දෙවෙනි කසාදේ.

“හපෝ නිපුනි ආයේ මැරි කරන්න යනවලු..”

කෞෂි කාර්යාල විවේකාගාරයට ආවේ මුහුණ අමුතු කරගෙන.හැමෝම එයා වටේ රැස් වුණේ රස කෑමකට වට වෙන කපුටෝ රංචුවක් වගේ.

“කාවද අනේ..”

උරේෂා අහන්නේ පුදුමාකාර උනන්දුවකින්.නිපුනි දවස් කිහිපයක් කාර්යාලයට ආවේ නැති බව හැමෝටම මතක් වුණේ ඊට පස්සේ.කෞෂි ෆේස්බුක් ඇප් එක දිගෑරගෙන හැමෝටම පෙන්නුවේ ලංකාවේ ජනප්‍රියම ඡායාරූප ශිල්පියෙකුගෙ ෆේස්බුක් පිටුවක්.

“මේ නිපුනි නේද?”

සමහරුන්ගේ ඇස් නළලට ගිහින්.මේ නිරූපනයක් විතරක් වෙන්න ඇති කියලා සරූපා කියනකොට හැමෝම එයාට හිනා වුණේ සරූපා කොච්චර මෝඩ ද කියලා.නිරූපණ ඉදිරිපත් කරන්න නිපුනි මොඩ්ල් කෙනෙක් යැ.

“මෙයා අඬා වැලපුණේ නම් නිකං පටාචාරා වගේ.දැන් බලන්නකො.ආපහු මනමාලිටත් ඇඳලා.පෝරුවටත් නැග්ගද දන් නෑ..”

හර්ෂනී එහෙම කියන්නේ හයියෙන් හිනා වෙන ගමන්.නිපුනි මානසික ආතතියට බෙහෙතුත් ගත්තු බව කෞෂි හැමෝටම මතක් කළේ ඊට වඩා හයියෙන් හිනා වෙන ගමන්.

නිපුනි, තවම තිස් හැවිරිදි වියටවත් නොඑළඹුණු තරුණියක්.ඇය ඇගේ සරසවි ප්‍රේමය එක්ක විවාහ වුණේ බොහොම අලංකාර විවාහ මංගල්ලයක් අරගෙන.නිපුනිගේ සැමියා කුසල් සහ නිපුනි ජීවත් වුණේ පුදුමාකාර ආදරයකින්.ඒත් ඒ ආදර ලෝකයට වැඩි ආයුෂ තිබුණේ නැහැ.කුසල් හදිසි රෝගී තත්ත්වයකට ලක් වුණෙත් මිය ගියෙත් ඇසිපිය සලන තරම් ඉක්මනින්.
නිපුනි ආයේ සාමාන්‍ය ජීවිතයට එළඹෙන්න පුදුම වෙහෙසක් ගත්තා.ඇය රැකියාවෙන් පවා ඉවත් වෙලා ඔහේ හඬා වැළපෙමින් ජීවත් වෙන්න ගත්තේ හැමෝගෙම අනුකම්පාව උදුරා ගනිමින්.

“එයාව ආයේ ඊළඟ ආත්මෙදි ඔයාට ලැබෙයි නිපූ..”

ආයතනයේ ප්‍රධානතුමිය හිත හදලා ආයේ රැකියාවට ගෙන්වා ගත්තු නිපුනිට කෞෂි කිව්වේ පුදුමාකාර වේදනාත්මක ස්වරයකින්.

“නිපුනි,අපි හැම දෙයක්ම දරා ගන්න පුරුදු වෙන්න ඕනෑ.ඔයා අඬ අඬ ජීවිතේ ගත කරනවට කුසල් කැමති වෙන්නෙත් නෑ.හෙමින් හිත හදා ගන්න.මං නම් කියන්නේ ආයේ මැරි කරන්න උනත් ඔයා හිත හදා ගන්න ඕන..”

වියපත් ප්‍රධානතුමිය එහෙම කියපු නිසා කාර්යාලයේ සමහරුන්ගේ කෝපයට ඇය යොමු වුණේ නිතැනින් ම.

“පිස්සු අනේ..ඔයා ආයේ බඳින්න එපා.කුසල්ගෙ ආදරේ එක්ක ජීවත් වෙන්න..”

හැමෝම නිපුනිට උපදෙස් දුන්නේ ඒ විදියට.

කුසල්ගේ අභාවයට තුන් අවුරුද්දක් පිරිලා ඒ හැටි දවසක් නෑ.මෙන්න මේ ගෑනි ආයේ කසාද බැඳලා.හැමෝටම ඇති වුණේ මහා පිළිකුලක්.ඒ කාලේ කුසල්ගේ කැමති කෑමක් දැක්කත් ඇඬුණු නිපුනි ආයේ මනමාලියෙකුටත් ඇඳ ගැනීම හැමෝටම පෙනුණේ විකාරයක් වගේ.

“චතුරිකා..”

හැමෝගෙම කතාබහ අහගෙන නෑහුණු තාලෙට ආහාර ගන්න චතුරිකාට උරේෂා කතා කරේ සමච්චල් කටහඩකින්.එයා තමයි නිපුනිගේ හොඳම යාළුවා.

“ඔයා මේක දන්නවද?”

චතුරිකා ඔළුව වැනුවේ ඔව් කියන්න.ඊටත් පස්සෙ ඒ චාම් විවාහ මංගල්ලයට තමන් ගිය බවත් ඇය හෙළි කරා.

“මේවා කුසල්ලගෙ ගෙදර අය දන්නවද අනේ..ඒ මිනිස්සුන්ට මොන වේදනාවක් ඇද්ද?”

චතුරිකා ඉඳුල් අත සෝදාගෙන වතුර බීලා ඕපාදූප සංගමය ළඟට ආවේ හිනා වෙවී.

“මේ බලන්න..”

ඇය පෙන්නුවේ ඇගේ දුරකථනයේ තිබුණු ඡායාරූප කිහිපයක්.ඒ නිපුනිගේ විවාහය ලියාපදිංචි කරන මොහොතේ ඡායාරූප බව හැමෝටම තේරුණා.

“ඔය අත්සන් කරන්නෙ කුසල්ගෙ තාත්තා.නිපුනි රුවන් අයියව බැන්දෙ අෆෙයා එකකින් නෙවේ.ඒ යෝජනාවට උනන්දු වුණෙත් කුසල්ගෙ අම්මයි තාත්තයි.දන්නවද ඒ වෙඩින් එකට වැඩියෙන්ම වියදම් කරෙත් එයාලා.රෙජිස්ට්‍රේෂන් එක විතරක් ගන්න ඕන කියල නිපුනි කියද්දි කුසල්ගෙ අම්මම තමයි ඔය සාරි එක අරන් දුන්නෙත්.එයාලට ඕන වුණේ නිපුනි සතුටින් තියන්න.ඔයාලා විස්සෝප වුණාට නිපුනි ඔය තීරණය ගන්න තැනට අරන් එන්න පුලුවන් උනාට එයාලා ඉන්නෙ පුදුම සතුටකින්.”

චතුරිකා එහෙම කියලා යන්න ගියේ හැමෝටම තමන්ගේ විනිශ්චයන් ගැන ලැජ්ජා වෙන්න ඉඩ ඇරලා.

“එක අතකට අපි මොනවද එයාලාගෙ ජීවිතේ ගැන දන්නෙ..අපි නිපුනිට හොඳ තෑග්ගක් දීලා විෂ් කරමු.”

උරේෂා කිව්වේ හිතට ආපු ලැජ්ජාව වහ ගන්න හිතාගෙන.කුසල්ගේ මරණයත් එක්ක අඳුරු වෙලා තිබුණු නිපුනිගේ ලෝකය ආයේම එළිය වැටෙන එක ඇත්තටම සුන්දර දෙයක් නෙවෙයිද කියලා උරේෂා ආයෙම හිතුවා.

“නිපුනි ඒ සාරි එකට මාර ලස්සනයි.මේ බෝයි එයාට හුඟක් ආදරේ පාටයි.කුසල්ටත් වඩා ආදරෙන් ඉන්න එයාට පුලුවන් වෙයි..”

අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉමු කියලා කෞෂිට නොකියා ඒ ජාතියේ උත්තරයක් දුන්නු උරේෂා නැගිට්ටේ නිපුනිට ඇමතුමක් අරන් සුබ පතන්න හිතාගෙන.

More Stories

Don't Miss


Latest Articles