පිරිවර

ජයවර්ධන ගෙයින් එළියට ආවේ වෙනදා වෙලාවටත් කලින්මයි.මිදුලේ නවතා තිබූ වාහනය ලග සිටි අප්පු ,ජයවර්ධන දිහා බැලුවේ යටහත් පහත්වයි

” මානෙල් මම යනවා “

ජයවර්ධන කිව්වේ උස් හඩින්.එතකොටම ගේ ඇතුලේ හිටපු ඔහුගේ බිරිඳ වුන මානෙල් දොරකොඩ ට ආවා.

” අද ඇමතිතුමා එනවා කිව්වද මහත්තයා ?”

” ඔව් .තේ වෙලාවට හොඳට මොන හරි ලෑස්ති කරන්න . කුමාරි ඉන්නව නේද උදව්වට ? “

” ඔව්.ටිකකින් එයි “

ජයවර්ධන වාහනයට නැගලා පිටත් වුණා.මැණික් ව්‍යාපාරයකට සහ තවත් ව්‍යාපාර කීපයකටම හිමිකම් කියපු ජයවර්ධන පළාතේ හිටපු විශාලම ධනවතා විදියට නම් දරා හිටියා. හොඳ පෞරුෂයක් සහිත ඔහු යටතේ විශාල සේවකයන් පිරිසක් රැකියාවන් කරද්දි ඔහු යටතේ සේවය කරන්න බලාපොරොත්තුවෙනුත් බොහෝ පිරිසක් හිටියා

” මිස්ටර් ජයවර්ධනට පුංචි තෑග්ගකුත් අරගෙනයි මම අද ආවෙ “

පහුගිය සතියක ඉතා දුර්ලභ මැණික් වර්ගයක් ජයවර්ධන විසින් ඇමතිතුමාට විකිණුවේ තරමක් අඩු මුදලකට.ජයවර්ධන එහෙම කළේ පහුකාලීනව ඇමතිතුමාගෙන් උදව් ගන්න බලාගෙනමයි

” ඒ මොකක්ද ඇමතිතුමා ? “

” මම මිස්ට ජයවර්ධනටයි වයිෆ්ටයි නුවරඑළියේ ට්‍රිප් එකක් ලෑස්ති කළා. එහෙන් හොඳ හොටෙල් එකකුත් බුක් කරලා තියෙන්නේ දවස් කීපයකට. මිස්ට ජයවර්ධන මට කරපු උදව්වට හරිනම් මම ලෑස්ති කරන්න ඕනේ රට සවාරියක්. රටේ තියන තත්වෙත් එක්ක එහෙම කරන්නත් බැහැනේ “

” අනේ ඔය තෑගිබෝග මොකටද ඇමතිතුමා ? මම කළේ මගේ බිස්නස් නේ ?

ජයවර්ධන එහෙම කිව්වත් ඇමතිතුමාගේ ත්‍යාගය භාර ගන්න ඔහු දෙපාරක් හිතුවේ නැහැ.

” ඇමතිතුමා ව ෂේප් එකේ තියා ගත්තහම ඔය කොයි වැඩේටත් ලේසියි මානෙල් “

ජයවර්ධන තමන්ගේ බිරිඳට එහෙම කිව්වේ ඇමතිතුමා පිටත් වෙලා යනවත් එක්කමයි .

” 7ට විතර එප්පාවලයි එයාගේ පවුලේ අයයි එනවා කිවුවා මහත්තයා .ඒගොල්ලො ඔයාට කෝල් කරා ද ? “

” එප්පාවල මට කෝල් එකක් අරන් තිබුණා මානෙල් .මට මේ වැඩත් එක්ක ආපහු ගන්න බැරි වුණා “

” කුමාරි ඒ ගොල්ලන්ටත් එක්ක රෑ කෑම ලෑස්ති කරනවා “

ජයවර්ධන ගත කළේ බොහොම කාර්යබහුල ජීවිතයක්. ව්‍යාපාර කටයුතු වලට අමතරව විවිධ දේවල් සඳහා ඔහුව මුණගැහෙන්න බොහෝ තරාතිරම් වල පුද්ගලයන් නිවෙසටත් ආවා.

” තාත්තිට අපිට දෙන්න තමයි වෙලාව නැත්තේ “

සති අන්තයේ ගෙදර ආව ජයවර්ධනගේ විවාහක දියණිය, ආපු වෙලාවෙ ඉඳන්ම නෝක්කාඩු කිව්වා.

” සල්ලි වලට වඩා මම හම්බ කලේ මිනිස්සුන්ව දූ. එයාලා තමයි කවදහරි අපේ මිනියට වත් කරගහන්න එන්නේ”

ජයවර්ධනගේ කාර්යබහුල ජීවිතයට පවුලේ අය එතරම් කැමති වුනේ නැතත් නිරායාසයෙන්ම ඔවුන් එයට හැඩගැහිලා තිබුනා.

” ඒ කාලේ ඉඳන්ම ඔයාලගේ තාත්තට මට දෙන්න වත් වෙලාවක් තිබුනේ නැති තරම් පුතේ “

නිදන කාමරයේ ඇඳ මත වාඩි වෙලා මානෙල් කිව්වේ තාත්තාගේම හැඩහුරුකම් ගත්ත දියණිය දිහා බලාගෙන.ගෙවිලා අවසන් වුන තරුණ කාලය ගැන මානෙල්ට දැනුනේ පසුතැවීමක්

” අම්මිට තිබුනනෙ ඕව මුල ඉඳලම හදාගන්න “

” කොහේ හදන්නද දරුවෝ. එයා පුරුදු වෙලා හිටපු හැටි වෙනස් කරන්න ඔයාගේ ආච්චිටයි සීයටයි වත් බැරි වුනා “

” ඔය බිස්නස් හැම එකම තාත්තිට කරන්න බැහැනේ දැන් .කාට කාට හරි දීලා එකක් දෙකක් කරගෙන හිටිය නං ඉවරයි නේ අම්මි “

” එයාට ඒවා අතාරින්න හිතක් නැහැ පුතේ. ඉස්සර ඇඳපු සරම කමිසෙට වඩා දැන් එයාට පහසු ටයි කෝට් අඳින එක “

ජයවර්ධන සැලසුම් කලේ තව තවත් ව්‍යාපාර ආරම්භ කරන්නයි. ඒවා සඳහා යොදවන්නත් ඕනෑ තරම් මුදල් ඔහු සතුව තිබුණා

” මේකනම් ජයවර්ධනගේ වාසනාව.බිස්නස් කියන ඒවා ඉතිං හැමෝටම හරි යන්නේ නැහැනේ “

ඇමතිතුමා කිව්වේ තේ කෝප්පයක් තොල ගාන ගමන්

” මේ හැමදේම ඉතින් මගේ එකම කෙල්ලට තමයි ඇමතිතුමා කවද හරි “

” ඒ ළමයට ඔය බිස්නස් ගැන තේරුමක් තියනවද ජයවර්ධන ? “

” තේරුමක් තියා ආසාවක් වත් නෑනේ ඇමතිතුමා.ඒත් ඉතින් බලමුකෝ “

ඇමතිතුමාව මුණගැහෙන්න ආව ජයවර්ධන ඔහුගේ කාර්යාලයෙන් පිට වෙනකොට ඇමතිතුමාගේ සේවකයන් පවා ජයවර්ධනට හිස නමා ආචාර කළා.ජයවර්ධන වාහනයට නැග්ගේ ආඩම්බරයෙන්.

” කවද හරි මං මැරුන දවසකට මගේ මිනිය තියන්න වෙන්නේ ගෝල්ෆේස් එකේ තමයි අප්පු “

ජයවර්ධන තමන්ගේ රියදුරාට එහෙම කිව්වේ ටයි පටිය සකස් කරන ගමන්

” මහත්තයා ඉතිං හැමෝටම උදව් කරගෙන ඉන්නවානේ.ඒකයි මිනිස්සු මහත්තයට ගරු කරන්නේ “

අප්පු මූනිච්චාවට වගේ එහෙම කිව්වත් ඇත්තටම ගොඩක් අය වැඩිපුරම ආවේ ජයවර්ධනගෙන් උදව් ලබා ගන්නයි .

” මහත්තයා. හෙට හොස්පිට්ල් එකට යන දවස “

මානෙල් විශේෂම කරුණක් ජයවර්ධනට සිහිපත් කළේ රාත්‍රියේ නින්දට යන්න කලින්. මාස එකහමාරකට විතර කලින් ජයවර්ධනට වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් කරගන්න නියම වුණේ දියවැඩියාව උත්සන්නම වුන අවස්ථාවකයි

” ගොඩ දවසකින් ශුගර් වැඩි උනේ නෑනෙ මානෙල් . ඔන්න ඔහේ ඔය ටෙස්ට් ටික පස්සේ කරගමු “

” එහෙම හරි නැහැනේ මහත්තයා .අපේ ඇඟවල් ඇතුලෙ මොන ලෙඩ තියෙනවද කියලා අපි දන්නේ නැහැනේ “

මානෙල් එහෙම කිව්වත් ජයවර්ධනගේ තීරණය වුනේ වෛද්‍ය පරීක්ෂණ වලට නොයා ඉන්නයි.

” මට හෙට ලොකු මීටින් එකක් තියෙනවා ,ඒක මග අරින්න බැහැ මානෙල් .අනික ඒක දාගන්න මට වෙන දවසකුත් නැහැ “

මානෙල් නිහඬ වුණා.ජයවර්ධන ඔහුගේ ශරීර සෞඛ්‍ය ගැන පවා අමතක කරලා දාලා ව්‍යාපාර වල නියැලීම මානෙල්ට ගෙන ආවේ නොරිස්සුමක්.

” තාත්තිගේ පුදුම හිතුවක්කාර කමක් තමයි තියෙන්නෙ. මොන හරි උන දවසට තේරෙයි “

” ඔය තරම් මහන්සි වෙන්න පුළුවන් වයසකත් නෙමෙයි එයා ඉන්නේ පුතේ “

ජයවර්ධන ගේ දියණිය පවා ජයවර්ධන ගේ මේ ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කළා

” තාත්තිට පැය දෙක තුනක් වෙන් කරලා හොස්පිටල් එකට යන්න වත් බැරිද ?”

දියණිය එහෙම කිව්වේ ඒ වෙනකොටත් ජයවර්ධන ව මුණ ගැහෙන්න මිනිසුන් කිහිපදෙනෙක් මිදුලේ නැවතිලා හිටපු නිසා

” මට ඇති ලෙඩක් නැහැ ළමයො.ඔයාලනේ මාව ලෙඩෙක් කරන්න හදන්නේ “

” තාත්තිට කන්න වත් වෙලාවක් නැහැනේ .ඉතින් කොහොමද කියන්නේ ලෙඩ වෙන්නේ නැහැ කියලා ? “

ජයවර්ධන ඔහුගේ දියණියටත් මද සිනහවකින් සංග්‍රහ කරලා නැගිටලා යන්න ගියේ හදිස්සි කටයුත්තක් සඳහා.

බිරිඳවුන මානෙල්ගේ දියණියගේත් උපදෙස් නොතකා හිටපු ජයවර්ධනට හිටිහැටියේම උණ රෝගය වැලඳුණේ අධික හිස කැක්කුමකුත් එක්ක.

” මිස්ටර් ජයවර්ධන මම කිව්ව ටෙස්ට් ටික කරගත්තෙ නැති එක නම් වැරදියි “

බෙහෙත් ගන්න රෝහලට යන්න අකමැති වුණ ජයවර්ධන පෞද්ගලික වෛද්‍යවරයාව නිවසටම ගෙන්වා ගත්තා.

” මේ බෙහෙත් ටික දීලා බලන්න මිසිස් ජයවර්ධන. මිස්ටර් ජයවර්ධන කිසිම රෙස්ට් එකක් අරන් නැති පාටයි. ප්‍රෙෂර් එකත් ටිකක් වැඩිවෙලා “

වෛද්‍යවරයාගේ කතාවට එකඟ වුන මානෙල් , රියදුරා ලවා අවශ්‍ය බෙහෙත් සියල්ල ගෙන්වාගත්තා. දින කිහිපයක් පුරාවටම අසනීපයෙන් පසුවන ජයවර්ධන කොවිඩ් ආසාදිතයෙක් බව හඳුනා ගැනුනා.

හුස්ම ගැනීමේ අපහසුතා පෙන්නුම් කෙරුණු නිසා ජයවර්ධන ව රෝහල් ගත කෙරුණා.කිසිදු විවේකයක් නැතිව ගත කරපු කාර්යබහුල ජීවිතය නිසාත් , අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ජයවර්ධන දින කිහිපයක්ම ජීවිතයත් මරණයත් අතර සටන් කළා.අවසානයේ දී මාරයාට පරාද වෙන්න ජයවර්ධනට සිද්ධ වුණා.

” මහත්තයා හිතාගෙන හිටියේ මහත්තයා මැරුනු දවසක විසාල සෙනඟක් ඒවි කියලා “

පවුලේ අය වත් නැතිව අවසන් ගමන් යන්න සිද්ද වුන තමන්ගේ ස්වාමියා මතක් කරමින් අප්පු මානෙල්ට කිව්වේ ජයවර්ධන අවසන් ගමන් ගිහින් දින ගණනාවකට පස්සේ. සියලු දෙනාටම නිවසේ නිරෝධායනය වෙන්න වුන නිසා අවසන් වරට වත් ජයවර්ධන ව බලන්න කිසිම අයකුට හැකියාව ලැබුණේ නැහැ

” කොච්චර පිරිවර හිටියත් දවසක යන්න වෙන්නෙ තනියම තමයි අප්පු “

මානෙල් කිව්වේ දෑස් අග එකතු වුන කඳුලු පිහදාන ගමන්

More Stories

Don't Miss


Latest Articles