ඉස්සරහා ට ඇවිත් මගේ අතින් අල්ලා ගත් නෙරංජලා ගුරුගේ මා කැටිව ගියේ ඔවුන් ගේ නවීන පන්නයේ මුළුතැන්ගෙය වෙතට ය. බිත්ති වට කොට තැනූ තේක්ක පැන්ට්‍රි කබඩ් මැද වන විශාල තේක්ක මේසයෙහි කෙළවර පටුවක ආකාශ් සඳයුරු ගුරුගේ අසුන් ගෙන සිටියේ ය.
“තේ එකක් බොමු පූජා. ඉඳගන්න”
නෙරංජලා පුටුවක් ඇද බලයෙන් ම වාගේ මා එහි හිඳවූවා ය. ඒ ආකාශ් ට වම් පසින්, මේසයේ දිග පැත්තේ වූ පුටුව ය. මම යන්තම් අඩ බැල්මකින් ඔහු දෙස බැලුවෙමි. ආකාශ් මගේ ඇස් අල්ලා ගන්නට ම පෙර මග බලා සිටියා සේ ය.
“මං සීනි සම්බල් බන් ටිකක් හැදුව. අද අපේ ඉලන්දාරියත් වේලාසන ඇවිත් නෙ..”
“අ..මං ආවෙත් අයිය එක්ක ආන්ටි…”
“පූජා ටවුන් එකේදි බස් එකෙන් බහිනව දැකල මං දාගෙන ආව”
ආකාශ් වහා කීවේ ය. මම ඔහු දෙස බැලුවෙමි. දඟකාර ලෙස ඔහු මගේ නෙතු මගහැරියේ ය.
නෙරංජලා ගුරුගේ ගේ ට සඟවන යමක් මා හා ආකාශ් අතරේ ඉතිරි වූයේ එසේ ය!
නමුත් ඔහු උදේ මාව පාසල ළඟට කැටිව ගිය බව හා යළි එහි විත් මා ගෙදර රැගෙන ආ බව නෙරංජලා ගෙන් සඟවන්නට හේතුව කුමක් ද යන්න මා තුළ දෙගිඩියාවක් ඇති කරවන ලදී.
“මොනා කරන්නත් හොඳට කාල ඉන්න ඕන දරුවො. මේ රෝල්ස්නං මං ගෙදර හදපුව නෙවෙයි. සුපර් මාකට් එකෙං ගෙනත් බැදල ගත්ත ඒව. කන්න. මං තේ හදන්නං”
ඇය මගේ පිඟානෙන් කෑම වර්ග කිහිපයක් ම තැබුවා ය.
“ආ…ඒගොල්ලන්නටනං බෙදනවත් එක්ක”
ආකාශ් වයසට නොගැලපෙන නෝක්කාඩු කතාවක් කීවේ ය.
“ඔයා ඉතිං ගෙදර එක්කෙනානෙ. ඔය ටික ඉවර කරල මිසක් නැගිටින්නෑ කියල මං දන්නව. මෙයාට බෙදුවෙ නැත්තං එක කෑල්ලක් පැයක් විතර අත ගගා කාල නැගිටියි”
ගේ ඉදිරියේ රියක් නලා හඬවනු ඇසුණේ එතකොට ම ය.
“තාත්තත් අද ඉක්මනට ඇවිත්ද කොහෙද. කන්න පූජා”
කියමින් නෙරංජලා ගුරුගේ ඉක්මන් ගමනින් නික්ම ගියා ය. රිදී පැහැති ඉරකින් දාරය සීමා කළ සුදු පෝසිලේන් පිඟාන දෙස තත්පර කිහිපයක් මම බලා ගෙන ම සිටියෙමි.
“හැම එකම අම්මට කියන්න යන්නෙ ලකුණු දාගන්න වෙන්න ඇති”
ආකාශ් ඉතා හෙමිහිට, නමුත් නෝක්කාඩුවෙන් කීවේ ය. මම වහා හිස නගා බැලීමි.
“ඉතිං මං ටවුන් එකෙන් නෙවෙයිනෙ…”
“ඉතිං ඒ ටු ඉසෙඩ් අම්මට කියන්න ඕනෙද…”
මීට පෙර කිසිදු පිරිමියෙකු මට එහෙම සැර කොට නැත. මගේ ඇස් පවා තිගැස්සී යන්නට ඇත. නමුත් ඒ සැර කිරීම තුළ මම කිසියම් මිහිරක් ද වින්දෙමි. ඒ කුමක් දැයි කිසිවෙකුට පහදා කියන්නට තබා මට වුව හරි හැටි තේරුම් ගත නො හැකි ය.
නෙරංජලා ගුරුගේ නැවත පැමිණෙන විට ත් මා සිටියේ ආකාශ් ගේ සැර කිරීමෙන් සසල ව බිම බලා ගෙන ය.
“කෝ අනේ කාලම නෑනෙ”
කියමින් ඇය මේසයට ඉඳ ගත්තා ය
“තාත්ත කෝ…”
“තාත්ත ආයෙ ගියා. මොකද්ද මන්ද බෑන්ක් ඩොකියුමන්ට් එකක් ගෙනියන්නයි ඇවිත් තියෙන්නෙ. ඉතිං පූජා…කොහොමද එග්සෑම්…පේපර් එක ලේසිද…”
මම දෙතොල් තෙරපා සිනහවක් පෑවෙමි.
“අනේ මන්දා….”
“මට ඊයෙ රෑත් හිතුණා මේ ළමය කොහොමද හෙට ගිහිං හිත එකලාසෙං ප්‍රශ්න පත්තරේකට උත්තර ලියන්නෙ කියල. ගණං ගන්නෙපා පූජා. ජීවිතේ කියන්නෙ ඔහොම දෙයක් තමයි. ඔය වයසෙදිම ඒක තේරුං අරං ජීවිතේ ඉස්සරහට යන්න ලැබෙන එකත් එක අතකට හොඳයි. බුදු හාමුදුරුවෝ කිව්වා වගේ මේ කොයි දේත් අනිත්‍යයි පූජා. අස්තිරයි…”
මගේ උගුර රිදෙමින් තිබුණේ ය. අහම්බෙන් ජීවිතය වෙත ආ මේ අපූරු ගහැනිය සේ මගේ අම්මා ත් මාව තේරුම් ගත්තා නම්….අඩු තරමින් උසස් පෙළ විභාගය ලියා ආ දියණිය ගෙන් එය පහසු ද කිය අසන්නට හෝ ඇය ට සිහිපත් වූයේ නැත.
නියම ජයග්‍රහණය වැටෙන්නෙ නැතුව ඉන්න එක නෙවෙයි දරුවො…වැටෙන්න වැටෙන්න නැගිටින එක. ඔයාට පුළුවන් කියල හිතන්න …ම්…”
යන්තම් කටක් දෙකටක් කා පුටුවෙන් නැගිට ගත් ඕ තොමෝ තේ හදන්නට පටන් ගත්තා ය. ආකාශ් ගේ ඇස් මා වටා කැරකෙනු දැනුණත්, මම හැකි තාක් ඔහු නො දැනුණා සේ ඉන්නට උත්සාහ කළෙමි.ඉක්මනින් තේ එක බී ඔහු පුටුවෙන් නැගිට්ටේ අප දෙදෙනා කතා කරමින් සිටියදී ය.
“කියෝ කියෝ ඉන්න වෙලාව නාස්ති කරන්නෙ නැතුව පාස්ට් පේපර්ස් ටිකක් අරං එන්න…ඩිස්කස් කරන්න…”
යනුවෙන් විධානයක් ද කර ගෙන ය ඔහු නික්ම ගියේ.
“මේකාගෙ ගණං බලාපල්ලකො”
ඔහු යන දෙස බලා ගුරුගේ මැතිණිය සිනහව ගිල ගත්තා ය. ඒ ජීවිත අතරේ දැවටී තිබෙන්නේ කෙතරම් සුන්දරත්වයක් ද යන සිතිවිල්ල මා අවුරා නැගී සිටියේ ය.
“මං ඔයාට කියන්නමයි හිටියෙ…”
නෙරංජලා ගුරුගේ හඬ බාල කරමින් ද, ආකාශ් නික්ම ගිය බව සැක හැර දැන ගනිමින් ද වඩාත් මවෙත ලං වූවා ය.
“අම්මට වෛර කරන්න එපා පුතේ මොනා වුණත්. සමහර අවස්ථා තියනව ගෑනු අපි හැඟීම් වලට යට වෙන. විශේෂයෙන් ම පිරිමියෙක් ගෙං බලාපොරොත්තු වෙන ආදරේ කරුණාව රැකවරණය වගේ දේවල් නොලැබී යනව කියල දැනෙනකොට. ගෑනු අපි කවුරුත් ආදරේ ළඟදි ගහකට එතෙන වැලක් වගේ තමයි”
මම යටි තොල් පට සපා ගෙන බිම බලා ගතිමි. ඇය වූ කලී කෙතරම් මානුෂීය ලෙස මිනිස් බැඳීම් දෙස බලනා තැනැත්තියක් ද? පව් නො කළ කෙනෙකු සිටිනවා නම් එතැන වූ වැරදිකාර ස්ත්‍රියට මුල් ම ගල ගසන්නයි ජේසුස් වහන්සේ වදාළ සේක. අපි කවුරුත් අඩු වැඩි වශයෙන් හොඳ සේ ම නරක ද ක්‍රියාවේ යොදවන මනුසතුන් වෙමු.
“වැදගත් ම දේ ඒ වගේ සිදුවීමක් නිසා ඔයාගෙ අවුරුදු දහ තුනක අතීතෙයි මුළු අනාගතේමයි කියන දෙකම නාස්ති කර ගන්නෙ නැති එකයි. මේක දැං වෙලා ඉවර දෙයක්. ජූජා කොච්චර කල්පනා කළත් අවුල් වුණත් ඒ වරද හදන්න බෑනෙ. ඒක නිසා මේ වෙලාවෙ හිත හදා ගෙන විභාගෙ කර ගන්න පූජා. තේරුණා නේද….”
“ඔව් ආන්ටි”
“දැං ගිහිං අයිය කියපු පොත් ටික අරං එන්නකො”
මා ඒ ගෙදරින් පිට ව ආවේ බර වූ හදිනි. නෙරංජලා ගුරුගේ දුන් සීනි සම්බල් බනිස් කිහිපය මම නංගී වෙත පෑවෙමි.
“මට එපා”
ඇය ගස්සා ඉවත බැලුවා ය.
“එයා ගිහිං හොඳට ඒ ගෙදර අයත් එක්ක මේසෙ ඉඳං කාල අපිට අරං එනව හිඟන්නන්ට දෙන දානෙ වගේ”
“ෂි නංගි. කැත කතා කියන්නෙපා. ඒ මිනිස්සු එහෙම හැඟීමකින් දුන්නෙ නෑ”
“අනේ ඒකිගෙ තියෙන ගණකම”
ආච්චම්මා සමච්චල් ස්වරයකින් කීවා ය.
“ඔන්න ඕක මෙහෙට ගනිං ලොක්කියෙ”
මම එක බනිසක් අතට ගෙන අනිත් ඒවා ආච්චම්මා අත තැබුවෙමි. එය රැගෙන මා ගියේ අම්මා නිදා උන් ඇඳ වෙතට ය.
“අම්මෙ මේක කන්නකො”
ඇය හ්ම් කීවේවත් නැති ව බිත්තිය දෙසට හැරී ගෙන ම සිටියා ය.
“කන්නෙ නැතුව හිටිය කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑනෙ. ආ මේක කන්න. හරි…දැං අම්ම ඇයි තරහෙං ඉන්නෙ…අපි අම්මට මොකක් හරි වරදක් කළා ද…නැත්තං අම්මට ඕනෙ අපිව අත්ඇරල යන්නද…ආ අමමෙ…අපිව දාල වෙන ජීවිතයක් හොයා ගෙන යන්නද…”
මගේ හඬ බිඳී යනවා මට දැනුණි. මා යමක් සිතන්නටත් පෙර කඳුළු ඉස්සර වූයේ ය.
“අනේ නෑ ලොක්කි”
අම්මා ද හඬමින් ම යහන මත හිඳ ගත්තා ය.
“මං කොහොමද ඕගොල්ලො දාල යන්නෙ…ඔයාවත් මාව තේරුං ගන්න ලොක්කි”
“මට තේරෙනව අම්මෙ…එත් මට බයයි”
“ඇයි …”
“අම්ම යයි කියල”
අම්මා ඉකි ගැසුවා ය. ඉකි බිඳිමින් ම මා දුන් සීනි සම්බල බනිස් ගෙඩිය කන්නට වූවා ය.
මම දෑස් පිසිමින් ගොස් ප්‍රශ්න පත්තර ටික එකතු කර ගතිමි.
“ඇඬුවද ආයි…”
පොතක් දෙසට මූණ හරවා ගෙන උන් මගේ ඇස් වලට එබෙමින් ආකාශ් විමසූයේ තරවටුවක සරිනි. මම ඉක්මන් ඇස් පිය සැළුවෙමි.
“පූජා…නංගි මේ බලන්න. වෙච්ච දෙයක් දැං වෙලා ඉවරනෙ. අපි ඕක අමතක කරමුද…අමතක නෙවෙයි. එග්සෑම් ඉවර වෙනකල් ඕක නොහිතා ඉමුද…ම්…හොඳ ළමයනෙ…”
“ඔයාට තේරෙන්නෑ අයියෙ”
“මට ඔයාව හොඳටම තේරෙනව නංගි. හොඳට ම දැනෙනව”
සත්තකට ඔවුන් නො සිටියේ වී නම් විභාගය කියන්නේ මට ජීවිතයේ වසර ගණනාවක් තිස්සේ දුටු සිහිනයක් පමණක් වන්නට තිබිණි. විභාගය පැවති දින කිහිපයේ ම මා පාසල් යන වෙලාවට ආකාශ් ගෙදරින් ආවේ ය.යළි විභාගය නිම වන වෙලාවට පාසල ළඟට ආවේ ය. මගේ යෙහෙළියන් සිතුවේ ඔහු මගේ පෙම්වතා කියා ය. එසේ නො වන බව කෙතෙක් පැවසූවත් ඔවුහු නො පිළිගත්හ.
ඒ දින කිහිපය පුරා ම තාත්තා බීමත් ව හෝ නැති ව හෝ ගෙදර කෑ කෝ ගැසුවේ ය. අම්මා වචනයකුදු කතා නො කර සිටියා ය. සියතින් වූ වරද ගැන ඇය පසු තැවුණා දැයි මම නො දනිමි. කෙසේ වෙතත් ඇඳ බදා ගෙන සිටිනු වෙනුවට ඇය ටික ටික සාමාන්‍ය තත්වයට පත් වෙමින් ගෙදර වැඩ ටික කරන්නට වූවා ය. ඉන් පසු ආච්චම්මා යළිත් සිය දියණිය, මගේ නැන්දා ගේ නිවසට නික්ම ගියා ය.
තාත්තා ගේ හිතවතුන් ගෙදරට ගාල් වෙන එක අඩු වූයේ දින කිහිපයකට පමණි. අම්මා සාමාන්‍ය තත්වයට පත් වූයේ යම් සේ ද තාත්තා ගේ මිතුරු සංගමය ද එසේ ම රැස් වන්නට විය. වෙනසකට වූයේ අම්මා හාද කම් පැවැත්වූ තැනැත්තා පමණක් එහි නො වීමයි.
විභාගය අවසාන වූයේ මට මහත් සැනසීමක් ගෙන එමිනි. හිතේ වූ විසල් බරක් බිමින් තැබුවා සේ විය. ඒ අන්තිම දවසේ ගෙදර එන ගමන් ආකාශ් වෙනදා ට වඩා අමුත්තකින් වාගේ හැසිරෙන බවක් මට දැනිණ. සෑහෙන දුරක් එන තුරු ම ඔහු කතා කළේ නැත. කතාව ඇරඹුවේත් මගේ හදවත බර කරන ස්වරයකිනි.
“පූජා…”
මම නෙතු නගා ඔහු දෙස බැලුවෙමි. ඒත් ඔහු විනාඩි කිහිපයක් ගත වෙන තෙක් ම ඉදිරිය බලා ගෙන රිය ධාවනය කළේ ය.
“මට මේක කියන්න ඕන වුණේ මීට කලිං. ඒත් ඔයාගෙ එග්සෑම් ඉවර වෙනකල් ටිකක් කල් ගන්න ඕන කියල මට හිතුණා”
හදවත මහ කන්දක් සේ නාය ගියේ ය. ඔහු කියන්නට යන දේ ගැන නො දැන ම මම බිය ට පත් වූයෙමි.