සඳක් කළ සක්මන් -2

තෙමහල් නිවසේ හිමිකාරිය තව දුරටත් හිටියේ මගේ අත අල්ලා ගත් වන ය. මීට පෙර මා හා ඇය අතරේ එක වචනයකුදු හුවමාරු වී තිබුණේ නැත. ඕනේ නම් සිනහ මල් දෙක තුනක් හුවමාරු වී තිබෙන්නට ඇත. ඒත් මේ හැටි ළෙංගතු කමකින් අතින් ද අල්ලා ගෙන කතා කරන්නට එය හේතුවක් ද? 

මතු මහලේ කිසිවෙකු පේන්නට සිටිනවා නම් මා ඒ මැදුර දෙස බලන්නේ හෝ නැති තරමි. ඒ මා මගේ දුප්පත් කම ගැන ලැජ්ජා වූ නිසා ද කියා වැටහෙන්නේ නැත. ලැජ්ජා විය යුත්තේ දුප්පතෙකු වී ඉපදීම ගැන නොව දුප්පතෙකු ලෙස මිය යාම ගැන යයි මම අසා ඇත්තෙමි. මගේ ජීවිතයේ ඒකායන අරමුණ මේ නරකාදියෙන් ගොඩ යාමයි. මේ විදිහට ජීවත් වන්නට වීම ගැන දරුණු විෂ කටුවක් වන් පසු තැවීමක් මගේ සිත් හි ඇනී තිබේ. පාසලේ මගේ මිතුරියනට වුව මම මගේ සැබෑ ජීවන තත්වය වහං කර ගෙන ඉමි. ඔවුන් ට බොරු නො කීවත්, ඇත්ත තත්වය හෝ කියන්නට නො යාම මගින් මම ප්‍රවේසම් වෙමි. 

“ඔයාගෙ නම පූජා නේ…”

කාන්තාව කරුණාවන්ත හඬින් විමසුවා ය. මම දෙතොල් තෙරපාන සිනහ වෙමින් හිස සැළුවෙමි.

“පූජාවක් වගේ ම ඔයා හරි තැන්පත්. සන්සුන්. මං සමහර වෙලාවට උඩ ඉඳන් බලන් ඉන්නව. ඔයා වගේ ගෑනු ළමයි මේ කාලෙ හරි අඩුයි. පූජා හොඳට ඉගෙන ගන්න”

මම හිස වඩාත් බිමට හරවා ගතිමි. ඇය ඉහළ සිට බලා ඉන්නේ බිමට චප්ප වී ඇති අපේ අසරණ ජීවිත දෙස ය. නමුත් මා අසරණයි කියා සිතන්නට කුඩා කල පටන් ම මගේ හිත ඉඩ දෙන්නේ නැත. මට ඕනේ ලොකුවට හිතන්නට ය. මතු දිනෙක මා එළඹෙන්නට නියමිත තත්වයෙන් මේ මොහොතේත් සිටිනවා වාගේ සිතන්නට ය. මගේ හද තුළ මා එහෙව් ලෝකයක් මවා ගෙන එහි ජීවත් වූවා ට, මේ මැතිණිය ඉදිරියේ එහෙව් රංගනයක නියැළිය නො හැකි ය. 

“පූජා ඒ ලෙවල්ස් ද කරන්නෙ…”

“ඔව් ආන්ටි”

අම්මා වාගේ ඇයට මැඩම් කියා කතා කරන්නට මට සිතුණේ නැත. ගමේ බොහොමයක් ස්ත්‍රීන් ට කුඩා කල පටන් අප කතා කොට පුරුදු නැන්දා කියා ය. නැත්නම් පොදුවේ  ඇන්ටී කියා අමතමු. අපේ බාලිකාවේ ළමයි වැඩිහිටි කාන්තාවන් අමතන්නේ ආන්ටි කියා ය. පාසල තුළ දී හෝ ගෙදරින් පිටත මගේ ලෝකයේ දී එසේ කතා කරන්නට මමත් පුරුදු වී සිටිමි. නමුත් ගමේ කිසිදු ස්ත්‍රියක ට මෙතෙක් එසේ අමතා නැත. අලුත් අසල්වැසි කාන්තාව වූ කලී ‘ඇන්ටි’ කියා ඇමතිය නො හැකි වැදගත් තැනැත්තියක සේ මට හැඟුණේ ය.

“ආට්ස්ද…”

“බයෝ”

“ආ ශෝක්නෙ”

ඇය මා හා කතා කරන මුළු කාලය පුරා ම ඒ ගෙදර යෞවනයා ගේ දෑස් මා වෙත දැල්වී ගෙන තිබෙන බවක් මට දැනිණි. නමුත් මම වැරදීමකින් හෝ එදෙස නො බලා සිටියෙමි.

සාදයේ ඒ කොටස මට මතක සිහිනයක් සේ තැනින් තැන ය.  කෑම ගෙන නිම වන තුරු ඔවුන් ගැන බලන්නයි අම්මා කීවා ය. ඉතින් මම ඔවුන් සිටින මානයට වී සිටියෙමි. කෑම ගැනීමෙන් පසු ඔවුහු නික්ම යන්නට සූදානම් ව අපේ ගෙදර අයගෙන් සමු ගන්නට වූහ. යෞවනයා මදෙස බලා ‘යන්නං’ කීවේ ය. මම ඉක්මන් සිනහවකින් හිස සැළුවෙමි.

“එන්න කියල කිව්වට මන්නං හිතුවෙ නෑ පවුල පිටිංම එයි කියල. කිසී ආඩම්බරයක් නැති මිනිස්සු”

තට්ටු ගෙදර අය අපේ නංගි ගේ මල්වර මංලගල්ලයට පැමිණීම ගැන අම්මා ආඩම්බර වූවා ය. ඔවුන් ඈ අත තබා ගොස් තිබූ ලියුම් කවරයේ වූ තෑගි මුදල, කොටහළු මගුලට ලැබුණ ලොකු ම ගණන බව අප දැන ගත්තේ සියල්ලන් විසිර ගිය පසු ලැබුණ තෑගි බෝග ගණන් කරත්දී ය.

“නෑවිත් බෑනෙ. ඒගොල්ලො කොච්චර ලොකු වුණත් මේ ගමට අලුතෙංනෙ ආවෙ. අපිව හොඳිං තියා ගත්තෙ නැත්තං ඉතිං මේවයෙ ඉන්නයැ”

තාත්තා කයිවාරු ගැගැසුවේ ය. කෙසේ වෙතත් තාත්තා මගුල් කෑම මේසය විවෘත කරන ලෙස ඇරයුම් කොට තිබූ ඔහු ගේ මිතුරු ව්‍යාපාරික මහත්මයෙකුටත් වඩා ලොකු මුදලක් තෑගි ලෙස පිරිනමා තිබුණේ තට්ටු ගෙදර අය ය. ඒ ගැන අම්මා උදම් ඇනුවා ය.

“ඔයා ආරාදනා කරපු අය වගේද මං ආරාදනා කරපු අය. මේ කට්ටියට මේසෙ විවෘත කරන්න කිව්වනං මේ වගේ දෙගුණයක් දෙයි”

කෙසේ වෙතත් තාත්තා කියූ ලෙසට ම ඔහු ණය වූ මුදල සොයා ගත හැකි වී තිබුණේ ය.

“මේක මාර බිස්නස් එකක්නෙ ඕයි”

ඔහු අම්මා එක්ක උද්දාමයෙන් කියවූයේ ය. දවාලේ සිට ම ඔහු මත් පැන් ටිකක් ද තොල ගා ගෙන සිටි බවක් පෙනෙන්නට තිබිණි.

“කොහොම වුණත් කමක් නෑ හෙටම ගිහිං ඔය ණයට ගත්ත සල්ලි ගෙවල ඉවර කරහල්ල. ණය තියා ගන්නෙ නැතුව”

ආච්චම්මා අනතුරු ඇඟවීමක් කළා ය.

“අම්මෝ….ගෙවනව තමයි. නැතුව කොහොමද…”

අම්මා කීවා ය. නමුත් තාත්තා ගෙවා තිබුණේ ණය මුදලින් අඩක් පමණකි.

“පස්සෙ ඉතුරු බාගෙ ගෙවනව. නැත්තං මිනිස්සු හිතන්නෙ අපි කොටහළු මගුලකිං ගොඩ ගියා කියල ඕයි”

ඉතුරු මුදල පසුම්බියේ තබා ගෙන ඔහු ටික ටික වියදම් කර ගෙන තිබිණි. කෙසේ වෙතත් ණය කාරයා තව ටික  දිනකින් ගේ ළඟට ඇවිත් මුදල් විමසත්දී තාත්තා ත් නො දැන ම ඒවා දිය වී ගොස් තිබුණේ ය. 

“මං කිව්වෙ නැද්ද ඕක වෙයි කියල. යකෝ අතට හම්බ වෙච්ච සල්ලි ටික පස්ස පැත්තෙ ගහං ඉඳල නිකං වියදං කරානෙ මූ”

ඒ බව දැන ගත් ආච්චම්මා උදහස් ව කෑ ගැසුවා ය.

“අනේ මේ අම්ම කෑ නුගහ ඉන්න. මන්නෙ කොහොමත් ගෙවන්නෙ…අම්ම නෙවෙයිනෙ”

තාත්තා සිය වරද පිළි ගන්නට කැමැත්තක් කවදටත් නොමැත්තේ ය.

“ගෙවනව නේන්නං උඹ. අටුව කඩල පුටුව හදන එකනෙ කවදටත් උඹේ රස්සාව. අතනිං අරං මෙතනට දෙයි. අරක විකුණං මේක කයි. වෙන මොකද්ද…ඕකනෙ උඹ කවදටත් කළේ”

“හරි හරි ඇති ඇති. කට වහ ගන්න”

“මගෙ කට වැහුවම ඔක්කොම හරිද බොලං. අර ගෑනිට ගෙදරිං හම්බ වෙච්ච ඉඩම විකුණල ණය ගෙව්ව. ඒකෙං පොඩි ගාණක් යට කරල වැඩකට නැති මඩ ගොහොරකිං පර්චස් දෙක තුනක් ගත්තයි කියමුකො. ඒකත් කී දවසද තියා ගත්තෙ…ණය ගෙවන්නයි කියල විකුණුව. දැං ණය වෙලා මගුලක් කෑව හම්බ වෙන ඒවගෙං ගෙවනවයි කියල. ගෙව්වද…දැං ඉස්සරහට ඒව ගෙවන්නෙ ගෑනිව විකුණල වෙන්න ඇති. මොකටද ඉතිං මගෙ කට”

තාත්තා ට සේ ම අම්මා ට ද කට උත්තර නැති වූයේ ය. සියල්ල නැති නහස්ති කර ගෙන ළමයින් දෙදෙනෙකු සමගින් තාත්තා කුළී කාමර වල ජීවිතය ගැට ගසත්දී, ආච්චම්මා මේ පර්චස් හතරක කුඩා ඉඩම් කැබැල්ල අරගෙන දී තිබෙන්නේ කාලයක් තිස්සේ ඇය සතෙන් සතේ එකතු කර ගත් මුදලකිනි.

“මේ කෙල්ලො දෙන්නා තැන් තැන් වල අගු පිල් වල දුක් විඳිනව බලන්න බැරි නිසයි මං මේ වැඩේ කළේ. හැබැයි පුතෝ උඹලගෙ නමින්නං මං මේකෙ ඔප්පුව හරවන්නෑ කවදාවත්”

ඉඩමේ අපිට ගෙයක් හදා ගන්නයි කියූ දා ආච්චම්මා එසේ කී හැටි මට තව ම මතක ය.

“මං මැරෙනකොට ගෙනියන්න නෙවෙයි. දවසක මං මේ ලොකු කෙලී ගෙ නමිං හරි මං මේක ලියන්නං. හැබැයි උඹලට විකුණල සූදු කෙළින්නයි ගංජා ගහන්නයි ඉඩ තියන්නෑ”

ඉඩම තවමත් තිබෙන්නේ ආච්චම්මා ගේ නමින් වන නිසාවෙන් අපි තවමත් මෙතැන මෙහෙම ම වැටී සිටිමු. නො එසේ විණි නම් මාරු කරන ලද කුළී ගෙවල් වල ගණන කියන්නට පවා අප අපොහොසත් වනු ඇත.

නංගිගේ මල්වර මංගල්ලයට පැමිණීමෙන් පසු මා හා තට්ටු ගෙදර කාන්තාව අතර විශේෂ හිතවත් කමක් ඇති වූවා කියා සිතමි. ඉන් පසු ව මා ව දුටු මතින් කතා කරන්නට ඇය පුරුදු වූවා ය.

“ගුඩ් මෝනිං පූජා”

“කොහොමද පූජා”

“අද ඉස්කෝලෙ ගියෙ නැද්ද පූජා”

වැනි ඇරඹුමකින් ඇය කතාවට පිවිසෙයි. ඒ වෙලාවට ඇගේ මුහුණේ වන්නේ ප්‍රීති සිනහවකි. කිසිදු උඩඟු කමක් හෝ මා කෙරේ වෙනසක් ඒ සිනහවේ හෝ කතාවේ නො වන්නේ ය. ඉනිතින් මම කෙසේ මගහැර යම්ද? එතකොට ඔවුන් ගේ තාප්පය ළඟ හිඳ උඩ බලා ගෙන, මතු මහලේ සිටින ඈ සමගින් මම වචන කිහිපයක් හෝ කතා කරමි.

ඇගේ නම නෙරංජලා ගුරුගේ කියා මා දැන ගත්තේ අම්මා ගෙනි.

“පූජා…පූජා…”

දිනක් මා පන්ති ගොස් ආ ගමන් නෙරංජලා ගුරුගේ මතු මහලේ සඳැල්ලෙහි සිට මා අමතන හඬ ඇසිණි. මම වහා ම මිදුලට බැස ඉහළ බැලීමි.

“එන්නකො අපේ ගේට් එක ළඟට”

මා එහි ගියේ දෙගිඩියාවෙනි. සාමාන්‍යයෙන් මා අසල්වැසි නිවසකට ගොඩ වන්නේ මරණයක් වැනි අත්‍යවශ්‍ය දේකදී පමණකි. ටික කලක සිට මගුල් ගෙවල් වල යන එක ද ප්‍රතික්ෂේප කරමින් මම ගෙදර රැඳෙමි. 

“එන්නකො”

කුඩා පිවිසුම් දොරටුව හැරි නෙරංජලා, මගේ අතින් අල්ලා ගෙන ඇතුළට ඇරයුම් කළා ය. හිතේ වූයේ අදි මදියකි. නමුත් ඒ වගේ කරුණාවන්ත ගැහැනියක ප්‍රතික්ෂේප කරන්නට තරම් ශක්තියක් මට තිබුණේ නැත.

ඇය මගේ අතින් අල්ලා ගෙන ම ගියේ දෙවන මහලේ වූ ආලින්දය වෙත ය. මේ නම් ගෙයක් ද නැති නම් විමානයක් දැයි ගෙට ඇතුළු වෙත්දී මසිත් හි ඇති වූ සිතිවිල්ල තව දුරටත් ඔඩු දුවමින් තිබිණ.

“මේ අපේ ලයිබ්‍රරි එක”

ඒ ආලින්දයෙහි බිත්ති පුරා වූ පොත් රාක්ක ළඟ දී නෙරංජලා ගුරුගේ මගේ අත අත් හැරියා ය. 

