හේමන්ත සන්ධ්‍යා – 11

තවමත් වැස්ස වසියි! 

වැසි හඬත් සුළඟේ හඬත් එක් ව ඇති කරන හෝ හඬ නිකිනි ගේ හදවතේ දුක් ගීයක් ගයයි. 

නමුත් ඇය වැස්සට පෙම්වත් වූවා ය. එදා විදත් විසි වසරකට පස්සේ ඔබේසේකර මැදුරට ආවේත් වැස්සක් අතරිනි. පෙර දින ඔහු හා ඈ අතර ඇති වූ පණිවුඩ හුවමාරුවත් වැස්ස පාදක කොට ගත්තකි. ඒ හින්දාමද මන්දා වැස්ස කියන්නේ චමත්කාරයකි.

කාමරයේ වසා දැමූ වීදුරු කවුළුවෙන්, සඳැල්ලට එපිටින් වැසි වහින අහස දෙස බලා ගෙන නිකිනි කල්පනාවට වැටුණා ය. මංජුල ගේ අම්මා පෙර දා කී ඇතැම් කතා ඇය ට විශ්වාස කර ගත නො හැකි තරම ය.

“ඔය ළමය දන්නෙ නැති වුණාට හුඟක් ගෑනු තුත්තිරි ඇට වගේ තමයි. දකින ඕන සරමක පැටලෙන්නයි බලන්නෙ. ඔය මංජුලත් එක්ක පැටලිලා ඉන්න උරචක්කර මාලාවත් ඒ වගේ නැතෑ”

ගැහැනියක වී ඇය ඒ විදිහට තවත් ගැහැනියක ගැන කතා කරන්නේ කෙසේ දැයි නිකිනි බලා උන්නේ විශ්මයෙනි.

“කසාද ගෑනිට ඊට වැඩිය කොච්චර බලයක් තියනවද…අයිතියක් තියෙනවද…අන්න ඒක පාවිච්චි කරන්න මෝඩ නොවී”

ඇය සේ ම බොහෝ ගැහැනු පිරිමින් සිතන්නේ එසේ ය. නමුත් ඒ අයිතිය ට ආදරය කියන දේ සින්නක්කර ලබා ගත නො හැකි බව දැන් නිකිනි හොඳින් දනී. එසේ කළ නො හැකි තැන ලබා ගත හැකි එක ම අයිතිය වූ කලී දික්කසාද සහතිකය මත, මරණ සහතිකය නිකුත් වූ දා ක ලද හැකි දේපල අයිතිය පමණකි. නිකිනි ගේ මුව සිනහවකින් ඇද විය.

“දමල ගහල යන එක නෙවෙයි තරන්න ඕනෙ. බැඳ ගත්ත බෙරේ කොහොම හරි ගහන එක. ඒක නිසා ඔය විකාර වැඩ නවත්තල ඔය ළමය ඉන්න. මං ඔය ළමයගෙ පැත්තෙ”

ඇගේ විකට ජවනිකාව සිහිපත් වෙත්දී නිකිනි ට තවමත් සිනහ නැගේ. අම්මා කෙනෙකු වශයෙන් මේ වෙලාවේ ඇය අසරණ ගැහැනියක වන්නට පුළුවන. සිය පුතු ගේ විවාහය රැක දීම වගකීමක් සේ ඇය ට දැනෙනවා වන්නට පුළුවන. නමුත් නිකිනි ගේ පැත්තෙන් බැලූ කල ඇය කපටි නැන්දම්මා කෙනෙකි. සිය පුත්‍රයා ගෙන් කවර අසාධාරණයක් සිදු වුණත් නිකිනි එය විඳ දරා ගෙන පවුල රැක ගත යුතු යයි ඇය සිතයි. පුරුෂයෙකු වන සිය පුත්‍රයා වෙතින්, තමන් සේ ම ගැහැනියක වන නිකිනි ට එල්ල වන කායික මානසික අතවරයෙන් ඈ මුදා ගැනීමක් ගැන නැන්දම්මා සිහිනයෙන් වත් නො සිතයි.

දවාලේ නිකිනි ඔබේසේකර මැදුර වෙත ගියා ය. උදේ මංජුල ගෙදරින් යන්නට පෙර හෝ ඇය ඒ බවක් ඔහු ට කීවේ නැත. එසේ වුණත් දුරකතන ඇමතුමක් දී හෝ යන බවක් කියන්න ට නිකිනි ට සිත් දුන්නේ නැත.

“එයත් හැම දේම කරන්නෙ මට කියල නෙවෙයිනෙ”

හිතුවක්කාර ලෙස එසේ සිතූ ඕ දුරකතනය ඔස්සේ ටැක්සියක් ඇනවුම් කළා ය. සිය බරාඳයේ දී මිණිපිරිය දුටු සුමනා ගේ හිත මඳක් සැලී ගියේ ය. ඒ, නිකිනි තනි ව ගමන් බිමන් යනවා ට මංජුල ගේ වන අකමැත්ත එතුමිය දැන සිටි බැවිනි.

“මංජුල දන්නවද මෙහෙ එනව කියල…”

නිකිනි මඳහසක් නගා ගත්තා ය. 

“දැන ගනීනෙ ඉතිං”

සුමනා ගේ පපුවේ දැවීමක් ඇති විය. අලුත් පරම්පරාවේ ළමයින් විවාහය ගැන අතීතයේ තමන් සේ බැතිබර ව නො සිතන බව සුමනා දනී. නිකිනි කියන්නේ අහිංසක කෙල්ලකි. නමුත් මංජුල නිසා ඇය හිත රිද්දා ගත්තා වැඩි බවත් ඕ තොමෝ ඉඳුරා දැන උන්නා ය.

“මං හිතං ඉන්නෙ හැමදාම උදේට එන්න කියලයි. පප්පගෙ බෙහෙත් සාත්තුව කරල යන්න”

“අනේ ඕන නෑ නිකී”

සුමනා වහා කීවා ය. ඇගේ ඇස් වල දැල්වෙමින් තිබුණේ බියක් බව දුටු නිකිනි ඉවත බලා ගත්තා ය. මංජුල වූ කලී ඔබේසේකර දෙමහල්ලන් විසින් තෝරා ගන්නා ලද මනාලයෙකි. ඒ නිසා ඔහු ගැන අමුතුවෙන් සඟවන්නට යමක් ඇය ට නැති බව නිකිනි දනී. ඇය මහ ගෙදර එනවා ට පමණකුදු නොව මහ ගෙදර ඇත්තන් නාවල මංජුල ගේ ගෙදරට එනවාටත් ඔහු වැඩිපුර කැමති නැත. ග්‍රැනී ගේ හිත රිදෙතැයි බියෙන් මුලදී නිකිනි මංජුල ගේ ඇතැම් ක්‍රියා කලාපයන් ගැන සුමනා ට නො කියා සිටියා ය. නමුත් ඔවුන් එහි නිතර යන එනවාට ඔහු අකමැති වග සුමනා මංජුල ගේ ප්‍රතික්‍රියාවන් ගෙන් ම දැන ගත්තා ය. වැඩිහිටියන් කොහොමත් හිතන්නේ දරුවන් ගේ පවුල් ජීවිත වල යහ පැවැත්ම ගැන ය. තමන් ඊට බාධාවක් වන බව දැනෙනවා නම් ඔවුහු වහා ඒ තැන් වලින් ඉවත් වන්නට උත්සාහ කරති. 

“මංජුල කැමති වෙන එකක් නෑ නිකිනි නිතර දෙවේලෙ පාරවල් ගානෙ එහෙ මෙහෙ යනවට”

සුමනා ඇය ට ඇත්තට ම හිතුණ දේ නො කියා, නිකිනි ගේ හිත සැකසෙන ලෙස වෙනත් යමක් කීවා ය.

“මටත් පාර හොයා ගන්න පුළුවන් කියල එයා දැන ගන්න එක හොඳයිනෙ ග්‍රැනී”

සුමනා තිගැස්සී ගියා ය. මේ ගෙදර සිටි රෝස මල මේ නම් නොවේ කියා ඇයට දැන් සහතික ය. නිකිනි ගේ ඇස් වල තියුණු බැල්මක් වේ. ආපසු හැරෙන සූදානමක් ඒවා යේ නොවන බව සුමනා වහා හැඳින්නා ය.

ඩෙස්මන් ව නාවා කවා පොවා බෙහෙත් දී තෘප්තිමත් වූ නිකිනි මඳහසක් නගා ගෙන ඔහු දෙස බැලුවා ය.

“මට ඕනෙ පප්පා ඉක්මනට සනීප වෙන්න. පප්ප ඉක්මනට ශක්තිමත් වෙන්න. එතකොට මට මං ගැන බය නෑ”

ඔබේසේකර යුවළ උනුන් ගේ මුහුණු දෙස බලා ගත්හ.

“මංජුල යාළු වෙලා ඉන්න ගර්ල් මට කතා කළා ග්‍රැනී”

“මොකක්…”

“මං කිව්ව ඒ දෙන්නට බඳින්න කියල. ඒ ළමය කියන විදිහට මංජුල ඒ ළමයට ආදරේ කරන්නෙත් නෑ. ඒ මනුස්සය ගෑනු ළමයෙක්ගෙං බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියල තේරුං ගන්න බෑ”

“අනේ නිකී මැණික. ඔයාගෙ හිත ඔය තරං දේවල් වලට ෆේස් කරන්න හයිය නෑ කියල අපි දන්නව. එහෙම හිතන්න එපා නිකිනි. මංජුල කියන්නෙ ඔයාගෙ හස්බන්. එච්චරයි”

“කෙහෙල්මලක් කියවන්න එපා සුමනා”

ඩෙස්මන් මඳ නො රිස්සුමක් පෙන්වූයේ ය.

“ඌ නිකං නමට විතරක් මේ කෙල්ලගෙ හස්බන් වෙලා හරියන්නෙ නෑ. තව ටිකක් කකුල් දෙකට පණ ආවාවෙකො…මං කතා කරල එන්න හොඳවයිං දෙකක්….මේක අපි මේ කෙල්ලට කරපු වරදක් සුමනා. හැබැයි ඉතිං මේක තමයි දෙවියන් වහන්සෙගෙ කැමැත්ත”

“වැරැද්ද මගෙයි පප්පා”

නිකිනි වහා කීවා ය. සුමනා රැලි ගැහුණු ඇස් වඩාත් කුඩා කොට බැලුවා ය.

“මට තිබුණෙ තාත්ත වගේ පිරිමියෙක් හොයා ගන්නයි ග්‍රැනී”

නිකිනි ඒ අන්තිම ටික කීවේ සුසුමක් ඉහළට අදිමිනි. හැබෑ වේදනාවක් මේ මොහොතේ ඇය පාරමින් තිබිණ. තමන් අළු වී යන සෙයක් සුමනා ට දැනිණ. තාත්තා වාගේ පිරිමියෙකු කියන්නේ හැම යුවතියක ගේ ම පැතුම බව, යොවුන් වියක් ගෙවා අහවර කොට පැමිණි ඕ තොමෝ නො දන්නවා නොවේ. දැරියක් මුලින් ම ආදරය කරන පුරුෂයා වනුයේ සිය පියා ය. ඇය දකින ප්‍රථම වීරයා ත් ඔහු ය. ඇයට දැනෙන මුල් ම රැකවරණයත් ඔහු ගේ ය. ඒ අනුව ප්‍රේමය වනාහි කවරක් දැයි හඳුනා ගන්නටත් ප්‍රථම, දැරියක් මෙලොව පෙම් කරන පිරිමියා වනුයේ සිය පියා ය.

නිකිනි ගේ පියා, ජගත්, අන් බොහෝ පිරිමින්ට ද වඩා වෙනස් වූවෙකි. ඔහු ට සාපේක්ෂව බලත්දී මංජුල කියන්නේ ජගත් ට ප්‍රතිවිරුද්ධ ඉව්රේ සිටින කෙනෙකි.

ඇතැම් විට නිකිනි ගේ ළමා වියේ දී ඇයට හා බිනුරි ට දුරස් වී ගිය පියා ගේ වීර චරිතය, නැවතත් ඔවුන් වෙත සමීප වූයේ බාප්පා ගේ මිතුරා ලෙස ගෙදර ට පැමිණි විදත් නිසා බව නිකිනි ට සිහිපත් විය. ඇතැම් විට ඒ, කාලයේ වැලි තලා අතරේ සැඟවී ගොස් තිබූ පරණ මතකයක් වන්නටත් පුළුවන.

මංජුල එක්ක අමනාප වී මහ ගෙදර පැමිණි නිකිනි ට වඩා අද පැමිණි නිකිනි බෙහෙවින් ප්‍රීතිමත් දැරියක ලෙස සුමනා ට පෙනුණේ ය. ඇය දඟකාර ඉරියව් පෑවා ය. බොහෝ කාලයක් තිස්සේ ඇයට ම හොයා ගත නො හැකි ව තිබි ඇය ව හදිසියේ හමු වූවා සේ ය. නිකිනි මේ හදිසියේ ඇය ව සොයා ගත්තේ කොයිබෙන් ද? සුමනා සසැලී සිටියා ය.

“මං ග්‍රැනීලගෙ ගෙදර. මොනාත් කියන්න තියනවද ග්‍රැනීට…”

නිකිනි විදත් ට අකුරු කළා ය. ඇය ට සැබවින් ම ඕනා වූයේ  එහි ගිය බව විදත් ට දැනුම් දීමට ද? නිකිනි හරියට ම නො දැන සිටියා ය.

“අම්මෝ නෑ”

ඔහු ලියා එව්වේ ය. නිකිනි තනිව සිනහ වුණා ය. යන ගමන් කුළී රියෙහි දී විදත් සමග කතා කළ යුතු යයි ඇය සිතා ගෙන ම සිටියා ය. ඔහු ගෙන් විමසා දැන ගන්නට හිත ළඟ ප්‍රශ්න කෝටි ගණනින් විත් පේළි ගැහී තියේ. 

“ඇයි වයිෆ්ල දෙන්නෙක්වම ඩිවෝස් කළේ…”

නිකිනි එය ඇසුවේ ගුරුවරයෙකු වෙතින් විෂයානුබද්ධ පැනයක් නගන කුතුහලය පිරි සිසුවියක වාගේ ය.

“මං නෙවෙයි එහෙම කළේ…ඒගොල්ලො…”

විදත් වහා පැවසී ය. ඔහු කලබල වූ තරම නිකිනි ට මවා ගත හැකි විය. විදත් කල්පනාවට වැටුණේ ය. සැබවින් ම ඔහු ට ඔවුන් දෙදෙනා ගෙන් ම වෙන් වන්නට ඕනෑ වූයේ නැත. රණ්ඩු ඇති වූ බව ඇත්ත ය. ඒ රණ්ඩුත් ඔහු විසින් ඇති කර ගන්නා ලද ඒවා නො වන බව විදත් ට විශ්වාස ය. ඔහු ගේ ඇතැම් චර්යාවන් ඔවුන් ට ගෝචර වූයේ නැත. ඒවා අමු අමුවේ කප්පාදු කොට ඔවුන් ට උවමනා පරිදි විදත් කෙනෙකු නිර්මාණය කර ගැනීම ඒ ගැහැනුන් දෙදෙනා ගේ ම අරමුණ විනැයි දැන් ඔහු ට සිතේ. රණ්ඩු ඇති කර ගත්තේ ඔවුන්  වුණත් ඒවා ට පැටලෙන්නට අන්තිමට ඔහු ට සිදු විය. නො පැටලී කර බා ගෙන සිටීමත් ගැහැනුන් ට උහුලා ගත නො හැක්කක් බව විදත් අත් විඳ තිබුණේ ය.

“ඒගොල්ලො එහෙම කරන තැනට වැටෙන්න ඇත්තෙ ඇයි…”

නිකිනි ගේ හඬ අතිශය අවිහිංසක ය. ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තියක් සේ ය. නමුත් ඈ විසින් නගන ලද්දේ බරපතල ප්‍රශ්නය කි. 

මුලින් ම විදත් ට දැනුණේ ඔහු ව කරකවා අත්හැරියා මෙනි. මේ සිටින්නේ ඔහු සිය වයස විසි ගණන් වලදී දුටු හුරුබුහුටි දැරිය නොවේ. ඔහු සැමියා ගේ ගෙදරට යන්න කී විට ඇය ප්‍රශ්න නොකර එය කළා ය. නමුත් දැන් ඇගේ ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතු ව තියේ. සැබෑ පිරිමියෙකු ලෙස ඒ ප්‍රශ්න පිළි ගෙන ඒවා ට දිය යුතු හොඳ ම පිළිතුරු ඇය වෙත ලබා දිය යුතු ව තිබේ.

“නිකිනි…ඔයා දැනටත් දන්නවනෙ…ෆැමිලි ලයිෆ් එකක් කියන්නෙ හරිම කම්ප්ලිකේටඩ් දෙයක්. හැබැයි මං හොඳටම දන්නව මට කවදාවත් ඩිවෝස් වෙන්න ඕන වුණේ නෑ. මගෙ වයිෆ් වෙලා හිටිය දෙන්නටම අබ මල් රේණුවක වරදක් කරන්න ඕන වුණෙ නෑ. රහසින්වත් මං ඒගොල්ලන්ට වැරදි කරලත් නෑ.  කරනවනං ඒකට නිදහසයි අවස්ථාවයි නො තිබුණ මිනිහෙකුත් නෙවෙයි මං. හැබැයි මං එහෙම කළේ නෑ”

සිය බිරිඳ  ගෙදර සිටියදී තමන් ට ලොව ඕනෑ ම තැනක හිඳින වෙනත් ඕනෑ ම ස්ත්‍රියක සමග කැමති විදිහේ ඇසුරක් පැවැත්විය හැකි යයි හිතන බොහොමයක් පිරිමින් අතරේ විදත් වගේ හිතන කලාතුරකින් කෙනෙකු හෝ හමු වීම ගැන නිකිනි ට සැනසුමක් දැනිණ.

“ඒත් එයාල දෙන්නම හිතුවෙ මං තරං වැරදි කරන මිනිහෙක් ලොවෙත් නෑ කියලයි. පළවෙනි මැරේජ් එකේදි ප්‍රශ්න එනකොටනං මටත් ලොකුවට එක්ස්පීරියන්ස් තිබුණෙ නෑ. ඒක නිසා ප්‍රශ්න අනා ගන්න එක තමයි කළේ. හැබැයි ඊළඟ එකේදි මං එයාට පුළුවන් තරං තේරුං කරල දෙන්න බැලුවා. ඒ ගෑනි සැක නොකරපු දෙයක් නෑ. කොහොමහරි කාගෙන ඒ කසාදෙනං තියා ගන්නවයි කියල හිතං හිටියත් අන්තිමට එයා ඩිවෝස් වෙමු කියද්දි මටත් සැනසීමක් වගේ දැනුණා”

ඒ වචන ටික වෙලාවක් යළි යළි ඇසෙමින් පැවතිණ. නිකිනි සුසුමකින් මිදුණා ය.

“කසාදයක් කියන දේ මනුස්සයන්ට මෙච්චර ලොකු දඬුවම් දෙන්නෙ කොහොමද…නේද…”

ඇය එසේ මුමුණා තිබිණ. සිහිනයක් බඳු ඒ මන්ද්‍ර ස්වරය විදත් ට ඇසිණ. පුපුරා යන්නට ආසන්න ගිනි කන්දක තාපය සිය පිරිමි පපුව ඇතුළේ තෙරපෙනවා ඔහු ට දැනුණේ ය.

“ආදරේ විතරක් තිබුණනං ඇති මේ ලෝකෙට. කසාද වගේ නීති බැඳීම් නැතුව…”

ඇය තව දුරටත් කියවා ගෙන ගියා ය. සියතින් මහත් පාප කර්මයක් සිදු වූවා බඳු පසුතැවීමකින් විදත් දුක් විඳිමින් සිටියේ ය.

“මං කියන්නෑ ඔයාගෙ හස්බන්ට ආදරේ කරන්න කියල. ඒත්..ඔයාගෙ හස්බන් කියන නෑදෑකමත් එක්ක එතන ඉන්න ඔයාට බැරි වෙයිද නිකිනි…”

“මට ඕනෙ ලෝකෙට බොරුවට පෙන්නන නෑදෑකමක් නෙවෙයි…මට ඕනෙ ආදරේ කරන්න කෙනෙක්. මට ඔනෙ  ආදරේ ලබන්න තැනක්. මං වැරදියිනං කියන්න”

ඈ සිටියේ පියවි ලෝකයෙන් මඳක් එපිටට වන්නට, නමුත් සිහින ලෝකයට මඳක් මෙපිටිනි. සිත මිස කය නැති භ්‍රහ්ම ආත්මයක සැරිසරමින් සේ විදත් නිකිනි ගේ ඒ ප්‍රශ්නයට නියත පිළිතුරක් දී ගත නොහී අතරමං ව සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles