අපවිත්‍ර ජලය නැවත ප්‍රයෝජනයට ගන්නේ ප්‍රවේශමෙන්

වර්තමානයේ බොහෝදෙනා භාවිතාකල ජලය නැවත භාවිතාකිරීමට පුරුදුව තිබෙනවා. ජලය යනු සුරැකිය යුතුම සම්පතක් වන නමුත් අපවිත්‍ර ජලය/අපජලය ගෙවත්තට යොමු කිරීම සහ ප්ලාස්‌ටික්‌ භාජන වල වගා කිරීම අනතුරුදායක විය හැකි බව ඔබ දැන සිටියාද?

ඔබ සාමාන්‍ය සබන් හැර රෙදි සෝදන කුඩු, රෙදි මෘදු කාරක, විෂබීජ නාශක දියර වර්ග, ෂැම්පූ, වළං පිඟන් සෝදන දියර, කැට, සහ කුඩු වර්ග, ටයිල් ක්ලීනර් වර්ග වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය සුලභව භාවිත කරනවා නම් සහ එම රසායනික නිෂ්පාදන භාවිත කිරීමෙන් පසු ගලා යන අපජලය ආහාර භෝග සඳහා යොමු කර තිබෙනවා නම් ඔබ බරපතළ අනතුරක වැටෙන්නට ඉඩ තිබෙනවා. මේවායේ ඇති ඇතැම් රසායනික ද්‍රව්‍යය ස්‌වභාවිකව ඛාදයනයට ලක් නොවන, දීර්ඝ කාලයක්‌ පරිසරය තුළ රැඳෙන විස රසායනික සංයෝග බව සොයා ගෙන තිබීම ඊට හේතුවයි.

ගෙවතු වගාවේදී ඔබගේ සැලකිල්ල යොමු විය යුතු තවත් කාරණාවක්‌ වන්නේ ප්ලාස්‌ටික්‌ පෝච්චි සහ භාජන වර්ග වල ආහාර භෝග වගා නොකිරීමට වග බලා ගැනිමය. ප්ලාස්‌ටික්‌ මල් පෝච්චි සකසා ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්‌ටික්‌ වර්ගවලින් වන අතර, හිරු එළිය වැනි පාරිසරික තත්ත්වයන් හමුවේ මේවායේ අඩංගු වන අහිතකර රසායනික සංයෝග පරිසරයට සහ ආහාර භෝගවලට මුසු වන්නට පිළිවන් වීම එක්‌ හේතුවකි. ප්ලාස්‌ටික්‌ භාජන සහ මල් පෝච්චි ටික කාලයක්‌ යන විට පොතු ගැලවී විනාශ වී යන බැවින් පරිසරයට මහ විපතක්‌ ඉන් සිදු වීම දෙවැන්නය. ස්වාභාවික මල් පෝච්චි සඳහා යොමුවීම නුවණට හුරුයි.

කෙසේවූවත් අපවිත්‍ර ජලය/අපජලය අපතේ හැරිය යුතු නැහැ. සෞඛ්‍යයට තර්ජනයක් නොවන කාර්යයන් සඳහා අපජලය භාවිතාකල හැක. එසේම එම ජලය පිරිපහදු කර භාවිතාකරන්නට ද හැකයාවක් ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles