සදාතනික ප්‍රේමය.

රුවන් අතින් ගිලිහී ගිය කඩදාසි කොළ කැබැල්ල සුළඟට ගසාගෙන යද්දී ඔහු අඩිය ඉක්මන් ඒ දෙසට දිව ගියා. ඒත් සමඟම ඉදිරියට විශාල සායක් ඇඳගත්, විශාල තොප්පියක් හිසේ පැළදි ඉඳලක්ද අතින් ගත්,  වයස අවුරුදු හැට පහක් පමණ වූ කාන්තාවක්ද නැමී කොළ කැබැල්ල ගන්නට සැරසුණා. ඇයට පෙර රුවන්ගේ දෑත් ඉස්සර වුණා.

“අනේ…එපා මහත්තයෝ…මම ඇහිදින්නම්….”

” අනේ එපා ඇන්ටී මේ මගෙන් වැටිච්ච කොල කෑල්ලක්…”

කියමින් රුවන් කොල කැබැල්ල අතට ගත්තා.
 “අනේ…කෝ දෙන්න මහත්තයෝ…”

කියමින් රුවන්ගේ අතින් ගත් කොල කැබැල්ල ඇය අසල තිබූ කසළ එකතු කරන ඇගේ අත් කරත්තයට දමා ගත්තා.

” කෝ…අත අල්ලන්න මහත්තයෝ…මුකුත් හිතන්න එපා. මේ මම බොන්න ගත්තු වතුර එක. දැන් හැම තැනම මේ වසංගතේ. හොඳට අත හෝදන්න…”
 
කියමින් ඇය අතේ ඇති ඉදළ කරත්තයට හේත්තු කොට කරත්තයේ පරිස්සමට තබා තිබූ වතුර බෝතලය රුවන්ගේ දෑතට වත් කලා.

මේ අනපේක්ෂිත සිදුවීමත් සමග රුවන් හිටියේ කර කියා දෙයක් නොමැතිවයි. කොවිඩ් වසංගතයත් සමග සංචරණ සීමා පනවා සිටි කාලයක මේ තදාසන්න නගරයේ වෙනදා නොතිබුණු පාලු ස්වභාවයක්  ඉසිලූවා. වෙනදාට ගංගාරාම විහාරයට එන බැතිමතුන් සේම ඒ අවට තිබුණු අවන්හල්, වෙළද සංකීර්ණ මෙන්ම පෞද්ගලික හා රාජ්‍ය ආයතන වලට පැමිණි පිරිසේ බොහෝ අඩුවක් තිබුණා.

” මම නිසා ඇන්ටීගේ වතුර බෝතලයත් ඉවර වුණා…”

“ඒක මොකක්ද මහත්තයෝ…ඔය පන්සලෙන් මට මේකට වතුර ටික පුරෝගන්න පුලුවන්. මේ කාලයේදී පරිස්සම් වෙන්න මහත්තයෝ. අත ගැන පරිස්සම් වෙන්න…”

“මගෙයි වැරැද්ද ඇන්ටී…ඇන්ටී මේ එකතු කරන්නේ අනුන්ගේ කුණු…”

“මොනවා කරන්නද මහත්තයෝ…මේක මගේ රස්සාව.මේ හැමදේම කරන්නේ ජීවත් වෙන්න. වැඩ කලොත් විතරයි පඩි තියෙන්නේ…”

“ඇයි ඇන්ටී…නගර සභාවේ නෙමෙයිද… ?”
 
“නැහැ මහත්තයෝ…කොම්පැනියකින් තමයි මේ පාර සුද්ද කරන්නේ…වැඩ කලොත් විතරයි පඩි තියෙන්නේ…හැම වෙලේම වගේ බයිසිකලයකින් අපි වැඩ කරනවාද කියල කම්පැනි මහත්තුරු බලාගෙන යනවා…”

“ඔය… රස්සාව ලේසි නෑ නේද ඇන්ටී….”

“මොන ලේසියක්ද මහත්තයෝ…සමහරු හිතාගෙන ඉන්නේ අතුගාන එකත් මහ කජ්ජක්ද කියලා. ගෑණු අපිට අතුගාන එක කජ්ජක් නෙමෙයි. හැබැයි මේ ගස් කොලං එක්ක අතුගාන එක ලේසි නෑ. හුලගත් එක්ක හරි අමාරුයි.
ඒ මදිවට මිනිසුන්ගේ ජහජරාවත් අදින්න ඕනේ…”

” ඒ කිව්වේ…?”

“මහත්තයා විශ්වාස කරයිද මන්දා සමහර පිරිමි රෑට හොදටම බීලා බෝතල් කඩලා පාරේ දාලා යනවා. කී වතාවක් මගේ මේ අත කැපිලා ඇද්ද…?සමහර පිරිමි මුත්‍රාකරන්නේත් හිස් වෙච්ච ඒ බෝතල් වලට.පුදුම අසහනකාරී මිනිස්සු මහත්තයෝ….”

රුවන්ට ඒ කතාවෙන් පිරිමියෙක් වුණු තමන් ගැනම ලොකු ලැජ්ජාවක් ඇතිවුණා. ඒත් සමඟම ඈතින් එකසිය එක බස් එක දෙදෙනාම දැක්කා.
 
“ඇන්ටි බස් එක එනවා…”

“පරිස්සමෙන්….බුදු සරණයි මහත්තයෝ….”

බස් රථයේ අසුනකට ගොඩවුණු රුවන් මේ අහිංසක මනුස්සයා ගැන බොහෝ දේ හිතුවා.

“පව්…තවත් අම්මා කෙනෙක්…”
ඔහුට හිතුනේ එහෙමයි.

*   *   *   *    *   *    *    *    *     *     *    *

“මලී….මොනවද ඔයා කල්පනා කරන්නේ….? “

“මුකුත්  නෑ රුවන්….”

මට ඔයාට දෙයක් කියන්න තියෙනවා…”

“මොකක්ද….?”

” අපි මේ සම්බන්ධය ගැන ගෙවල් වලට කියමු මලී…”

” ඇයි මේ හදිසියේ රුවන්….?”

“හදිස්සියක්ම නෑ…හැබැයි මම ඔයාට ආදරෙයි…ඔයා මට ආදරෙයි…ඇයි අපි මේක ගෙවල් වලට නොකියා ඉන්නේ….”

රුවන් එහෙම එදා කියලා සමුගත්තත් මාලතීගේ හිතට ලොකු බරක් දැනුණා. මාලතී රුවන්ට අවංකවම ආදරේ කලා. නමුත් ඇය ගැන සමහර දේවල් රුවන්ට කියලා තිබුණේ නෑ.

“මම මේ රුවන්ට ආදරේ කරන්නේ ඇත්තටමයි. මට එයාව නැති කරගන්න බෑ…මම දන්නේ එච්චරයි….”

ඇත්තටම මාලතී දැන ගෙන හිටියේ එච්චරයි….

*    *    *     *     *     *    *     *      *    
මල්ලී… මාලතී වත්සලාගේ ගෙවල් තියෙන්නේ කොහේද…?”

මාලතීගේ හොඳම යාලුවා වුණු නයෝමිගෙන් පෙරැත්ත කරල මාලතීගේ නිවස තියෙන ඉසව්වට රුවන් ගියේ දවස් ගාණක්ම මාලීති ගැන ආරංචියක් නැති විටයි. හිතනා තරම් ලෙහෙසියෙන් මාලතීගේ නිවස හොයාගන්නත් රුවන්ට පුලුවන් වුණේ නැහැ. එක පේලියට තිබුණු කුඩා නිවැස් අතරින් මාලතීගේ නිවස හොයාගන්න රුවන්ට කිහිපදෙනෙකුගේ අහන්නත් වුණා.

‘රෙදි මෝල වත්ත…’

ඒ තමයි මාලතී හිටපු ඉසව්වේ නම. තාක්ෂණය කොයි තරම් දියුණු වුණත් තවමත් ඇතමුන් රෙදි හෝදා ගත්තේ රෙදි මෝල වත්තේ මිනිසුන්ට දීලයි.

දත් බුරැසුවත් අතේ අතැතිව පාරේ හිටි තරුණයා රුවන් දෙස බැලුවේ මදක් සැකෙන්.

“මචං…ඔය කියන්නේ අපේ මාලතී නංගීගේ ගේ වෙන්න ඇති. ඔය ඉස්සරහ තියෙන කෝවිල ලගින් ඇතුලට ගිහින් ඕන කෙනෙක්ගෙන් අහන්න. මචං බය වෙලානේ. බය වෙන්න එපා මචෝ. මේ වත්තේ ඉන්න මිනිස්සුන්ට වඩා එලියේ ඉන්න මිනිස්සු හරි භයානකයි මචෝ…චුට්ටියේ…මේ මහත්තයාට උඹලගේ ඉංග්‍රීසි ටීචර්ගේ ගෙදර පෙන්නපන්. ..කෝ…මේ කෙල්ල…එක්කෝ ඕනේ නෑ…එමුකෝ මං පෙන්නන්නම්….”

කියමින් තරුණයා ඉස්සර වුණා. ගෙවල් කීපයකට පසුව,

“නංගී….මේන් උඹව බලන්න මහත්තයෙක් ඇවිත්. මම එහෙමනම් යනවා මහත්තයෝ…දැන් නංගී එයි…”

කියමින් යන්න ගියා. රුවන්ට “ස්තුතියි “කියන්නවත් වචන ගලපාගන්න බැරි වුණා. ඒත් සමඟම අගුරු ඉස්තික්කයක් අතැතිව “කවුද “කියමින් ඉදිරියට ආවා.

“රු…..ව….න්….?”

මාලතීට කියන්න පුලුවන් වුණේ එපමණයි. රුවන් කිසිඳු වෙනසක් නොපෙන්වා පුංචි ගෙයි ඉස්තෝප්පුවේ තිබුණු කෙටි බිත්ති කණ්ඩියේ ඉඳ ගත්තා.

*   *   *   *   *   *    *    *    *    *     *

“මම ඔයාට කවදාවත් බොරු කිව්වේ නෑ…රුවන්….”

“ඔයා මට බොරු කිව්වා කියලා මම කිව්වද මාලී….”

“ඒත් මේ වගේ පරිසරයක ජීවත් වෙන කෙල්ලෙක් ඔයාට ගැලපෙන්නේ නෑ රුවන්…”

“ඔයාට පිස්සු….මම චාල්ස් කුමාරයාගේ පුතෙක් නෙමෙයි මාලී…”

රුවන් කියපු කතාවෙන් මාලතී වත්සලාගේ මුවඟට සිනහවක් ගෙනාවා.

“අම්මෝ….ඇති යාන්තම් අර ලස්සන හිනාව කාලෙකින් දැක්කා…”

“දුවේ….”

කියමින් මාලතීගේ නිවසට ආ කාන්තාව දුටු රුවන්ව ඉඳ තැනින් නැගිට්ටුණා.

“ඇ….න්….ටී….”

“ම…හ…ත්…ත…යා…”

මේ හදුනා ගැනීම මාලතීට පුදුමයි.

“රුවන්…මේ මගේ අම්මා…ඔයා අම්මව දන්නවාද…”

“ඔව්…”

රුවන් හිස් වුණ තේ කෝප්පය මාලතීට දුන්නා.

“ඔව් මහත්තයෝ….මේ මගේ දුව…එකම දුව…”

“මාලතී මගේ යාලුවෙක් නෙමෙයි ඇන්ටී…මාලතී කියන්නේ මම ආදරේ කරන කෙනයි….”

අපි හරි දුප්පත් මහත්තයෝ…පේනවා නේද මේ රෙදි මෝල වත්ත. උදේ ඉදන් හවස් වෙනකම් මම පාරේ අනුන්ගේ කුණු අතුගානවා. හවස ඉදන් රෑ වෙනකම් මම රෙදි මෝලේ අනුන්ගේ කුණු හෝදනවා. හොදට ඉගෙන ගත්තු දුවට ලොකු කොම්පැණියක රස්සාවක් ලැබුණා. අම්මා කුණු අතුගානවා…ඉන්නේ වත්තක කියල දැනගෙන දුවට ඒ රස්සාවත් නැති වුණා. ස්ථිර නොවෙච්ච රස්සාවක් නොකරපු කෙල්ලටත් පිහිට වුණේ මේ ඉස්තිරික්කේ විතරයි මහත්තයෝ…මිනිස්සු හිතන්නේ අපෙන් මේ වසංගතේ ඉක්මනට බෝ වෙනවා කියලයි. අපිව දැක්කහම බස්වල යන නෝනලා එහා සීට් එකේ බෑග් එකක් තියා ගන්නවා. අපිත් එක්ක කතා කරන්නේ බයෙන්. මහත්තයා වගේ දරුවන්ව අපිට ගැලපෙන්නේ නැහැ මහත්තයෝ….”

අම්මාගේ කතාවට මාලතීගේ ඇස්වලට කදුළු ආවා. රුවන් මේ ආදරණීය අම්මාගේ කතාව අසාගෙන හිටියෙ බොහෝ ඉවසීමෙන්.

“අම්මා…”

රුවන්ගේ ඇමතුමෙන් අම්මා පමණක් නොව මාලතී ත් පුදුම වුණා.

“මාලතීට මම ආදරෙයි. ඒක වෙනස් වෙන්නේ නෑ. මම කවදාහරි කසාද බදින්නේ මාලතීව විතරමයි. ඒක ස්ථිරයි. අපේ දෙමව්පියන්ගේ කැමැත්ත ලැබේවි. ඒක මම බලා ගන්නම්. අම්මට දුවෙක් ඉන්නවා. අම්මට බැරිද මට පුතෙකුට වගේ බලාගන්න…”

“මහත්තයෝ…”

” මහත්තයෝ නෙමෙයි…පුතේ කියන්න අම්මේ…එදා අම්මා මගේ මේ අත් දෙක වතුර දීලා හේදුවා. මේ අත් කිළිටි නෑ අම්මේ…මට මේ අත් දෙකෙන් අම්මයි මාලතීවයි බලාගන්න අවසර දෙන්න…”

“පු….තේ….”

මාලතීගෙත් අම්මාගේත් ඇස්වල කදුලු පිරුණා. රුවන් මාලතීගේ අත අල්ලා ගත්තා…..ජීවිත කාලයටම….

-දිශානි ජයමාලි කරුණාරත්න –

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content