සිරුරේ හැඩය හඳුනාගෙනම ඇඳුම් ආයිත්තම් තෝරා ගන්න

සෑම කෙනෙකුටම ආවේණික සුන්දරත්වයක් තියෙනවා. උස, මිටි, මහත, කෙට්ටු, පැහැපත්, තද වර්ණ මේ සියලු දෙනාටම ඔවුනටම ආවේණික සුන්දරත්වයක් සහ හැඩයක් තියෙනවා. ඉතින් අද අප මේ සූදානම් වන්නේ අපට ආවේණික ශරීර හැඩය හඳුනාගෙන වෙනදාටත් වඩා රුව ඔප්නංවා ගන්නේ කෙසේද යන්න ගැන අවබෝධයක් ලබා ගැනීමටයි.

මහත ගැහැණු ළමුන්ගේ හැඩය තීරණය වන්නේ එයාලගේ ශරීරයේ මේදය තැන්පත් වෙන ආකාරය අනුවයි.මේ අනුව මූලික හැඩයන් තුනක් තියෙනවා. පෙයාර්ස්, ඇත්ලටික්, සහ ඇපල්.

පෙයාර්ස් හැඩය

ඇයි දන්නවද පෙයාර්ස් කියන්නේ. මේ හැඩය අයිති අයගේ ඉනෙන් ඉහල කොටස ඉනෙන් පහළ කොටසට වඩා කෙට්ටුයි. මේදය වැඩියෙන් තැන්පත් වෙන්නේ උකුළ හා කලවා ප්‍රදේශ වල. ඒ නිසා ඉනෙන් පහල කොටස මහත බවක් පෙනෙනවා.ඉතින් මේ වගේ හැඩයක් තියෙද්දී වැඩි අවධානයක් යොමු කල යුත්තේ තමන්ගේ සිරුරේ ඉහල පෙදෙස ඉස්මතු කර පෙන්වීමටයි. ඒ නිසා වර්ණවත් වගේම පුළුල් කරක් තිබෙන උඩුකය වැසුම්, ස්ට්‍රේට් සායවල්, මැක්සි ගවොම් මේ අයගේ සිරුරේ ලාලිත්‍ය වඩාත් ඔප නංවන්නට සමත් වනවා.

ඇත්ලැටික් ෂේප්

මේ අයගේ සම්පුර්ණ ශරීරයම හතරැස් ස්වරූපයක් ගන්නවා. පුළුල් උරහිස්, හතරැස් උකුළ, පැතලි උදරය, වගේම හොඳින් වැඩුන අත් පා නිසා උකුළේ හැඩති පෙනුම වැඩි කරගන්නටත් , පුළුල් උරහිස් යම් පමණකට අඩු කර දක්වන්නත් පුළුවන් ඇඳුම් තෝරා ගත යුතු වනවා. ලේස් උඩුකය වැසුම් මේ අයට වඩාත් සුදුසුයි. ඒ වගේම පෙන්සිල් ස්කර්ට්ස් සහ බබ්ල් ස්කර්ට්ස් මේ අයට ගැලපෙනවා.උකුළ පෙදෙස යම් පමණකට පුළුල් නම් ස්කර්ට් එකේ වාටිය ප්‍රදේශය මුද්‍රිත එකක් තෝරා ගන්න.එයින් උකුළ සහ දෙපා වල පෙනුම සමබර වෙනවා.

ඇපල් ෂේප්

සිරුරේ ඉහළ කොටස පහළ කොටසට වඩා විශාල නම් එය ඇපල් හැඩයේ සිරුරක්. මේ හැඩය තියෙන අයගේ අත් හා දෙපා එතරම් මහත නැහැ. පපු පෙදෙස තමා පුළුල්. ඒ වගේම පිටත් පුළුල්. පුළුල් උරහිස් වගේම පටු උකුලකින් යුක්තයි. ඒ නිසා මේ හැඩයේ සිරුරක් ඇති අය විලාසිතා කරද්දී තමන්ගේ දෑත් හා දෙපා ඉස්මතු වන ලෙස විලාසිතා කළහොත් සිරුරේ ආකර්ෂණය රඳවා ගන්න පුළුවන්. ඒ වගේම උදරය පෙදෙසට අවධානය යොමු නොවෙන විදියට විලාසිතා කිරීමෙන් පෙනුම සමබර කර ගන්නත් පුළුවන්. v හැඩයේ කොලරයක් තිබෙන උඩුකය වැසුම් තෝරා ගැනීමත් හොඳ විසඳුමක්. දෑත් හොඳින් පෙනෙන උඩුකය වැසුම් මඟින් සිරුරේ හැඩය සමබර කිරීමට උපකාරයක් වනවා.

ඉතින් තමන්ගේ සිරුරේ හැඩය හඳුනාගෙන කරන විලාසිතාවන් නිසාවෙන් ඔබ වෙනදාටත් වඩා ආකර්ෂණයෙන් යුතු කාන්තාවක් ලෙස සියලු දෙනාගේම ආදරයට පාත්‍ර වනු ඇතැයි අප සිතනවා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles