සඳක් කළ සක්මන් -09

සමහරක් වෙලාවට හඬන්නට උරහිසක් ඕන වෙන අවස්ථා අපේ ජීවිත වලට උදා වන්නේ ය. ආකාශ් ළඟ හැඬීම මටත් මහත් සැනසිල්ලක් සේ විය. ඔහු හෙමිහිට රිය පැදවූයේ ය. මම ඇති තරම් හැඬුවෙමි. ආකාශ් හඬන්නට එපා කීවේ නැත. මට එසේ කොට හිත නිදහස් කර ගන්නට හැර, මා පසෙකින් ඔහු හිඳිනා බව පමණක් ඔහු මට දැනෙන්නට හැරියේ ය.

“මං මේ වෙලාවට ආවෙ ඔයාට කතා කරන්න ඕන නිසාමයි. මං අහං හිටියෙ ඊයෙ රෑ එහෙ සද්දෙ”

ඒ කට හඬෙහි වූයේ මුණිවර නිවීමකි. අතින් නැතත් ඒ හඬින් ඔහු මගේ හිස පිරිමැද්දේ ය. මගේ සිත පිරිමැද්දේ ය.

“මට ඔයාට කියන්න බෑ දුක් වෙන්න එපා කියල. මං ඔයාට කියන්නෙ ප්‍රශ්න පත්තරේ අතට ගත්තහම ඔය ඔක්කෝම අමතක කරල ලියන්න කියල විතරයි”

“ඒත් එහෙම කරන්නෙ කොහොමද අයියෙ….මගෙ ඔළුව හිර වෙලා වගේ. නිකං…වැඩ කරන්නෙ නැතුව ගිහිං වගේ…”

“මට තේරෙනව”

“මට අම්ම ගැන කේන්තියි. ඒ වගේම දුකයි. එයා දුක්ම විඳපු ගෑනියෙක්. තාත්තා කවදාවත් අම්මගෙ සතුට ගැන හිතුවද කියල මං දන්නෑ. අම්මා කෙනෙක් විදිහට එයා මෙහෙම දෙයක් කරපු එක අන්තිම වැරදියි. එයා අපි ගැන හිතුවද…අපි ලෝකෙට මූණ දෙන්නෙ කොහොමද කියල හිතුවද…ඒ වුණත් අයියෙ…එයත් ගෑනියෙක්නෙ…එයාටයි කියලත් ජීවිතයක් තිබුණෙ නෑනෙ කවදාවත්…අනිත් එක වරදෙ බැඳෙන ඕන ගෑනියෙක්ට ඒකට හොඳ පරිසරයක්නෙ අපේ තාත්තා හදලදීල තිබුණෙ. එතනදි අමමට විතරක් වැරදි කියන්නෙ කොහොම ද..”

 ඊයේ සිට මගේ හිතේ තෙරපෙමින් තිබූ, නමුත් කාටවත් නො කියා හිතේ ම හිර කර ගෙන සිටි සිතිවිලි සමුදාය මම ආකාශ් ඉදිරියේ කියා හිත නිදහස් කර ගත්තෙමි. ඔහු කිසිදු අදහසක් ප්‍රකාශ කරන්නට ගියේ නැත. මා කියන දෙයක් අසමින් ද හිස සලමින් ද සිටියා පමණකි. නමුත් එසේ හෝ මා වෙනුවෙන් කෙනෙක් සිටීම මට මහත් සැනසීමක් දැනවූයේ ය. මේවා පාසලේ යෙහෙළියක සමග හෝ පැවසිය හැකි ඒවා නොවේ. කොහොමටත් මම මගේ පුද්ගලික ජීවිතය පිළිබඳව කිසිදු තොරතුරක් යෙහෙළියන් සමග බෙදා හසා ගෙන නැත. එහෙව් එකේ අප ගැන අකුරකුදු සැඟවිය යුතු නැති කෙනෙක් ට දුක කියමින් හඬන්නට ලැබීම ම ලොකු දෙයකි.

“අම්ම නෙවෙයි දුර දිග නොහිතන ඕන ගෑනු කෙනෙක් අතින් වෙන්න පුළුවන් දෙයක් අයියෙ ඔය. ඒක නිසා ඔය සිද්ද වෙච්ච දේ ගැන අම්මට දොස් කියන්න මට බෑ. ඒත් මට මේක දරා ගන්නත් බෑ දෙයියනේ”

“කාල නෑ නේද…”

ඊයේ විවේකයේ දී කෑ බනිස් ගෙඩියෙන් පසු, අඩු තරමින් පාසල් ගොස් ඇවිත් දවල්ටවත් මට බත් කටක් කන්න ලැබුණේ නැත. රාත්‍රියේ තාත්තා ඇල්ලූ කස්තිරම් නිසාවෙන් අපට කෑමක් ගැන සිතිය හැකි තත්වයකුදු නො විණි. කෑමක් ගැන මට මතක් වූයේ ත් ආකාශ් ඒ ගැන විමසූ පසු ය.

“බහින්නකො”

ඔහු රිය නවතා තිබුණේ අවන්හලක් ඉදිරියේ ය. නමුත් කෑමක පිරියක් මට දැනුණා නොවේ.

“මට…මුකුත් කන්න බෑ”

මම කොඳුරා ගතිමි.

“නංගි. කන්නෙ නැතුව බඩගින්නෙ ඉඳගෙන කොහොමද විභාගෙකට ලියන්නෙ…ඔයා ඊයෙ රෑටත් කාල ඇති කියල මං හිතන්නෑ”

ඔහු මේ විදිහට මා තේරුම් ගනිමින් හිඳින්නේ ඇයි? මට ඔහු වෙනුවෙන් මේ කිසිවකට ප්‍රත්‍යුපකාර කළ නො හැකි බව ඔහු දනී. 

“එන්න එන්න. කාල යමු”

නෙරංජලා ගුරුගේ කී කතාව ඇත්ත යයි මට ඒ මොහොතේ සිහිනයකින් සේ සිහි විය. ඇය ඔහු ව හදා ඇත්තේ ඇය වාගේ ම ය. අනුන් ගේ දුකට සංවේදී වක සිතක් ඇත්තෙකු සේ ය.

“ජීවිතේ කියන්නෙ හැම වෙලාවෙම අපිට ඕන දේම ලබල දෙන දෙයක් නෙවෙයි. හැබැයි අපිට උවමනාව තියෙනවනං අපිට ඕන දේවල් ලබා ගන්න පුළුවන්. ඒකට ටිකක් මහන්සි වෙන්න වෙනව නංගි. කැප වෙන්න වෙනව. සමහර සමහර දේවල් පරිත්‍යාග කරන්නත් වෙන්න පුළුවන්. ඒ අතරෙ වුණත් ඉරණම එයා ප්ලෑන් කරල තිබුණ දේවල් කරනව. එතකොට අපිට ඒව එපා කියන්න පුළුවන් කමක් නෑ. අපි ඒව බාර ගන්නම ඕනෙ. ඔයාට තේරුණා නේද නංගි…ඒ අමාරු වෙලාවල් වලත් අපි සිහි කල්පනාවෙං ඉන්න ඕනෙ”

ඔහු තේ කෝප්පය මවෙත ලං කළේ ය. මා අද පාරට බැස්සේ තේ එකක් හෝ නොබී බව මට සිහි වූයේ එවෙලේ ය.

“මන්දා…මේ එග්සෑම් එකත් මේ වෙලාවෙම නොතිබුණානං…මට ඕනෙ ඇඳට වැටිල දවස් ගාණක් එක දිගට හරි නිදා ගන්න අයියෙ…ඒක මේ හැම දේම අමතක වෙලා යන දිග නින්දක් වෙනවනං…”

“පූජා…හිත හයිය කර ගන්න නංගි. මේ වෙනකල් ඔයා එහෙම ජීවිතේට මූණ දීපු කෙල්ලෙක්නෙ”

ඒ වුණත් තව දුරටත් එසේ කළ නො හැකි සෙයක් මට දැනෙමින් තිබිණ.

“එග්සෑම් ඉවර වෙන වෙලාවට මං එන්නං ඔයාව පික් කරන්න”

වෙන දවසක නම් මා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න ට තිබිණි. නමුත් මේ වෙලාවේ මට එහෙව් දේකට ශක්තියක් හෝ තිබුණේ නැත. අනිත් අතට මේ නිවාඩු මාසය නිසාවෙන් පාසල් බස් රථය නැත. පුද්ගලික බසයක නැගෙන්නට මගේ අතේ සතයක් හෝ නොමැත්තෙන් උදේට සේම දවල්ට ද ලංගම බසයක් අල්ලා ගන්නට පාරේ කල් මරන්නට සිදු වන්නේ ය. එහෙම දේකට තරම් හෝ පණ කෙන්දක් මවෙත ඉතිරි ව ඇති බවක් මට නො දැනේ. ඒ හින්දා ආකාශ් ගේ මේ උදව්ව මට මහ මෙරක් සේ දැනිණි.

වෙනදා සේ ප්‍රශ්න පත්තරය තුළ දැහැන් ගත වන්නට මා සමත් වූයේ නැත. හිත මට නවතා ගත නොහැකි තැන් වල රස්තියාදු ගසන්නට වූයේ ය. ප්‍රශ්නයක් තරමක් දුරට කියවා ගෙන යත්දී හිත අයාලේ දුවයි. සිතිවිලි එක් තැන් කර ගෙන පිළිතුරක් ගලපා ගැනීම ද පහසු නො විණි. අන්තිමට වෙලාව ඉතිරි වී තිබියදී ත් මම හිස මේසය මත හොවා ගතිමි. ඇසින් කඳුළක් ගිලිහී ගියේ ය. අවුරුද දහ තුනක් තිස්සේ පොත පතත් එක්ක ඔට්ටු වෙමින් මා විඳි සියල් දුක් ගඟට කැපු ඉණි සේ අපතේ යනු ඇත්ද?

“සනීප නැද්ද…”

මා සමීපයෙන් ම කරුණාවන්ත හඬක් නැගිණි. මම හිස ඔසවා බැලුවෙමි. තරුණ විභාග ශාලා පරීක්ෂක වරියක මා සමීපයේ වූවා ය. මම නැතැයි හඟවන්නට මඳහසකින් හිස සැළුවෙමි.

“නිදි මැරුවද පාඩං කරන්න…මේ දවස් වල ඉතිං නිදි මරන්න එපා. කලිං පාඩං කරලනෙ ඇත්තෙ”

මා මෝඩ සිනහවක් පෑවා විතර ය. 

“ලියල ඉවරනං ඩබල් චෙක් කරන්න”

කියා ගෙන ඇය නික්ම ගියා ය. මගේ සන්තාප සංවේදනාවන් ගැන කෙසේ නම්  මම ඇය ට පවසම් ද?

ප්‍රශ්න පත්තරයට වෙන් වූ කාලය අවසන් වීමෙන් පසු මා පිටතට ආවේ යුවතියන් රංචුව සමගින් ම ය. ගේට්ටුව ආසන්නයේ ම රිය නවතා ගෙන, මට ඔහු මග හැරේවියි බියෙන් මෙන් බිමට බැස ආකාශ් සඳයුරු ගුරුගේ බලා ගෙන සිටියේ ය. ඔහු ව දුටු කෙල්ලන් ගේ කිචි බිචිය වැඩි විය. මා ඔහු සමීපයේ නතර වන තුරුත් ඒ මා කැටිව යන්නට ආ තරුණයෙකැයි කිසිවෙකු සිතුවා නොවේ.

“ඒ…යි…පූජා….කවුද එතකොට මේ…”

“ඕහෝ…එහෙනං මෙයයි අර ලේන් එකේ අයිය නේ…කලින් දවසක උදෙත් පූජා මෙයත් එක්ක ඇවිත් කා එකෙං බහිනව මං දැක්ක. එදා මට කිව්වෙ ලේන් එකේ අයිය කෙනෙක් ලිෆ්ට් එකක් දුන්න කියල”

“ඒ අයිය ඔක්කොම වැඩ දාල මේ නංගිව පික් කරන්නත් ඇවිත් නේ…”

“හරි හරි ජූජාටත් එහෙනං හරි ගියා නේ….”

“හිතට දුක නිකං හරි මේ අපිට නොකියපු එකයි. එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඕකනෙ”

කෙල්ලෝ එක එක්කෙනා එක එක කතා කීහ. ආකාශ් ගේ දෙතොල් පෙති මත වූයේ මන බඳනා සිනහවකි. මට කියන්නට දෙයක් වූයේ නැත. කුමක් නිසා ඔහු මා කැටිව යන්නට පැමිණි බව කියන්න ද? ඒ නිසා ඔවුන් ගේ අනුමානය නිවැරදි යි කියන්නා සේ නිහඬ වන්නට මට සිදු විය.

“සොරි අයියෙ…පිස්සු ළමයි…ඔහේ කටට එනවට කියවනව”

ඔහු ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

“හොඳට ලිව්වද…”

රිය පෙරට ගනිමින් ආකාශ් විමසී ය. මම ඇස් දෙක පියා ගෙන රිය අසුනෙහි පිටුපසට හිස බර කොට ගතිමි. ඉන් පසු ඔහු විභාගය ගැන කිසිත් කතා කළේ නැත.

“දැං ඉතිං…නංගි ගැනවත් බලා ගන්න පූජා”

ටික දුරක් නිහඬ ව රිය පැදවූ හෙතෙම අලුත් මාතෘකාවකට පිවිසියේ ය. මා ආකාශ් දෙස බැලූයේ තරමක පුදුමයකිනි.

“නරක වයසෙනෙ ඉන්නෙ…දැං අම්ම වුණත් ඉන්නෙ එයාට අවවාදයක් දෙන්න බැරි තත්වෙක නිසා නංගි ඒ නිදහසෙං අයුතු ප්‍රයෝජන ගන්න බලයි”

මට ඉසිහින් ලැජ්ජාවක් දැනෙමින් තිබිණ. නංගී ඔහු ගැන විශේෂයක් දක්වන්නට පටන් ගෙන ඇති බවක් ඇගේ කතාවෙන් මට දැනී තිබේ. ආකාශ් ටත් හැඟෙන සේ ඇය එසේ හැසිරී ඇතිවා වන්නට බැරි ද?

“ඒක නිසා ඔයා එයාට ටිකක් තදිං ඉන්න”

මම ඔහු දෙස නො බලා ම හිස සැළුවෙමි. 

ජීවිතය අභිරහසක් යයි කතාවක් තිබේ. ඒ ජීවිතය මත සිදු වන කිසිත් අප කලින් නො දන්නා නිසා ය. ඒ වුණත් ඒ සියල්ල කලින් පිළියෙල කළ සැලසුමකට අනුව සිදු වන නිසා ය. ඒ අභිරහස හෙළි වන්නට නියමිත එය සිදු වෙත්දී නිසා ය.

ගුරුගේ පවුල කියන්නේත් මට එහෙව් අභිරහසකි. ඔවුන් මගේ ජීවිතය ඉදිරියට පැමිණෙන්නට නියමිතයි කියා මා කලින් දැන සිටියේ නැත. වසරක පමණ කාලයක් තිස්සේ ඔවුහු එම නිවස ඉදි කළහ. ඒ අතර තුර කාලයේ නිතර දෙවේලේ ඔවුන් එහි පැමිණ සිටිනවා මම දැක ඇත්තෙමි. නමුත් මා කිසිදු උනන්දුවකින් එදෙස බලන්නට හෝ ගොස් නැත. ස්වභාවයෙන් ම පිටස්තරයන් සමග කුළුපග වන්නට මා තුළ වන සබකෝලය සේ ම, අප වගේ දිළිඳු පවුලක් දෙස ඔවුන් බලන්නේ හෝ නැතැයි වූ හීනමානය ද ඒ කෙරේ බලපාන්නට ඇත. ඔවුන් සිය සුවිසල් මැදුරේ පදිංචි වූ පසු වුව මම ඒ මැදුර දෙස බලන්නට නො ගියෙමි. මගේ යටි හිත පෑහුණේ ඒ වාගේ අය සමගින් වී ද, අපට සැබවින් ම ඔවුන් හා පැහෙන්නට වූ නො හැකියාව මත, අසරණියක ලෙස මදෙස බැලෙනවා ට නො කැමැත්තෙන් මම ඉවත බලා ගෙන සිටියෙමි. නමුත් ඉතා මත් අහඹු ලෙස අපේ ගෙදරට ගොඩ වූ නෙරංජලා ගුරුගේ මගේ අතකින් අල්ලා ගත්තා ය.

ඔවුන් හා මා අතර වන මේ ඇසුර තවමත් මට නො විසඳුණ අභිරහසක් ම ය.

ගෙදර තත්වය තව දුරටත් යථා තත්වයට පත් වී තිබුණේ නැත. අම්මා ඇඳ බදා ගෙන සිටියා ය. තාත්තා දවාලේත් වචන හරඹයක් කොට ගෙයින් පිට ව ගිය බව ආච්චම්මා කීවා ය. කෑමට යමක් රත් කොට තිබුණේ ඇයයි. නමුත් නංගී හැරෙන්නට කිසිවෙකු කෑම කා තිබුණේ නැත.

“බල්ලොත් එක්ක බුදිය ගත්තහම නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක කියල කතාවක් කියල තියෙන්නෙ කට කහනවට නෙවෙයිනෙ. රංජිය ඉන්න වෙලාවෙ මං ඌටම වැරදි කිව්වට උඹ මෙතන පත්තිනි අම්ම වෙන්නනං එන්නෙපා සුමියෝ…”

කිහිප වරක් ම අම්මා ට කන්නට කියා ඇය නිහඬ ව සිටියදී ආච්චම්මා උදහස් වූවා ය.

“ඌ මොනා කළත් උඹ දැන ගන්න ඕනෙ උඹ ලමිස්සියො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්ය කියන එක. කොහෙද ඉතිං…උඹගෙ ආරිච්චි බෝරිච්චි තිබුණෙ අම්ම කෙනෙක් වගේ නෙවෙයිනෙ. කරත්ත රෝද වගේ කරාබු එල්ලගෙන කලිසං කෑල්ලක් හිරට ඇඳ ගත්තහම උඹ තමයි ලමිස්සි. මොකටද ඉතිං මගෙ කට. කොහොමද යකෝ දැං තෝ මේ කෙල්ලො දෙන්නට අවවාදයක් උපදේසයක් දෙන්නෙ…ලොකු කෙල්ල කොහොම වුණත් හදා ගනී උඹ අර පොඩි බඩ්ඩවනං…”

 අම්මා ගලක් සේ දැඩි ව උන්නා ය. ඇය අප හැර සිය පෙම්වතා සමගින්  නික්ම යනු ඇත්ද යන බිය මා තුළ විය. ඒ සිතිවිල්ල පවා මා සසල කරවූයේ ය. 

පසු දා නිවාඩු දිනයක් වීම හිතට අස්වැසිල්ලක් විණි. මම දිය නා ගෙන ඇඳට වැටුණෙමි. ආච්චම්මා ගේ පෙරැත්තයට බත් ටිකක් බෙදා ගත්තා ට කෑම රුචියක් වූයේ ම නැත. මට නින්ද යා ගෙන වගේ එත්දී ආච්චම්මා යහන සමීපයේ හිඳ “මේ කෙල්ල ගැනයි මට ලෝබ” කියන හඬ මට ඇසුණේ ය. මම නිදි වාගේ තවත් නෙතු තද කර ගතිමි.

“පූජා…පූජා…පූජා…”

ඒ ආමන්ත්‍රණය ඇසුණේ සිහිනයකින් සේ ය. වහා ම මගේ නෙතු හැරිණි. මම යහනෙන් බැස මිදුලට දිව්වෙමි. නෙරංජලා ගුරුගේ දෙවැනි මහලේ සඳැල්ලේ වූවා ය.

“එන්නකො පූජා”

මා ගෙට පිවිසියේ සෙරෙප්පු දෙක ගැනීමට ය.

“පූජා ගෙදර දේවල් ඔය පිට මිනිස්සු එක්ක කියනව එහෙම නෙවෙයි”

අම්මා ඇඳෙන් හිස මඳක් ඔසවා කීවා ය. ආච්චම්මා සිනහ වූවා ය.

“ආ යෝදියෙ…ඒ මිනිස්සුන්ට කනේ තිබ්බ වගේ ඇති මෙතන කියන කරන එව්ව. අමුතුවෙන් මොනා කියන්නද…”

මම නෑසූ කන් ව මිදුලට බැස්සෙමි. ගුරුගේ මැදුරේ දොරටුව මා වෙනුවෙන් විවර වී තිබුණේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles