රෝස්මරී ද කියා සැකයෙන් බලන තරමට ය.

නමුත් අපේ විවාහයෙන් මාස කිහිපයක් ගත වන තැන ඇය කසා වත් හඳින්නට ගත්තා ය.

“අම්ම එහෙම දෙයක් කළේ තමුසෙ හින්දා. තමුසෙ අපේ පවුල විනස කළා”

ශෙනාලි මගේ මූණට ම කීවා ය. 

මා හා සිතිජ අතරේ විවාහය සිදු වූවාට පස්සේ අශ්විනී අක්කා මා සිය පවුලේ කෙනෙකු ලෙස පිළි ගත්තා ය. නමුත් ශෙනාලි ගේ වෛරය දිනෙන් දින උත්සන්න වූවා මිස අඩු වූයේ නැත.

“මට වෙලාවකට හිතෙනව එයා කාගෙ කවුද කියල කියල දෙන්න”

මා අසරණ වන අවස්ථාවන් හි දී සිතිජ කිහිප වරක් කීවේ ය.

“අනේ මේ එපා එපා”

මම ඔහු ගේ හිත ආපසු හරවමි. 

“මැඩම් දැන් සැනසීමෙං ඉන්නවනෙ. ඔයා ඕව කියල ශෙනාලි අක්ක ගිහිං එයාගෙන් ඇහුවොත් මැඩම් ට ඒ සැනසීමක් නැති වෙන එකයි වෙන්නෙ. අපි පව් පුරව ගන්න ඕන නෑ අයියෙ”

එතකොට සිතිජ මදෙස මහත් දයාවෙන් බලා හිඳී. ඉස්සර පෙම්වතෙකු සන්දියේ දී ටත් වඩා දැන් ඔහු පෙම්වත් පිරිමියෙකි. සිය පතිණියක රැකිය හැකි උපරිමයෙන් ඈ සුරකින, පරිසමාප්ත අර්ථයෙන් ම යහපත් සැමියෙකි.

“ඔයාට කේන්ති යන්නැද්ද මෙව්නා මේවට…”

“කේන්ති එන වෙලාවල් වල ඒව පාලනය කර ගන්න එකයි කරන්න වෙන්නෙ. එයා ඔයාගෙ නංගි. මගෙත් අක්ක. ඉවසන එක ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ”

අශ්විනී අක්කා අපේ විවාහයට පෙර විවාපත් ව නික්ම ගියෙන්, වුඩ්ලන්ඩ් මාවතේ නිවසේ මේ වෙත්දී පදංචි වී සිටියේ ජයශාන්ත මහතා හා ශෙනාලි ය. ඇය ද විවාහ වී සිය පෙම්වතා සමග විදෙස් ගත වන සූදානමක පසු වූවා ය. සිකුරාදා ට අප වුඩ්ලන්ඩ් මාවතේ නිවසට ගියේ ජයශාන්ත මහතා කාලයක සිට සිකුරාදා ට කුඹුකේ නිවස බලා යන හින්දා ය. සති අන්තය අප එහි ගත කළත් ශෙනාලි මට කිසි සේත් සුහද තාවයක් පෙන්වූයේ නැත. නිතර ම ඕ මට ඇනුම් පද කීවා ය.

“ඕයි මතක තියා ගන්නව තමුසෙගෙ තනියටයි අපි මෙහෙට එන්නෙ කියල”

ඒ ඇනුම් පද අසා තව දුරටත් ඉවසා ගෙන ඉන්නට බැරි වූ වෙලාවක සිතිජ කෑ ගැසුවේ ය. 

“නැතුව අපිට මේ ඉන්න හිටින්න තැනක් නැතුව නෙවෙයි”

“අනේ මේ මට ඇති තනියක් නෑ. කවුරුවත් මං ගැන කරදර වෙන්න ඕන නෑ හරිද…”

ඒ වචන හුවමාරුවෙන් පස්සේ සිතිජ වුඩ්ලන්ඩ් මාවතේ ගෙදරට යාම ප්‍රතික්ෂේප කළේ ය. නමුත් මම වදෙන් පොරෙන් වගේ ඔහු කැඳවා ගෙන ගියෙමි.

