ඔබේ පවුලේ ආහාර සුරක්‌ෂිතතාවයට පුංචි පියවරක්

ඔබේ පවුලේ සෞඛ්‍ය සම්පන්නබව රැකගැනීමට ආහාර සුරක්‌ෂිතතාවය ඉතාවැදගත්. ආහාර සුරක්‌ෂිතතාවය සහ පෝෂණ ගැටලු ද විසඳෙන, අනෙක්‌ අතට පවුලේ සමඟිය සහ එකමුතු බව වර්ධනය වන, මානසික සුවය සහ කායික සුවතාවය යළි ස්‌ථාපනය කර ගන්නට ද ඉවහල් වන ගෙවතු වගාව සඳහා ඔබේ කලබලකාරී දිවියෙන් බිඳුවක් ඉඩ වෙන්කරන්න.

පර්චස්‌ 5 – 10 ඉඩමක වුව ගෙවත්තක්‌ සකස්‌ කර ගන්නට පිළිවන. එසේම තට්‌ටු ගෙවල් වල කොන්ක්‍රීට්‌ ස්‌ලැබ් එක මත පවා කදිම ගෙවත්තක්‌ නිර්මාණය කර ගන්නට පිළිවන්. ඔබේ ගෙවත්ත තුළ වස විස වලින් තොර, එළවළු, පලතුරු, ඖෂධ පැළෑටි වර්ග කිහිපයක්‌ වගාකර ගන්නට ඔබට හැකියාව ඇත. ආහාර සඳහා නිතර භාවිතයට ගත හැකි තක්‌කාලි, බටු, මිරිස්‌, දඹල, තම්පලා, නිවිති, ගොටුකොළ, කංකුං, මුකුණුවැන්න, මෑ, කතුරුමුරුංගා, මෙන්ම පැෂන්, කරවිල වැලක්‌ වුව තම ගෙවත්තේ වගා කර ගන්නට පහසුවෙන්ම පුළුවන්. එමෙන්ම, ඉඟුරු, කහ, සේර, සැවැන්දරා, මිංචි, කරපිංච, රම්පෙ වැනි ආහාර රසකාරක සහ ඖෂධ ලෙස ද ගැනෙන පැළෑටි වර්ග ද ඔබේ ගෙවත්ත තුළ වගා කර ගත යුත්තේ මේවා මිල දී ගැනීම සඳහා මුදල් වියදම් කරන්නට සිදු වන නිසා මෙන්ම වෙළඳපළේ ඇති රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාරවලින් ඔබේ පවුල රැකගත හැකිවන නිසයි.

මෙකී නොකී භෝග වර්ග රාශියක්‌ ඔබට වැඩි පරිශ්‍රමයකින් තොරව ඔබේ ගෙවත්තේ වගා කර ගත සහ රැකබලා ගත හැකි අතර විනෝදාංශයක් ලෙසත් කරගෙන යා හැක. මෙවන් ගෙවත්තකින් ඔබට ලැබෙන්නේ නීරෝගිකම, ආර්ථික වාසි පමණක්‌ නොව, මහපොළොව සුවපත් කිරීමේ මහඟු පිංකමට ද ඔබට දායකවන්නට මෙයින් හැකිය.

-සන්දනා-

Related Articles

Don't Miss


Latest Articles