තමන්ගේ තැන!

“මං ආවේ හිමාෂා මුණ ගැහෙන්න..”

හිමාෂා තමන් ඉදිරියේ ඉන්න ගැහැනිය දිහා මොහොතක් බලා හිටියා.”ඇන්ටි කෑල්ලක් වගේ”කියලා දුල්මිනි එක්ක ඇති වෙනකම් හිනා වුණාට මේ කාන්තාවට තියන අමුතුම දිස්නය තමන්ට නෑ කියලා හිමාෂාට නිකමට වගේ හිතෙනවා.

“කියන්න..”

හිමාෂා උත්සාහ කරේ සන්සුන්කමක් පෙන්වන්න.ඒත් හිත ඇතුළේ කම්මලක් වෙලා.නිකං එකක් නෙවෙයි.යකාගේ කම්මලක්.හිමාෂා අපාට්මන්ට් එකෙන් පහළ බැලුවා.තට්ටු පහළොවක් පහළ වාහන පේන්නේ ගිනි පෙට්ටි වගේ.මේ ගෑනි මාව මරලවත් දායිද? හිමාෂාට හිතෙනවා.

“කෝසල දැන්ම එනවද?”

විශාල ව්‍යාපාරයක අයිතිකාරයෙක් වුණු තමන්ගේ පෙම්වතා ගැන අනිත් මිතුරියන්ට කියන ලොකු කතා හිමාෂාට මතක් වෙනවා.ඒත් මේ කාන්තාවට ඔව් කියන්නවත් බැරි තරමට හිමාෂාගේ වචන හිර වෙලා.

“මිසිස් සේරම්.මේ එයා..”

අශ්විනි සේරම් තමන්ට වඩා අවුරුදු දහයක් විතර බාල තරුණිය දිහා බලාගෙන හිටියේ සන්සුන් බැල්මකින්.

“හිමාෂා,ඔයාට මම කියන්න ආවේ මට තව දුරටත් මිසිස් සේරම් වෙන්න ඕනෑ නෑ කියලා තමයි..”

හිමාෂා ගල් ගැහුණා.නෝනා කැමති නෑ කියලා කෝසල තිස්සෙම කියන ඩිවෝස් එක දෙන්න එයා කැමති වෙලාද?

“මං ආවේ මං දික්කසාදය දෙන්න ලෑස්ති ඒක ගන්න කියලා කෝසලට මතක් කරන්න කියලා ඔයාට කියන්න.”

හිමාෂා නොසන්සුන්ව එහෙමෙහෙ ඇවිද්දා.කෝසල අරන් දුන්නු තැනක් වුණත් මේ තමන්ගේ ගෙදර.තමන්ගේ ගෙදර බයෙන් ඉන්නේ මොකටද?

“ඔයා ඒක දෙන්න ලෑස්ති නෑනෙ”

අශ්විනි හිනා වුණා.සාලයේ බිත්තියේ තුරුළු වෙලා හිනාවෙන ඡායාරූපයක ඉන්න කෝසලත් හිමාෂාත් දිහා ඇහැ අලවගෙන මොහොතක් ගෙව්වා.

“මම ඇයි අකමැති වෙන්නේ හිමාෂා.එයා ආදරේ ඔයාටනෙ..”

හිමාෂා ආයෙම එහෙට මෙහෙට ඇවිද්දේ නොසන්සුන්කමින්.මේ මනුස්සයට තේ ටිකක්වත් හදලා දෙන්න කියලයැ.අනිත් එක මේ සේරම රෙකෝඩ් කරගන්නවා වෙන්නත් පුලුවන්.වෙන එකක් තියා හිමාෂාත් මේ වෙලාවේ ඉන්නේ ෆෝන් එකේ රෙකෝඩර් එක දාගෙන.

“මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙන්න පුලුවන් හිමාෂා.ආදරෙත් ඒත් එක්ක වෙනස් වෙනවා.කෝසලට මට දෙන්න දෙයක් ඉතුරු වෙලා නැත්නම්, මට එයාගෙන් කිසිම දෙයක් ඕන නෑ.එයාගෙ ලෙයින් ඉපදුණු දරුවො දෙන්නෙක් ඉන්නවනෙ. ඒ ළමයින්ට ලැබිය යුතු දේවලුයි එයාලගෙ තාත්තාගෙන් වෙන්න ඕන වගකීමුයි ඉෂ්ට වුණානං ඇති.ඔයාට දරුවෝ ලැබෙයි.ඒත් අර කෝසලගෙ වැඩිමල් දරුවොනෙ..”

හිමාෂා මේවා අහගෙන හිටියේ ගල් ගැහිලා වගේ.සාමාන්‍ය ගිණුම් ලිපිකාරිනියක් විදියට රස්සාවට යනකොට “ඔෆිස් එකේ කොල්ලෙක්” එක්ක යාළු වෙන අදහසක් තිබුණට “කම්පැනි එකේ බොස්” එක්ක යාළු වෙන්න හිමාෂා හීනෙකින්වත් හිතුවේ නෑ.ඒත් හිමාෂාගේ ලස්සන ගැන නිතර වර්ණනා කරපු මල් එවන්න ගත්තු කෝසල අශ්විනි මොනතරම් නපුරු අවලස්සන ගෑනියෙක්ද කියන එක ගැන කියන්න ගත්තේ හිමාෂා හොඳ දුග්ගනාරාළ කෙනෙක් කරලා.

“මං ජීවත් වෙන්නෙ පුදුම පීඩාවකින්..”

ඉතින් හිමාෂා කෝසල සර්ගේ කඳුල නිවන්න ඉදිරිපත් වුණා.හිතාගන්න බැරි සාප්පු සවාරි,එක එක හෝටල් සවාරි ආදරේ කියල පටලා ගන්න හිමාෂාටත් අමාරු වුණේ නෑ.

“කසාදයක් අත් ඇරලා මිනිහෙක් එන්නේ නෑ හිමා..මෝඩ වෙන්න එපා”

යාළුවෝ එහෙම කියන්නේ ඇයි කියලනම් හිමාෂා දන්නවා.උන් මේකේ හිටියට උන් දිහා සර් බැලුවේ නෑනේ.හිමාෂා කටකොනකට හිනාවක් නගා ගෙන සද්ද නැතුව ඉන්න පුරුදු වුණා.

“ඔයාට ඩිවෝස් එක ගන්න බැරිද කෝසල..”

අපාට්මන්ට් එකක් අරන් දීලා ටික දවසකට පස්සේ හිමාෂා කෝසලගෙන් නිතරම ඒ ප්‍රශ්නේ අහගන්න ගත්තා

“අශ්විනි මට ඩිවෝස් එක දෙන්නේ නෑ..”

කෝසල හිටියේ පුදුමාකාර හිත් අමාරුවකින්.ඒ නිසාම හිමාෂා අශ්විනිට වෛර කරන්න පටන් ගත්තා.අශ්විනිගේ ෆේස්බුක් එකවුන්ට් එකට රිංගාගෙන ෆොටෝස් බලමින් දුල්මිනි එක්ක හිනා වෙන්න පටන් ගත්තා.

“මට මේ ගෑනිව දකිනකොටත් තරහයි..”

හිමාෂා එහෙම කියනකොට දුල්මිනි පුදුමයෙන් බලනවා.

“ඔයා එයාගේ හස්බන්ඩ් එක්ක යාලු වුණාම එයා එපැයි ඔයා එක්ක තරහ වෙන්න..”

දුල්මිනි එහෙම කියද්දී හිමාෂාට තරහයි.

“මං එක්ක තරග කරන්න බෑ කියලා එයා දන්නවා..”

ඒත් ඇත්තටම කෝසලට දික්කසාද වෙන්න උවමනාවක් නැද්ද කියලා හිමාෂාට හිතුණු තැන් තිබුණා.කම්පැනි එකේ අයිතිය අශ්විනිට ඇති කීවට ඒක එහෙම නෙවෙයි කියලත් හිමාෂා හොයා ගත්තා.

“හිමාෂා..මං ස්ථාවර ගෑනියක්.මට මගේම බිස්නස් තියනව.මගෙ දරුවෝ ගැන කෝසල බලන්න ඕන එයාලට තාත්තා අමතක වෙන්න නොදෙන්න විතරයි.වියදම් ගැන මට ප්‍රශ්නයක් නෑ..”

අශ්විනිගේ කටහඬට හිමාෂා ආයේ පියවි ලෝකෙට ආවා.

“මං පරණ විදියට හිතන ගෑනියෙක් නෙවෙයි හිමාෂා.ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක ගැන මට විවේචන නෑ.මම එපා වෙලා කෝසල ඔයා එක්ක ඉන්නවනම් එයා කරන්න ඕන මගෙන් අයින් වෙන එක.ඔයාට මිසිස් සේරම් වෙන්න අවස්ථාව දෙන එක..”

හිමාෂාට අශ්විනිට ඇහුම්කන් දෙන්න හිතුණා.අඳුරු වෙලා තියෙන අහස ටික ටික පැහැදිලි වෙනවා හිමාෂා දැක්කේ වීදුරු ජනේලයෙන්.

“මම ඔයා ගැන දැනගත්ත දවසෙම වෙන් වෙන්න කැමති වුණා.මං එහෙම කැමති වුණු අවස්ථා කීපයක්ම මීට කලිනුත් ආවා.මං අවුරුදු හතලිහ පහු කරපු ගෑනියක් නිසා පුංචි කෙල්ලො මුණ ගැහෙන්න මට නිතර නිතර එන්න වෙනවට මං ආස නෑ හිමාෂා.කෝසලව ඩිවෝස් එකට කැමති කරගන්න..”

අශ්විනි යන්න ගියේ එහෙම කියලා.ඒත් අශ්විනි අන්තිමට කියලා ගිය කතාව හිමාෂාට තාමත් ඇහෙනවා.

“තමන් ආදරේ කරන මනුස්සයා එක්ක එකට ජීවත් වෙන්න කොළ කෑලිවල සහතික ඕන නෑ හිමාෂා.හැබැයි ඒ ඇත්තටම ආදරේ මිනිහෙක් එක්ක විතරයි.ගෑනු ළමයි පාවිච්චි වෙන්න ඕනෑ කොටසක් නෙවෙයිනෙ.ගෞරවය මට ලැබිලා ඔයාට ලේබල් වදින්න ඕන නෑ.ඒ නිසා සතුට ගේන කෙනා ඔයා වෙලා නම්බුව ගේන කෙනා මම වෙන්න ඕන නෑ.ඉක්මනින්ම ඔයාගෙ තැන හොයා ගන්න..”

හිමාෂා අහස දිහා බලාගෙන කල්පනාවට වැටුණා.ඉක්මනින් තමන්ගේ තැන හොයා ගන්නම වෙනවා.

More Stories

Don't Miss


Latest Articles