ආර්ථිකය නිසා පෑලදොරින් පැනයන ආදරය

සමාජයේ පුංචිම තැනුම් ඒකකය පවුල. එනිසාම වත්මන් සමාජයේ පවුලට බලපා තිබෙන අර්බුදයන් ගැන අපිට කතා නොකර ඉන්න පුලූවන්කමක් නැහැ. මේවා සමාජ අර්බුද වන තරමටම ඔඩු දුවා තිබෙනවා. ඕනෑම අර්බුදයකට හේතුවක් තියෙනවා. බුදු වදනට අනුව වූවත් හේතුවක් නැතිව ඵලයක් හට ගන්නේ නැහැ. එනිසා පවුලක ඇතිවන අර්බුද වලටත් හේතුවක් තිබිය යුතුමයි.

වත්මන් සමාජයේ ප‍්‍රශ්නවලට ප‍්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ආර්ථිකය. අද සමාජයේ පවතින ආර්ථික අර්බුදය වඩාත් තදින්ම බලපාන්නේ පවුලටයි. මොකද රටක් ලෙස මේ අර්බුදයෙන් ගොඩ එන්න පාලකයින් ගන්නා තීන්දු තීරණ ක‍්‍රියාවට නැගීමේදී එයට මුහුණ දෙන්න සිදුවෙන්නේ පවුලකටයි.

අද පළවෙන මංගල දැන්වීම් දිහා සැළකිල්ලෙන් කාන්තා පිරිමි භේදයකින් තොරව හැම කෙනෙක්ගෙම වෘත්තීය මට්ටම සමාජයේ පිළිගන්නා ඉහළ එකක් නම් එය සඳහන් කරනවා. මාසික ආදායම් තත්ත්වය, දේපළවල මට්ටම සඳහන් කරනවා. එසේම පවුලේ තරාතිරම, කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම දෑවැද්ද ලෙස සඳහන් නොකළත් ඇය සමග පිරිමියාට හිමිවන දේපළවල ප‍්‍රමාණය සඳහන් කරනවා. මේ අනුව විවාහය කියන්නේ එක්තරා ආකාරයක ගනුදෙනුවක් බවට පත්වඇත. අවබෝධයෙන් පේ‍්‍රම සම්බන්ධතා ඇති කර ගන්න අය වුණත් තමන්ට කෙනෙක් ගැන කැමැත්තක් ඇති වුණාටම යෝජනාවක් ගේන්නේ නැහැ. තමන්ට ඒ අය ගැලපෙන ප‍්‍රමාණය ගැන හිතනවා. ලූණුයි බතුයි හරි කාලා ඉමුකෝ රත්තරන් කියලා ආදර සම්බන්ධතා පවත්වා විවාහ වන අය සිටින්නේ අඩුවෙන්. එහෙම විවාහ වෙන අයගේ වුණත් පවුල් ජීවිතය පටන් අරන් ටික කලක් යනකොටම ඇති වන ආර්ථික අගහිඟකම් නිසා පවුල් ජීවිතය අවුල් වෙනවා.

ඒ නිසා ආදරයට ආර්ථිකය බලපානවා කියන එක අපට පිළිගන්න වෙනවා. ගෙදර නිතර අඩුපාඩුකම් නිසා රණ්ඩු සරුවල් ඇති වෙන්න පටන් අරන්.  වස්තු සම්භාර නැතිව පවුල් ජීවිත ආරම්භ කරපු සමහර අය මුදල් හොයාගෙන විදෙස් රැකියාවලට යනවා. දෙන්නම හෝ දෙන්නගෙන් එක්කෙනෙක් විදේශ රැකියාවකට යාම අද සමාජයේ බහුලව දකින්න ලැබෙන තත්ත්වයක්.  එසේත් නැතිනම් මුදල් තියෙන කෙනෙක් හමුවුණාම සැමියා හෝ බිරිඳ එවැනි අයෙක් සමග අනියම් සම්බන්ධතාවක් ඇතිවීම නොහිතාම වුණත් සිදුවෙන්න පුළුවන්.

පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලිවලින් බහුතරයක් අනියම් සබඳතා මත ඇතිවූ ආරවුල් වනවා වගේම ඒ බහුතරයක් අයගේ පවුල්වල සැමියා හෝ බිරිඳ විදෙස් රැකියාවකට ගිහින් තිබෙන තත්ත්වයක් තියෙනවා. වර්තමානයේදී  පොලිසියට හෝ උසාවියක වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ අනියම් සම්බන්ධතා නිසා ඇතිවුණ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලිවලින් බහුතරය රට ගිය පවුල්වල ඇතිවුණු ප‍්‍රශ්න. එක්කෝ සැමියා රට ගිහින්, නැත්නම් බිරිඳ රට ගිහින්.

බොහෝවිට ආර්ථික ප‍්‍රශ්නවලට උත්තර හොයන්නට හැකි මේ රටේම යෙදෙන්නට හැකි රැකියා හැමකෙනාටම ලැබෙන්නේ නැහැ. තරුණ පවුල්වල දෙන්නා දෙමහල්ලන්ගෙන් එක්කෙනෙක් රට ගියාම ඉතිරිවන අනෙක් කෙනා සිය පාළුව තනිකම මකාගන්න තවත් කෙනෙකුට ළංවීම වළක්වන්න අමාරුයි. එහෙම නොවන අයත් ගොඩක් ඉන්නවා. නමුත් එහෙම දේවල් වෙන්න තියෙන ඉඩ වැඩියි. තාක්ෂණයේ දියුණුවත් සමඟ මෙම තත්ත්වය තවත් දරුණුවෙලා.

මෙවන් තත්ත්වයක් ඇති නොවෙන්නට නිරතුරුවම ඔබේ ආර්ථිකය සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම, සැලසුම්කිරීම මෙන්ම සමාජය පිළිබඳව අවබෝධ‍යෙන් ජීවත්වීමත් වැදගත්.

අන්තර්ජාලය ඇසුරිනි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles