නිරෝගී මතු පරපුරක් වෙනුවෙන් වස-විස වලින් තොර ආහාර රටාවක්

අද කාලයේ බොහෝ ගෘහණියන් එළවළු ලෙස සලකන්නේ වස විසවලින් හොඳින් බැටකන කැරට්‌, බෝංචි, ලීක්‌ස්‌, ගෝවා, බීට්‌. අර්තාපල් වැනි වාණිජ එළවළු වර්ගය. ආහාරය සඳහා එළවළුවක්‌, මැල්ලුමක්‌ තම වත්තෙන් සපයාගන්නැයි කාට හෝ අද කාලේ පැවසුවහොත්, බොහෝ තරුණතරුණියන් මෙන්ම ගෘහණියන් ද මාකට්‌ එකේ නැතිව වට පිටාවේ කොහෙද එළවළු තියෙන්නේ යෑයි සිතනුඇති.

පොදු ජනතාවගේ මාසික වේතනයට මෙන්ම සුවසෙතටද වින කරන විෂ පෙවූ ප්‍රධානතම ආහාරයක්‌ වන්නේ අර්තාපල්ය. අර්තාපල් නිතරම ආහාරයට ගැනීම දියවැඩියා රෝග අවදානම ඉහළ නංවන්නට හේතු වන අතර  විටමින් A ඌණතාවයට ද හේතුවෙයි. අර්තාපල් වෙනුවට බතල, මඤ්ඤොක්‌කා, ඉන්නල, කිරි අල, වැල් අල, රාජ අල, කුකුළල ආදී දේශය අල වර්ගයක් වගා කර ගන්නට පිළිවන්නම් එය ඔබේ පවුලේ සාමාජිකයින්ගේ නිරෝගීකම උදෙසා කරනු ලබන කදිම ආයෝජනයක්‌ ද වනු ඇත. අර්තාපල්වල විටිමන් A නොමැති තරම් වන අතර, බතල ග්‍රෑම් සියයක විටමින් A ඒ ජාත්‍යන්තර ඒකක 20,000 ක්‌ පමණ අඩංගු වන අතර කිරි අලවල ජාත්‍යන්තර ඒකක 8,000 ක්‌ පමණ අඩංගු වෙයි. මෙයට අමතරව මෙම දේශීය අල වර්ග අනුභව කිරීම තුළින් පිළිකා, හෘද රෝග ආදී බෝ නොවන රෝගවලින් ද ගැළවෙන්නට ඉවහල් වෙයි.

සිංහලයාට ආහාර වේලක්‌ සකස්‌ කර ගන්නට ගෙයි හාලුත්, ලුණුත් තිබුණොත් ප්‍රමාණවත් බවත්, වට පිටාවෙන් සොයා ගන්නා නිල්වන් පලා කොළ මිටකින් රසවත් ආහාර වේලක්‌ සකස්‌ කර ගන්නට එකල ගෘහණියන් සමත් වූ බවත්, නුවර යුගයේ  මෙරට ජීවත් වූ රොබට්‌ නොක්‌ස්‌ නමැති ඉංග්‍රීසි ජාතිකයා සටහන් කරඇත. නමුත් වර්තමානයේ බොහෝදෙනා තම පයට පෑගෙන්නේ, ගලවා විනාශකර දමන්නේ තම ගෙවත්ත තුළ ඉබේ වැවෙන, වැඩි පරිශ්‍රමයකින් තොරව වගා කර ගත හැකි, තමන්ගේ නීරෝගීබව රැකදිය හැකි දිව බොජුන් බව දන්නේ නැත. ගෝලීයකරණයේ මහා දැනුම් සම්භාරය තුළ තම මහ පොළොව පිළිබඳ දැනුමෙන් අවතැන් කර ඇත. නීරෝගීබව රැකගන්නට අවැසි නම් ඔබත් අදම වසවිස නැති එළවළු ලබාගැනීම සඳහා අවධානය යොමුකරන්න.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles