ප්‍රමාණවත් නින්දක් ලැබිය යුත්තේ ඇයි?

ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා අංශයේ විද්‍යාඥයින් පිරිසක් කළ පරික්ෂණයකදී ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණය දුර්වල වන බව  වාර්තාවලින් සනාථ වී තිබෙනවා.

ඔවුන්ගේ පරික්ෂණවලට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබූ පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පවතිනවා. එමෙන්ම ප්‍රමාණවත් නින්දක් නොලැබීම, දියවැඩියාව වැනි රෝගවලටද සෘජු ලෙස බලපාන බව  එම වෛද්‍යවරුන් පෙන්වා දෙයි. එම රෝග ඉක්මනින් සුවවන්නේ නැති බවටද හෙළිවී තිබෙනවා. පුද්ගලයෙකු අනිවාර්යයෙන්ම පැය හතක් හෝ අටක් නින්දක් ලැබිය යුතු බව  එම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙන්නේ.

මෙතෙක් ලොව සිදුකරන ලද මෙවැනි වූ පර්යේෂණ ගණනාවක් මගින් නින්දේ ඇති වැදගත්කම හා නින්ද හරිහැටි නොලැබීමෙන් මොළයට සිදුවන හානිය පිළිබඳ පෙන්වා දී තිබේ. නිසි පරිදි සුව නින්දක් නොලැබීමෙන් මොළය සම්බන්ධ ආබාධ වන ඇල්ෂයිමර් සහ ඩිමෙන්ෂියා වැනි රෝග වැළඳීමට දායක්තවය ලැබෙන බව ප්‍රසිද්ධය.

තව ද නින්ද නිසි පරිදි නොලැබීමෙන් මතකයට හානිවීම හා මොළයේ ප්‍රමාණයට බලපෑමක් වන බව මේ පර්යේෂණයෙන් තහවුරු වී ඇත.

වර්ජීනියා හි ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය  නිඅල් මාරු මහත්මිය පවසන්නේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම සියළු ප්‍රශ්නවලට හේතුවක් වන බවයි. ඇය පවසන්නේ සුව නින්දක් නොලැබීමෙන් අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට, හෘද සෞඛ්‍යයට, ශරීරයේ බරට සහ මතකයට බලපෑම් සිදුවන බවයි. එය සිදුවන්නේ කවර ආකාරයෙන් ද යන්න සොයා ගෙන නැතැයි ද ඇය කියයි.

අධ්‍යයනය පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් නොවන නින්ද හේතුවෙන් සෛලවලට හානි කරන ප්‍රෝටීනයක් සෑදෙන බවයි.

මේ අධ්‍යයනයේ ප්‍රධානී එක්සත් රාජදානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ක්ලැරි සෙක්ස්ටන් පවසන්නේ සුව නින්දක් නොලැබීමෙන් මොළයේ සැකිල්ලෙහි වෙනසක් වන්නේ ද යන්න පිළිබඳ තවමත් කිසිදු කරුණක් අනාවරණය වී නැති බවයි.

මිනිසාගේ නින්දේ තත්ත්වය දියුණු කිරීමෙන් මොළයේ හැකිලීම අඩුකරගැනීමටත් නින්ද පිළිබඳ චර්යාව දියුණු කිරීමෙන් මොළයේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමටත් ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම පර්යේෂකයන්ගේ ඉලක්කය වී ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles