මතක දිගහැරුම 64 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැට හතරවන දිගහැරුම ,

ප්‍රේමචන්ද්‍ර ආන්ටිගේ උපදෙස් අනුව මා හෝමාගම රෝහලට ගියෙමි.එකල එම රෝහල නවීන පහසුකම් සහිත එකක් වූයේ නැත.එහි ඒ මොහොතේ සිටි වෛද්‍යවරයා නළාවක් වැනි යමක් මගේ කුස මත තබමින් නලාවේ එක් කොනකට ඔහුගේ කන තබමින් ,මා හොඳින් පරික්ෂා කළේය.මා පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහු පැවසුවේ කිසිදු ප්‍රශ්නයක් නැති බවත් ගමන් මහන්සිය හේතුවෙන් මට අපහසුතා දැනෙන්නට ඇති බවත්ය. එම නිසා නිවසට ගොස් හොඳින් විවේක ගැනීමට ඔහු මට උපදෙස් දුන්නේය.ඒ නිසා මම ආපසු නිවසට පැමිණියෙමි

මා නිවසට පැමිණ සුලු මොහොතකට පසුව ප්‍රේමචන්ද්‍ර ආන්ටි මගේ අම්මා මුණ ගැසීමට අප නිවසට පැමිණියාය.ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීම සුදුසු බව වෛද්‍යවරයා තවදුරටත් පැවසූවා යැයි ප්‍රේමචන්ද්‍ර ආන්ටි මගේ අම්මා සමග පැවසුවාය.ඇය එසේ පැවසූ විට අප තරමක් බියට පත්වුනේ ඇමෙරිකානු සංචාරයේදී යුනිවර්සල් ස්ටුඩියෝ හීදි සිදුවූ සිදුවීම සිහිපත් වීම නිසාය.මා එය හෂාන් සමග පැවසූ විට ඔහු හැකි ඉක්මනින් ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීම සඳහා වෛද්‍යවරයකුගෙන් වෙලාවක් වෙන් කරවා ගත්තේය.

එදින හවසම මා හෂාන් සමග ස්කෑන් පරීක්ෂණය කර ගැනීම සඳහා රෝහලට ගියෙමි.හෂාන්ගේ බිරිඳ වන මාව ඔවුන් ඉතා හොඳින් පිළිගත් අතර අපගේ පැමිණීම පිළිබඳව ඔවුන් ඉතා සතුටු විය.ඒ වන විටත් ලෝක කුසලාන ජයග්‍රහණයෙහි උණුසුම පැවතීම නිසා වෛද්‍යවරයා ඇතුළු හෙදියන් පවා කතා කළේ ඒ පිළිබඳවය.ක්‍රිකට් කණ්ඩායමහි ජයග්‍රහණය සහ කැපවීම පිළිබඳව අතිශයින් අගය කරමින් වෛද්‍යවරයා මා පරීක්ෂාවට ලක් කළේය.

” මට හෂාන් වගේ තව ක්‍රිකටර් කෙනෙක්ව නම් පේනවා.අනිත් එක්කෙනාව නම් පේන්නෙ නැහැ “

මා පරික්ෂා කරමින් සිටි වෛද්‍යවරයා එකවරම එසේ පැවසූ විට මා තරමක් කුතුහලයට පත් වූයෙමි.ඔහු කියූ දේ මට එතරම් වැටහුනේ නැති බැවින් මා ඒ පිළිබඳව නැවතත් ඔහුගෙන් විමසුවෙමි.

” එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා .එක්කෙනෙක් පුතෙක් කියලා පේනවා.අනෙක් එක්කෙනා වැහිලා ඉන්නේ ඒ නිසා එයාව පේන්නෙ නැහැ “

වෛද්‍යවරයා එසේ පැවසීය.ඉන් අනතුරුව වෛද්‍යවරයාගේ කාමරයෙන් පිටත සිටි හෂාන් ව ,වෛද්‍යවරයා කාමරය තුළට කැඳවීය.හෂාන් වෛද්‍ය කාමරය තුළට පැමිණි පසුව මා කුස තුල නිවුන් දරුවන් වැඩෙන බව වෛද්‍යවරයා හෂාන් හට පැවසුවේය.ඒ අවස්ථාව හෂාන් හට මෙන්ම මා හටත් වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සතුටක් දැනුණු අවස්ථාවක් විය. අප බලාපොරොත්තුවෙන් සිටි සතුට , අනපේක්ෂිත ලෙස දෙගුණ වීම අපට මෙන්ම පවුලේ අයට ද ඉතා සතුටුදායක පුවතක් විය.

මා හට නිවුන් දරුවන් ලැබීමට සිටින බව දැනගත් විට මා ඇමරිකාවේ සිටියදී දුටු සිහිනය මට සිහිපත් විය.කිසිවෙකුත් සමග නොපැවසූ එම සිහිනය පිළිබඳ විස්තරය ඒ අවස්ථාවේදී මා හෂාන් සමඟ පැවසුවෙමි.කෙසේ හෝ අප ලද සතුටුදායක පුවතින් පසුව හෂාන් ඇතුලු පවුලේ සැම දෙනාම පෙරටත් වඩා මා පිළිබඳව සොයා බලමින් මා රැක බලා ගත් හ.

වෙනදාටත් වඩා ආහාරපාන වර්ග සකස් කර දෙමින් පවුලේ අය මට අවධානය දෙන්නට විය.මා එමිරේට්ස් ආයතනය සේවය කරමින් සිටියදී මගේ ළඟම මිතුරියක වූ ආර්තී ගේ අම්මා මා මව් පදවිය ලබන්නට සූදානමින් සිටින බව දැනගෙන මා හට දුරකථනයෙන් ඇමතුවාය.ඊට අමතරව අපගේ හිත මිතුරන් බොහෝ දෙනකු විවිධ ආහාරපාන සකස් කරමින් මා වෙත එවීය.නුවර ප්‍රදේශයේ ක්‍රිකට් භාරව සිටින ජනක පතිරණ අයියා සහ ඔහුගේ බිරිඳ දිනක් නුවර සිට මා බලන්නට පැමිණියහ.ජනක අයියාගෙ බිරිඳ , ඇය විසින්ම සකස් කළ ඉතා රසවත් බත් මුලක් ද ගෙන ආ අතර අදටත් ඔවුන්ගේ එම ක්‍රියාව මා හදවතින්ම අගය කරමි.මන්ද , එතරම් දුර ප්‍රදේශයක සිට මා වෙනුවෙන්ම ආහාර සකස් කරගෙන පැමිණ ඔවුන් කළ කැපකිරීමෙහි ඉතා විශාල වෙනසක් මා දුටුවෙමි.අදටත් ඔවුන් දෙදෙනා අප සමග ඉතා හිතවත් වන අතර ඔවුන් දෙදෙනාට මා බොහෝ සේ ගෞරව කරමි.

මගේ දෙමාපියන් ජීවත් වූ හෝමාගම නිවස අසල හරකුන් ඇති කරන පුද්ගලයෙක් සිටි අතර මගේ අම්මා සෑම උදෑසනකම ඔහුගෙන් නැවුම් එළකිරි බෝතලයක් මා වෙනුවෙන්ම රැගෙන එයි.එම නැවුම් එලකිරි වලට ගම්මිරිස් ඇට එකතු කර රත්කරමින් ඉතා රසවත් ආකාරයෙන් අම්මා මා හට සකස් කර දුන්නාය.එකල හෂාන්ගේත් මගෙත් නිවස ඉදිකිරීම් තත්ත්වයේ පැවති නිසා මම වැඩි වශයෙන් කාලය ගත කළේ මගේ දෙමාපියන් වාසය කළ හෝමාගම නිවසේය.එම නිසා අම්මා සකස් කළ එම රසවත් කිරි වීදුරුව දිනපතාම උදෑසන මට ලැබුණු අතර කිසිදාක එය වැරදුනේ නැත.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles