ඔසප්වීමේ අක්‍රමිකතාවන් සහ වේදනාවන් ගැන සැලකිලිමත්වන්න

සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රය සිදුවන්නේ දින 28කට වරක් යැයි පිළිගත් මතයක් පවතියි. ඔසප්වීමේ අක්‍රමිකතා පවතිනවා යැයි තීරණය කළ යුත්තේ ඔසප්වීම දින 25 – 35 ත් අතර කාලයකදී සිදුනොවුවහොත් පමණි. වර්තමාන තරුණියන් අතර බහුලව පවතින මෙම ඔසප් චක්‍රය ප්‍රමාදවීමට හේතු කිහිපයක් බලපායි. හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්වීම ගැහැනු දරුවෙකුගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්වීම ප්‍රධාන වශයෙන් ඔසප්වීම ප්‍රමාදවීමට මෙන්ම අක්‍රමවත් වීමට හේතුවෙයි. තරුණ ගැහැනු දරුවන්ගේ ශරීරයේ හෝමෝන වෙනස්වීමටද ප්‍රධාන වශයෙන් කාරණා 02 ක් බලපායි. ඉන් ප්‍රධාන කරුණ වන්නේ තරබාරුවයි. තරබාරු බව නිසා හෝමෝන වෙනස්වීම් අධිකව සිදුවිය හැකිය. මේ නිසා උසට සරිලන බර පවත්වාගැනීම ගැහැනු දරුවෙකු විසින් සිදුකළම යුත්තකි.

වර්තමාන ගැහැනු දරුවන් ඩිම්බ කෝෂවල ඇතිවන බුබුළු ආසාදන (Polycystic Ovarian Syndrome)   බෙහෙවින් ගොදුරු වී තිබෙනු දැකගත හැකි අතර, එම තත්ත්වය  හේතුවෙන්ද ශරීරයේ හෝමෝන තත්ත්වයන් වෙනස් වෙයි. එසේම ඩිම්බකෝෂවල බුබුළු ආසාදන බහුලව දැකගත හැක්කේ තරබාරු දැරිවියන්ගේ වීම විශේෂත්වයකි.

ඔසප්වීමේ අක්‍රමිකතාවන්ට අමතරව ඔසප්වීමේදී ඇතිවන වේදනාවද බොහෝ තරුණියන්ට ඇතිවන ගැටලුවකි. සාමාන්‍යයෙන් ඔසප්වීමේ පළමු දිනයේ හා දෙවැනි, තෙවැනි දිනවල වේදනාවක් දැනීම අයහපත් තත්ත්වයක් නොවේ. එලෙස වේදනාවක් ඇතිවීම මගින් හොඳ බීජ මේරීමක් සිදුවන බවද ගම්‍යවෙයි. නමුත් ඔසප්වීම නතර වී දින කිහිපයක් ගතවුවද, වේදනාකාරී තත්ත්වය පවතී නම් එයින් ගර්භාෂය ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇති බවට ඉඟිකරයි. එන්ඩ්‍රොමෙට්ට්‍රිඕසිස් (Endometriosis) නමැති රෝග තත්ත්වය ඊට ආසන්නම හේතුව විය හැකිය.

මල්වර වීමෙන් පසු මාස කිහිපයක් දක්වා ඔසප් වීමේ අක්‍රමිකතා පැවතීම සාමාන්‍ය තත්ත්වයකි. ඔසප් වීම පවතිද්දී ඇතිවන වේදනාව සමනය කරගැනීමට පැරසිටමෝල් හෝ මෙෆනමික් ඇසිඩ් අඩංගු ඖෂධයක් හෝ මාත්‍රාව අනුව ගැනීම සිදුකළ හැකියි. නමුත් මල්වර වී මාස 6 ක් අවුරැද්දක් වැනි දීර්ඝ කාලයක් තුළ නැවත ඔසප්වීමක් සිදු නොවුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වෙයි. එසේම නිතර නිතර ඔසප්වීම් සිදුවන තරුණියන්ද වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍යය. විශේෂයෙන් අවුරැදු 20 ඉක්ම වූ තරුණියකට ඔසප් චක්‍රයේ අක්‍රමිකතා පවතී නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. ඔසප් වීමේ අනුමිකතා හෝ වෙනත් ගැටලු පවතී නම් වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍ය වෙයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles