මවත් සමග වෛර බැඳ ගත් යොවුන් දියණිය.

මේ රට තුළ ගැටළු වලට වැඩියෙන්ම ලක් වෙන කොටස නව යොවුන් දරුවන් කියන කාරණාව අපි හැමෝම දන්න කාරණාවක්.මව්වරු සහ ගුරුවරියන් වැඩි වශයෙන් අපිව කියවන නිසා අද අපි ඔබට කියන්නේ දරුවන්ව ඉතා ප්‍රවේසමෙන් රැක බලා ගන්න ඕන කතාවක් ගැනයි.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය වෙත ගිම්හානිව රැගෙන ආවේ ඇගේ අම්මා.ඇය අවුරුදු දාසයක දැරියක්.ඇය රත්නා මහත්මිය රැගෙන ආව අම්මා කියන්නේ ගිම්හානි ඉතාම ඉක්මනින් කෝපයට පත් වන්නියක් බව.ඇය එහෙම කෝප ගන්නකොට මහ රාත්‍රියේ ගෙදරින් යන්න වුණත් පැකිලෙන්නේ නෑ.ඇය නිතරම කෝප වෙමින් ගෙදර අය එක්ක පවා පැටලෙනවා.පාඩම් කරන්නෙම නෑ.ඉතින් අම්මා ඉන්නේ ගැටලුවකින්.

ගිම්හානිගේ සාමාන්‍ය ජීවිතේ ගැන අම්මා එතනින් ඉවත් කරලා බොහෝ වෙලාවක් කතා කරන රත්නා මහත්මිය ඇගෙන් තීරණාත්මක ප්‍රශ්නයක් අහනවා.

“දුවට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?”

එයට ගිම්හානි දෙන්නේ අමුතු උත්තරයක්.

“ඉන්නවා මිස්.මට කල්ප ළං කළෙත් අම්මා.අපිව වෙන් කළෙත් අම්මා.මං ඉන්නේ ඒ ගැන තරහින්”

ගිම්හානිගේ අසල්වැසියෙක් වෙන කල්ප ඇගේ වයස යෞවනයෙක්.කල්ප ඉගෙනීමට බොහොම හපනෙක්.ගිම්හානිගේ අම්මා කල්පට ගිම්හානි එක්ක පාඩම් කරන්න ආරාධනා කරනවා.කල්පත් ගිම්හානිත් අමතර පන්ති කීපයකම එකට ඉගෙන ගන්න නිසා කොහොමත් සාමාන්‍ය යාළුවෝ.දෙන්න එක්ක පාඩම් වැඩ කරගෙන යද්දී නව යෞවන ප්‍රේමයක් ඇති වන්නේ ඔවුන්ටත් නොදැනි.නමුත් එය සහමුලින්ම පාසල් ප්‍රේමයක්.ගිම්හානිටවත් කල්පටවත් නිකමටවත් තමන්ගේ සීමා ඉක්මවන්න ඕන වෙන්නේ නෑ.

“අපේ ලකුණු එහෙම ගොඩක් වැඩි වුණා මිස්.හොඳට ඉගෙන ගෙන කැම්පස් යන එක තමයි අපේ අරමුණ වුණේ.අපි හොඳට පාඩම් කළා.ආදරේ කරන්න ගියේ නෑ.ඒත් අපි සමහර වෙලාවට යාලුවෝ ගැන එහෙම කතා වෙලා හයියෙන් හිනා වෙනවා “

ගින්දරත් පුලුනුත් ළං නොවිය යුතු බව කියමින් ගිම්හානිට සහ කල්පට එක්ව පාඩම් කිරීම ගිම්හානිගේ අම්මා තහනම් කරනවා.මේ වියෝගය ගිම්හානිට දරා ගන්න අපහසුයි.ඇය කෝපයෙන් පාඩම් පවා අතපසු කරගන්නවා.අපි ආයේම මුණ ගැහෙනවටවත් අම්මා කැමති නෑ.ගොඩක්ම අපි ගැන අම්මාට කේලම් කීවේ මගේ අක්කා.අක්කා අවුරුදු විසි පහක කෙනෙක්.එයාට බඳින්න කෙනෙක් නෑ.අක්කා ඒ නිසා මට සම්බන්ධතාවයක් ඇති වෙනවට හරිම තරහයි.

මම දවසක් ගෙදරින් තරහ වෙලා රෑ ඇවිදගෙන ගියා.අපේ ගේ ගාව කනත්තක් තියනවා.එතනට මම යනවා කල්පත් දැක්කා.එයත් මාත් එක්ක ආවා..අපි ගිහින් කනත්තට වෙලා කතා කර කර ඉන්න පටන් ගත්තා.මට පොඩ්ඩක්වත් බයක් දැනෙන්නේ නෑ.,

ගිම්හානි රාත්‍රියේ ගෙදරින් එළියට යන රහස ඒ ආකාරයට හෙළි වුණා.

කල්පත් පොඩි වයසක තරුණයෙක් නිසා ඔවුන් දෙදෙනා මෙසේ රාත්‍රියේ පාලු තැනක හමු වීම ඉතා අනතුරුදායක බව රත්නා මහත්මිය තේරුම් ගත්තා.ඇය ගිම්හානිගේ අම්මාට කතා කර ගිම්හානිගේ පාඩම් රටාව ගැන උපක්‍රමශීලිව කරුණු විමසද්දී කල්ප ගැන හෙළිදරව් වුණා

“ඉතින් සාලය මැද පාඩම් කිරීම ගැටලුවක් වෙන්නේ නෑ.එක පාරටම මේ දෙන්නා වෙන් කිරීමයි මෙතන ගැටලුව.ඒ නිසා ආපහු කල්පව ගෙන්නන්න.ඔයා සාලෙට වෙලා පත්තරයක් බලමින් මැහුමක් මහමින් ළඟ ඉන්න.”

අම්මා එයට අවනත වුණා.සතියකට පස්සේ ප්‍රගතිය කියන්නට ආ අම්මා පැවසුවේ ගිම්හානි දැන් යළිත් හරිම සතුටින් ඉන්නා බවත් හොඳින් පාඩම් වැඩ කරන බවත්.

තරුණ දියණියන් සමඟ ඔබ ඉතා මානුෂිකව ගනුදෙනු කරන්නම ඕනෑ.ඔවුන්ගේ හැඟීම් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරන්නට එපා.යම් අනවශ්‍ය දෙයක් වනවා නම් ඔවුන් ඉන් අයින් කරගත යුතු ක්‍රමක්‍රමයෙන්.එක්වරම ඔවුන්ගේ ප්‍රියතම දේවල් ඔවුන්ට අහිමි කිරීම ඔවුන් ඔබ හා වෛර බැඳ ගන්නට හේතු වෙනවා.

ඒ නිසා ඔබේ ඇස් මායිමේ හිඳිමින් නිදහස් ලෝකයක සරන්නට ඔවුන්ට ඉඩ දෙන්න.

Related Articles

Don't Miss


Latest Articles