හේමන්ත සන්ධ්‍යා -01

වැස්ස දිගට ම වැස්සේ ය. මතු මහලේ සඳැල්ලට විවර වන උස් වීදුරු ජනේලය ළඟට වී නිකිනි ඔබේසේකර අඩ හෝරාවක් තිස්සේ වැස්ස දෙස බලා උන්නා ය. එන්නේ කොහෙන් දැයි නො පෙනෙන, නවතින්නේ කොතනක දැයි නො පෙනෙන තැනක හිඳ වැස්ස දෙස බලා හිඳීම වූ කලී වෙනම ම භාවනාවකි. මතු මහලට වැස්ස දැනෙන්නේ බිම් මහලට දැනෙනාකාරයෙන් නොවේ. අතරමැදි කලාපයේ දී වැස්සට මීදුම් දුමාරයක් කියා වුව කියන්නට පුළුවන.

වැස්සත් එක්ක ඔබේසේකර මැදුර තව තවත් පාළුවේ ගිලී ගොසිනි. නිකිනි ගේ සීයා වන ඩෙස්මන් ඔබේසේකර අංශභාගයෙන් ඇඳට වැටී ටික කලකි. පුද්ගලික රෝහලක නේවාසික වී ප්‍රතිකාර ලද හෙතෙම දැන් සිංහල තෙල් බෙහෙත් ප්‍රතිකාර වලට යොමු වී සිටියි. සුමනා ඔබේසේකර මැතිණිය විශ්‍රාම ලත් ඉංග්‍රීසි ගුරුවරියකි. ඇය බෞද්ධ කාන්තාවක වුවත්, උපතින් කතෝලික බැතිමතෙකු වූ ඩෙස්මන් සමග බැඳි ප්‍රේමය විවාහයකින් කෙළවර කර ගන්නට සමත් වී තිබේ. ඔබේසේකර යුවළට දරුවන් තිදෙනෙකි. ජගත්, පාලිකා හා මිත්‍ර ඔවුන් තිදෙනා ය. පවුලේ වැඩිමලා වන ජගත් ට නිවුන් දියණියන් දෙදෙනෙකි. නිකිනි හා බිනුරි ඔවුන් දෙදෙනා ය. ජගත් ගේ බිරිඳ, දියණියන් ට පස් වසක් පිරෙන්නට ද මත්තෙන් දීගය හැර ජගත් ගේ ම මිතුරෙකු සමග පැන ගියා ය. එදා සිට නිවුන් දැරියන් ඇති දැඩි කළේ සුමනා ය. නිසි වයසේ දී ඔවුන් දෙදෙනා විවා පත් කොට දුන්න ද නිකිනි කුල ගෙය හැර යළි මහ ගෙදර පැමිණියා ය. ඒ  ඇගේ සැමියා වන මංජුල තවත් ප්‍රේමයක පටලැවී ඇති බව දැන ගත් දා ය.

පාලිකා ද සිය සැමියා හා පුතු සහස්  සහ දියණිය සදිසා සමගින් මහ ගෙදර ම පදිංචි ය. තවමත් අවිවාහක මිත්‍ර ද ඇතුළු ව මුළු ඔබේසේකර පවුල ම ජීවත් වන්නේ ඔබේසේකර මැදුරෙහි ය.

නිකිනි හෙමි හෙමිහිට පහළ මහලට පිවිසියා ය. මේ වෙලාවට ඩෙස්මන් ඔබේසේකර ගේ කසාය වේල පිරිනැමිය යුතු ය. කසාය තැම්බීමේ කටයුතු ස්වේච්ඡාවෙන් ම භාර ගෙන කළේ නිකිනි ය. සුමනා තවමත් මැදි වියේ පෙනුමකින් සමන්විත වූවා ට ඇයට දැන් හැත්තෑ පහකට ආසන්න වී තිබේ. හිතේ හයියට හැම දේ ම සොයා බලා කළා ට සුමනා දැන් දැන් ඉක්මනින් වෙහෙසට පත් වන්නී ය. දියණිය වන පාලිකා මවු පියන්ගේ අසීරු තත්වය තේරුම් නො ගැනීම ගැන නිකිනි තුළ විටෙක ඇති වන්නේ කණගාටුවකි. පියා ගේ තෙල් බෙහෙත් සාත්තුවට නිකිනි ගේ හෝ සුමනා ගේ අත හයිය මදි නිසා මිත්‍ර ඒ කාරිය කරන්නේ ය. ඉන් අනතුරු ව බෙහෙත් පොට්ටනි වලින් තවන්නේ නිකිනි ය.

“මේ කෙල්ල නොහිටින්න සුමනො…දෙවියන් වහන්සෙ මාව කැඳවගෙන මෙලහකට. මේ කෙල්ල මාව මේ පැත්තට අදින නිසා දෙවියන් වහන්සෙ ඒ පැත්තට අදින්න බරක් නොදා ඉන්නව”

තෙල් බෙහෙත් සාත්තුවෙන් පසු ඩෙස්මන් නො වරදවා ම පවසන්නේ ය. එතකොට සුමනා ලේ කම්මුල් වල මාංශ පේශියක් වෙව්ලා යන්නේ නිකිනි ගැන උපන් සන්තාපයෙනි.

“අපිට තෙල් බෙහෙත් ගෑවා වගේ නෙවෙයි මහත්තය. මේ කෙල්ලට යන කල දසාව ගැන හුස්මක් ගානෙම මං පිච්චෙනව. මොන සංසාර පවක් නිසා අහිංසක කෙල්ලට එහෙම වුණාද කියල මට තේරෙන්නෑ”

“මේ ලෝකෙ ඕන දෙයක් සිද්ද වෙන්නෙ දෙවියන් වහන්සේගෙ කැමැත්තට අනුවයි සුමනා”

එතකොට සුමනා ඔබේසේකර කට කොනක් ඇද කොට සිය විරෝධය පළ කරයි.

“ඔයා කියන්නෙ මේ රෝස මලක් වගේ ඉන්න කෙල්ල ගෙදර ඉද්දි මංජුල කැම්පස් එකේ ඉගෙන ගන්න ගෝලයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තෙ දෙවියන් වහන්සෙගෙ කැමැත්ත නිසා කියලද…”

“අපේ නිකිනියට මංජුලට වඩා හොඳ කොල්ලෙක් ලැබෙන්න නියමිත ඇති. ඒකයි දෙවියන් වහන්සේගෙ කැමැත්ත”

ඒ කතා බහ නිමා වන්නේ නිකිනි ඔවුන් දෙදෙනාට ම නො දැනෙන්නට කාමරයෙන් නික්ම යාමෙනි.

“අදනං දවසම වහී වගෙයි…නේද නිකිනි…”

“එහෙම පාටක් තමයි තියෙන්නෙ ග්‍රැනී…රෙදි වේලනවනං බොරු…”

කියමින් නිකිනි විසල් ආලින්දය හරහා ඉදිරිපස වැරැන්ඩාව වෙත පිවිසියා ය. තණ පලස වැහි දියෙන් පිරී ගොසිනි. කුඩා කාලයේ දී සිය නිවුන් සොයුරිය බිනුරි ත් පාලිකා ගේ දරු දෙදෙන වන සහස් හා සදිසා ත් සමග, වැස්සට පොකුණක් වන තණ පලසෙහි කඩදාසි ඔරු පා කළ හැටි නිකිනි ට තව ම මතක ය. කාලය බොහෝ දේ වෙනස් කොට තිබේ. සෙම්ප්‍රතිශ්‍යාවක් වුව එකට ම සෑදුණු බිනුරි අද ළඟ පාතකවත් නැත. කුඩා සන්දියේ දීත් තරමක් ආත්මාර්ථකාමී දැරියක වූ සදිසා අදත් නිකිනි රිදවීමෙන් සතුටු වෙමින් හිඳින්නී ය. බෝට්ටු පා කොට සතුටු විය හැකි සිතක්, නා කපන වැහි වැස්සත් යළි නිකිනි ට උරුම වන්නේ නැත.

“අක්කා”

කන ළඟින් ඇහුණ හඬින් නිකිනි හැරී බැලුවා ය. එදා සිට අදටත් නො වෙනස් සිනහවෙන් සහස් ඈ ළඟ සිටියේ ය.

“මල්ලා… අද ක්ලාස් ගියෙ නැද්ද…”

“නෑ අනේ. වැස්සනෙ අප්ප…දිගටම නිදියන්න හිතුණා”

“ඒක හොඳයි. එග්සෑම් එකට  ලියන්න පුළුවන්නෙ වැස්ස නිසා නිදියන්න හිතුණා කියල”

නිකිනිත් එක්ක සහස් ද සිනහ වූයේ ය. ඈත අහසේ අකුණක් පුපුරා යන හඬ ඇසිණ. නිකිනි ලොකු හුස්මක් ගන්නා හැටි සහස් හොඳට ම දුටුවේ ය.

“අක්ක”

“ම්…”

“මං මංජුල අයියත් එක්ක කතා කරන්නද…මෙහෙම ඔයාට හැමදාම ඉන්න බෑනෙ”

“එපා එපා මල්ලි”

නිකිනි වහා කීවා ය. ඇගේ ඇස් වල පවා ඒ කලබලය විය. ආයේ කිසියම් ම දිනෙකවත් මංජුල ගේ වහල යටට නො යන්නෙමැයි ඇය තීරණය කළේ ඒ ගෙදරින් නික්මෙන්නට මොහොතකට පෙර ය.

“අක්කා. ඔයා ග්‍රැනීගෙ රෝස මල. ඔයා ඒ තරං අහිංසකයි තමයි. හැබැයි ඔයාට වඩා දැං මං මිනිස්සු අතරෙ තෙම්පරාදු වෙලා තියෙන නිසා දන්නව. කසාද බැඳපු පිරිමියෙක්ට පැත්තකිං තවත් සම්බන්දයක් නැත්තං තමයි පුදුම වෙන්න ඕනෙ. ඒක ඒ තරං සාමාන්‍යයි”

නිකිනි මන්දස්මිතයක් පෑවා ය. ඒ සිනහව යට ඇය කොයි තරම් සන්තාපයක්, සංවේගයක් සඟවා ගෙන හිඳිනවා දැයි සහස් ට නො දැනෙනවා නොවේ. එක කුසයක සිට ලෝකයට බිහි නොවුණා ට කුඩා සා වියේ පටන් ඔවුන් දෙදෙනා අතර වූයේ උනුන් දැනෙනා අන්දමේ බැඳීමකි. නිකිනි මේ විදිහට විවාහය බිඳ ගෙන දුක් විඳිනවා දකින්නට සහස් ට ඕනෑ නැත්තේ ත් එබැවිනි.

“මංජුල මාව මැරි කළා තමයි. ඒත් එයා ආදරේ කරන්නෙ ඒ ගර්ල්ටනං…මං මොකටද මල්ලා ඒ දෙන්නා අතරෙ තුන් වෙනියෙක් වෙන්නෙ…මං මගෙ පාඩුවෙ පැත්තකට වුණහම ඉවරයිනෙ…”

“අක්කා අක්කා අක්කා….ඔයා හිතනවද ඒ ගර්ල් නිසා මංජුල ඔයාව අත්අරී කියල…”

නිකිනි සහස් දෙස බැලුවේ පුදුමයෙනි. ඊයේ පෙරේදාවක් වන තුරු ම පොඩි එකෙකු සේ ඇය ට දැනුණ කොල්ලා දැන් ලෝකය දෙස බලන්නේ වඩාත් පරිනත නෙතකිනි.

“ඊයා මල්ලා. ඔයා හිතනවද මට එහෙම ජීවත් වෙන්න පුළුවන් කියල…”

“වැල යන අතට මැස්ස ගහන්න ඕනෙ නේද අක්කා…”

මුළු ලෝකය ම එහෙම හිතුවත් නිකිනි ට එසේ විය නො හැකි ය. මංජුල තවත් යුවතියක නලවා ගෙදර පැමිණෙත් දී ඔහු ගේ යහන සරසන කුසුම වී ඉන්නට කිසි සේත් ඇය ට හිත හදා ගත නො හැකි ය.

යළිත් මතු මහලේ කාමරයට ගිය නිකිනි, බිනුරි ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

“මොකද කරන්නෙ…කාල බීලද ඉන්නෙ…”

“කෑව නිකී. වහිනව අනේ…බබාගෙ රෙදි වේලගන්න බැරුව මට පිස්සු හැදිල ඉන්නෙ. හැම තැනම තෙත රෙදි අප්පා”

නිකිනි හුස්මක් ඉහළට ඇද්දේ බිනුරි ට නො ඇසෙන සේ ය. කී කතාව යළි ඇය වෙත ඇද ගත නො හැකි එක ගැන ඒ මොහොතේ ම බිනුරි පසු තැවුණා ය.  ඔවුන් දෙදෙනා ගේ ම විවාහයන් සිදු වූයේ යක ම වසරක මාස කිහිපයක පරතරයක් ඇතිව ය. බිනුරි අකලංක සමග පෙම් සබඳකමක් ඇති කර ගෙන සිටි අතර නිකිනි ට පෙම්වතෙකු සිටියේ නැත. අකලංක ගේ ගෙදරින් ඔවුන් ගේ විවාහය ඉක්මන් කරවත්දී,  ඇය ගෙදර තනි කොට බිනුරි ව පමණක් විවාපත් කොට දෙන්නට සුමනා කැමති වූයේ නැත. නිකිනි වෙනුවෙන් මංජුල ව තෝරා ගැනුණේ, පුවත් පතක පළ කෙරුණු විවාහ මංගල යෝජනාවට පිළිතුරු ලෙස ලැබුණ දහස් ගණනක් මනාලයන් ව සලකා බැලීමෙන් පසු ය. මුලින් ම සිදු වූයේ නිකිනි ගේ විවාහය වුණත්, බිනුරි ගේ දරුවා ට වසරක් පිරෙන තුරුත් නිකිනි ගේ කුසට දරුවෙක් ආවේ නැත. 

“ඉක්මනට බබෙක් හදා ගන්න. එතකොට මංජුල වෙනස් වගේ ඔයාට දැනෙන එක හරි යයි. එයා රෑ වෙන්නෙ නැතුව ගෙදර එන්නත් පුරුදු වෙයි. හුඟක් පිරිමින්ට ගෙදර කියන්නෙ දරුවො නිකී”

මංජුල ගේ දුරස් බව ගැන බිනුරි එක්ක ගතු කියත්දී ඇය නිතර ම කීවේ ඒ ටික ය. නමුත් අවාසනාවකට ද වාසනාවකට ද මන්දා ඒ ගෙදරින් නික්ම එන තුරුත් දරුවෙකු ගැන සලකුණකුදු නිකිනි ට දැනුණේ නැත. හැම මාසයක ම ඇය එහෙම බලාපොරොත්තුවක් ඇති ව බලා සිටියා ය. නමුත් දින විසි අටකට වරක් මාසය ගෙවී ගියේ එය එසේ නො වන බවට ඈ සිත කැබලිති වලට බිඳ දමමිනි.

“මංජුල කතා කළේ නැද්ද…”

නිකිනි ගේ සිත් හි රිදීමක් ඇති විණි නම් එය අමතක කරවනු වස් බිනුරි කතාව වෙනකත හැරවූවා ය.

“ම්හු. බබා කෝ දැං…”

නමුත් නිකිනි ට ඕනෑ වූයේ ඒ හිත රිදෙන මාතෘකාව ම ය. කිරි කැටියෙකු ගේ සිනහව අම්මා කෙනෙකු ගේ පාළු විජිතය සිනහ මල් යායකින් පුබුදුවන හැටි, අම්මා කෙනෙක් නො වුණත් ඇය දැන සිටියා ය. සිය නිවුන් සොයුරිය ගේ දරුවා ගේ කිරි සිනහව ළඟ දී ජීවිතයේ සියල් ළතැවුල් අමතක වී යන හැටි ඇය අනන්තවත් අත්විඳ තිබුණා ය. මංජුල ගෙන් වෙන් වන්නට පෙර ඇගේ කුසට දරුවෙකු පැමිණියේ වී නම්, මේ තරමින් හෝ තැවුලක් නැති ව ඔහු හැර එන්නට ඇයට හැකියාව තිබිණි. බිරිඳක් වෙනවාට වඩා අම්මා කෙනෙක් වෙන එක මොන තරම් අසිරියක් දැයි, අම්මා කෙනෙක් නොවී ම ඇය වටහා ගෙන සිටියා ය.

බිනුරි ගේ දරුවා එක්ක ටික වෙලාවක් හුරතල් කතා කියවමින් සිටි නිකිනි යහනේ වැතිරුණේ අලස සුවයක අවශ්‍යතාවයෙනි. යළිත් ඇය අවදි වන විට වැහි හඬ විසල් ව ඇසිණ. වෙලාව කීයට පමණ ඇත්දැයි අඩ නින්දේ ම සිතු ඕ බැස්සා නොව යහනෙන් පැන්නා සේ ය. පහළ මාලයේ මුළුගැන් ගේ වෙත ඈ දිව යත්දී සුමනා ඔබේසේකර එළවළු කපමින් සිටියා ය.

“අනේ…ග්‍රැනී උයනවද…මට නින්ද ගියානෙ”

සුමනා මව්වත් සිනහවක් නගා ගත්තා ය.

“මං හිතුවා. වැස්සට ගුලි වෙලා නිදි ඇති කියල. මං දන්නවනෙ ඉතිං අපේ රෝස මල ඉස්සර ඉඳංම වහිනකොට නිදියන්න හපනි කියල”

නිකිනි ඉක්මනට සුමනා අතින් පිහිය ගත්තා ය. පතිණියක වී මේ ගෙදරින් නික්ම යන්නට පෙරත් වැඩිපුර මුළුතැන්ගෙයි වැඩ කළේ නිකිනි ය. මිණිපිරියන් දෙදෙනා දීග යාමෙන් පසු ඩෙස්මන් ද මිත්‍ර ද ඇය ද වෙනුවෙන් ආහාර පිසීමේ කටයුතු යළිත් සුමනා සියතට ගත්තා ය. පාලිකා ඔවුන් ගේ පවුල වෙනුවෙන් වෙන ම ආහාර  පිසුවා ය. දූ වරුන් දෙදෙනා මව ගේ භාරයට පත් වීමෙන් පසු ජගත් වැඩිපුර මහ ගෙදර රැඳුණේ නැත. ඔහු දෙවන විවාහයක් කර නො ගත්තත්, නිල නො වන පවුල් කිහිපයක් ම ඔහු ට වන බවට පාලිකා කසු කුසු ගාන්නී ය.

“පද හදන්නැතුව හිටහං. උඹගෙ අයිය නේද ඒ…”

එතකොට සුමනා සිය දියණිය ට සැර වෙයි.

“මගෙ අයිය තමයි ඉතිං…අම්මගෙ ලොකු පුතානෙ. ගෑනිව පරිස්සං කර ගන්න බැරි වුණා. තමංගෙ යාළුවත් එක්ක ගෑනි පැනල යනකල් මර නින්දෙ හිටියද දන්නෑ”

පාලිකා වූ කලී කවදත් කාගේවත් හොඳක් දුටු ගැහැනියක නොවේ යන්න සුමනා නිතර කියන කතාවකි.

“මිත්‍ර නිසි වයසෙදි කසාදයක් කර ගත්තනං මට මේව ගැන වගකීමක් නෑනෙ. එහෙනං ලේලි ගෙදර ගැන බලා ගනී”

සුමනා නිකිනි ට නොව තමන්ට ම සේ කියා ගත්තා ය. දුව වන පාලිකා වත් සිය මව් පියන් ගැන සොයා නො බලන එකේ ලේලියක සිටියා නම් කරයිද යන පැනය නිකිනි ගේ සිතට නැගුණත්, ග්‍රැනී ගේ හිත රිදවනු වස් එසේ පවසන්නට ඇය ට සිත් දුන්නේ නැත.

“වාහනයක් හෝන් කරනව නේද ග්‍රැනී…”

කරවිල කරල අතේ තියා ගෙන නිකිනි කන් දුන්නා ය.

“ඔහෙ නෑ. වැස්සෙ සද්දෙ”

සුමනා එසේ කීවත් නිකිනි කරවිල කරල හා පිහිය පසෙකින් තබා ආලින්දය හරහා වැරැන්ඩාව වෙත පැමිණියා ය. ලොකු වර්ණවත් කුඩයක් ඉහලා ගත්, කවුදැයි නිශ්චිත නැති – ඒත් දුර ඈත මතකයක් ඇති කඩවසම් පුරුෂයෙකු රියෙන් බැස වැරැන්ඩාව වෙත එමින් සිටියේ ය. ඔහු ගේ හිස කේ අළු වන් ය. කළු කෙස් අතරේ හරි හරියට සුදු කෙස් ද ඉස්මතු වී තියේ. තරමක් වැවුණු රැවුලත් තැන් තැන් වලින් සුදු වී ය. නමුත් ඒ පරිනත පෙනුමට යටින් වන්නේ දඟකාර කොලු හිතක් ඇති ඉලන්දාරියෙකු මෙන් නිකිනි ට දැනිණ. ඒ සිතිවිල්ල ගැනත්, ඔහු දෙස බලා උන් වෙලාව වැඩි ය යන හැඟීම මතත් තරමක් ලැජ්ජාශීලී වූ ඕ “කාව හම්බ වෙන්නද…” කියා අසන ගමන් කෙළින් ඒ මූණ බැලුවා ය.

“මං ආවෙනං මිත්‍ර ව මීට් වෙන්න. මේ අර…ඉස්සර ජංගි කොටේ ඇඳගෙන මිදුලෙ සෙල්ලං කරපු කෙල්ලො දෙන්නගෙං එක්කෙනෙක් නේද…කවුද අර…මාස දෙකක නම් නේද කිඹුල් පැටව් දෙන්නට තිබුණෙ..”

නිකිනි ට ‘හිචිස්’ ගා සිනා ගියේ ය. නමුත් ඒ කවු දැයි තවමත් ඇයට හරියට සිහිපත් කර ගත හැකි වූයේ නැත.

“මතක නැද්ද මිත්‍ර බාප්පගෙ යාළුව…විදත්…”

විදත් අංකල්! පොඩි කාලේ ඔහ ඹබේසේකර මැදුරට ආ අවස්ථාවන් හි දී නිවුන් දැරියන් වඩා ගෙන සෙල්ලම් කළේ ය. ඔවුන් ව ලුණු ඔප්පු ගෙන ගියේ ය. පස්සෙන් පහු ඔවුන් එක්ක ක්‍රිකට් ගැසුවේ ය. විදත් විදේශ ගත වූයේ කවදා දැයි නිකිනි ට පැහැදිළි මතකයක් නැත. නමුත් ඇගේ ළමා මනසේ වීරත්වය හා ප්‍රේමය කැළතුන මුල් ම හැඟීම ඇති කළ පිරිමියා විදත් බව හදිසියේ ම නිකිනි ට සිහිපත් විය. ඒ වූ කලී අතීතයෙන් නැගුණ මතකයකි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content