“ඔයාගෙ නංගිගෙ තනියටයි යන්නෙ කියන එක අමතක කරන්නකො. මං වෙනුවෙං මගෙ අක්කගෙ තනියට යමුකො”

“ඔයා පව් මෙව්නා. එක එකීල ළඟ ඔයා මෙහෙම පාච්චල් වෙනව මට බලං ඉන්න බෑ”

 සිතිජ සැබෑ ලෙස ගුණ යහපත් සැමියෙකු වූයේ ය. මමත් හැකි උපරිමයෙන් ඔහු ට අවංක බිරිඳක වෙන්නට හැම මොහොතක ම උත්සුක වීමි. නමුත් එයින් අදහස් වන්නේ අප අතර කිසි දා කිසිදු වචන හුවමාරුවක් හෝ බහින් බස් වීමක් සිදු නොවූ බව නම් නොවේ. වෙනත් ඕනෑ ම අඹු සැමි යුවළක අතරේ ඇති විය හැකි ප්‍රශ්න අප අතරත් විය. නමුත් කෝපය නිවී ගිය කල ඒවා විසඳා ගන්නටත්, ගැටළු මත්තේ විවාහ ජීවිතය නීරස නො කර ගන්නටත් අපි ප්‍රවේසම් සහගත වීමු. අප දෙදෙනාට ම මෙලොව වන වටිනා ම දේ අපේ පවුල විය. 

අපේ පවුලට තවත් අමුත්තියක් ආවේ විවාහයට වසරක් පිරී දෙමසක් ගත වන තැන ය. කිරි අම්මා දැන් සවිමත් තරුණ ගැහැනියක ලෙස ක්‍රියා කරමින් අපේ දියණිය ගේ කටයුතු ද සොයා බලයි. කිරි අමමා ට අමතර ව සිතිජ ගේ පියා හා නෙළුම් නැන්දා ද එක් ව ගත් කල අපට තියෙන්නේ ලොකු පවුලකි. නෙළුම් නැන්දා හිතුණ ගමන් මිණිපිරී දකින්නට දුවගෙන එන්නී ය. මේ පවුල තරම් ශක්තියක් මට වෙන කොතනකවත් නැත්තේ ය.

රෝස් මැඩම් ගේ ගෞරවය හා ශෙනාලි අක්කා ගේ මානසිකත්වයක ගැන සිතා ඇගේ සැබෑ පියා ගැන කිසිවක් කතා නො කරන්නට පවුලේ අය තීන්දුවකට විත් තිබුණ ද, පැවිදි වීමෙන් පසු සුමේධා සිල් මාතාව ශෙනාලි අක්කා ට ඒ සත්‍යය පවසා තිබිණ. ඇතැම් විට ඇගේ හිතේ වන බරින් මුළුමනින් නිදහස් වීම ඇගේ ඒකායන අරමුණ වන්නට ඇත. ඒ බව දැන ගත් ශෙනාලි අක්කා අපේ ගෙදර ආවේ හඬාගෙන ය.

“මට සමා වෙන්න නංගි…මට සමා වෙන්න…”

ඇය සිය වේදනාව දිය වී යන තෙක් ම හැඬුවා ය. මම ඈ වැළඳ ගෙන මගේ අක්කා ගේ උණුහුමෙන් හදවත පුරවා ගන්නට වූයෙමි.

“මට කලිං ඒ ගැන කියන්න තිබුණා නේද…අම්ම අදවත් ඇත්ත කිව්වෙ නැත්තං…දෙයියනේ…”

ඇය ඒ තරම් හැඟීම්බර වනු මා ඒ දුටුවා ම ය. වුඩ්ලන්ඩ් මාවතේ නිවස වෙත එදා ඈ කැටිව ගියේ මා හා සිතිජ ය. ශෙනාලි අක්කා ජයශාන්ත මහතා වැළඳ වැලහින්නක සේ හැඬුවා ය.

“අඬන්න දෙයක් නෑ ශෙනාලි. ඔයා එදත් මගෙ දුවෙක්. හෙටත් මගෙ දුවෙක්. ඒකෙ කිසි වෙනසක් නෑ”

ජයශාන්ත මහතා ගැන සත්තකට මට පුදුම ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔහු හොඳ පියෙකි. මගේ දුව දෙස බලා හිඳින සිතිජ දෙස බලා සිටිත්දී, ඔහු ගෙන් මා දකින්නේත් ජයශාන්ත මහතා ගේ දරු සෙනෙහස ය.

විවාහයට පෙර ශෙනාලි අක්කා ගේ දේපල පවරා දෙත්දී ඇය මගේ කොටස පිලිගැනීම ප්‍රතික්ෂේප කළා ය.

“ඔයාට දීල තියෙන ඒව මං ගන්නෙ ඇයි…ඔයාට එපානං ඒව ඔයාගෙ දුවට දෙන්න”

ශෙනාලි අක්කා සිනා සිසී කීවා ය. ඇගේ සිනහව දකිත්දී මට කවර දේපලක අවශ්‍යතාවයක් ද? ඇගේ ඒ සහෝදර සිනහව මට වෙන කිසිවකින් ලබා ගත හැකි වන්නේ ද? 

කාලයක් මා විඳි ජීවිතයත්, අද මා විඳින ජීවිතයත් යන දෙක අතරේ පරතරය අහසට පොළොව මෙනි. නමුත් මට කිසි දා මගේ පරණ ජීවිතය අමතක කළ නො හැකි ය. එපමණකුදු නොව දිවි හිමියෙන් මම ඒ අතීතයට ආදරය කරමි. අතීතය වූ කලී මගේ තක්සලාව ය. එසේ වුවත් අපේ දරුවන්ට ඒ දුක්ඛ දෝමනස්සයන් ගෙන් අංශුවකුදු විඳිනට ඉඩ නො සැලැස්වීම අපේ ඒකායන අරමුණ වී තියේ. 

ජීවිතය කියන්නේ  අභිරහසක් නම්, අපේ ජීවිත වල අනාගතය ගැන නිශ්චිත ව යමක් කියන්නට තරම් මම ඍශිවරියක නොවෙමි.  නමුත් එක් දෙයක් මම දනිමි. ඒ,  පවුලක් ලෙස එක් ව අපට මේ ජීවිතයට මුහුණ දිය හැකි බව ය. අප කිසි සේත් තනි වී නැති බව ය. 

සමාප්තයි.

පුරා දින හතළිස් අටක් සන්ධ්‍යාවේ දී අහංකාර නගරේ කියවමින් ද අදහස් මා සමග බෙදා හදා හදා ගනිමින් ද තව දුරටත් ලියන්නට මා දිරිමත් කරමින් ද ස්මාට් ලේඩි සමග උන් ඔබේ ළෙංගතු සෙනෙහස මතුවටත් නො වෙනස් ව අපේක්ෂා කරමි. හෙට දින සිට “හේමන්ත සන්ධ්‍යා” සමගින් එක් වන ලෙසට ද ඇරයුම් කරමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 19 වන කොටස

දුමාල් රෑ කෑම සඳහා සුඛොපභෝගී අවන්හලක පවුලේ කාමරයක් වෙන් කරවා ගත්තේ ය. එය මල් වලින් සරසනා ලෙසට ද උපදෙස් දුන්නේ ය. ඒ...

මතක දිගහැරුම 72 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ දෙවන දිගහැරුම ,අලුත් නිවසේ පදිංචි වීම නිමිත්තෙන් උත්සවයක් ගැනීමට අපට අවස්ථාවක් නොලැබුණු නිසා දරුවන් දෙදෙනාගේ පලවන උපන්දිනය...

උදව්ව

ෂෙරීන් ඇගේ දියණිය සඳලිව වාහනයට නග්ගගෙන වාහනය මිදුලෙන් එළියට ගන්න කොටම ඇය දැක්කේ ඉස්සරහ ගෙදර ගයනි ඇගේ දියණිය ව අතින් අල්ලගෙන ගේට්ටුවෙන්...

මීදුම් මාරුත – 16

"සකුණ කියනව පුතේ වෙඩින් එක ටිකක් පරක්කු කරමු කියල."මාලිකා ළතැවිල්ලේ එසේ පැවසුවේ කාව්‍යාට ය.ඇය ඒ අසා තිගැස්සුණා ය.හදිසියේ...

බර අඩු කර ගන්න කැමති ඔබට උදෑසන ආහාරයට සුදුසු සැන්විච් වර්ග කිහිපයක්

ඩයට් කරන අයට ගැලපෙන සැන්විච් රෙසපි ටිකක් තමයි අද අපි ඔබට ගෙන එන්නේ.අඩු කැලරි ප්‍රමාණයක් සහිත, පෝෂණ ගුණයෙන් ඉහළ මෙම සැන්විච් ඔබේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content