ඉඳුදුන්න -17

“එහෙ ඉන්නව මෙහෙ පුතාගෙ කලින් ගෑනු ළමයා..”

ගැහැනිය වඩා සමීප වන්නේ විස බඳුන දෝතින්ම රැගෙන ය.අමන්දී බලා හුන්නේ අකම්පිත සිනාවකිනි.

“ඒ සම්බන්දෙ කඩන්න මෙහෙ මහාමණ්ඩි නොකරපු දෙයක් නෑ..දුවට කියන්න මාත් එක්කම ගලේ දේවාලෙට කී ගමනක් ගියාද? ටැට්ටරයක් ගන්න තරමේ සල්ලියක් නාස්ති කොර ගත්තා..”

අමන්දීට දැන් දැනෙන්නේ විනෝදයකි.ඊයේ තමන්ගේ උකුල මත හරිබරි ගැසී නින්දට වැටුණු කුඩා කොලුවා ඇයට සිහි විණි.ඒ මැලවුණු මුහුණේ අවිශ්කගේ සේයාවක්වත් තිබුණේ නැත.අමන්දීට අද උදෑසන සඳුනි පෙන්වූ දෙයක් සිහිව සිනා ඉපදිණ.

“අක්කා..එන්නකො බඩ්ඩක් පෙන්නන්න..”

තාප්ප නැති වැට මායිමට වී සඳුනි හඬ ගැසුවා ය.ඈ එසේ හඬ ගසා කොරහක් තරමේ පෙණ ගොබ සහිත නාගයන් ද රියනකටත් වඩා දිගැති ගැරඬින් ද පෙන්වන නිසා අමන්දී ඈ වෙත ගියේ සැකෙනි.තමාට තදබල සර්ප භීතිකාවක් ඇතැයි පැවසුව ද සඳුනිට එහි වගක් නැත.

“අර ටැක්ටරේ ඉන්න මනුස්සයා ඉන්නේ..අර බලන්නකො..” අව්වට පිළිස්සුණු සිරුරක් සහිත කෙසඟ පිරිමියෙකු පෙන්වා සඳුනි පවසයි.අමන්දී ඈ වෙත විමසුම් බැල්මක් හෙළුවා ය.

“සුරේකා අක්කගෙ මනුස්සයා ඒ..”

ඉතා සුන්දර රුවක් හිමි සුරේකා මේ මිනිසා හා විවාහ වූයේ ඇයිදැයි ඒ මොහොතේ ද අමන්දී සිතුවා ය.

“අපි සුරංග මහන්සි කරේ අපරාදෙ..මේ මනුස්සය අතේම බඩුටික යවන්න තිබ්බා..” ඈ එවගක් පවසා නිවසට ආවා ය.

ඕපාදූපකාරියගේ නලියන මුහුණ දෙස බලමින් අමන්දී ඒ සිදුවීම සිහි කළා ය. අව් කාෂ්‍ටයට පිච්චී ගිය මිනිසාගේ මුහුණුවර ඒ අයුරින් ම අර කුඩා දරුවා සතු බව ඈට මතක ය.ඉතින් ඇය මේ ඕපාදූපයට නොපිළිස්සෙන බව අමන්දීට සහතික ය.

“කොහොමහරි දැන් ඒ සම්බන්දෙ කැඩිලා සුරේකා බැඳලා දරුවෙකුත් ඉන්නෙ නැන්දෙ.ඔයා ඔය කියන්නෙ ඒ දරුවා අපේ අවිශ්කගෙ කියලද?”

කිකිණි සිනා නඟන තරුණ ගැහැනිය තමා විහිලුවකට ගත් බව ඕපාදූපකාරිය සිතුවා ය.ඇය කොළඹ එකියකි.ඉතා තරුණ කෙල්ලන් නාකි මිනිසුන් බැඳ ගන්නා කතා ද වයසක ගැහැනුන් තිරිහන් වෙන්නට සිතා කොලු ගැටයන් බැඳ ගන්නා ආකාරය ද තමන් පත්තරවල ඕපාදූප තීරුවෙන් කියවන අන්දම ඕපාදූපකාරිය සිහි කළා ය.මේ කොළඹ සන්නිය එවැනි කතාවකින් විස්සෝප නොවනු ඇත. කොළඹ උන්ගේ සෑම්පලය අමුතු ය.ඇය දරුවාව ඉල්ලා සුරේකා හමුවන්නට යන පන්නයේ එකියක් බව ඕපාදූපකාරිය සිතුවා ය.සුරේකා මන්නයක් උරුක් කරගෙන තමා සොයා එන මට්ටමේ ගිනි ගෙඩි දිය යුතු නොවේ.

“පිස්සුද ළමයො..එහෙම එකක් උනානං සුරේකලයේ තාත්තා මෙව්වා ගිනි තියල..”

අමන්දී මඳක් සිතුවා ය.එසේනම් කුමක් වන්නට ඇත්ද?මේ ගැහැනිය පැවසූයේ දරුණු රැවටීමක කතාවකි.

“ගලේ දේවාලෙ හාස්කං තමා.හාමුදුරුවෝ සීනි මැතුරුවා..සුරේකට තේ එකකට දීලා පොවාගත්තෙ මංමයි..ඒකි උමතු උනා..”

අමන්දී සසැලිණ.සරසවි මිතුරියක් වියළි කලාපීය හදි හූනියම් ගැන ලොමු ඩැහැගැන්වූ කතා කියූ අන්දම ඇය සිහි කළා ය.

“අර වගේ දෙලොවටම නැති කාලකන්නියෙක් බැඳල දෙපෝයෙන් ළමයෙකුත් බඩට ගත්තේ ඊට පස්සෙ ළමෙයො…”

ගැහැනිය සාංකා මුහුණක් මවා ගත්තා ය.

“මාව ඒකට රැවටෙනවයැ..” අමන්දී තවම මේවා ගණනකට ගෙන නොමැත. කටේ දිවේ නොගෑවි බොරු හලන ගැහැනිය කතාවේ හොඳම හරියට ආවා ය.

“ඔය ළමය බලන්න යනකොට කද බැඳන් කැවිලි හදන් ගියා නේද?”

බරටම කැවිලි මලු තිබූ බවක් අමන්දීට මතක ය.ඇය හිස සැලුවේ ද එනිසා ය.

“ඒ සීනි ටිකත් මතුරා ගත්තේ මං එක්ක ගොහිං..ඔය ළමය අවිස්කට වසී කොරවන්න තමා හාමුදුරුවෝ ඒ සීනි මැතිරුවෙ..”

අමන්දීට මෙතැනින් එහා මේ ගැහැනිය සමඟ කියවන්නට අප්‍රිය සිතිණ.ඇය ගණන හෙළි කළේ එනිසා ය.කඩ එළිපත්තේ සිටගන්නා නැන්දම්මාටත් වඩා අභිමානවත් හඬකින් ගැහැනිය අමන්දීට නියෝගයක් දුන්නා ය.

“දෙකේ ඇලේ සුමනා කියලා පොතේ ඇති.පොතට දාගන්ඩ.සාන්ති අක්කනං කවදාවත් මගෙං සල්ලි අහන් නෑ..”

ගැහැනිය පිටව ගියා ය.අමන්දීගේ හිස තෝන්තුවා විණි.ඇය සුරේකා ගැන සිතුවා ය.සුරේකා සැබෑවටම නිළියකට ඔබින රුවක් ඇති ගැහැනියකි.උසස් පෙළ දක්වා උගෙන ගත් ඇය සරසවිය මඟ හැරගත්තේ නූලෙන් බව අමන්දීට කීවේ ද අවිශ්ක ය.එහෙව් ඇය කිසිදු අධ්‍යාපනයක් නැති කුලී කම්කරුවෙකු වූ අසේල හා විවාහ වූයේ අර ගැහැනිය කී පරිදි හූනියමක් නිසාදැයි අමන්දී ගැහෙන හදින් සිතුවා ය.ආදරය බොහෝ පරතර බිඳ දමන බව ඇත්තකි.නමුත් බේබද්දෙක් සහ නිකමෙකු බව බැලූ බැල්මට පෙනෙන අසේලට ආදරය කරන්නට සුරේකාට හේතු තිබූ බව සිතන්නට ද අසීරු ය.

“ඔයා ගිහිං ගෙට වෙලා ඉන්න..මගෙ වැඩ ඉවරයි..අනික කඩේ අස්සෙම ඉන්න ඕන නෑ නංගි.තිස්සෙම මිනිස්සු එන්නෙ නෑනෙ..”

අවිශ්ක අමන්දී වෙත ආවේ එසේ කියාගෙන ය.ඇය හුන්නේ මේ කතාව සනුරිට වට්ස් ඇප් පණිවිඩයක් ලෙස ලියමිනි;නැවත මකමිනි.

“මිනිස්සු ආවෙත් නෑ නේද?”

අවිශ්ක ඇසුවේ හාත්පස නෙත් යොමන අතර ය.

“ඉස්කෝලෙ ඇරුණු පොඩි උං ටිකක් ආවා..අයිස් පැකට් ටිකක් ගත්තා..දෙකේ ඇලේ සුමනා කියල මනුස්සයෙක් පොතට බඩු ගත්තා..”

අමන්දී අයවැය වාර්තාව ඉදිරිපත් කළා ය.අවිශ්ක සිනාවකින් ඈ දෙස බලා හුන්නේ ය.

“අවිශ්ක, ගලේ පන්සල තියෙන්නෙ කොහෙද?”

අමන්දී ඇසුවේ මේසය උඩ තිබූ කොපි පොතක නොසන්සුන් කුරුටු බලි අඳින අතර ය.

“අපි යං වෙලාවක..මේ කිට්ටුව..”

අවිශ්ක සැහැල්ලුවෙන් පැවසී ය.ඉන් අනතුරුව ඔහු අමන්දීට වඩා සමීප විය.

“බාර වෙන්නනං හදිසි වෙන්න ඕන නෑ නංගි.අපි බැන්දා විතරනෙ.බබෙක් හම්බෙයි අපට..”

නමුත් අමන්දීගේ දෑස් අමුතු බැල්මකින් හැඩ ව ඇතැයි ඔහු සිතී ය.ඔහු කුහුලකින් වෙළී ගියේ ය.

“නෑ..මට සීනි ටිකක් මතුරන්න හිතුණා..”

ප්‍රදේශයේ කවුරුත් දන්නා කුප්‍රකට කතාව ඇය දැනගත් ආකාරය ණය පොත හන්දා අවිශ්කට පැහැදිලි ය.නමුත් බෝම්බය එල්ල වූ ආකාරය නොදන්නාකමින් ඔහු කලබලයට පත් විණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles