හොර ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් ගෙන් ප්‍රවේශම්වන්න

ලංකාවේ දැනට වෛද්‍ය සභාවෙන් පිළිගත් රජයේ ලියාපදිංචි ප්ලාස්ටික් ශල්‍යවෛද්‍යවරු සිටින්නේ සීමා සහිතවයි. මේ සියලුම ශල්‍යවෛද්‍යවරුන් MBBS වලින් පසුව පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය යටතේ පශ්චාත් උපාධිය ලබාගැනීමෙන් පසු විශේෂ පුහුණුවක් ලබා අවුරුදු දෙකක අවම විදේශීය ප්ලාස්ටික් ශල්‍ය‘වෛද්‍ය ආයතනයක (එංගලන්තය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව වැනි ලෝකයේ පිළිගත් වෛද්‍ය ආයතනයක් විය යුතුයි) පුහුණුවක් ලැබිය යුතුයි. මෙම පුහුණුව ලබා නැවත ලංකාවට පැමිණි පසු වෛද්‍ය සභාවෙන් ප්ලාස්ටික් ශල්‍ය‘වෛද්‍යවරයෙකු ලෙස සහතිකය පිරිනමනු ලබයි.  මෙම සහතිකය සමග මහජන සේවා කොමිසමේ අනුමැතිය යටතේ ප්ලාස්ටික් ශල්‍ය‘වෛද්‍යවරු සේවාවේ යෙදේ. දිගු පුහුණුවක ප්‍රතිඵලයක් ලෙසට තමයි ප්ලාස්ටික් ශල්‍ය‘වෛද්‍යවරයෙකු බිහිවීම සිදුවන්නේ.

මෙම ක්‍රියාවලියෙන් බැහැරව විදේශ පුහුණුව ලත් බවට සඳහන් කරන ප්ලාස්ටික් ශල්‍ය‘වෛද්‍යවරුන් ලංකාවේ සේවය කරන අතර ඔවුන් සුදුසුකම්ලත් අය බවට  තහවුරු කර ගැනීමට හැකියාවක් මහජනතාවට තිබිය යුතු  නමුත්  අවාසනාවකට මෙන් ප්ලාස්ටික් ශල්‍යවෛද්‍යවරුන්ගේ තොරතුරු සඳහන් ලේඛනයක් මෙරට නැහැ. විවිධ වෛද්‍ය කණ්ඩායම් මෙහි අවශ්‍යතාවය පෙන්වා දුන්නත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලේඛනය ලෙස සඳහන් කරනු ලබන ලේඛනය තවම මෙරට සකසා නැහැ. විදේශ රටවල පුහුණුව ලබා පැමිණි බවට කටවචනයෙන් යමෙක් ප්‍රකාශ කරයි නම්, එය එලෙසම පිළිගැනීම සිදුනොකළ යුතුයි. එයට සාක්ෂි අවශ්‍ය වේ. විදේශ රටක පුහුණුව ලැබුවේ නම් අනිවාර්යයෙන් එම රටේ අදාළ ආයතනයේ පිරිනැමූ සහතිකයක් තිබිය යුතුම වේ. වෛද්‍යවරුන් ආවට ගියාට බිහිකරන, පුහුණුකරන තත්ත්වයක් විදේශයන්වල නැහැ. ඒ වගේම මෙරටින් විදේශගතව වෛද්‍යසහතිකයක් ලබා පැමිණීම ආවාට ගියාට සිදුකළ නොහැකියි. යම් වෛද්‍යවරයෙක් විදේශ පුහුණුවකට යොමුකරන්නේත් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහායි.

ප්ලාස්ටික් සැත්කම් සිදුකරන බවට සඳහන් කරන පුද්ගලයින්ගේ වෙළෙඳ දැන්වීම් මෙකල සුලබව දැකගත හැකියි. මෙවැනි පුද්ගලයින් සිදුකරන ප්‍රධාන දෙයක් වන්නේ දැන්වීම්කරණයයි. නමුත් වෛද්‍ය විද්‍යාවේ ප්‍රචාරණය තහනම්. වෛද්‍යවරුන්ට දැන්වීම්කරණය සදාචාරාත්මක නොවන නීත්‍යානුකූල නොවන දෙයක්. මේ නිසා මහජනතාව දැනුවත් විය යුතුයි යමෙක් ලෙඩ රෝග සුව කරන බවට හෝ මෙවැනි සැත්කම් කරන බවට වෙළෙඳ දැන්වීම් හරහා පවසනවා නම් එය නිවැරදි නොවන තත්ත්වයක් බවට. අන්තර්ජාලයේ, විද්‍යුත් මාධ්‍යයේ, මුද්‍රිත මාධ්‍යයේ මෙවැනි ප්‍රචාරණයන් තිබේ නම් මහජනතාව වඩාත් ඒ පිළිබඳව සැලකිලමත්විය යුතුයි. නමුත් එවැනි ප්‍රචාරණයන් පළවුණත් මහජනතාව ඊට එරෙහිව පියවර ගන්නා තත්ත්වයක් මෙරට දැකගත හැකිවන්නේ නැහැ. යමෙකුට මෙවැනි තත්ත්වයක් පිළිබඳ පැමිණිලි කිරීමට අවස්ථාවක් පවතී. ඒ සඳහා දිවුරුම් පෙත්සමක් හැටියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබේ. එලෙස ඉදිරිපත් කරන පැමිණිලි පිළිබඳව පරීක්ෂා කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පවතියි. මෙවැනි වෛද්‍යවරුන් වෙත යාමට ප්‍රථමයෙන් මහජනතාව තේරුම් ගත යුත්තක් වන්නේ යම් අයෙක් ප්‍රචාරණයක් සිදුකරයි නම්, ඔහු හෝ ඇය මුදල් බලාපොරොත්තුවෙන් මෙම ප්‍රතිකාර සිදුකරන බව. එහිදී ප්‍රතිකාර කරන මුවාවෙන් කුමක්ද සිදුකරන්නේ යන්න පිළිබඳ හොඳ අවධානයක් යොමුකළ යුතුයි.

නවීන වෛද්‍ය විද්‍යාවේ ඉදිරි ගමන තීරණය වී තිබෙන්නේ එක් මූලික සිද්ධාන්තයක් වන විද්‍යාත්මක පරීක්ෂණවලින් ගත් නිගමන හරහායි. මේ හරහා රෝගීන්ට ප්‍රතිකාර කිරීමයි සිදුවන්නේ. නමුත් යමෙක් කියනවානම් ඔහු හෝ ඇය සකසා ගත් ඖෂධයක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් ඔස්සේ ප්‍රතිකාර කිරීම සිදුකළ හැකියි කියා එහි පවතින මූලික පරීක්ෂණවලින් ගත් නිගමන මොනවාදැයි සොයාබැලිය යුතුයි. එනම් ලෝකයේ ඕනෑම නව ඖෂධ වර්ගයක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් ඔප්පු කර පිළිගත හැකි වෛද්‍ය ජර්නලයකට මුදාහැර තිබිය යුතුයි. එවිට pubmed හරහා කේතනය වීම සිදුවේ. පසුව ලෝකයේ ඕනෑම අයෙකුට එම ඖෂධය හෝ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ අන්තර්ජාලය හරහා විමසා බැලීමේ හැකියාවක් ලැබේ. එසේ නොමැතිව රෝගීන් මෙතරම් ප්‍රමාණයක් සුව කර තිබෙන බව පැවසීම ප්‍රමාණවත් නොවේ.

ඒ වගේම විවිධ වෛද්‍යවරු ලෙස පෙනී සිටින අය තමන් වෙන වෙන රටවල් වලින් පුහුණුව ලබා ආ බව සඳහන් කරයි නම් ඒ පිළිබඳව විමසා බැලීම මහජනතාව සිදුකළයුත්තකි. නමුත් සිදුවන්නේ බොහෝදෙනා වෙළෙඳ දැන්වීම් හරහා මොවුන්ගෙන් ප්‍රතිකාර ලබා අමාරුවේ වැටුන විට රජයේ රෝහලකට ඇතුල්වීමයි. එවිට රජයේ මුදල් පාවිච්චි කර ඔවුන්ගේ සංකූලතා මගහරවා ගැනීම සිදුකරයි. පසුගියකල ප්ලාස්ටික් සැත්කම් (Cosmetic Surgery) නිසා ඇතිවුණු සංකූලතා නිසා රෝහල් ගතවීමේ සිද්ධිවලදී ඔවුන් එම සංකූලතා වලින් මුදවා ගැනීමට රජයේ රෝහල්වලට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා. එමෙන්ම එවැනි ප්‍රතිකාර කරන මධ්‍යස්ථානවලට ගොස් විවිධ සංකූලතා ඇතිවූ බොහෝ රෝගීන් එම සංකූලතා තත්ත්ව විඳදරාගෙන තමන්ට වෙච්ච පාඩුවද විඳදරාගෙන ජීවත්වන බවටද ඕනෑතරම් සාක්ෂි දක්නට ලැබෙනවා. එනිසා මෙවැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීමට පෙර නිසි තොරතරු සොයාබැලීම ඔබ සතු වගකීමකි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles