fbpx

හේමන්ත සන්ධ්‍යා -20

ඩෙස්මන් ගේ තෙල් සාත්තුව කිරීමෙන් පසු නිකිනි අයිස් කෝපි එකක් ද සමගින් සහස් සොයා ගියා ය. ඔහු සිටියේ  ඔබේසේකර මැදුරේ නිකිනි ගේ ප්‍රියතම ස්ථානය වන සඳැල්ලෙහි ය.

“මොනාද අප්ප ඔච්චර කල්පනා කරන්නෙ…”

සහස් අතට වීදුරුව පිළිගන්වමින් නිකිනි වේවැල් පුටුවෙහි අසුන් ගත්තා ය.

“ඔයා ගැන”

“මං ගැන…අනේ මේ…අක්ක ගැන බර ඔළුවට අරං කල්පනා කරන මගෙ මල්ලි පොඩ්ඩ”

“විහිළු නෙවෙයි අක්කා. ඔයා මගෙ හිතට බරක් තමයි”

නිකිනි වෙත වූ සරල සැහැල්ලු බව කොහෙත් ම සහස් ගෙන් දැකිය හැකි වූයේ නැත.

“අපි එක අම්මගෙ එක තාත්තගෙ දරුවො නොවුණට හැදුණෙ එක පවුලෙ එකට. මගෙ අක්කට වඩා පොඩි කාලෙ ඉඳංම මං ළං වුණේ ඔයාට. ඇත්තටම අපේ අක්කට ලැබෙන්න තිබුණ මගෙ ආදරේ අයිති කර ගත්තෙ ඔයා. ඒක නිසා ඔයා මගෙම අක්ක තමයි”

“මල්ලා…ඉතිං ඇයි මේ…”

“ඔයා මංජුලගෙං ඩිවෝස් වෙන්න අක්කෙ”

“මල්…ලා…”

නිකිනි ගේ තාරකා ඇස් වඩාත් විසල් විය. එදා ඇය මංජුල වෙතට යවන්නට ලොකු වචන හරඹයක් කළ පොඩි එකා අද මේ විදිහට කතා කරන්නට හේතුවක් නිකිනි ට පැහැදිලි කොට ගත නො හැකි ය. ජීවිතයේ හැම තත්පරයක් ම මුල් එකට වඩා අංශුවකින් හෝ වෙනස් බව නිකිනි දැන් දනී. එක ම ගඟක් දෙවරක් දකින්නට බලාපොරොත්තු නො විය යුතු යයි කතාවක් තිබේ. 

“ඔවු මාත් ඔයාට කිව්ව තමයි ආයෙ මංජුල ළඟට යන්න කියල. ඒ යකා එළියෙදි කරන කියන දේවල් ගැන හොයන්නෙ නැතුව පාඩුවෙ ඉන්න කියල. ඒත් දැං මං ඒ කතාව ඉල්ලා අස් කර ගන්නව අක්කා”

සඳැල්ලට විත් මල් පිපෙන නම නො දන්නා රෝස පාට මල් වැලේ මල් වල එල්ලී පැණි කුරුලු යුවලක් පැණි බොති. නිකිනි හිතේ සතුටෙන් ඒ දර්ශනයෙහි නෙතු අලවා ගෙන සිටියා ය. ඒ නිසා ම ඇය ට තමන් කී කාරණය ගැන අවධානයක් නැති දැයි සහස් සිතුවේ ය.

“දැං…ඔයා ඒ කතාව ඉල්ලා අස් කර ගන්න හේතුව මොකද්ද…”

ඇගේ අතුරු ප්‍රශ්නය සනාථ කළේ ඇස් දෙක කොතැනක තිබුණත් අවධානය නො වෙනස් ව ඔහු ගේ කතාවෙහි තිබී ඇති බවයි.

“මංජුල තියා මොකෙක් ළඟවත් ඔයා එහෙම පීචං වෙන්න ඕන්නෑ. වෙනම රූම් එකක ඉන්නනං ඔයා උගෙ ගෙදර ඉන්න ඕන නෑනෙ. මොකද ඔයා හිඟන්නියක්ද…ඔයාට මේ ගෙදර ඉන්න බැරුව නෙවෙයිනෙ. එතකොට ඔයා ඒ ගෙදර ඉන්නෙ ඌගෙ වැඩකාර කමටද…”

සහස් ගේ ඇස් වල වූයේ ගින්දරක රස්නය ය. ඒ රස්නයෙහි නිකිනි ට දැනුණේ මහත් සහෝදර බැඳීමකි. ඉස්සර ඉස්කෝලේ යන කාලේදීත් මග තොට හිඳ විහිළු කරන දඩබ්බර කොල්ලන් ගෙන් නිකිනි ව රැක ගන්නට පොඩි කමට ඉදිරිපත් වූයේ සහස් ය. නිකිනි ගේ හිතට මහත් අස්වැසිල්ලක් දැනිණ. හයියක් දැනිණ. වෙන මොනවා නැතත් පති කුලය තුළ ඈ පත් ව හිඳින තත්වය ගැන ගෙදර එක්කෙනෙකු තුළ හෝ අවබෝධයක් තිබීම ඇය ට සහනයකි.

“ඔයා ගෙදර එන්න අක්ක. අපි ඩිවෝස් කේස් එකක් දාමු”

“මේකා ලොකු මිනිහෙක් වෙච්ච හැටි දෙයියනේ…”

නිකිනි ආදරයෙන් ඔහු ගේ හිස් මුදුනේ කෙහෙ රැල් අවුල් කළා ය. 

“බලමු මල්ලි මොකද වෙන්නෙ කියල. දේවල් වෙනස් කරන්න මහන්සි නොවී බලං ඉන්න එකෙත් අමුතු සතුටක් තියෙනව. ඇත්තටම සමහර වෙලාවට මට හිතෙනව මේ හැම දෙයක් ම කරල මං ද්වේශ සහගත සතුටක් ලබනවද කියලත්. කොහොමටත් ඩිවෝස් එක ඉල්ලනවනං ඒක කරන්න තිබුණෙ ගිය සැරේ මං මෙහෙ ආපු වෙලාවෙ. මංජුල ගැන හැම දේම දැන ගෙන ආයෙ ඒ ගෙදරට ගිහිං රෙද්දක් ඇඳගෙන මං කොහොමද මල්ලි එහෙම දෙයක් කතා කරන්නෙ…”

නිකිනි ගේ හඬ තුළ ආත්මීය වේදනාවක් විය. ගැහැනියක වී පැවතීම පහසු නැත. සැබවින් ගැහැනියක වී පැවතීම වූ කලී දුෂ්කර ව්‍යායාමයකි. ඇය ඇය සේ පවතින්නට නම් පිරිය යුතු පාරමිතා අප්‍රමාණ ය. වැළඳිය යුතු පිරිපත අනන්තය. විඳ ගත යුතු නින්දා අපහාස හා අවලාද අසීමිත ය. ඒ සියල්ල අතරින් ඇවිද යනවා කියන්නේ කටු කම්බි රවුමකින් තැනූ එල්ලෙන පාලමක් දිග ඇවිදිනවා බඳු ව්‍යායාමයකි.

“මට ආසයි ඔය කියන ගුවනි ව බලන්න”

හැන්දෑවේ කතා කළ වෙලේ විදත් කීවේ ය.

“ඒකනං එච්චර හොඳ ආසාවක් වෙන එකක් නෑ”

නිකිනි සැහැල්ලුවෙන් සිනානුණා ය.

“ඇයි..”

“එයාව අයිති කර ගන්න හිතෙයි”

“නෑ”

විදත් ඒ තනි අකුරෙන් ලොකු ස්ථිර සාර බවක් හඟවන්නට උත්සාහ කළේ ය.

“මිනිස්සු එක පරිනත තත්වෙකට ආවට පස්සෙ හැම ගෑනියෙක් දිහා ම අයිති කර ගැනීමේ ආසාවකින් බලන්නෙ නෑ නිකිනි. ඒ වෙනකොට දේවතා රූපයක් වගේ අදහන්න කැමති එක ගෑනියෙක් ඒ පිරිමියගෙ හිතේ ඉතුරු වෙලා ඉන්නව. එතනදි අනිත් හැම ගෑනියෙක් ම අර දේවතා රූපෙ ළඟ පර වෙන මල් වගෙයි දැනෙන්නෙ. ඒක හරි ස්ට්‍රෝං ලෙවල් එකක්”

නිකිනි අසා උන්නේ, විචිත්‍ර ධර්ම කථිකයෙකු ගේ දේශනයකට සම වැදි උවැසියක ගේ සමාධියෙනි. සැබවින් විදත් එවන් ස්ථාවරත්වයකට පත් ව හිඳිනවා වන්නට පුළුවන. ඔහු සමග දුරකතනයෙන් කතා කරත්දී පවා හිතට දැනෙන නිවී සැනසුන බව, ඔහු එළඹි සමාධියෙහි ප්‍රතිඵලයක් වන්නට පුළුවන.

“ඒකත් එහෙමද…”

ඇය ඒ සමාධියට නො ගැලපෙන ස්වරයකින් දෙඩුවා ය.

“එතකොට දැං…කවුද ඒ  දේවතා රූපෙ…”

විදත් කොක් හඬ ලා හිනැහෙන්නට පටන් ගත්තේ ය.

“උඹද..උඹත් කොහෙං හරි කොනක් අල්ලගන්නව නේ…”

“ඇයි ඉතිං…ගුවනි ව අයිති කර ගන්න හිතෙන්නෑ කියල ස්ථිරව දැනෙන දේවතා රූපයක් ඉන්නව කියලනෙ කිව්වෙ”

නිකිනි හුරතල් වූවා ය. මෙවන් හුරතලයකින් විවාහ වීමට පෙර ඔහු මහ ගෙදර පැමිණි දින වල හෝ මංජුල සමග පෙම්වත් වී නැති බව ඇය ට සහතික ය. 

“ඇත්තටම මට එයාව බලන්න ඕනෙ එයා කොහොමද ඔච්චරටම ඔයාගෙ හිත ඇද ගත්තෙ කියල බලන්නයි”

සුසුමක් හෙළන ගමන් නිකිනි දෑස් යුග පියා ගත්තා ය. ඔහු ගේ ස්වරය ඇස් පියවෙන තරම් සුනය දනවන්නකි. පිරිමියෙකු හට එහෙව් හිස පිරිමදින හඬක් උරුම වන්නේ ඔහු ගේ පරිනතියත් සමග විය යුතු යයි නිකිනි සිතුවා ය.

“සාමාන්‍යයෙන් බිරිඳයි අනියම් බිරිඳයි කියන්නෙ නයයි මුගටියයි වගේ එකාට එකා පෙන්නන්න බැරි දෙන්නෙක්නෙ. මෙතනදි මට ඔයාව දැනෙනව. ඔයාව මවා ගන්න පුළුවන්. ඒ ඔයාව දැකල තියෙන නිසා. ගුවනිවත් දැක්කනං මේ මවා ගැනීම මීට වඩා සාර්ථකයි”

“මාත් දන්නෑ මං මෙහෙම කරන්නෙ කොහොමද කියල”

“ඒත් මං දන්නව”

“ඇයි…”

“මංජුලට තව ලං වුණානං ඔයාට එහෙම වෙන්න පුළුවන් වෙන්නෑ”

“ඒ කියන්නෙ මංද වැරදි…”

“ජීවිතේදි අපි කවුරුවත් වැරදි කාරයොවත් නිවැරදි කාරයොවත් නෙවෙයි නිකිනි. අපි ජීවිතේ අත පත ගගා ජීවිතේම හොයන අසරණයො”

“මට මෙහෙම මැරෙන්න බෑ දෙයියනේ”

ඒ වචන ටික පිට වූයේ නිකිනි ගේ උගුර යටිනි. උදරය කලම්බා ගෙන ඉකිළුමක් නැග ආවේ ය. නමුත් ඕ අසීරුවෙන් ඒ ඉකි බිඳුම ඈ තුළ ම සිර කොට ගත්තා ය. ආත්මානුකම්පාව කියන්නේ නිකිනි කැමති ම නැති දෙයකි.

“මොකද්ද මට කරන්න පුළුවන්…”

මේ පුංචි දූපතට ගුවන් සැතපුම් දහස් ගණනක් ඈතක පිහිටි මහා ද්වීපයක සිටින විදත් ගේ හඬ නිකිනි ට ඇසුණේ ඇගේ ආත්මය තුළින් නැගී ආ හඬක් සේ ය. දැන් ඇයට කිසිත් උවමනා නැත. අබ ඇටක තරම් දෙයක් හෝ ඔහු ගෙන් උවමනා නැත. ඒ වචන හතර තුළින් විදත් ඇය ට ජීවිතයේ මහානාර්ඝ අරුතක් ලබා දුන්නේ ය. වටිනාකමක් ලබා දුන්නේ ය. අනිත් අතට කිසිත් ඉල්ලන්නට තබා එක වචනයක් කතා කර ගන්නට හෝ ශක්තියක් ඇය වෙත වූයේ නැත. සිරුරෙහි වූ අන්තිම ප්‍රාණ බින්දුවත් අවසාන වී ගියා සේ ඕ යහන මත උඩුකුරුව පතිත වූවා ය.

“ම්…කියන්න…”

පිරිමිකාර හඬක එහෙව් ප්‍රේමණීය බවක් මීට පෙර නිකිනි අත්විඳ තිබුණේ නැත. දැන් ඈ ඉන්නේ එහෙම ප්‍රේමණීය බවක් විඳ ගත නොහැකි රාමුවක් ඇතුළේ හිර වී ගෙන කියාත් ඇය සිතුවේ නැත.

නිකිනි ගේ ඇස් උතුරා ගලා යන්නට වූයේ ය. ඒ සැබවින් ම දුකට ද නැත්නම් සතුටට ද කියා සිතන්නට ඇය උත්සාහ කළේ නැත.

“කවුද ඔය ලයින් එකේ ඉන්නෙ…”

එක් වර ම නැගුණ මංජුල ගේ ඒ හඬින් නිකිනි උඩ විසි වී යහන මත හිඳ ගත්තා ය. මේ වගේ වේලාසනින් ඔහු ගෙදර එතැයි ඇය කොහෙත් ම සිතා තිබුණේ නැත. එසේ ම ඔහු ඇගේ මේ අලුත් කාමරය වෙත කඩා පාත් වනු ඇය සිහිනයෙන් හෝ නො සිතුවා ය. 

මංජුල ව මේ විදිහට රහස් පොලිස් පරීක්ෂකයෙකු කරවූයේ ඔහු ගේ මව ය. නිකිනි දැන් දැන් නිතර දෙවේලේ දුරකතනය කනේ ගසා ගත් ගමන් යයි ඔහු පුතා ට පැමිණිලි කොට සිටියා ය. ඇය සිටින සතුට සේ ම සැහැල්ලුව ද ඉවසා ගන්නට තරම් හික්මීමක් නො තිබූ නැන්දම්මා මේ විදිහට මංජුල ව කලින් ගෙදර ගෙන්වා ගත්තේ ලේලිය ගේ හොර අතට ම හසු කර ගනු පිණිස ය.

“ආ….කවුද ලයින් එකේ ඉන්නෙ….”

සිංහයෙකු සේ මංජුල ගුගුලේ ය. නිකිනි ගේ තෙත්බර ඇස් පිහාටු තිගැස්සිණි. ඕ යටි තොල් පට රිදෙන්නට සපා ගත්තා ය. සියල්ල අවුල් වී තියේ. අන්තිමට වැරදි කළ ඔහු නිවැරදි කරු වී ඇය මත සියල් වැරදි පැටවෙන්නට නියමිත සේ ය.

“කවුද ගෑනියෙ ෆෝන් එකේ ඉන්නෙ…”

කියමින් මංජුල දුරකතනය උදුරා ගත්තේ නිකිනි අපේක්ෂා නො කළ ආකාරයෙනි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
2
0
Would love your thoughts, please comment.x
()
x