fbpx

සඳක් කළ සක්මන් -26

වෙහෙස ගතියක් හිතට දැනෙමින් තිබිණ. මම යහනෙහි වැතිර නෙතු පියා ගතිමි. තාත්තා නැති රාත්‍රීන් ඕනෑ තරම් මේ ගෙදර ගත වන්නේ ය. ඔහු අහල ගම් හතකවත් මළ ගෙවල් අත් හරින්නෙකු නො වන බැවිනි. හත් දොහක් ගෙවෙන තෙක් තාත්තා මළ ගෙවල බූරු පොලෙන් නො නැගිටින බව ආච්චම්මා කියන්නී ය. එවිට ඔහු ගෙදර එන්නේ අළුයම ය. ඇවිත් දවල් වන තුරු ම නිදයි. 

“මුන්ට යකෝ කැඳවත් හම්බ වෙනව ඇති”

ආච්චම්මා හිටියොත් නිසැක වශයෙන් ම කෑ ගසයි. නමුත්  පවුලට හිතකර නොවන සහ මුළු පවුලේ ම අගතියට හේතු වන තාත්තා ගේ එවන් චර්යාවන් වෙනස් කර ගනු වස් අම්මා කිසි ම දවසක වදනකුදු කියනු මම අසා නැත්තෙමි. තාත්තා සූදු පිටියෙහි දිනුවොත් ඒ ගෙනෙනා මුදලකින් සිනහ වී වේල පිරිමසා ගැනීම හෝ පැරදී ආවොත් කුස ගින්නේ හිඳීම යන දෙක ම ඕ සම සිතින් කළා ය. නමුත් ඇය කළ යුතු වූයේ එය නොවේ යි මට නම් සිතේ. තාත්තා ගේ අයහපත් චර්යාවන් වෙනස් කර ගනු වස් අම්මා ට යම් මැදිහත් වීමක් කරන්නට තිබුණා නොවේ ද? අයාලේ යන පිරිමින් හදා ගනු වස් ඇතැම් පවුල් වල බිරින්දෑවරුන් සැමියා සමග රණ්ඩු අල්ලන බව මා දැක තිබේ. අපේ ගමේ ම ඒ වගේ පවුල් කිහිපයක් සිටිති. නමුත් අපේ අම්මා නම් තාත්තා සුරාව හෝ සූදුව යන කවර අන්තයක ක්‍රීඩා කළත් ඊට එරෙහි ව නැගී සිටියේ නැත. ඇය එසේ හැසිරුණේ ඇයි ද කියා ත් මට සිතා ගත නො හැකි ය. ඇතැම් විට අම්මා එබඳු මැදිහත් වීමක් කළා නම් ඇයට තාත්තා ගේ යම් වෙනසක් සිදු කර ගත හැකි වන්නට ද තිබිණි.

දැන් ඉතින් සියල්ල සිදු වී හමාර ය. කෙසේ වෙතත් මීට පෙර තාත්තා බූරු පොලක හෝ රෑ ගත කරන, ඒ නිසා ම අපේ මිදුලේ පිරිමින් පිරී නොමැති හේතුව මත මට යම් සැනසිල්ලක් වූවත්, අද දැනෙන්නේ ඊට වෙනස් වූ සංකා සිතිවිල්ලකි. තාත්තා ට පොලීසියෙන් ගහනවා ඇත් ද යන සිතිවිල්ල කිහිප විටක් මා කීරි ගැස්වී ය. 

මා ඒ කල්පනා දැහැන තුළ කිමිදී සිටින අතරේ හදිසියේ ම අජිත් කාමරයට පිවිසියේ ය. තත්පරයෙන් සියයෙන් එකකටත් අඩු කාලයක දී මම ඇඳෙන් බිමට පැන ගතිමි. ඔහු කිසිදු වෙනසක් නො හඟවා කාමරය ඇතුළට ම ගොස් නාන කාමරයට වැදිණි. මම වහා අම්මා සොයා කුස්සියට ගියෙමි. නංගී එතැන සිට කාමරය දෙසට යමින් සිටියේ එතකොට ම ය.

“මොකද අම්මෙ අර මනුස්සය කාමරේ අස්සට රිංගුවෙ…අන්න බාත් රූම් එකට ගියා”

මා කතා කළේ තරමක කලබලයකින් විය යුතු ය. අම්මා කරවල හොද්දක් හැඳි ගාමින් සිටියා ය. දොරකඩ ඇන තියාගෙන උන් ආච්චම්මා නිකටේ අතක් ගසා ගත්තා ය.

“මං කිව්වෙ ලොක්කි. නංගි අජිත් ගෙ අම්ම එක්ක රණ්ඩු වෙලානෙ ඔය ඇවිත් ඉන්නෙ. ඉතිං අජිතුත් රෑට එනව මෙහෙ නිදියන්න. මොනා වුණත් ගෑනි ඉන්න තැනනෙ ලොක්කි මිනිහ ඉන්නෙ. අලුත් ජෝඩුව නිසා ඉතිං ලොක්කිගෙ කාමරේ නිදියන්න දුන්න. ලොක්කි ගෙදර නැති නිසා…”

අම්මා නිදහසට කාරණා කියවමින් ගියා ය. කෝපය අතරින් මා තුළ ලියලමින් තිබුණේ මහත් ආත්ම අසරණ කමකි. ආත්ම වේදනාවකි.

“තාත්ත නෑනෙ. ලොක්කි අද මාත් එක්ක පරණ ඇඳේ නිදියමු”

“එතකොට පස්සෙ….”

“ඒගොල්ලො ගෙදර යයිනෙ. මුං දෙන්නව මෙහෙම හරි වෙන් නොකර තියා ගන්න බලන්නෙ අපේ එකී ගැන හිතලමයි ලොක්කි. බැරි වෙලාවත් වයස සම්පූර්ණ වෙලා කසාද බන්දන්න කලින් මුං දෙපැත්තට වුණොත් මොන දෙයියන්ට කියන්නද…”

මම පරණ ඇඳ මතට වැටුණෙමි. අම්මා ගැනත් දැනුණේ සානුකම්පාවකි. කෙසේ වෙතත් නිදහසේ ඉන්නට මට තිබුණ එක ම තැනත් දැන් මට අහිමි වී තිබේ. 

හඬන්නට තරම් දුකක් හිතේ විය. නමුත් මම වෙර යොදා නො හඬා සිටියෙමි. මේ සිද්ද වෙන දේ වලට හැඬුවා ය කියා වෙනසක් කළ නො හැකි ය. එනමුදු අනවසර කඳුළක් ඉඳ හිට නෙත අතැර රහසේ ම සැඟව ගියේ ය.

“දැං හෙට ලොක්කි ආපහු නුවර යනවද…”

නිදන්නට ඇඳට ආ ඉක්බිති අම්මා ඇසුවා ය.

“මට ආයෙ යන්න බැරි වෙයි අම්මෙ”

ආත්ම අසරණකම තව තවත් මා වේදනාවට පත් කරන්නට වූයේ ය.

“ඇයි ඒ…”

“කොන්සර්ට් නිසා මේ දවස් වල නිවාඩු දෙන්නෑ. මං බලෙං ආවෙ”

“අයියෝ…ලොක්කි මෝඩ වැඩක්නෙ කරල තියෙන්නෙ. එන්නැතුව ඉන්න තිබුණනෙ ඔයාට”

මම කිසිත් නො බිණුවෙමි. ඒ වෙලාවේ අම්මා කීවේ ඇයට තනි ව කිසිත් කර ගත නො හැකි නිසා කෙසේ හෝ පැමිණෙන්න ය කියා ය. නෑවිත් ඉන්න තිබුණා යි දැන් ඇය කියයි. ඉතින් මා කවරක් නම් පවසන්න ද?

නංගී ගැන මට දැනෙන්නේ තරහකට වඩා විශ්මයකි. ඇය මේ විදිහට හැසිරෙන්නේ අම්මා ගෙන් ලද ආභාෂය නිසා ද? මගේ කාමරයේ අද රාත්‍රිය ගෙවීම පිළිබඳව ඇයට මට කියන්නට තිබිණි. ඒ ගැන සිය කණගාටුව ප්‍රකාශ කරන්නට තිබිණි. නමුත් ඇය හැසිරුණේ එය මගේ කාමරයක් නොවන ආකාරයෙනි. මට එය අහිමි වීම ගැන ඇයට කිසිදු වගක් නොවන ආකාරයෙනි.

ඒ විදිහට හැසිරීම ඇතැම් පුද්ගලයන් සිය වාසිය තකා කරන ක්‍රියාවකැයි අවසානයේ මම සිතා ගතිමි.

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

කෙතරම් විඩාවක් සිත ගත අරක් ගෙන තිබිණි ද නින්ද මා සමීපයට ආවේ නැත. හිත දුකෙන් පිරී ඇති මිනිසුන් ට නින්ද කියන්නේ දෙවියන් ගෙන් ලැබෙනා ආශිර්වාදාත්මක තිලිණයකි. නමුත් මට ඒ සහනය හෝ නො හිමි ය. 

අප සමග උසාවි යන්නට එදා ආකාශ් නිවාඩු ගෙන තිබිණි. සිය පෙම්වතිය වෙනුවෙන් ඒ වාගේ කැපකිරීමක් කිරීමට පෙම්වතෙකු හිත හදා ගන්නේ පහසුවෙන් නො වන බව කිව යුතු ය. අපහසුවෙන් හෝ හිත හදා ගන්නා පෙම්වතා සිය පෙම්වතිය කෙරේ හැබෑ ප්‍රේමයකින් පසු වන්නෙකු බව ප්‍රත්‍යක්ෂ කර ගන්නට මට මේ සිදුවීම හේතු විය. සිය අභිමානය ඉස්මතු වූ අවස්ථා වලට ආකාශ් මුහුණ දුන්නේ ය. ඒ අවස්ථා වල දී ඔහු ට සිය හැඟීම් පාලනය කර ගත නො හැකි වූ මොහොතවල් ද උදා විය. නමුත් ඒ සියල්ලට වඩා ප්‍රේමය උදාර බව ඔහු ගේ හදවත පසක් කර ගන්නට ඇත. ඒ තුළින් මට ද ඔහු එය ප්‍රත්‍යක්ෂ කරවූයේ ය.

විශාල ඇප මුදලක් ගෙවීමෙන් පසු තාත්තා ව අවවාද කොට නිදහස් කරන ලදී. මට හැඬුම් ආවේ ය. සුරතේ ඇඟිලි වලින් ඇස් වසාගෙන මම ඒ අතිශය හැඟීම්බර මොහොතේ කඳුළක් සැළුවෙමි.

“ඒයි…මොකද මේ අඬන්නෙ…”

ආකාශ් සිනහ වෙවී ඇසුවේ ය. ඔහු ගේ සෙනෙහෙබර පිරිමි පපුවට හිස ඔබා ඒ කඳුළෙන් නිදහස් වෙන්නට තිබුණා නම් මට එය ඉතා විශාල සතුටක් වනු ඇත. නමුත් මේ දෙනෝ දාහක් සෙනග අතරේ එසේ කිරීමේ හැකියාවක් වූයේ නැත.

“ඔයාට පිං සිද්ද වෙනව අයියෙ…මේ ණය ගෙවන හැටියක් මං වෙන දන්නෑ”

“මං ඊයෙත් කිව්වනෙ ඉතිං…”

“අනේ ඇත්තමයි සර්…මං ටික ටික හරි සර්ට ඒ සල්ලි ගෙවන්නං”

“අයියෝ රංජි අංකල් ඒක අමතක කරන්න. හැබැයි රංජි අංකල් මතක තියා ගන්න ඕන දෙයක් තියෙනව”

“ඒ මොකද්ද සර්…”

“ආයෙ කවදාවත් පූජාට මේ වගේ දුකක් දෙන්නෑ කියල හිතා ගන්න. පොඩ්ඩක් එයාගෙ පැත්තෙං එයා ගැන හිතන්න. එච්චරයි”

ඒ මොහොත කෙතරම් හැඟීම්බර ද කියා කිසිදු දිනයෙක අකුරෙන් ලියා හෝ කියා විස්තර කළ නො හැකි ය. තාත්තා ඉවත බලා ගත්තේ ත් ඒ හැඟීම් ජාලය දරා ගත නො හැකි ව කියා මම සිතමි. නමුත් අම්මා ගේ මුහුණේ නම් වූයේ තාත්තා වසර කිහිපයකට සිපිරි ගෙදරට නියම වූවත් බලාපොරොත්තු විය යුතු සිහින් සිනහව ම ය. 

එදා හැන්දෑවේ පන්සල් යන්නට නෙරංජලා ගුරුගේ මට ඇරයුම් කළා ය. 

“කැළණියෙ පන්සල පැත්තට ගිහිං එමු. අද අංකලුත් යනව. ටිකක් රෑ වුණාට පූජාට ප්‍රශ්නය නෑනෙ…”

මම නැතැයි කියන්නට හිස සැළුවෙමි. නෙරංජලා පිළිබඳව කිසියම් කුතුහලාත්මක සැකයක් මුල දී මා තුළ නො තිබුණා නොවේ. මා වන් කෙල්ලක අරබයා ඇය ඒ තරම් දේවල් කරන්නේ ඇයි කියන දෙගිඩියාව ඇතැම් අවස්ථා වල හිතේ කරක් ගැසුවේ ය. මම ඒ ගැන නොයෙක් විදිහට හිතුවෙමි. අනේකාකාර නිගමනය වලට එළැඹුණෙමි. නමුත් ආකාශ් ගැන කිසිදු සැකයකට මගේ හිතේ ඉඩක් නොමැත්තේ ය. ඒ හින්දා ඔහු ළඟ ඉන්නවා නම් කාත් එක්ක ලොව කොතැනකට යන්නට හෝ බියක් මට නො දැනෙනු ඇත.

“ඇත්තමයි ලොක්කි ගිය ආත්මෙක හරි මහ විසාල පිණක් කරල ඇති. ගුරුගේ පවුලෙ අයගෙ හිත් වලට මේ තරං වැදෙන්න. ඒ මිනිස්සු නොහිටියනං මං අවුරුදු දෙකකටවත් හිරේ තමයි”

මා කැළණි යන්නට සැරසෙත්දී තාත්තා කීවේ ය. 

“හිත් වල මොන මොනා තියා ගෙනද දන්නෑ ඔය උදව් කරන්නෙ”

නංගී පණ්ඩිත ගැහැනියක සේ කීවා ය. මම ඇදෙස රවා බැලුවෙමි. නමුත් ඒ රැවුම දකින්නට ඇය මදෙස බැලුවේ නැත.

“අනේ අනේ උඹ නො දන්න මගුල් වලට කට දාන්නෙ නැතුව හිටපං. උඹ ඔය දේවල් කර ගත්තෙ මිනිස්සුංගෙ හිත් වල තියෙන දේවල් ගැන හොයල බලලනෙ”

තාත්තා එක හෙළා නංගී ව ප්‍රතික්ෂේප කළේ ය. 

“හැමෝටම දැං සල්ලි ලොකු වෙලා. බලමුකො ඉස්සරට මොකද වෙන්නෙ කියල”

“ඉතිං බලපං. තෝ පැනල ගියානං ඒ ගිය තැනක හිටපං. මේකිට ඒකිගෙ කාමරේ දීල”

කියා ගෙන තාත්තා මිදුලට බැස්සේ ය. නංගි ගේ මූණ විකෘති වී යන හැටි මට පෙනිණ. ඒ වෙලාවේ නම් මට ඈ ගැන දුකක් සිතුණේ ය. මොනවා වුණත් ඈ මගේ නංගී ය. කවදාවත් ඇය මා ගැන නො සිතුවත් හැමදාමත් මම ඇගේ යහපත ම පැතුවෙමි.

“අපි මෙහෙ පැලපදියං වෙන්න ආව වගේනෙ කතාව. යනව තමයි. මහ ලොකු කාමරේ!”

ඇය බනින්නේ තාත්තා ට නොව මට බව නො දැනුණා නොවේ. නමුත් මේ මොහොතේ නංගී ගැන මා තුළ දලු ලමින් තිබුණේ අනුකම්පාවකි.

“මහ ලොකු කාමරයක්නං නෙවෙයි තමයි. ඒත් මට ඒක දැනෙන්නෙ දිව්‍ය විමානයක් වගෙයි නංගි. ඒකට කමක් නෑ. ඕගොල්ලො යන දවසක් වෙනකල් ඒකෙ නිදියන්නකො”

ඇය නිසිදු කෘතඥ භාවයකින් තොර ව ගස්සා ඉවත බැලුවා ය. ආනන්ද ගුරුගේ ගේ ජීප් රථය අපේ ගේ ඉදිරියේ නතර වූයෙන් මම ඒ කතාව එතෙකින් සමාප්ත කොට රිය වෙත ගියෙමි. මා එහි ගොඩවෙනයුරු තාත්තා බලා උන්නේ මඳ සිනහවකිනි. ඔහු ගේ ඇස් වල ආඩම්බරයක් වූවා සේ ය. මම දෙතොල් තදින් සපා ගතිමි. ඉක්මන් ඇස්පිය ගැසුණේ කඳුළක් ගැන ඇස් වලට වූ ඉවට විය යුතු ය.

“මං අංකල්ට කිව්ව පූජා ගෙ ජොබ් එකත් නැති වෙච්ච එක ගැන. අංකල් පූජාට කම්පනි එකේ මොකන්හරි කරයි”

ඔවුන් මා ගැන මෙතරම් වෙහෙසෙන්නේ ඇයි දැයි අලුතෙන් ම නැවතත් මට සිතිණ.

“අනේ ආන්ටි…මේ කරපු දේවලුත් අපිට වැඩියි. මං ගැන තවත් කරදර වෙන්න එපා”

බිම බලා ගෙන මා ඉතා හෙමිහිට මිමිණුවේ අවංකව ම ය. මිනිසුන් ට කරදර කළ හැකි ද කරදර කළ යුතු ද සීමාවක් වන්නේ ය. ඒ සීමාව ඉක්මවා යන්නට මා කොහෙත් ම නො සිතා උන්න ද දැනටමත් එය සිදු වී හමාර ය.

“පූජා යුනිවසිටි සිලෙක්ට් වුණොත් ඉතිං යන්න ඕනනෙ…නේද…”

ආනන්ද ගුරුගේ පිටුපස බලා ප්‍රශ්න කළේ ය. මම මඳහසක් පෑවෙමි.

“සිලෙක්ට් වෙයිද කියල මට ශුවර් නෑ අංකල්. මං විභාගෙ ලිව්වෙ කොහොමද ආපු ප්‍රශ්න මොනාද කියලවත් මං දන්නෑ”

මගේ මන්දහාසයෙහි තැවරී තිබුණේ ආත්ම අසරණ කම ය. රිය පදවමින් සිටි ආකාශ් ඉදිරි කැඩපතින් මදෙස බැලුවේ ය. මම වහා ඒ බැල්මෙන් මිදුණෙමි.

“කැම්පස් යන්න හරි ආයෙ ඒ ලෙවල්ස් කරන්න හරි ඉඩ කඩ දෙන්න පුළුවන් විදිහෙ වැඩක් ඔයා මේ දරුවට දෙන්න ආනන්ද”

මගේ අම්මා වුව මා ගැන මේ තරම් සිතුවේ නෑ නොවේ ද? මගේ ඇති හැකි ඥාතීන් වුව මදෙස බැලුවේ නෑ නොවේ ද? ඉනිතින් නෙරංජලා ගුරුගේ මේ තරම් මා ගැන වග වෙන්නේත් වද වෙන්නේත් ඇයි? මේ වතාවේ නම් මම කඳුළට පැරදුණෙමි.

“අඬන්න ඕන නෑ පූජා. ඔයා හිනා වෙලා ඉන්න. ඔයා එහෙම ඉන්න ඕන දරුවෙක්”

මගේ ළය පැළෙන්නට ආවේ ය. නො හඬා ඉන්නට වෙහෙසකර උත්සාහයක් නො දරා, හිතේ දුක දිය කොට හරිනු වස් මම හැඬුවෙමි. ආකාශ් මා හඬනවාට නො සතුටු බව දන්නා නිසා ම මා වැරදීමකින් හෝ ඉදිරි කැඩපත දෙස බැලුවේ නැත.

විහාරය ළඟ දී ගුරුගේ යුවළ නෙළුම් මල් ගන්නට පමා වත්දී ආකාශ් මවෙත ට වූයේ ය. හැඬු එක ගැන ඔහු බණීවියි මට සිතිණි. ඒ නිසා ම මා හිටියේ ඔහු ගෙන් මූණ හංගා ගෙන ය.

“ඔයා දුක් විඳින එක ඉක්මනටම නතර වෙන්න ඕනෙ පූජා. ඒකමයි මට හිතෙන්නෙ ඔයාව තවත් ඒ ගෙදර තියන්න බෑ කියල”

මම ඇස් ඔසවා බැලුවෙමි. ගැහැනියක වෙනුවෙන් පිරිමි හිතකට දරා ගත හැකි ප්‍රේමයේ උපරිමය මම ආකාශ් ගේ නෙතු වල දුටිමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x