වෙලාවට පළතුරු කන කලාව

අපේ රටේ විවිධත්වයෙන් යුතු පළතුරු බහුලව තිබුණත් අපි නිතරම වගේ පුරුදු වෙලා ඉන්නේ පළතුරු වර්ග කිහිපයක් පමණක් අනුභව කරන්නයි. කෙසෙල්, අඹ, පැපොල්, පැණි කොමඩු,අන්නාසි, ‍කිලෝ පේර අද අප රටේ බහුලව ආහාරයට ගන්නා පළතුරුයි. නමුත් පිටරටට ආවේණික පළතුරු වර්ග ද ඉහළ මිලකට වෙළෙඳ පොළෙන් මිළ දී ගන්නට පුළුවනි. නමුත් මෙම පළතුරු වර්ග අපේ ළඟට එන්නේ සෑහෙන්න කාලයක් තිස්සේ එක් එක් තැන්වල අසුරා තැබීමෙන් අනතුරුවයි. අස්වනු නෙලා, කල්තබාගැනීමේ රසායනික උපක්‍රම අනුගමනය කර,වෙළඳ පොළට පැමිණ, ඒවා වෙළඳසැල තුළත් කොපමණ කලක් පරණ වුණා ද කියා අපට හරියට ම තීරණය කරගන්නට බැහැ. ඇත්තටම පිටරටින් ආනයනය කරන පළතුරු වර්ග අපේ කුසට යන අවස්ථාව වනවිට සමහරවිට එහි ඇති විටමින් වර්ගවල අවවීමක් පවා සිදුවන්නට ඉඩ ඇති බව සෞඛ්‍ය පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තියෙනවා.

වස විස නැති පළතුරු තෝරාගන්න

අපේ රටේ හැදෙන පළතුරුවලත් වෙළඳසැල්වලින් මිළට ගන්නා අවස්ථාව වෙනකොට රසායනික උපක්‍රම පාවිච්චි කරල තියෙන බව ඔබ හඳුනාගෙන ඇති. විශේෂයෙන් ම බොහෝ වෙළඳසැල්වල ඇති කෙසෙල්, අඹ සහ ගස්ලබුවල මේ තත්වය ඉතා සාමාන්‍යයි. කොහොමවුණත් ඔබේ වත්තේ ඉඩ ඇත්නම් අඹ, කෙසෙල්, ගස්ලබු වගේ පළතුරක් වවාගෙන කන්න හුරුවෙන එක තමයි වඩාත්ම හොඳ. වෙළඳසැල්වලින් පළතුරු මිල දී ගන්නවානම් රසායනික භාවිතයෙන් තොර පළතුරු මිළ දී ගන්න හැකිතාක් සැලකිලිමත් වෙන්න. ඔබ උනන්දු වුණොත් ඔබට හොඳ පළතුරු හොයාගන්න බැරි වෙ‍න්නෙත් නැහැ. ඔබට ගම්බද ප්‍රදේශවල නිතර දකින්නට ලැබෙන කාමරංගා, ඇඹරැල්ලා, නෙල්ලි, වෙරළු වැනි විවිධත්වයෙන් යුතු පළතුරු වර්ගත් කිසිසේත් ම අමතක කරන්න එපා. එවැනි පළතුරුවලින් අපේ සිරුරට ලැඛෙන පෝෂණ ගුණය ඉතා ඉහළයි.

පළතුරු කන වෙලාව දන්නවද?

මේ වනවිට බොහෝ වෛද්‍යවරුන් පළතුරු නිර්දේශ කරන්නේ ප්‍රධාන ආහාර වේල්වලට පෙර පළතුරක් ගැනීම වඩාත් යෝග්‍ය වන බවයි.

පළතුරක් ගත යුතු නියමිත කාලය ගැන ඇත්තට ම ඔබ දැනුවත් විය යුතුයි. ආහාර හා පෝෂණවේදීන් සඳහන් කරන්නේ පළතුරු වර්ග නිවැරදි වේලාවට ශරීරයට ලබා දීමෙන් ශරීරයෙහි නිපදවෙන සහ පිටතින් ඇතුළුවන විෂ ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය අකුරටම සිදුවෙන බවයි.  ඒවගේ ම එමඟින් ශරීරයට අත්‍යවශ්‍යයෙන් ලැබිය යුතු ශක්තිය ආරක්ෂා වන බවත් ඔවුන් සඳහන් කරනවා.

විශේෂයෙන් ම සිරැරේ අධික බර අඩු කරගැනීමේ අවශ්‍යතාව ඇති අයට පළතුරු ගැනීමේ දී පැණි රස අඩු පළතුරු වැඩිපුර ගැනීම මගින් ශරීරයේ බර අඩු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරගන්න පුළුවන්. ඒවගේ ම හෘද රෝග වැළැක්වීමට, අධික රුධිර පීඩනය අවම කිරිමට, පිළිකා වැළැක්වීමට පළතුරු ලැඛෙන්නේ ඉතා ඉහළ සහයෝගයක්.

පළතුරු කෑවම මොක ද වෙන්නේ?

නිරෝගී පුද්ගලයෙක් නිරාහාරව සිට පළතුරක් ගැනීම (උදෑසන ) එසේ නොමැති නම් ප්‍රධාන කෑම වේල් අතරතුර පළතුරක් ආහාරයට ගැනීම ඉතා සුදුසු බව වෛද්‍යවරුන් සඳහන් කරනවා.  සිරුරට ලැඛෙන පෝෂණ පදාර්ථයන් ජීර්ණය කිරීම සඳහා අවශ්‍ය  එන්සයිම වර්ග රැසක් ම පළතුරුවල අඩංගු වෙනවා. නිරෝගී පුද්ගලයෙක් උදෑසනම පළතුරු ගැනීම හෝ කෑමවේල් අතරතුර පළතුරු ගැනීම නිසා ඒවායේ අඩංගු පෝෂ්‍යපදාර්ථ හා කෙඳිවර්ග, එහි අඩංගු පෘක්ටෝස් සීනි ඉතා හොඳින් ජීර්ණ ක්‍රියාවලියට සහායවන බව පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. පළතුරු ආහාරයට ගැනීමේ දී ප්‍රධාන ආහාරවේල ලබා ගැනීමෙන් පසු විනාඩි 30ක් වත් පමා කර ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. නමුත් දියවැඩියාව හෝ ආන්ත්‍රයේ ආම්ලිකතා තත්වයක් තියෙන කෙනෙක් නම් වඩා සුදුසු වන්නේ ප්‍රධාන ආහාරය ගෙන පැය දෙකකට පසුව පළතුරු ආහාරයට ගැනීමයි. එවැනි අයට පළතුරු ලබාගැනීමේ දී වෛද්‍යවරුන් විසින් නිර්දේශිත ප්‍රමාණයක් ගැනීමටත් අවධානය යොමු කළ යුතුයි.

 දවසකට කොච්චර පළතුරු කන්න ඕන ද?

දිනකට පළතුරු වර්ග දෙකක් හෝ තුනක්වත් ලබා ගත යුතු බව පෝෂණ නිර්දේශවල සඳහන් වෙනවා. අල්ලේ ප්‍රමාණයෙන් යුතු කෙසෙල් ගෙඩියක්, පැපොල් පලුවක්, අඹ පලුවක් ගැනීම ඔබට මෙහි දී අත්හදා බලන්න පුළුවනි. සමහරු නින්දට යාමට ප්‍රථම පළතුරු කෑමට පුරුද්දක් කරගෙන ඉන්නවා. මෙය කිසිසේත් ම සුදුසු නැහැ. මෙමගින් රුධිරයේ සීනි මට්ටම හා සිරුරේ සීනි මට්ටම වැඩි වී ඉන්සියුලින් මට්ටම ද වැඩිවී නින්ද යාමේ අපහසුතා ඇතිවන්නටත් ඉඩ තියෙනවා. රාත්‍රී කාලයේ පළතුරු ලබා ගන්නා විට නින්දට පැය 3කටවත් පෙර පළතුරු අනුභව කිරීම වඩාත් සුදුසුයි.

 – නිරංජලා-

Related Articles

Don't Miss


Latest Articles