ඉතාලියෙන් ඇවිත් ඉන්දියාවට අතදුන් දිරිය කත

ඉතාලියේ ඉපදුණු සෝනියා ගාන්ධි ලොව ප්‍රබලතම රටක්වන ඉන්දියානු දේශපාලන තුළ දැවැන්ත චරිතයකි.  ඇගේ නිසල දිවිය වෙනස්කරනු ලැබූයේ සරසවියේදී මුණගැසුණු තරුණයෙක් හේතුවෙනි.

ඉතාලියේ උපන් ඉතාලියේ පුරවැසි තරුණියක වූ ඇයගේ මුල් නම එඞ්විග් ඇන්ටෝනියා ඇල්බිනා මයිනෝ ය. (Edvige Antonia Albina Maino). ඉතාලියේ නිවාස ඉදිකිරීම් කටයුතුවල නිරතවී සිටි මේසන් බාස් වරයෙකු වූ ස්ටෙෆනෝ මයිනෝ (Stefano Maino) ඇයගේ පියාය. මේ ඇල්බිනා (Albina) ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම සඳහා පියා විසින් බ්‍රිතාන්‍යයේ (එංගලන්තයේ) කේම්බ්‍රිජ්හි පාසලකට ඇතුලත් කෙරුණේ 1964 වර්ෂයේදීය.

ඉන්දියානු දේශපාලනයේ ප්‍රමුඛතම පවුලක සාමාජිකයෙකුවූ රජිව් ගාන්ධි වයස අවුරුදු 20 සම්පූර්ණ වන විට බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුලත් කරනලදී. ඉංජිනේරු ශිෂ්‍යයකු වශයෙන් කේම්බ්‍රිජ් (Cambridge) සරසවියේ ඉගෙන ගත් රජිව්ගේ අනාගත අපේක්‍ෂාව වූයේ ගුවන් නියමුවකු (Pilot) බවට පත්වීමයි. රජිව්ගේ දිවියේ ප්‍රථම පෙරළිය සිදුවූයේ 1965 වසරේ එක්තරා සොඳුරු දිනයකදීය.  මේ වන විට රජිව් ඉන්දියාවේ බලවත්ම දේශපාලන පවුලේ සාමාජිකයෙකු බව සෝනියා දැන නොසිටියාය. ඔහුගේ සීයා ඉන්දියාවේ ප්‍රථම අගමැති බවද සෝනියා දැන නොසිටියාය. එම වකවානුවේ රජිව්ගේ මවවූ ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි ඉන්දියාවේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති ධූරය දරමින් සිටි බවද ඈ දැන නොසිටියාය. ඇය ඒ වනවිට අවුරුදු 19ක් වයසැති නව යෞවන යුවතියකි.

රජිව්ට ඇල්බිනා ඊළඟට හමුවූයේ කේම්බ්‍රිජ් සරසවි භූමිය තළිදීය. එයද අනපේක්‍ෂිත සිදුවීමකි. ඇල්බිනා තම අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් උපයා ගත්තේ කේම්බ්‍රිජ් සරසවි ආපනශාලාවේ වේටර්වරියක වශයෙන් සේවය කිරීමෙනි. නිතර සරසවියේ ආපන ශාලාවට රිංගා ගන්නා රජිව් ඇය සමඟ අල්ලාප සල්ලාපයෙහි නිරත වන්නට පටන් ගත්තාය. දෙදෙනාගේ ඇසුර පෙම්සබඳතාවක් බවට පත්වන්නේ මෙසේය. එක් වසරක සරසවියේ නිවාඩු සමයෙහි රජිව් ඉන්දියාවට නොගොස් කේම්බි්‍රජ්හි රැඳී සිටියේ නිවාඩු කාලයේදීද බාහිර පන්තිවලට සහභාගී වන බවට අම්මාට බොරු කියමිනි. කාලයාගේ ඇවෑමෙන් ඇය රජිව්ගේ පවුල් පසුබිම දැන ගත්තාය. තමාට කිසිදාක තම පෙම්වතාගේ අත ගැනීමට නොහැකිවන බව ඇය සිතුවාය.

ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ අගමැති තනතුරට පත්වූයේ 1966දීය. ප්‍රථම වාරයේදී 1966 සිට 1977 දක්වාත් දෙවැනි වාරයේදී 1980 සිට 1984 දක්වාත් ඇය එම තනතුරෙහි රැඳී සිටියාය. ඉන්දියාවේ කාන්තාවක් අගමැති තනතුරට පත් ප්‍රථම අවස්ථාවද මෙයයි. තම මව අගමැති තනතුරට පත්වන විටත් රජීව් කේම්බ්‍රිජ් ඉගෙන ගනිමින් සිටියේය. ඇය මෙහිදී සිතුවේ පෙම්වතාගේ මව ඉන්දියාවේ අගමැති පදවියට පත්වීම, තම ප්‍රේම සම්බන්ධයට බාධාවක් විය හැකි බවයි. 1967 වන විට මේ දෙපළගේ බැඳීම වෙන් කළ නොහැකි තත්ත්වයකට පත්වී තිබිණි.

1967දී රජිව් කේම්බ්‍රිජ් සරසවියට ආයුබෝවන් කියා ඉන්දියාව බලා පිටත්ව ගියේ හදපිරි ශෝකයෙනි. ඉන්දියාවේ ගුවන් නියමුවෙකු වශයෙන් සේවය කළ රජිව් මුලදී තම මවගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවීය. තම මව වූ අගමැතිවරියට තම ආදර කතාව ටිකෙන් ටික හෙළි කිරීමට ඔහු සමත්විය. මුලදී මව ඔහු ඉතාලි තරුණියක් සමඟ විවාහ වනවාට බලවත් අකමැත්ත පළ කළාය. මවගේ විරෝධය හමුවෙහි රජිව් අසරණ විය. එහෙත් කල්යද්දී තම අදහසට මව කැමති කරවා ගැනීමට රජිව් සමත් විය. එය ඔහු තම ජීවිතයේ ලබාගත් ලොකුම ජයග්‍රහණය බව පසු කලෙක රජිව් මාධ්‍යයන්ට හෙළි කලේය.

1968 දී ඔවුන් දෙදෙනාගේ විවාහය සිදු වූයේ හින්දු ආගමික සිරිත් විරිත්වලට අනුවය. ඇල්බිනා, සෝනියා ගාන්ධි වශයෙන් නම වෙනස් කරගත් ඈ රජිව් ගාන්ධිගේ බිරිඳ වශයෙන් තම ඇදුම වශයෙන් සාරිය තෝරා ගත්තාය. අගමැති නැන්දම්මා සෝනියාට සැලකුවේ තම දුවකට සලකන්නාක් පරිද්දෙනි. සෝනියා-රජිව් සොඳුරු කැදැල්ලට 1970දී රාහුල් පුතාත් 1972දී ප්‍රියංකා දුවත් එක්වූහ. 66 වැනි වියේ සිටි ඇයගේ නැන්දම්මාගේ (ඉන්දිරා) ඝාතනය සිදු වීමත් සමඟ රජිව් ගාන්ධි ඉන්දියාවේ අගමැති තනතුරට පත්වෙද්දී ඔහුගේ වයස අවුරුදු 40කි. මෙම තනතුරට පත්වූ ඉන්දියාවේ ලාබාලම පුද්ගලයා ඔහුය. 46 වැනි වියේ පසුවූ තම පුරුෂයා වූ රජිව් කොටි ත්‍රස්තයන් අතින් ඝාතනයවීය.

සෝනියා ගාන්ධිට ඉන්දියාවේ අගමැති පදවිය නොලැබුණේ ඇය ඉතාලියේ උපන් අයෙකු නිසාය. 1983 අප්‍රේල් 27 දා ඇය තම ඉතාලි ගමන් බලපත්‍රය නව දිල්ලියේ ඉතාලි තානාපති කාර්යාලයට බාර දුන්නත්, ඇයට ඉන්දියාවේ මුල් පුටුව හිමි නොවීය. ඉන්දියාවට අගමැතිවරුන් කීපදෙනෙකුම බිහිකළ කොන්ග්‍රස් පක්‍ෂයේ මුල් පුටුව දැරුවත් ඇය අගමැති තනතුරට මන් මෝහන් සිං පත් කළේ රට තුළින් නැඟෙමින් පැවති විරෝධයට මුහුණ දීමක් වශයෙනි. මන් මෝහන් සිං අගමැති පදවියට පත් කළත් තිරය පිටුපස සිට රට පාලනය කළේ සෝනියා ගාන්ධි බව කියනු ලැබේ.

ලෝකයේ බලවත්ම කාන්තාවන් 21 දෙනෙකුගේ ලැයිස්තුවට සෝනියා ගාන්ධිගේ නමද ඇතුළත් බව සඳහන් කරන්නේ ෆෝර්බ්ස් (Forbes) සඟරාවයි. 2014 මහ මැතිවරණයේදී ඇය තමා සතු ධනය පිළිබඳ ලේඛනයක් ඉදිරිපත් කළාය. එම ලේඛනයට අනුව ඇය සතු මුළු ධනය ඉන්දියන් රුපියල් මිලියන 92.8කි. එය ඊට පෙර ජන්දයේදී ඇය ඉදිරිපත් කළ වත්කමට වඩා හය ගුණයක වැඩිවීමකි. ඉතාලියේ ව්‍යාපාරිකයෙකු වූ ඔටාවියෝ (Ottavio) සමඟ සිදු කළ නීති වීරෝධි ව්‍යාපාරික කටයුතු පිළිබඳව සෝනියාට එරෙහිව චෝදනා එල්ලවිය. බෝෆෝර්ස් (Bofors) ගනු දෙනුවට ඇය සම්බන්ධ බව මාධ්‍ය අනාවරණ කළේය. කොන්ග්‍රස් පක්‍ෂයේ සභාපති වශයෙන් දැන් ඇයගේ මූලික පරමාර්ථය වී ඇත්තේ ඇයගේ පුත්‍රයා රාහුල් ගාන්ධි ඉන්දියාවේ මීළඟ අගමැති බවට පත් කිරීමයි.

අන්තර්ජාලය ඇසුරෙනි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles