අවස්ථාව

ටීනා එක දිගට නාද වන දුරකථනය ක්‍රියා විරහිත කරලම දැම්ම.ඇගේ මුහුණේ තිබුණේ කෝපය මුසු වුණු නොරිස්සුම් සහගත පෙනුමක්.

” මොකද ටීනා තරහෙන් වගේ ? “

කාර්යාලයේ වැඩ නොකර ටීනා ඉන්නේ වෙනමම කල්පනාවක බව දැනුන නිසා අංජලී එහෙම ඇහුවේ කුතුහලයෙන්

” මේ අරෝශා කෝල් කරනවා අනේ උදේ ඉඳන්. අර මගෙ යාලුවා “

ටීනා කතා කළේ මූණ අකුලගෙන

” ඉතිං ගන්නෙ නැත්තෙ ? “

” ගත්තා නම් මං මොනවා කියයිද දන්නේ නැහැ.එයාට හොඳ දෙකක් කතා කරන්න තමයි මම කොහොමත් ඉන්නේ “

” ඒ මොකද ටීනා ? “

අංජලී ආයෙත් ඇහුවේ ටීනා කියන දේ පැහැදිලි නැති නිසා

” මේකි ඊයේ පවන්ට බැනලානේ.පවන් මට විස්තරේ කිව්වේ.එයා කවුද පවන්ට බනින්න එහෙම. මම කැමති නැහැ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට කවුරුත් වචනයක් කියනවට ? දැන් ඔය සමාව ඉල්ලන්න වෙන්න ඇති ගන්නව ඇත්තෙ එක දිගටම “

කාර්යාලයේ දේවල් වලටත් ඉක්මනින් කලබලයට පත්වන ටීනා මේ සිදුවීමේදීත් ඒ විදිහටම කලබල වෙලා ඇති කියලයි අංජලීට හිතුනේ

” ඒ උනාට ටීනා ඔය දෙන්නගෙ හැමදේටම හිටියේ ඔය අරෝෂා කියන යාළුවා නේද ? “

” ඔව් ඉතින් .එහෙමයි කියලා අපි එයාට වැඳගෙන ඉන්න ඕනේ නැහැනේ හැමදේකටම “

ටීනා මුළු දවස පුරාම හිටියේ නොසන්සිඳුණු කෝපයෙන්.

” ටීනා මිස්ව හම්බ වෙන්න මිස් කෙනෙක් ඇවිල්ලා “

හවස තුනට විතර කාර්යාලයේ සුලු සේවකයකු වුණ පියල් ඇවිත් කිව්වා. ටීනා කරමින් හිටපු රාජකාරිය නතර කරලා පිළිගැනීමේ කවුන්ටරය වෙත ගියා.ටීනා යනකොට ඇයව මුණ ගැහෙන්න ඇවිල්ල හිටියෙ අරෝෂා

” තමුසේ මොකටද මෙහාට ආවේ ? “

ටීනා දත්මිටි කමින් ඇහුවේ හඬ බාල කරලා

” ඔයා ඉන්නේ වැරදි වැටහීමක.ඒක නැති කරන්නයි මම ආවේ.මොකද මට හිටපු හොඳම යාලුවා ඔයයි ටීනා “

” අනේ මේ , මට තමුසෙගෙ බණ අහන්න ඕනෙ නැහැ අරෝෂා. පවන් මට කිව්වා හැමදේම “

එහෙම කියපු ටීනා අරෝෂාට තව වචනයක්වත් කියන්න ඉඩ නොකියා කාර්‍යාල කාමරය වෙතට ආවා

” මම ඔයාට කොහොමත් කියන්න හිටියේ අපේ පෞද්ගලික හැමදේම ඔය යාලුවන්ට කියන්න යන්න එපා කියලා “

හවස ටීනාව මුණගැහෙන්න ආව පවන් කිව්වේ ඈතින් පේන මුහුද දිහා බලාගෙන

” මේ. ඇත්තටම එදා මොකද්ද උනේ පවන් . ඔය දෙන්නා බැන ගත්තා කිව්වට මට හරියට විස්තරය අහගන්න බැරි වුණානෙ ? “

” අ.. මේ එදා.. මම අරෝශාට කෝල් එකක් ගත්තා. ඇත්තටම මට ඕන වුනේ ඔයාට surprise gift එකක් දෙන්න.එතකොට එයා කිව්ව ඔයාට ගිෆ්ට් දෙන්න ඕන තරම් අය ඉන්නවා මම දන්නෙ නැතිවුනාට කියලා. මට ඒකට කේන්ති ගිහින් මම එයාට දොස් කිව්වා.කවුරු උනත් ඔයාට අනං මනං කියනවට මම කැමති නැහැ. ඒ කතාව තමයි ටීනා ඔය කොහොමහරි දුරදිග ගියේ “

තමන් වෙනුවෙන් පෙනී ඉන්න පෙම්වතා ගැන ටීනාට දැනුනේ ආඩම්බරයක්. පවන් එක්ක තියන ප්‍රේම සම්බන්ධතාවයට මාස කිහිපයක් උනත් ඒ ගැන ටීනාගේ හිතේ තියෙන බලාපොරොත්තු තව තව වැඩි වුණා.

” අරෝෂාට කොල්ලෙක් නැහැනේ. අපි දෙන්නා හොඳින් ඉන්න එකට එයාට ඉරිසියා හිතෙන්න ඇති. කාව උනත් ඕනෑවට වඩා විශ්වාස කරන්න හොඳ නැහැ කියන්නේ ඕක තමයි පවන් “

ටීනාගේ හොඳම මිතුරිය උන අරෝශා ටීනාව දුරකථනයෙන් සම්බන්ධ කර ගන්න වගේම මුණ ගැහෙන්නත් උත්සාහ කලත් ඒ උත්සාහයන් සාර්ථක වුණේ නැහැ.

” අරෝෂා හිතන්න ඇති අපේ එෆෙයාර් එක කඩන්න. පුදුම යාලුවෝ තමයි අපිටත් ඉන්නේ”

ටීනා ඇගේ කාර්යාලයේ මිතුරියක් වුන අංජලී එක්ක අරෝෂාගේ නුගුණ කිව්වා.ටීනාව සම්බන්ධ කරගන්න උත්සාහ කරපු අරෝෂා අන්තිමේදී උත්සාහය අත ඇරලා තිබුණා.

” එයා නෑ කියලා මට පාඩුවක් වෙන්නේ නැහැනේ පවන්. අනේ මට නම් ගාණක්වත් නෑ .මොකටද ඔහොම යාලුවෝ ? “

ඉස්සර වාගේ නිතර නිතරම කතා කරන්න අරෝශා නැති නිසා ටීනා ඒ වෙනුවට පවන්ට නිතරම දුරකතන ඇමතුම් දෙන්න පටන් ගත්තා.

” මොකද පමණ ඔයාගේ ෆෝන් එක කොයි වෙලාවෙත් බිසී ? “

ටීනා ඇහුවේ නොරිස්සුමෙන්

” ඔයා වෙනදට මට මේ වෙලාවට කෝල් ගන්නේ නැහැනේ. ඔෆිස් එකේ වැඩ වලට එක එක්කෙනා මට කෝල් කරනවා වෙනදත් “

පවන් එහෙම කිව්වත් පවන්ට එන දුරකතන ඇමතුම් එන්නේ කාර්යාලයෙන්ම නෙමෙයි කියලා දැනගන්න ටිනාට සෑහෙන දවසක් ගියා.

” මිනිස්සුන්ව විශ්වාස කරන්න බැහැ කියලා කියන්නේ ඕක තමයි ටීනා. කොහොම වුණත් තව දුර නොයා ඔයා ඔතනින් නතර වුණ එක හොඳයි “

” මේ මනුස්සයා මාව මෙහෙම රවට්ටයි කියලා කවුද හිතන්නේ අංජලී. ඒ කෙල්ලත් ඉද්දිම නේ මෙයා මාත් එක්ක යාලු වෙලා තියෙන්නේ “

ටීනා කතා කළේ කඳුළු පිසිමින්.පවන් විවාහ කරගන්න ඉන්න තරුණිය ගැන අහම්බෙන් දැනගත්ත ටීනා හිටියේ ගොඩක් කම්පාවෙන්.මාස ගණනාවක් තිස්සේ තමන් රැවටුන බව දැනෙද්දී ඇයට දැනුණේ ඊටත් වඩා පසුතැවීමක්.තමන්ගේ හොඳම මිතුරිය පවා අහිමි කර ගත්තට පස්සේ ටීනාට ඇගේ දුක බෙදා ගන්න හිටියේ කාර්යාලයේ මිතුරියවුණ අංජලී විතරයි.

අහිමි වුණ ආදරය ගැන ලියවුන කවි නිසදෙස් සති කීපයක් තිස්සේම ෆේස්බුක් එකේ සටහන් කරමින් ඉන්න අතරේ සමීපතම මිතුරියන් කිහිප දෙනෙක් සුදු කොඩි පල කරලා තියෙනවා ටීනා දැක්කේ අහම්බෙන්

” දෙවියනේ “

වේගයෙන් ධාවනය වන ත්‍රීරෝද රථය මල් ශාලාව ඉදිරිපිට නතර කරාට පස්සේ ටීනා ඉන් බැස ගත්තේ අසිහියෙන් වගේ.තැන තැන හිටපු මිතුරියන්ගේ ශෝකී මුහුණු මැදින් ටීනා මල් ශාලාව ඇතුළට ගියේ වෙව්ලන දෙපාවලින්.

” අරෝෂා ඔයාව contact කර ගන්න සෑහෙන්න ට්‍රයි කළා.අන්තිමට එයා ඒක නතර කළේ ඔයාම හැමදේම දැනගෙන එයාට කතා කරයි කියලා හිතාගෙන “

පැරණි මිතුරියක් වුණ රෝෂිණී කතා කළේ හදිසි අනතුරකින් මිය ගිය අරෝෂා ගැන ඇතිවුන සංවේගයෙන්

” පවන්ට මැරි කරන්න වෙන ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා අරෝෂා දැනගෙන තිබුණ. ඔයාගේ හිත රිදෙයි කියලා ඒක ඔයාට කෙලින්ම නොකියා ඒකෙ ඇත්ත නැත්ත දැන ගන්නයි එයාම පවන්ට කතා කරලා තිබුණේ “

” මට පවන් කිව්වේ එහෙම දෙයක් නෙමේ රෝෂනී “

ටීනා කතා කළේ කඳුළු අතරින්.ජීවිතේ කවදාවත් දැනුනාට වඩා පසුතැවීමක් ඇයට දැනෙමින් තිබුණා

” අරෝෂා ඔයාට ඇත්ත කියයි කියලා බයට පවන් ඔය දෙන්නාව තරහ කරවන්න ඇති.ඒත් ඔයාට තිබුණා එෆෙයා එක නතර වුණාම හරි අරෝෂා ට කතා කරන්න “

” මට තිබුණා අරෝෂා ට එක අවස්ථාවක් හරි දෙන්න “

” ඔව්. ඔයාට එහෙම කරන්න තිබුණා.ඒකෙන් වුණේ අඩුම ගානේ වෙච්ච වැරැද්දට අරෝෂාගෙන් සමාව ඉල්ලන්න වත් ඔයාට අවස්ථාවක් නැති වුන එක “

රෝෂිණී එහෙම කියද්දි ,ජීවිත කාලයටම තමන්ගෙ හිතේ පසුතැවීමක් ඉතිරි කරමින් නික්ම ගිය මිතුරියගේ දේහය ළඟට ටීනා ඇවිදගෙන ගියේ සිහිනයෙන් වගේ.

More Stories

Don't Miss


Latest Articles