වැඩ කන්ද

තක්ෂිලා වැරැන්ඩා එකට ආවේ පළතුරු යුෂ වීදුරුවක රස බලන ගමන්.මිදුලෙ කෙලවරේ උදැල්ලක් අතැතිව හිටපු අලුත් මෙහෙකාරිය සුභාවත් මව වුන කාන්ති වත් තක්ෂිලා දැක්කෙ ඒ වෙලාවෙ.කාන්ති විසින් සුභාට මොනවදෝ අණ කරන හැටි තක්ෂිලා පැහැදිලිව දැක්කා

” අම්මා . පොඩ්ඩක් මෙහාට එන්නකෝ “

තක්ෂිලා කතා කළේ උස් හඬින්.ඒ හඬට කාන්ති වැරන්ඩා එකට ආවේ ඉක්මන් ගමනින්

” වත්තේ වැඩට පියදාස ආවේ නැද්ද අද ?”

” පියදාසට මම එන්න එපා කිව්වා ළමයො.සුභාට ඊට වඩා හොඳට කරන්න පුළුවන් වෙයි “

” අම්මා හිතන් ඉන්නේ පියදාස ට වඩා සුබා හොදට වත්තේ වැඩ කරයි කියලා ද ? පේන්නේ නැද්ද ඒ ළමයා දැනටමත් හති දාන හැටි ?”

” මං මේ පාර තරුණ ළමයෙක්ව වැඩට ගත්තේ මේ ගෙදර වැඩ ටික හරියට කරව ගන්න.මතකනේ කලින් හිටපු වයලට්.කිසි වැඩක් හරියට කළේ නැහැ “

” ඒ මනුස්සයා ඒ වයසට කරපු හරිය මදැයි අම්මෙ. මේ ළමයගෙන් ඔච්චර වැඩ ගන්න එපා.එයාට එපා වෙලා දමල ගහල ගියොත් අම්මට තමයි ඕවා කරන්න වෙන්නේ “

” එයා කීයටවත් මේක දමලා ගහලා යන්නේ නැහැ තක්ෂිලා.මේ ළමයා ගමක අහිංසක ළමයෙක්.නංගිට උගන්වන්න කියලා හිතාගෙනයි මෙහේ වැඩට ආවේ .ඉතිං රස්සාවක් නැතුව කොහොමද ? “

තක්ෂිලා ට නව මෙහෙකාරිය වුන සුභා ගැන ඇතිවුනේ දුකක්.අපහසුවෙන් උදලු ගාන සුබා දිහා බලලා තක්ෂිලා ගේ ඇතුළට ආවා.ශීතකරණය ඇරලා ඉතිරි වුන පලතුරු යුෂ ටික වීදුරුවකට දාගෙන තක්ෂිලා කුස්සිය පැත්තෙ දොරෙන් මිදුලට බැස්සා

” සුභා මේක බීල ඉන්න .අව්වේ වැඩ කරලා මහන්සි ඇතිනේ “

” අනේ එපා බේබි.ලොකු නෝනා දැක්කොත් මට බැනුම් අහන්න වෙයි.මම පස්සෙ කහට එකක් බොන්නම් “

” අම්මා කාමරේට ගියා .ඔයා පැහෙන්නේ නැතුව මේක බීල ඉන්නකො අනේ “

ගිනි ගහන අව්වේ උදලු ගාමින් හිටපු සුභා පළතුරු යුෂ වීදුරුව එක හුස්මට බීගෙන ගියා

” බේබිට පිං “

සුබා කතා කළේ මූණ පහත් කරගෙන.

” මට බේබි කියන්න එපා.අනික ඔයා අපේ අම්මට වගේ මට බය වෙන්න ඕනේ නැහැ හොඳ ද ? “

සුභාගේ පිටට තට්ටුවක් දාපු තක්ෂිලා ගේ ඇතුලට ආවා.වැඩට ආව දින දෙක තුනට සති කිහිපයකම වැඩ කරපු සුබා හිටියේ හෙම්බත් වෙලා.රැකියාවක් හොයමින් හිටපු අවස්ථාවේ ලැබුණු රැකියාව මොන තරම් අපහසු එකක් වුණත් ඒක දාලා යන්න සුභාට හිත දුන්නේ නැහැ.

හිමිදිරි උදෑසන වැඩ පටන් ගන්න සුභාගේ වැඩ ඉවර වෙන්නේ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා.තුන් වේලටම බත් කන්න පුරුදු වෙලා හිටපු කාන්තිට තුන්වේලටම කන්න වෙන වෙනම ව්‍යංජන උයන්නත් සුභාට සිදුවුණා.ඒ ඉවරවෙලා ඇඳුම් හෝදන වැඩ, වත්තෙ වැඩ ,ගෙදර අස්කරන වැඩ ඇතුළු හැම වැඩක්ම කරන්න සුභාට නියම වුණා.

” බෝංචි ඔච්චර වෙලා ලිපේ තියන්න එපා ගුණයක් නැතුව යනවා “

” මැල්ලුම් ටික මීට වඩා හීනියට ලියන්න බැරිද ? “

” අර වැලේ තියෙන ඇඳුම් වල සබන් තාම.හරියට හෝදලා නැහැ “

සුභා මොනතරම් හොඳට වැඩ කරත් ඇයට කවදාවත් කාන්තිගේ හොඳක් නං අහන්න ලැබුණේ නැහැ

” මීට පස්සෙ මම මගේ රෙදි ටික හෝද ගන්නවා “

තක්ෂිලා එහෙම කිව්වේ කෑම මේසයේදී.කාන්තිට ව්‍යාංජන බෙදමින් හිටපු සුබා හොරැහින් වගේ තක්ෂිලා දිහා බැලුවා

” ඔයාට පිස්සුද දුව ? අතට පයට වැඩකාරයෝ ඉද්දි ඔයා මොකටද රෙදි හෝද ගන්න යන්නේ ?”

” කිසිම වැඩක් නොකර ඉඳලා ඇඟට කිසිම එක්සසයිස් එකක් නෑනේ අම්මේ. මීට පස්සේ මං මගේ රෙදි ටික හෝදගන්නම් “

” මම දන්නෙ නැහැ ඕවා.අප්පච්චි හෙට අනිද්දා ආවහම බැනුම් අහගන්න වෙයි ඔන්න “

තක්ෂිලාගෙ තාත්තා වැඩිපුරම හිටියේ නුවරඑළිය තේ වත්තේ.තරුණ වියේ පසුවෙන තක්ෂිලා රැකියාවක් කරනවට තක්ෂිලා ගෙ තාත්තා වගේම අම්මා වුණ කාන්තිත් කැමැත්තක් දැක්වූයේ නැහැ.ඒ නිසා තක්ෂිලාත් වැඩි හරියක්ම හිටිය ගෙදර

” අම්මේ මම හවසට ටවුන් එකට ගිහින් එන්නද ? “

” ඒ මොකටද ? “

” නිකන් අනේ. කාලෙකින් ඇඳුම් මොකවත් ගත්තෙ නැහැ.මම සුබා එක්ක ගිහින් එන්නද? “

” තනියම යන එකේ ඉතින් සුබාව එක්කන් ගියාට කමක් නෑ හැබැයි ඉක්මනට ගෙදර එන්න ඕනේ “

තක්ෂිලා සුබාව ටවුන් එකට එක්කගෙන ගියේ තක්ෂිලා ට ඕන ඇඳුම් අරගන්න ම නෙමෙයි.සුභාට අවශ්‍ය කරන ඇඳුම් වගේම තවත් බොහෝ දේවල් තක්ෂිලා බලෙන්ම වගේ අරගෙන දුන්නා

” බේබි සල්ලි ගොඩක් වියදම් කරනවා නේද ,ලොකු නෝනා දැනගත්තොත් එහෙම මම ඉවරයි “

” ඒ ඉතින් දැනගත්තොත් නේ.මම ෂේප් එකේ ඇඳුම් දෙක තුනක් අරගෙන යනවා. එතකොට අම්මා සැක හිතෙන එකක් නැහැ “

තක්ෂිලා ගේ කරුණාව ගැන සුභාට දැනුනේ පුදුමයක්.උදේ ඉදන් රෑ වෙනකන් එක දිගටම ගෙදර වැඩ කරන සුභාට තක්ෂිලා එක්ක සාප්පු සවාරියේ යෙදීම අලුත්ම අත්දැකීමක් වුණා.

” මදැයි අද හවස් වරුවම රස්තියාදු ගැහුවා. දැන් අර වලං ටික ඉක්මනට හෝදලා දාපන් “

සුභා ගෙදර ආව ගමන් කාන්ති ගෝරනාඩුව පටන් ගත්තා.

” මම අද අල්මාරිය පොඩ්ඩක් අස් කළා.එකේ පරණ සාරි වගයක් තිබ්බා. රෑට ඒ ටිකත් හෝදලා දාපන් ,එතකොට මට ඒ ටික කාට හරි දෙන්න පුලුවන් “

කාන්ති එක දිගටම සුභාට වැඩ පැවරුවා.නිවසේ හැම වැඩක්ම ඉවර කරාට පස්සේ කාන්තිගෙ පරණ සාරි හෝදන්න සුභාට පැය ගණනාවක්ම ගත වුණා.

හැමදාම උදේ 7 වෙනකොට උණු උණු කිරි වීදුරුවක් අරගෙන කාමරයට එන සුබා සුපුරුදු පරිදි ආවේ නැති නිසා තක්ෂිලා සුබා ඉන්න කාමරයට ගියා.ඇඳ මත වකුටු වෙලා හිටපු සුබා හිටිය කෙඳිරි ගාමින්.

” සුබා ඇයි මේ ? “

තක්ෂිලා හිටියේ තරමක තැතිගැන්මෙන්

” අ.අනෙ බේබි මගේ ඇගපත රිදෙනවා.උණ ගන්නද මන්දා “

” සුබා උදේට කිරි එක අරගෙන ආවෙ නැත්තෙ මොකද කියලා මම මේ බලන්න ආවෙ “

” සමාවෙන්න බේබි. මම ඉක්මනට හදලා දෙන්නම් “

” නෑ නෑ සුභා ඇඳට වෙලා ඉන්න.අද මම සුභාට කිරි හදල දෙන්නම්කෝ “

කුස්සියට ගිය තක්ෂිලා කිරි වීදුරුවක් හදාගෙන බිස්කට් කිහිපයකුත් එක්ක සුභාගේ කාමරයට ගියා.එතකොටම කාන්තිත් ඇහැරලා ඇවිත් සුභාගේ කාමරයට ඔලුව දැම්මා

” මේ මොකද මේ ? උඹ මගේ ළමයව වැඩකාරකමට ගත්තද ඒ පාර ?”

බය වෙච්ච සුභාට ඇඳෙන් නැගිට්ටුනේ ඉබේටම වගේ

” සුභාට සනීප නෑ අම්මේ. උණ ගන්න වගේ. ඇඟත් රස්නෙයි.ඉතින් මම එයාට කිරි එකක් හදලා දුන්නා “

සුභ කාන්ති දිහා බලාගෙන හිටියේ අසරණ දෑස් වලින්.

” ඔයා නිසා තමයි දූ මට වැඩකාරයෙක්ගෙන් හරියට වැඩක් වත් අරගන්න බැරි “

තක්ෂිලා කාමරෙන් එලියට ආවේ ගොඩක් තරහෙන්.සුභාට රැව්ව කාන්තිත් තක්ෂිලා පිටිපස්සෙන් එළියට ආවා

” වැඩකාරකමට ආවා කියලා අපි එයාලව මරව මරව වැඩ ගන්න ඕනෙද අම්මේ?.ඒ ළමයට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා නේ.ඊට වඩා වැඩ දෙන්න ගිහින් තමයි ඒ ළමයා ඔය අසනීප වෙලා තියෙන්නේ”

” වැඩ කරන්න බැරිනම් කන්තෝරුවක රස්සාවකට ගියා නං ඉවරයි නේ එයා “

කාන්ති කතා කළේ සමච්චල් සහගත හිනාවක් මුහුණට නගාගන්න ගමන්

” එහෙම යන්න බැරි අසරණකම හින්දනේ මෙහාට ඇවිල්ලා තියෙන්නෙ.ඔය ළමයට මොන හරි උනොත් එහෙම අම්මට තමයි ඔන්න වගකියන්න වෙන්නේ “

තක්ෂිලා දැඩි හඬකින් එහෙම කියනකොට කාන්ති නිහඬ වුණා.

” වත්ත සුද්ද කරන්න මනුස්සයෙක් ඉද්දි අම්මා ඒ ළමයව වත්ත සුද්ධ කරන්නත් දැම්මා.ඒ මදිවට ඕන වැඩේයි එපා වැඩේයි හැම එකම දෙනවා.එයත් මං වගේම තරුණ ගෑණු ළමයෙක් කියලා ඇයි අම්මා හිතන්නෙ නැත්තෙ ? “

තක්ෂිලා එක දිගට කියාගෙන යනකොට කාන්තිගේ මුහුණ බිමට බර වුණා

” අම්මා කැමති නෑ නේද මම මේ ගෙදර කිසි වැඩක් කරනවට ? එයාගෙ අම්මත් එයාව කැමැත්තෙන් එව්ව වෙන්න බැහැනේ නේද මෙහෙට? එහෙම අසරණ කමකට අම්මා ඔහොම කරන එක නම් හරිම කැත වැඩක්. අම්මට ඔච්චර වැඩ ගන්න ඕනනං තාත්තගේ තේ වත්තෙන් කාව හරි ගෙන්න ගන්න “

තක්ෂිලා එහෙම කියලා ඇගේ කාමරයට ගියා.මොහොතක් නතර වෙලා හිටපු කාන්තී තක්ෂිලා කියපු වචන ගැන ආයෙ ආයෙම හිතුවා.ඊට පස්සේ ඇගේ කාමරයට ගිය කාන්ති ප්‍රථමාධාර පෙට්ටිය ඇරලා බෙහෙත් පෙති දෙකක් අරගෙන වතුර වීදුරුවකුත් එක්ක සුභාගේ කාමරයට ගියා.ඒ වෙනකොටත් සුබා හිටියේ කෙඳිරිගාමින්

” ආ පුතේ මේක බීල ඉන්න.අඩු නොවුනොත් දොස්තර කෙනෙක් ලඟට යමු “

කාන්ති කිව්වේ සුබාගේ හිස අතගාන ගමන්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content