“ඔයාට ඕන වෙලාවක මේ ඕන පොතක් පාවිච්චි කරන්න පුළුවන් කියල කියන්නයි මං ඔයාව මෙතනට එක්කගෙන ආවෙ”

මා ඇදෙස බලන්නට ඇත්තේ කෘතඥතා පූර්වක දෑසකිනි. සැබවින් ඒ පොත් සාගරය දුටු විට මගේ සිත් හි කියා ගන්නට නො තේරෙන හැඟුම් කෝටි ගණනක් පිනුම් ගසන්නට පටන් ගෙන තිබුණේ ය.

“අපේ පුතත් ඒ ලෙවල්ස් වලට කළේ සයන්ස්”

මම ඇගේ ඇස් මගහැර පොත් රාක්ක දිගේ නෙතු දුවවන්නට වීමි.

“එයාගෙ පොත් පත් ඔක්කොම මේ රැක් එකේ තමයි තියෙන්නෙ. ඉස්කෝලෙ නෝට්ස් ලියපු පොත් පවා විසි කළේ නෑ…මේ…”

මේ විදිහේ පොත් එකතුවක් යනු මගේ සිහිනයකි. නමුත් එක පන්තියක සිට ඊළඟ පන්තියට යත්දී වුව පරණ පොත් ටික තබා ගත හැකි ඉඩක් අපේ ගෙදර වූයේ නැත. ඒ හින්දා අම්මා කළේ අලුත් පන්තිය පටන් ගන්නටත් කලින් පොත් ටික බෝතල් පත්තර කාරයෙකුට දී සොච්චම් මුදලක් ගැනීම ය. ඒ වෙලාවට මගේ උදර පෙදෙස දැවිල්ලක් ඇති වෙනු මට දැනී තිබේ. 

“අනේ අම්මෙ පොත් ටික දෙන්න එපා. මට ඕනෙ අම්මෙ”

කියමින් ඉස්සර ම මම ඇගේ ඇඟේ එල්ලී තිබේ.

“අනේ අහකට වෙනව. ඕව ගොඩ ගහගෙන බඩු හදවන්නද…දෑවැද්දට ගෙනියන්නද පරණ පොත් එකතු කර ගන්න හදන්නෙ…”

අම්මා මගේ ඉල්ලීම විහිළුවකට ගත්තා ය. ඉන් පසු ඈ එසේ කරත්දී මා විරුද්ධ වෙන්නට ගියේ නැත. 

“මං පුතාට කිව්ව එයාගෙ ඒ ලෙවල්ස් කරපු පොත් ඔයාට දෙමු කියල. එයා කිව්ව සිලබස් වෙනස් වෙලා නිසා වැඩක් නෑ කියල. ඒත් පූජා බලන්න. ඔයාට ඕන දෙයක් තියනවනං අරගන්න. ඉගෙන ගන්න ළමයෙක්ට කරන්න පුළුවන් ඕන උදව්වක් කරන්න මං ලෑස්තියි පූජා. ඔයාට මොකක්ම හරි අඩුපාඩුවක් තිබුණොත් මට කියන්න”

මනුස්සකමට ඈ එසේ කීවාට මා කිසි දා කිසිදු අඩුවක් ඇය ට නො කියන බව මම දැන සිටියෙමි. ඒ ආඩම්බර කමක් හින්දා නොවේ. කවදටත් මා හැකි ලෙස පිරිමසා ගත්තා මිසක කිසිවෙකු ට කරදර කර නැති බැවිනි.

“අයියත් කිව්ව ඔයාට බලල ඕන දෙයක් තියනවනං ගන්න කියල”

මම ඒ පොතක් ගෙන පෙරළා බැලුවෙමි. ආකාශ් සඳයුරු ගුරුගේ  ලෙස දිගටි ඇල අත් අකුරින් ලියැවුණු ඔහු ගේ නම මට හමු වූයේ ඒ පොතක කවරයේ තිබී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles